ඕල්කොට්ගෙ කාලෙ පටන් සිංහල බෞද්ධයා අඳින ඇඳිල්ලක්!

Last Updated on 7 hours by admin

බටහිර රාජ්‍යයන්හි පැතිරෙන ජාතික ව්‍යාපාර සියල්ලකටම පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ඉස්ලාම් විරෝධය, ඒ අතර කැපී පෙනෙන්නකි. ඊට හේතුව ක්‍රිස්තියානි සංස්කෘතිය යටකර ගෙන ඉස්ලාම් සංස්කෘතිය වේගයෙන් පැතිරෙන බව බොහෝ බටහිර යුරෝපීන් තේරුම් ගැනීමයි. නොතේරීම හා ඇත්ත වටහා නොගැනීම සිංහලයන් බොහෝ දෙනෙකුගේ පොදු ස්වභාවයයි. මේ යුරෝපීන්ටත් තිබුණ අසනීපයකි. ලන්ඩනයේ නගරාධිපතිකම ඉස්ලාමිකයෙකුට හිමිවීම, එහි ප්‍රතිඵලයකි. තව කලක් යනවිට පැරිස්, මැඩ්රිඩ්, ඇම්ස්ටර්ඩෑම් වැනි නගරවලත් මෙය සිදුවන්නට ඇති ඉඩකඩ බොහෝය. කොළඹ බලය ඉස්ලාමිකයන් අතට පත්වීම කාලයකට පෙර සිදු වූවකි. බ්‍රිතාන්‍ය පාලන කාලයේ කොළඹ සිංහල බෞද්ධයන්ගෙන් පිරී පැවති නගරයකි.

ඒ කාලයේ පිටකොටුවේ හරස් වීථි සියල්ලක්ම සිංහල ව්‍යාපාරිකයන්ගේ කඩ සාප්පුවලින් පිරී තිබුණි. ඔවුන් අතරින් වැඩි දෙනෙක් ඇමරිකාවේ සිට පැමිණ කර්නල් ඕල්කොට් පිහිටුවූ කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සංගමයේ සාමාජිකත්වය ලැබූහ. ඔවුන්ගේ ළමයින්ට ඉංග්‍රීසි ඉගැන්වීමට, පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම විසින් කොළඹ ඉංග්‍රීසි පාසලක් අරඹන ලදි. ඒ ඉංග්‍රීසි පිස්සුව දැන් රටටම බෝවී හමාරය. සිංහල නොදන්නා තමන්ගේ ළමයා ඉංග්‍රීසි කතා කරන හැටි දකින මෝඩ දෙමව්පියන්ට ඇති වන්නේ පුදුම සතුටකි.

ඇන්. ඇම්., කොල්වින් වැනි පැරණි සමසමාජකාරයින් ගෙවල්වල කතා කළේත් ඉංග්‍රීසියෙනි. වාසුදේවගේ පරපුරට අයත් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගේ ඇඳුම බටහිර රටවල නාකි සුද්දන්ගේ ජංගි ඇඳුම් මෝස්තරයයි. එයින් ප්‍රකාශ වන්නේ පරගැතිභාවයයි. ඉංග්‍රීසි ලෝක භාෂාවක් වන්නේ බ්‍රිතාන්‍යය ලෝක බලවතා වූ හෙයිනි. ඇමරිකාවේ නිවාස නැති (හෝම්ලස්) යාචකයින් සිඟමන් යදින්නේත් ඉංග්‍රීසියෙනි.

බ්‍රිතාන්‍ය සමයේ ඉංග්‍රීසියෙන් ඉගෙනුම ලැබූ සිංහල ව්‍යාපාරිකයන්ගේ දූදරුවන් වැඩි දෙනෙකුට එංගලන්තයට යාමේ ආශාව ඇති විය. එසේ ගිය සමහරු මිය ගොස් ඇත්තේ කුලීකරුවන් ලෙසිනි. මේ අතර දරුවන් රට යැවූ කොළඹ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකුට සිය ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන යාමට නොහැකි විය. හුදෙකලා වූ ඔවුන්ගෙන් වැඩි පිරිසක් අන්තිම කැමති පත්‍රයක් ලියා බෞද්ධ සංවිධානයකට පින් තකා ගෙවල් දොරවල් පරිත්‍යාග කර මිය ගියහ. බෞද්ධ සංවිධාන මෙහෙයවූවන් අතර, සංගමයට පිනට හිමි වූ ගෙවල් දොරවල් හොර රහසේ අබෞද්ධයන්ට අලෙවි කරන පිරිසක් සිටියහ. කොළඹ පොළොව ඉස්ලාමිකයන් අතට පත් කරන්නට මුල් වූ පිරිස අතර ඔවුන් කැපී පෙනේ.

යටත් විජිතවල ව්‍යාපාරිකයන්ගේ දරුවන් වශයෙන් තරුණ තරුණියන්ට බටහිර යුරෝපයට එන්නට හැකි විය. ක්‍රිස්තියානින්ට නොතේරුන නමුදු, කුරුස යුද්ධවලින් පරාජය වූ ඉස්ලාමිකයෝ මෙම ක්‍රියාවට සංවිධානාත්මකව සම්බන්ධ වූහ. මේ නිසා බටහිර යුරෝපයේ හැම රටකම ප්‍රධාන නගරයන්හි සංක්‍රමණික ජනතාවක් ඇති විය. මෑත කාලයක මෙම රටවල ආර්ථික අර්බුද ඇති වන්නේ එම සංක්‍රමණිකයන් නිසා නොවේ. යුරෝපීයයන්ට යටත් විජිත අහිමි වීම හේතුවෙනි. එනිසා ඔවුන්ට ධනය ලැබුණු ප්‍රධාන මාර්ගය ඇහිරී තිබේ. එහෙත් ක්‍රිස්තියානි නායකයින් අනුගාමිකයින්ට උගන්වන්නේම ගැටලුවට හේතුව සංක්‍රමණිකයන් බවයි.

දැන් යුරෝපා වැසියන් අතර සංක්‍රමණිකයන් පිටු දැකීමේ දේශපාලන ව්‍යාපාර (‘නැෂනලිසම්’ නමින්) ජනප්‍රිය වෙමින් පවතී. එහි ආගම්වාදී චින්තනයක් පවතින නමුදු මාධ්‍යකරුවන් මේවා හඳුන්වන්නේ ජාතික ව්‍යාපාර ලෙසිනි. ඒවායේ බලපෑම නිසා යුරෝපයේ රටවල බොහෝ ආණ්ඩු ඉස්ලාම් සංස්කෘතිය පාලනය කිරීමට පියවර ගනිති. පෘතුගාල රජය බුර්කාව තහනම් කිරීම ඉතා මෑතකදී සිදු වූවකි. ඒ අනුව පෘතුගාලය තුළ බුර්කාවෙන් සැරසී පාරට බැස පොලිසියට හසුවන ඕනෑම කාන්තාවකට ලොකු දඩයක් ගෙවන්නට සිදු වේ. ප්‍රංශය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව, බෙල්ජියම යන රටවලද බුර්කා තහනම් නීතිය යම් යම් ක්‍රමවලට ක්‍රියාත්මකය.

පෘතුගාලයේ බුර්කා තහනම නිසා රටේ සුළු ආගමික කණ්ඩායමක් වන ඉස්ලාමිකයන්ට අසාධාරණයක් වන බව කියවෙන ලිපි පසුගිය කාලයේ ලංකාවේ පත්තර කිහිපයක දක්නා ලැබුණි. එය සිංහල බෞද්ධයන්ව රැවටීමට ඉදිරිපත් කළ බේගලයකි. සියලුම ඉස්ලාම් රටවල් කරන්නේ කුමක්ද? ඔවුහු අන් ආගම් පාලනයට හා ඉස්ලාම් නොවන ආගමික සිතුවිලි රටට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ දරති. අතීතයේ බෞද්ධ රටක් වූ නමුදු වර්තමානයේ මාල දිවයිනට බුදුරුව අඩංගු පොතක් පතක් ගෙන යාමට නොපුළුවන.

ඉස්ලාම් රටවල් මෙලෙස කටයුතු කරන අතර, හෙදි සේවයේ යෙදෙන ඉස්ලාම් කාන්තාවන්ට ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන පරිදි නිල ඇඳුමක් පිළියෙළ කරගන්නට නිදහස ඇතැයි විජිත හේරත් ඇමති උලමාවරුන් පිරිසක් ඉදිරියේ කියයි. මොහු බලයට එන්නට පෙර, තටමන ඉංග්‍රීසියෙන් ලංකාවේ නීතිය සිංහලයන්ට වාසිදායක අයුරින් ක්‍රියාත්මක වන බව බීබීසීයට කීවේය. නමුත් රැල්ල නිසා මෙවැන්නන්ගේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට බොහෝ සිංහලයන්ට නොපුළුවන් විය. එහි විපාකය ඉදිරියේදී ඔවුන්ගේ දරු මුනුපුරන්ට නිසැකවම විඳින්නට සිදු වේ.

හිජාබයෙන් රැකියාවට එන මුස්ලිම් හෙදියන් ශ්‍රී ලංකා සමාජයේ ආගමික අර්බුදයක් ඇති කරවීමට හේතුවකි. අර්බුද ඇතිකර රටවල් දුර්වල කිරීම බටහිර දේශපාලනයේ ලක්ෂණයකි. දුර්වල දේශපාලනඥයන් රටක බලයට පත් කිරීම ඊට ලේසිම මගයි. මහජන බලවේගයකින් මාලිමාව ජයගත්තා යයි සිතුවාට ජාත්‍යන්තරය සිතන්නේ එසේ නොවේ. ඔවුන් සිතන්නේ රටවැසියන්ගේ නූගත්කමින් දුර්වල පාලකයින් බලයට පත් වූ බවයි. ඉස්ලාම් කාන්තාවන්ට හිජාබයෙන් හෙදි සේවයට එන්නට අවසර ලැබීමෙන් ලංකාවේ සිංහල බෞද්ධ බලයේ බිඳ වැටීමක් සිදු නොවේ. එහෙත් රටේ අනිකුත් ජනතාව සමග සාමයෙන් ජීවත් වන මුස්ලිම් ජනතාව ගැන වැරදි අදහසක් ලොවට ප්‍රකාශ වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top