ඒ. ටී. ආරියරත්නට අත් වූ ඉරණම මාලිමාවත්!

Last Updated on 12 hours by admin

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

ඒ. ටී. ආරියරත්න – Pic. Credit: Wikipedia

“බලය දූෂණයට නැඹුරු වන අතර අසීමිත බලය නියත වශයෙන්ම දූෂණයට හේතු වේ” – ඇක්ටන් සාමිවරයා

“Power tends to corrupt, and absolute power corrupts absolutely,” – Lord Acton

’බලය විසින් පුද්ගලයා දුෂිතයෙකු කරන්නේය’ යන්න පෙරදිග සමාජ ධර්මයක් නොවේ. ඉතාලියේ උපන් ජෝන් ඇක්ටන් සාමිවරයා ඉදිරිපත් කළ මෙම අදහස බටහිර උගතුන් විශාල පිරිසකගේ සැලකිල්ලට හා සංවාදයට ලක්වූවකි. යටත් විජිත පාලනයෙන් පසුව දූෂිතයන් රජකරවීම ලංකා දේශපාලනයේ රටාවක් බවට පත්වෙමින් තිබෙන හෙයින්, ඇක්ටන්ගේ ප්‍රකාශය ශ්‍රී ලාංකිකයින්ගේත් අවධානයට ලක්විය යුතුය. එවිට මේ පරිහානියට ප්‍රධාන හේතු දෙක රටවැසියන්ගේ දිළිඳුකම සහ නූගත්කම බව වැටහේ. ඔවුන් නූගතුන් බවට පත්වීමට ප්‍රධාන හේතුව යටත් විජිත ‘අධ්‍යාපනයයි’. භික්ෂුන් වහන්සේට ගරු නොකරන හාල්පාරුවන් වැනි දේශපාලකයින් රුපවාහිනී සංවාදවලට සහභාගි වීමට තරම් රට විනාශ වී තිබේ. දැන් රටේ නායකයින් වීමට හැකියාව ඇත්තේ හොඳ සීරුවට බොරු දෙසාබාන්නට තරම් ලැජ්ජා බය නැති දේශපාලකයින්ටය. ඔවුන්ගේ මේස වටා ආසන හැදෙන්නේ කේවට්ටයින්ට හා පන්දම්කාරයින්ටයි.

පුරාණ සිංහලේ ඉතා දියුණු බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් පැවති රටකි. වර්තමාන දේශපාලනඥයින් හා උපදේශකයින් හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන්ට ඒ ගැන වගේ වගක් නැති බවයි. ඔවුන් හරිනි අමරසූරියගේ නොගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පවා අනුමත කිරීම නිදසුනකි. මේ නිවටුන් කියන්නේම ඉංග්‍රීසිය පුදන යටත් විජිත අධ්‍යාපන ක්‍රමයම අණ්ඩා දමමින් ඉදිරියට ගෙන යා යුතු බවයි.

හරිනිගේ ප්‍රතිසංස්කරණ මණ්ඩලය හයේ පන්තියේ ළමයින්ට සැකසූ මොඩියුලයේ හැටියට ඒ. ටී. ආරියරත්න ලංකාවේ බිහිවූ ප්‍රධාන ව්‍යාපාරිකයෙකි. මෙය ළමයින් මෝඩයින් කරන පල්බොරුවකි. ආරියරත්න මියගියේ බංකොලොත් ව්‍යාපාරිකයෙකු වශයෙනි. බංකොලොත් වීමට බලපෑ එක හේතුවක් වූයේ බාල ප්‍රමිතියෙන් යුතු පාසල් පෙළ පොත් මුද්‍රණය කර මාට්ටු වී කෝටි ගණනක් පාඩුවීමයි. පාසල් පෙළ පොතෙන් වංචා කරන්නට උත්සාහ ගත් පුද්ගලයකු මහා ව්‍යාපාරිකයෙකු ලෙස පාසල් දරුවන්ට හඳුන්වා දීම පුනරුද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටම ගැලපේ.

ආරියරත්න සමාජයේ ප්‍රසිද්ධ වන්නේ ඉන්දියාවේ ජාතික ව්‍යාපාරයේ නායකයකු වූ විනෝබා භාවේ අනුකාරකයෙකු වශයෙනි. අනුකාරකයෙක් කිසිසේත්ම නිවහල් මිනිසෙක් නොවේ.

ආරියරත්න රජයේ පුහුණු පාසල් ගුරුවරයෙකි. විද්‍යෝදය විශ්වවිද්‍යාලය පිහිටුවූ පසු තරග විභාගයක් නැතිව ඊට ඇතුළත් වී උපාධිය ලබාගැනීමට ඔහුට හැකි විය. කුලියාපිටියේ ශාස්ත්‍රෝදය මුද්‍රණාලයාධිපති හා හිටපු නගරාධිපති දයානන්ද වන්නිආරච්චිගේ භාර්යාවගේ සොහොයුරියක සමග විවාහ වූ ඔහුට කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ ගුරුවරයෙකු සංවිධාන කළ ශ්‍රමදානයක් නරඹන්ට අවස්ථාව ලැබීම අහඹු සිද්ධියකි. එය හෙට්ටිපොල කනතොලුව ගමේ පැවැත්වුණි. මේ කාලයේ මරදානේ නැවතී සිටි ආරියරත්න ප්‍රදේශයේ ජනප්‍රිය දේශපාලනඥයෙකු වූ ආර්. ප්‍රේමදාසට පක්ෂව සිටියේය. ප්‍රේමදාස, ශ්‍රමදාන කරන ආරියරත්නට අගුණකොළපෑලැස්සේ ජීවවායු ව්‍යාපෘතිය ඇරඹීමට සහාය දුන්නේය.

බොහෝ ශ්‍රී ලාංකිකයින් ඉහළ නැග ඇත්තේ ඉන්දියාවේ පිහිටෙනි. ලංකාවේ සංගීතඥයින් හා කලාකරුවන් උදාහරණ දෙකකි. ආරියරත්න ඉහළට නැග්ගේද ඉන්දියානුවෙකු විදිහටය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ක්‍රීඩා පිටියේ පැවැති සර්වෝදය වැඩමුළුව එහි එක් අවස්ථාවකි. ඊට සහභාගි වූ ආරියරත්න තමාගේ සර්වෝදය ව්‍යාපාරය විනෝබා භාවේගේ ප්‍රතිපත්තිය මත දෙපා තබාගෙන ක්‍රියාත්මක වන්නකැයි කීවේය.

විනෝබා භාවේ ධනවත් නීතිඥයෙකි. මහත්මා ගාන්ධිගේ ප්‍රධාන අනුගාමිකයකු වශයෙන් ඉන්දියාවේ නිදහස් සටනේ නියැළි ඔහු අවිහිංසාව, මානව හිමිකම්, ආදී ඉන්දියානු ධර්ම ශාස්ත්‍රයන් කිහිපයක් පදනම් කරගෙන සමාජ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉදිරිපත් කළේය. ඔහු ‘භූදාන්’ ව්‍යාපාරය ඇරඹූයේ ඉඩම් නැති මහජනයාට භුමියේ හිමිකම ලබාදීමටයි. ‘ශ්‍රමදාන්’, සියලු වැසියන්ට ආලෝකය (සර්වෝදය) ලබාදීමේ අදහසින් ඇරඹූවකි.

ආරියරත්න ජනප්‍රිය වන විට බටහිර යුරෝපා රටවල තානාපති කාර්යාල කිහිපයකම ඇස් ඔහු වෙත යොමු විය. කන්ටෝස්කි, ජර්මනියේ ඊබට් නොයිමාන් පදනමේ දූතයෙකි. බිෂොප්, ජර්මනියේ පෙඩ්රික් ඊබට් පදනමේ ඉත්තෙකි. දෙවැන්නා, ආරියරත්නට ඕලන්දය හා සම්බන්ධකම් සකසා දුන්නේය. ආරියරත්න පළමුව පෙනී සිටින්නේ මෙම රටවලට බතික් රෙදි ගෙන යන සුළු වෙළෙන්දෙකු ලෙසිනි. පිලිපීනයෙන් රමෝන් මැග්සායිසායි තෑග්ග ලැබූ ඔහු විනෝබා භාවේ අමතක කර මුදල් ගලන බටහිර පැත්තට හැරුණි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ප්‍රසිද්ධ සභාවක දේශනයක් කළ ආචාර්ය සුසන්ත ගුණතිලක, ඒ. ටී. ආරියරත්න මුදල් උපයන මගඩි ගැන සවිස්තරාත්මකව පැහැදිලි කළේය. ඔහුට ආරියරත්නගේ මුල්‍ය වංචා තොරතුරු කවුරුන් ලබාදුන්නේද ඉන්දියාවට හිතැති පිරිසක් ඔහුව මෙහෙයවූවේද යන ප්‍රශ්න විමසුමට ලක් වී නැත. දේශනයෙන් පසුව ගුණතිලකට රැකියාව අහිමි විය. මේ අතර ආරියරත්න, ජනාධිපති ජේආර්ට පැමිණිල්ලක් කළේය. ගුණතිලකගේ දේශනයෙන් ආරියරත්නට හානියක් වී දැයි සෙවීමට පත් කෙරුණු බ. කු. මහදේව ඒක පුද්ගල කොමිසම එහි ප්‍රතිඵලයකි. කොමිසම ආචාර්ය සුසන්ත ගුණතිලක නිවැරැදි යැයි තීරණය කිරීම, ආරියරත්න වංචනිකයෙකු යැයි තීරණය කිරීමකි. ජනාධිපති ධුරය දක්වා යන්නට සූදානමින් සිටි ආරියරත්නගේ ගමනට තිරිංග වැටුණි.

ශ්‍රී ලංකා දේශපාලනයේ මෙවැනි දේ සිදු වේ. මහින්ද රාජපක්ෂ චීනයට ළංවී චීන සබ්මැරීනවලට ලංකාවට පැමිණීමට අවසර දීම ඉන්දියාවේ උදහසට හේතු විය. එහි ප්‍රතිඵලය වූයේ රාත්‍රියේ ඔහු සමඟ සිනා සිසී ආප්ප කෑ මෛත්‍රීපාල සිරිසේන, පසුදින ඉන්දියානු කබායකින් සැරසී ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමයි.

‘වික්සිත් භාරත්’ යනු ඉන්දියාවේ බුද්ධිමතුන් විශාල පිරිසක් එකතුවී ජාතිකත්වය පදනම් කරගෙන පිළියෙල කළ ඥාන සංග්‍රහයකි. එය විකසිත වන්නේ ඉන්දියාව සංවර්ධිත රටක් කරමිනි. එවිට ඉන්දියාවේ නිපදවනු ලබන භාණ්ඩ, රටවැසියා, බුද්ධිය සහ සංස්කෘතිය අවට රටවල් වෙත ගලා යයි. ශ්‍රී ලංකාව වැනි රටවල් ඉන්දියාවේ ප්‍රාන්ත බවට පත්වේ. ඉතා සැලකිල්ලෙන් විමසා බලන්නෙකුට, ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදය පංතිය මගින් කීවේ මෙම ගලායාම ගැන බව වැටහේ.

ඒ ජවිපෙ ඝාතනයට ලක්ව බොහෝ කලකි. එහි ඇට කැබලි ඔසවා පෙන්වන මාලිමාවේ නායකයින් වී සිටින්නේ බලය වෙනුවෙන් ලංකාවේ භූමිය වුව පවාදීමට සූදානම් පිරිසක් බව බොහෝ දෙනා පවසති. මේ පිරිහුණු දේශපාලකයින් ගැන බටහිරුත් දනිති. ඉන්දියාවත් දනී. ඉදිරි කාලයේදී මාලිමාවත්, ආරියරත්න පරිද්දෙන්, ණය සහ මුදල් දෙන බටහිරුන්ට ගොදුරු වේ. නිදහස් උළෙලට නාමල් රාජපක්ෂව ඔරිස්සාවට කැඳවීම ඊට ඉන්දියාව සූදානම් බව ඇඟවීමකි. බටහිර බලවේගද සටනට අවතීර්ණව සිටිති. ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්විද්‍යාලවලින් නාමල්ට දේශන සඳහා ඇරියුම් ලැබෙන්නේ එබැවිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top