ඒකාධිපතියන්ට හා අන්තවාදීන්ට නොතේරෙන කලාව

Last Updated on 3 hours by admin

Donald Trump in 2025, Donald Trump as the pope in the AI image. Credit : Chip Somodevilla/Getty; Donald J. Trump/Truth Social; People.com

පාතාලයන් වශයෙන් නම් ලබන නමුදු ඩුබායිහි ජීවත්වූ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් ලාංකිකයන් කිහිපදෙනා අතුරෙන් කිසිවෙකු ජර්මනියේ ඇඩෝල්ෆ් අයික්මාන්ට සමාන කිරීමට නොපුළුවන. ආර්ජන්ටිනාවේ සැඟව සිටි අයික්මාන් ඊශ්‍රායලයට ගෙන ඒමට මොසාඩ් නිලධාරීන්ට හැකි විය. මාලිමාව නමින් බලයට පත්වූ ජවිපෙ මනුෂ්‍ය ඝාතන විශාල සංඛ්‍යාවකට සම්බන්ධ සංවිධානයකි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට ගෙන ඒමට රටේ විශාල පිරිසකට උවමනාවිය.

අත්අඩංගුවට පත් පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකුටම සුළුදිය (මුත්‍රා) පහවූ බව ලංකාවේ ඇතැම් මාධ්‍යයන්හි පල විය. අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් බියසුල්ලන් බව පෙන්වීම මෙම කතාවේ පරමාර්ථයයි. සැකකරුවන්ගේ ශරීර හැසිරීමෙන් (බොඩි ලැන්ජ්වේජ්) පැහැදිලි වූයේ ඊට විරුද්ධ කතාවකි. ඔවුන් පොලිස් නිලධාරීන්ට නොතිබූ සිනා මුහුණුවලින් යුතුව ගුවන් යානයෙන් බැස පැමිණියහ.

මොවුන් ගෙනඒමේ සිද්ධිය මහජනයාට වාර්තා කිරීමට මාධ්‍ය වාර්තාකරුවන් මේ තරමට උනන්දුවීමත් සමහරෙකුට ගැටලුවකි. මීට පෙර විදේශයන්හිදී අත්අඩංගුවට පත් කොටි නායකයින් රටට ගෙන ඒම මාධ්‍යකරුවන්ට මේ තරම් වැදගත් නොවීය. චූදිතයන් ගුවන් තොටුපලට ගෙනෙද්දී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල ආරක්ෂක භටයන් සහිතව එහි ගියේය. එය දැනගත් බොහෝ දෙනෙකු මවිත වූයේ මෙය ඒ තරමටම රටට වැදගත් සිද්ධියක් නොවේ යන අදහසිනි.

ලංකාණ්ඩුව දෙමළ කොටි සමග කළ දීර්ඝ යුද්ධය අතිශයින් තීරණාත්මක විය. බටහිර බලවතුන්ගේ සහාය කොටි හමුදාවට ලැබුණි. ඉන්දියාව වක්‍රව කොටින්ට සහය දුන් බව බොහෝ දෙනාගේ අදහසයි. මේ පීඩනය මැද යුද්ධය ජයග්‍රහණය කිරීමේ ප්‍රශංසාව රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි වෙයි. ඔහු ප්‍රභාකරන්ට පැන යාමට සටන් විරාමයක් දුන් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට දින දෙකකට පෙර කීවේය. එය කොහොල්ලෑ බබාට අතින් පයින් පහර දුන් මෝඩ හාවා ඔළුවෙන් පහරක් දී ඔළුවත් අලවා ගැනීම වැන්න.

යුද්ධ ජයග්‍රහණය ගැන අසා ප්‍රීතියෙන් මුසපත් වී විදේශයක සිට ගුවන්යානයකින් කටුනායකට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ දණගසා ශ්‍රී ලංකා භූමියට නමස්කාර කරන හැටි දැක්වෙන ඡායාරූපයක් ඒ කාලයේ ප්‍රසිද්ධ විය. එය ජාත්‍යාලය ඇතිකරන්නකි. පාතාලයන් දැකීමට කටුනායකට ගිය ආනන්ද විජේපාල ඇමතිවරයා බිමට නැමී කටුනායක ගුවන් තොටුපලේ කොන්ක්‍රිට් සිමෙන්තිය සිපගන්නා ඡායාරුපයක් අන්තර් ජාලයේ සංසරණය විය.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් වූ විශේෂ නිවේදනයකින් පැවසුනේ එය ව්‍යාජ ඡායාරූපයක් බවයි. මෙවැනි කටයුතුවල යෙදෙන්නන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ගෙන් කියවුනි. එය කලාකරුවා මර්දනය කිරීමකි.

ඕනෑම පුද්ගලයෙකුට කලා රසිකයෙකු විය හැක. සෑම පුද්ගලයෙකුටම කලාකරුවෙකු වීමට නුපුළුවන. කලාකරුවා අපූර්ව වස්තුවක් නිර්මාණය කරයි. ඡායාරූප ශිල්පියා කලාකරුවෙකි. එළිසබෙත් රැජිණ ලංකාවේ සංචාරයකට පැමිණ වේලේ අගමැති කොතලාවල සමග සීගිරිය බලන්නට ගියාය. ඇයගේ ගවුම සුළඟට එසවුනි. ’ෆෝටෝ එකක් ගනියව්, ගනියව්’ සර් ජෝන් ඡායාරූප ශිල්පීන්ට කෑගැසුවේය. ඡායාරූපයක් ගත්තේ නම් එය අද කෝටි ගණනක් වටිනා එකකි. ශිව දෙවියන් ලෝකය බලන්නේ නළල මැද පිහිටි තෙවැනි ඇසෙනි. කැමරා ඇස ඊශ්වර ඇසට සමානය. සාමාන්‍ය ඇසට නොපෙනෙන බොහෝ දේ කැමරා ඇසට හසුවේ.

ඇතැම් ආගමික අන්තවාදීන්ට සහ දේශපාලන ඒකාධිපතියන්ට කලාව නොවැටහේ. මෙහොමඩ්තුමාගේ රුව දැක්වෙන කාටුනයක් ඇන්ද ’කර්ට් වෙස්ටර්ගාඩ්’ නමැති ඩෙන්මාර්ක් ජාතික චිත්‍ර ශිල්පියාට මරණ තර්ජණ ඇති විය. ඕස්ටේ‍රලියාව ගිය අගමැති සර් ජෝන් ලොකු තන බුරුලු ඇති කිරි හරක් පට්ටියක් නරඹමින් විහිළුවක් කළේය. ජී. ඇස්. ප්‍රනාන්දු සර් ජෝන් පට්ටි ගොනෙකු හැටියට කාටුනයකට නැගුවේය. එය දුටු සර් ජෝන් කාටුන් ශිල්පියාව කැඳවූයේය. ප්‍රනාන්දු ඔහු හමුවට ගියේ ගිනිගත් හිසිනි. ’යකෝ උඹ නියම බඩුවක්. තව ඇඳපන්’ කී සර් ජෝන් තේ පැන් සංග්‍රහයක් කළේය.

ආනන්ද කුමාරස්වාමි ප්‍රසිද්ධ කලා විචාරකයෙකි. පෙරදිග සහ අපරදිග කලා සංකල්ප ගැන පැහැදිලි කරන ඔහු යථාර්ථවාදය බටහිර සංකල්පයක් බව කියයි. එය ඇත්තක් නොවේ. කුස ජාතකයේ හැටියට කුස කුමරු පබාවතීගේ ප්‍රතිමාව ඇඹුවේය. ඔහුගේ සේවකයෝ එය මදු රජුගේ රාජකීය පොකුණ අසල තියා සැඟවී බලා සිටියහ. පබාවතීගේ ආරක්ෂක කාන්තාවක් එතනින් යන්නී ’තනිවම මෙහෙම හැසිරෙන්ඩ හොඳදැ’යි අසමින් පබාවතී ප්‍රතිමාවේ කම්මුලට පහරක් ගැසුවාය.

කලා රසය දන්නෙකුට ආනන්ද විජේපාලගේ රුව (ව්‍යාජයක් හෝ) අන්තර් ජාලයට මුදාහල පුද්ගලයා අපරාධකාරයෙක් නොවේ. ඔහු කලාකරුවෙකි. ඔහු පෙන්වන්නේ මාලිමා ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිවරයා, චූදිතයන් කිහිප දෙනා රටට ගෙන ඒම, මහින්ද රාජපක්ෂ කොටි යුද්ධය දිනුවාට සමාන ක්‍රියාවක් ලෙසින් සැලකූ බවයි. භාරතීය රසවාදයට අනුව ඔහු නරඹන්නාට හාස්‍ය රසයක් ලබාදෙයි.

වරක් ජනාධිපති ට්‍රම්ප්, තමා යාච්ඥාවේ යෙදී සිටින අයුරු දැක්වෙන ව්‍යාජ ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණි. මෑතකදී ඔහු, පාප් තනතුරට ඉතාම සුදුස්සා තමා යැයි කීවේය. එන් පසුව තමන් පාප්තුමන් වශයෙන් දක්වා සකසා තිබුණු ව්‍යාජ ඡායාරූපයක්ද සිය ගිණුමේ ප්‍රසිද්ධ කළේය.

කවියකින්, ප්‍රතිමාවකින්, චිත්‍රයකින් මෙන් ඡායාරූපයකින්ද ප්‍රේක්ෂකයා ආනන්දයට පත් කිරීමට පුළුවන. අන්තර්ජාලයේ සැරිසැරූ ආනන්ද විජේපාලගේ ඡායාරූපයෙන් සිදුවන්නේ එයයි. එයින් ප්‍රේක්ෂකයාගේ ඥාන කෝෂය පුළුල්වීමක්ද සිදු වේ. පංචතන්ත්‍රය කතාවලින් සිදුවන්නේද එයමය.

නරියා ගොන්මාල්ලෙකුට බොරුවක් කියා අලියෙකුගෙන් පහර කා දුර්වල වී සිටි සිංහයා වෙත කැඳවාගෙන ආවේය. සිංහයා ඉවසුමක් නැතිව ඌ වෙත කඩ පැන්නේය. ගොන්මාල්ලා උගෙන් බේරී කැලේට පැනගත්තේය. ඌව ආයෙත් කැඳවාගෙන වරෙන් කියා සිංහයා නරියාට ඇවිටිලි කළේය. නරියා ගොන්මාල්ලා සොයාගොස් ‘උඹ බොරුවටනෙ බයවුනේ. උඹේ ඇඟට පැන්නෙ සිංහ හමක් පොරවාගත් වැස්සියක්. ඒවාගෙ දෙන්නෙක් ගුහාවෙ ඉන්නවා’ කියා ගොන් මාල්ලාව ආයෙත් කැඳවාගෙන ගියේය. එවර සිංහයා ගොන්මාල්ලාව මරා ගත්තේය. සතුටට පත් සිංහයා ඇඟපත හෝදා ගන්නට දොළපාර වෙත ගියේය. ඒ අතර නරියා ගවයාගේ මොළය කෑවේය. ආපසු පැමිණි සිංහයා ගවයා දෙස බලා, ‘කෝ බං මුගෙ මොළේ?’ කියා ඇසුවේය. ‘මොළේ තිබුන නම් ඌ මේ ගුහාවට එන්නෙ නෑනෙ හාමුදුරුවනේ’ කියා නරියා පිළිතුරු දුන්නේය.

දැන් වැදගත්ම ප්‍රවෘත්තිය උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් හදන්නට මුල්ගල තැබූ ජනාධිපතිවරයා, අනාගත ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සකස් විය යුත්තේ දෙමළ, මුස්ලිම් සහ සිංහල යන ජාතීන් තුනෙන්මයි කීමයි. කතාව අසන ක්‍රිකට් ලෝලියෝ බඩ අල්ලාගෙන සිනාසෙති. කලාකරුවා එසේ සිනාසෙන්නෙකු නොවේ. සිද්ධිය ඇසුරින් කලා නිර්මාණයක් කරන්නෙකි. එයින් ජනතාවට දැනුමක් ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top