Last Updated on 4 days by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
Pic. credit: fulltable.dyndns.org
‘අධිරාජ්‍යය’ (දාස් කැපිටාල්) නමැති මාහැඟි ග්‍රන්ථයෙන් කාර්ල් මාක්ස් පැහැදිලි කළ නිර්ධනයාගේ තත්වය වෙනස් කිරීමට, යුරෝපා යටත්විජිතවාදීන්ට හැකි විය. ඒ ඔවුන් යටත් රටවලින් යුරෝපයට ගෙනා අති දැවැන්ත ධනයෙන් කිසියම් කොටසක්, තම රටවල නිර්ධනයින්ට ලැබෙන්ට සලස්වා ඔවුන්ගේ ආර්ථික තත්වය උසස් කිරීමෙනි. මේ හේතුවෙන් යුරෝපා රටවල මධ්‍යම පංතිය නමින් අලුත් පංතියක් බිහි විය. මාක්ස් මෙවැනි පංතියක් ගැන දැන සිටි බව ඔප්පු කළ නොහැකිය. ඊට හේතුව, ඔහු ලෝකවාසීන් ධනපති හා නිර්ධන යනුවෙන් පංති දෙකකට වර්ග කළ හේතුවෙනි. මිනිස් ඉතිහාසය සකස් වන්නේ මෙම පංති දෙක අතර සිදු වන අරගලය නිසා යයි ඔහු ඓතිහාසික භෞතිකවාදය නමැති සිද්ධාන්තය ඉදිරිපත් කරමින් තර්ක කළේය.
ලංකාව, ඉන්දියාව, බුරුමය, චීනය වැනි රටවල් යටත්භාවයෙන් නිදහස් වීමට දරන උත්සාහය බ්‍රිතාන්‍යය පාලකයින්ට පෙනුණි. ඔවුන් ඊට සූදානම් වූයේ යටත් රටවල පාලන බලය පවත්වා ගෙන යාම සඳහා අධිරාජ්‍යයට හිතවත් ස්වදේශික පංතියක් නිර්මාණය කිරීමෙනි. ඔවුහු ඒ සඳහා යටත් වැසියන්ගේ මොළය යටත් කරගන්නා අධ්‍යාපන ක්‍රමයක් සකස් කළහ. බ්‍රිතාන්‍යයන්ගේ උපාය වටහාගන්නට මොහොට්ටිවත්තේ ගුණානන්ද, අනගාරික ධර්මපාලතුමා වැනි සිංහල බෞද්ධයන්ට දැනුම තිබුණි. ඒ දැනුම වැනසූ හැටි අපගේ ‘ පානදුරාවාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවා දුන් ඕල්කොට් මෙහෙයුම’ ග්‍රන්ථයෙන් පැහැදිලි කර තිබේ. ‘නිදහස්’ ලංකාවේ සිටි සියලුම අධ්‍යාපන ඇමතිවරුන් වෙහෙසී ඇත්තේ එදා බ්‍රිතාන්‍යයන් රටට දුන් අධ්‍යාපන ක්‍රමය රැකීමටය.
ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියමය ආදි රටවල් ද, ඔවුන්ගේ යටත් විජිතයන්හි වැසියන්ගේ මොළය වහල් භාවයට පත් කර ඇත. ඒ උපායේ යෙදුන යටත් විජිතවාදියා ගැන පැහැදිලි කිරීමට උත්සාහ කළ, ප්‍රංශ යටත් විජිතයක උපන් ප්රාන්ට්ස් ෆැනෝන්, ප්‍රංශ භාෂාවෙන් ග්රන්ථයක් ඉදිරිපත් කළේය. එය ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත්තේ ’ද රෙචඩ් ඔෆ් ද අර්ත් The Wretched of the Earth යනුවෙනි. ඉංග්‍රීසි පොත ‘මිහිතලයේ අසරණයෝ’ මැයෙන් සිංහලට පරිවර්තිත නමුදු ‘අසරණයෝ’ යන්නෙහි, ඉංග්‍රීසි බසෙහි එන ‘රෙචඩ්’ යන්නෙහි ගැඹුරු අර්ථය නැත.
සිංහල පරිවර්තක, ෆැනොන්ගේ භාෂාව හා එය වෙනත් භාෂාවකට පෙරළීමේ අසීරුව පැහැදිලි කර ඇත. මලලසේකර වියතා ‘රෙචඩ්’ යන වචනයට ‘නීචයා’ යන අරුත සපයයි. ෆැනොන්, මාක්ස් කී අධිරාජ්‍යවාදීන්ව දකින්නේ නීච ක්රියාවේ යෙදෙන තක්කඩියන් පිරිසක් ලෙසනි. ඒ, ඔහු ඇල්ජීරියා නිදහස් සටනට සහභාගි වීමෙන් ලැබූ අත්දැකීමකි. සිංහල ජනවහර පොහොසත්ය. රෙචඩ් යන වචනයට හා ඊට මුල් වූ ප්‍රංශ වචනයට සමාන සැර වචන තිබේ. එහෙත් ඒවා අන්තර්ජාල ලිපියක සඳහන් කිරීම ප්රශ්නයකි. ‘මුහුණුපොත’ වැන්නක පළ වන ලිපි ගැන සොයන උගතුන් අප ඉදිරිපත් කරන වචනය වැරදියට තේරුම් ගන්නට පුළුවන. මෙම ලිපියේ පරමාර්ථය වචනවල අර්ථ දැක්වීම නොවේ.
අධිරාජ්‍යවාදී පාලකයින්ගේ (හෙවත් රෙචඩ්ලාගේ) අධ්‍යාපනය සහ සංස්කෘතිය විසින් නිර්මිත මධ්‍යම (ඩී.එස්.ලා) නමැති පංතිය අතට ලංකාවේ පාලනය ලැබුණි. පසුගිය මැතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කිරීම නිසා මේ තාක් කලක් රාජ්‍ය බලය දරමින් පැමිණි ඒ මධ්‍යම පංතිය පඹයින් සමූහයකගේ තත්වයට පත් විය. ඒ සමග ඔවුන් බදාගෙන සිටි රාජ්‍ය බලය අලුත් පංතියක් අතට පත් වූයේය. ජවිපෙ කාඩරයෝ, තමන් මාක්ස්වාදී දර්ශනය පිළිගන්නා බව කියති. තව සමහරුන්ගේ අර්ථ දැක්වීම, හරිනි අමරසූරිය වැන්නන් නව ලිබරල්වාදීන් බවයි. මේ අසමාන විග්රහයන් මගින් පෙනෙන්නේ බලයට පත් වූ පංතිය කුමක් දැයි පැහැදිලි කිරීම අපහසු බවයි. ඔවුන්ගේ කතා සංකලනය කළ විට මෙය, මාක්ස්වාදය හා නව ලිබරල්වාදය තවරාගත් සුවිශේෂ පංතියකි. මෙවැනි පංතියක් සිංහල ජනවහර අනුව පාදඩ පංතියකි.
සිංහල බෞද්ධ සංස්කෘතියට, ජාතිකත්වයට දක්වන අකමැත්ත මාලිමා පාලකයන්ගේ මූලික ලක්ෂණයක් වශයෙන් පෙනේ. එබැවින් මොවුන් පිරිස කිසියම් අදෘශ්‍යමාන පිරිසක් විසින් සිංහල බෞද්ධ රට නැසීමට නිර්මාණය කරන ලද කණ්ඩායමක්ය යන අදහස ඇති වේ. ඉංග්‍රීසි භාෂාවට හා සංස්කෘතියට දක්වන බලවත් ඇල්ම ඔවුන්ගේ විශේෂ ලකුණකි. නමුත් කන්නන්ගර හා බණ්ඩාරනායක අධ්‍යාපන සහනයන් නිසා උගතුන් වූ ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට ඉංග්‍රීසි සංස්කෘතිය අහලකට ළංවීමට නොපුළුවන.
ලංකාවේ සියලු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් රාජකාරිය භාරගෙන ඇත්තේ බයිබලයේ අත තියා අධිරාජ්‍යය වෙනුවෙන් රට පාලනය කරන බවට දිවුරුම් දීමෙනි. ජයමංගල ගාථා කියා සිංහල සිරිත් විරිත් අනුගමනය කරමින් අලුත් පාර්ලිමේන්තුව විවෘත කිරීම රට කරවූ මධ්‍යම පංතියේ සිරිත විය. ඒ සිරිත් කිසිවක් කිරීමට අකමැති වූ මාලිමාව, ඉංග්‍රීසින් අතහැර දැමූ පාර්ලිමේන්තු සිරිත් ඉටු කරයි. ඔවුන්ගේ කතානායකවරයා තමන් උසස් අධ්‍යාපනයක් ඇත්තෙකු බව ප්‍රසිද්ධ කර තිබුණි. තමන් ජපානයේ ‘වසේදා’ යුනිවර්සිටියේ ආචාර්ය උපාධිය ලැබූවකු බව ඔහු කියා තිබේ. එනමුදු වසේදා යුනිවර්සිටි වෙබ් අඩවිය එවැනි නමක් නොපෙන්වයි. ගූගල් ස්කොලර්ස් ලැයිස්තුවේද එවැනි නමක් නැත. ආර්. රන්වල කියා නමක් නම් තිබේ. ආචාර්ය හරිනි අමරසූරිය අගමැති වූ අවස්ථාවේ ඇගේ එඩිංබරෝ විශ්වවිද්‍යාල සහෘදයන් ඇය ගැන ලිපි පළ කර තිබුණි. කතානායක රන්වල ගැන එබඳු ලිපි පළ වූ බවක් දක්නා නැත.
තමන්ට ආචාර්ය උපාධි තුනක්ම ඇති බවත් චෝදනාවලට පිළිතුරු දිය යුතු නැති බවත් කතානායකවරයා කියා තිබේ. මෙය උද්දච්ඡ කතාවකි. පාර්ලිමේන්තුව ඇරඹි දිනයේ කතානායකවරයා සිටියේ බොරු කොණ්ඩය නිවැරදිව පැළඳගෙන නොවේ. නිවැරදිව බොරු කොණ්ඩය පැලඳීමට උගතාට බැරි විය. ඔහුට බොරු කොණ්ඩය දැමූ තැනැත්තා හිතාමතා කට්ටක් ගසා කතානායකගේ උගත්කම රටට පැහැදිලි කළේ යයි සමහරු කියති. බොහෝ දෙනා කියන්නේ එය උද්ධච්ඡකම නිසා සිදු වූවක් බවයි. උද්ධච්ඡකම පාදඩ සංස්කෘතියක ලක්ෂණයකි.
පාර්ලිමේන්තුවේ දී වගාවලට හානි කරන සතුන් ගැන අදහස් දැක්වූ ලාල් කාන්ත ඇමතිවරයා, වගා බිමට ඇතුළු වන ඕනෑම සතෙකුට ඒ බිම තුළ දී කැමති දෙයක් කරන්නැයි වගාකරුවන්ට අණ දුන්නේය. එය පරිසරය ගැන මෙලෝ දැනුමක් නැති සතුන් කෙරේ වෛර කරන ත්‍රස්තවාදී ප්‍රකාශයක් පමණක්ම නොවේ. සිංහල බෞද්ධයාව ලෝකය හමුවේ ම්ලේච්ඡයෙකු බවට පත් කිරීමකි.
යුරෝපයේ හා ඇමරිකාවේ සත්ව ඝාතනය නරක ක්‍රියාවකැයි කියන මිනිසුන් වැඩි වෙමින් පවතී. නිදසුනක් දක්වතොත් ක්‍රිස්තියානි රටක් වශයෙන් ප්‍රසිද්ධ ස්වීඩනයේ ගුතෙන්බර්ග් සරසවියේ මහාචාර්යවරියක දිගු කලක් තිස්සේ කළ පර්යේෂණයකින් පසු උණු වතුරට දමන කකුළුවන් වේදනාවෙන් හා බයෙන් හැසිරෙන ආකාරය පැහැදිලි කිරීමෙන් පසු කකුළුවන් වැනි සතුන් ආහාරයට ගැනීමෙන් වළකින්නැයි මහජනයාගෙන් ආයාචනා කරන පිරිසක් බිහි වී තිබේ. තවත් මෙවැනි උදාහරණ රාශියකි. මුහුදේ වසන මාළුන්ට පවා ආදරය කරන පිරිස් මේ රටවල සිටිති.
සිංහලයා ලෝකයේ අති සාර්ථක ගොවිතැන් චක්‍රයක් ගොඩනගා ගෙන සිටියෙකි. ඔවුන් පිළිගත් බෞද්ධ දර්ශනය වූයේ සත්ව කරුණාවයි. පුරාණයේ කුඹුරට වස ගෙන යෑම අපරාධයක් ලෙසින් සැලකුණි. ඒ ඉතිහාසය දන්නා අයෙකුට ලාල්කාන්ත ඇමතිවරයාගේ කතාව බේබද්දෙකුගේ කතාවකට සමාන කිරීමට පුළුවන. එවිට මෙවැනි නායකයින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ ඔවුන් මෝඩ වැඩවලට පොලඹවා ඇඟ බේරාගෙන බව ඔප්පු වේ. පාදඩ සංස්කෘතිය කුමක්දැයි පැහැදිලි කිරීමට මීට වඩා හොඳ නිදර්ශනය කුමක්ද?
ගල්කිස්ස හෝටලයේ ‘ඇබා’ සංගීත සංදර්ශනයට මාලිමා මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වූහ. විජිත හේරත් ඇමති අසන්නන් සිනාගන්වමින් කළ ඉංග්‍රීසි කතාව උත්සවයේ අපූරු සිද්ධියකි. ජවිපෙ සුවිශේෂී චර්යා ධර්මයක් ඉදිරිපත් කළ දේශපාලන පක්ෂයකි. ඔවුන් ‘විමුක්ති ගී’ ප්‍රසංග පැවත්වූයේ රටේ තරුණ පරපුරට දේශප්‍රේමී හැඟීම් ඇති කිරීමට හා ඔවුන් බටහිර ජනප්‍රිය සංගීතයෙන් ඈත් කිරීමටයි. ‘ඇබා’ උත්සවය ගැන ප්‍රශ්න කළ මාධ්‍යවේදියෙකුට පිළිතුරු සැපයූ විජිත හේරත්, තමා ඇබා, බොනී එම් ගීත ලෝලයෙකුව සිටි බව කීවේය. එයින් කියැවෙන්නේ ඔහු මුහුණු දෙකකින් කටයුතු කළ අයෙකු බවයි. එයත් පාදඩ සංස්කෘතියේ ලකුණකි.
මාලිමා ආණ්ඩුවේ බුද්ධ ශාසනය භාර ඇමතිවරයා බෞද්ධයෙකු දැයි බොහෝ දෙනාට සැකයක් පවතී. ඔහු අතීතයේ කර ඇති අමිහිරි කතා ඊට හේතුවයි. ඇමතිවරයාගේ ඉතිහාසය පැහැදිලි කෙරෙන ප්‍රකාශන අඩංගු යූටියුබ් වීඩියෝවක් ඇත. එහිදී ඔහු කියන ඇතැම් කතා වැරදි බව බව පැහැදිලි කෙරෙන ලිපි බෝධි සභාව විසින් ද පළ කර ඇත. හිනිදුම කල්වාරිය ආගමික සංහිඳියාවට නොව බද්දේගම වාදයත් පානදුරා වාදයත් නිසා කලබල වූ ක්‍රිස්තියානි පාර්ශ්වය විසින් ප්‍රදේශය ජයගැනීමට කළ ක්‍රියාවක් බවට සාක්ෂ්‍ය එම ලිපියෙන් ඉදිරිපත් වේ. ඇත්ත බොරුව සමග කලවම්කර වංගු ගැස්සීම පාදඩ පංතියේ ලකුණකි.
සිංහල බෞද්ධයා ඉතිහාසය පුරා ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නෙකි. පිටරටවල සිට පැමිණි පුද්ගලයින් සිංහල සිංහාසනය දැරීම නිදසුනකි. නිශ්ශංකමල්ල කාලිංගයෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ දකුණු ඉන්දියාවෙන් ආ නායක්කර් ජාතිකයෙකි. ලංකාවේ ඕනෑම තැනක ජීවත් වීමට දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ වැනි ඕනෑම ජන වර්ගයකට ඉඩ තිබේ. උතුරට නැගෙනහිරට යන්නට බැරි සිංහලයන්ට පමණි. උතුරට වෙනම තේසවලමෙයි නමින් නීතියක් පවතී. මුස්ලිම්වරුන්ට කාති උසාවි තිබේ. ඉතිහාසයේ සහ වර්තමානයේ මේ තරම් පැහැදිලිව විස්තර ඇතත් සිංහලයින් ජාතිවාදීන් බව පෙන්වීම මාලිමා රජයෙන් සිදු වේ. විරුද්ධකාරයාට බොරු චෝදනා නගමින් පහර ගැසීම පාදඩ සමාජයේ ගතියකි. ‘අපරාධකරුවාට නොව එම පුවත ජනතාවට කියන පණිවිඩකරුවාට වෙඩි තැබීම’ යන්නෙන් කියවෙන්නේ පාදඩයා කරන නින්දිත ක්‍රියාවයි.
මාලිමාව බලයට පත් වූයේ කප්පරක් බොරු බේගල් ඇදබා ජන මනස කුරුවල් කිරීමෙනි. තම වාහනයේ හොරකම් සම්බන්ධ ලිපිගොනු සිය ගණනක් ඇති බවත්, ඒ එකින් එක ඇද එක එක හොරකම් පෙන්විය හැකි බවත් අනුර දිසානායක ඒ කාලේ මන්තරයක් මෙන් කීවේය. දැන් ඒ ෆයිල්වලට සිද්ධ වුණු දෙයක් නැත.
නිලන්ති කොට්ටහච්චිගේ උගන්ඩා ඩොලර්, වසන්ත සමරසිංහගේ ඩුබායි ඩොලර් බිලියන 1100 වැනි කතා ජනතාව නොමැග යැවීමට පාවිච්චි කළ බේගල් බව දැන් ඔප්පු වී හමාරය.
ඉන්ධන ලීටරයෙන්, බිත්තරයෙන් කොමිස් ගහන කතා බොරු වී හමාරය. පාළු වූ කුඹුරු අක්කරයට රුපියල් ලක්ෂයක් දිය යුතු බවට කළ උද්ඝෝෂණ, ‘මෝල්කාරයින් හංගාගෙන ඉන්න වී හොයාගන්න ආණ්ඩුවට බැරි නම් අපිට දෙන්නැයි නාමල් කරුණාරත්න වැන්නන් නැගූ ගෝරනාඩු දියාරු වී ගොසිනි.
පාදඩ පංතියක් යනු මාක්ස් කී ආකාරයේ ධනේශ්වර හෝ නිර්ධන පංතියක් නොවන බව දැන් පැහැදිලිය. දේශපාලනයේ මේ නම වැහැරෙන්නේ ‘ෆුල් ටයිම්’ මහජනයා රවට්ටන මැරයන් පිරිසකටය. අධිරාජ්‍යවාදීන් සිය අවශ්‍යතා ඉටු කරවා ගැනීමට ස්වදේශික මධ්‍යම පංතියක් හැදූ නමුදු ඔවුන්ටත් විනයක් තිබුණි. බලයට ඒම සඳහා මාලිමා පාලකයින් භාවිත කළ බේගල්, වහසිබස්, පූඡානම් කතා බොරු පොරොන්දු ආදිය සැලකිල්ලට ගත් විට මොවුන්ට කිසිම විනයක් නැති බව පෙනේ. ඔවුන්ගේ ‘විනය‘ ජනතාව රැවැට්ටීමයි. එම නිසා රටට මහෞෂධයින් බඳු ප්‍රඥාවන්ත පාලකයින්ගේ සේවය අවශ්‍යව තිබේ.
උම්මග්ග ජාතකයේ සඳහන් වන වේදේහ රජ්ජුරුවන්ට සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද නම්වලින් පඬිවරු හතර දෙනෙක් සිටියහ. හතර දෙනාම අමු කපටින්ය. ඔවුන්ගේ උපදෙස් ලැබූ වේදේහ රජ්ජුරුවෝ නොයෙක් තකතීරුකම් කොට රට විනාශයට පත් කළේය. මහෞෂධ පඬිතුමා ඉදිරිපත් නොවන්නට මියුළු නුවරම විනාශය.
මාලිමාව බලයට පත් කිරීමට ඡන්දය දුන් ගැමියෙක් පසු ගියදා අපට හමු විය. ‘150ට පැට්‍රෝල් ගහගෙන ලාබෙට හාල් පොල් කන්ඩ හිතාගෙන මාලිමාවට ඡන්දෙ දුන්න. දැන් අපිට එලොව පොල් මෙලොවදීම පෙනෙනවායි කී ඔහු පරණ කතාවක් කීවේය. කිසියම් කණස්සල්ලක් නිසා වනාන්තරයට ගිය රජ්ජුරුවන්ට දේවතාවෙකු හමු වුණි. එතුමා රජුට වරම් ගුලි තුනක් තෑගි කළේය. මොනවා ඉල්ලන්න දැයි කොතරම් කල්පනා කළද රජුගේ හිතට කිසිවක් නොආවේය. ‘ඕනැ පුකක්’ කියා කියූ රජු ගුලියක් උඩ දැම්මේය. ක්ෂණයකින් ඔහුට කහළමාර්ග දෙකක් ලැබුණි. කලබලයට පත් ඔහු, ‘පුක් පලයං’ කියා තව ගුලියක් උඩ දැම්මේය. ඔහුගේ කහළමාර්ග දෙකම අතුරුදහන් විය. හොඳටම බිය වූ රජු, ‘තිබුණු පුක දියෝ‘ කියා තුන් වැනි ගුලිය උඩ දැම්මේය. යළි ඔහුට පරණ කහළ මාර්ගය ලැබුණි.
මේ කතාවෙන් කියන්නේ කලබලකාරී මනස නිසා සිදු වන හානි ගැනයි. ප්‍රඥාවන්ත උගතුන්ගේ කටයුත්ත විය යුත්තේ පාදඩ පන්තිය ඉවත් කර විනය ගරුක දැහැමි පිරිසකට පාලනය දිය යුතු බවට ජනතාව දැනුවත් කිරීමයි. එවිට ජනතාව ‘තිබුණ පුක නෙමේ අලුත් පුකක් දියෝ’ කියා කෑ ගසනු ඇත.