‘කකුලේ හැඩයට සපත්තුව මසා ගත යුතුය’- රෝහණ විජේවීර

Last Updated on 18 hours by admin

(අපි ලෙනින් කියවමු – 2)

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ජේආර්, කොබ්බෑකඩුව හා විජේවීර
Pic. Credit: jrjc.lk

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක පැවැත්වෙන ’මහා මැතිවරණය’ එරටේ ආණ්ඩු බලය වෙනස් කරන ප්‍රධාන සාධකයයි. කොමියුනිස්ට් හෝ ඒකාධිපති හෝ රටක මහාමැතිවරණයක් පැවැත්වුවද රාජ්‍ය බලයේ වෙනසක් කිරිමේ හැකියාව රටේ මහජනයාට නැත. පසුගිය මහා මැතිවරණයෙන් ලංකාවේ ආණ්ඩු බලය දිනා ගැනීමට මාලිමාවට හැකි විය. ’අපේ අරමුණ රාජ්‍ය බලය ලබාගැනීම’ යැයි පසුගිය දිනෙක ලාල්කාන්ත ඇමතිවරයා කීවේය. එහි තේරුම ඔහු නියෝජනය කරන ජවිපෙ හෝ සමස්ත මාලිමාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය නොපිළිගන්නා බවයි. එනිසා ලංකාවට ඇත්තේ වියවුල් දේශපාලන අනාගතයකි.

ලෙනින් රුසියාවේ රාජ්‍ය බලය හිමිකර ගත්තේ මැතිවරණයකින් නොවේ. රහසිගතව ගොඩනැගූ කොමියුනිස්ට් පක්ෂය මෙහෙයවමින් සන්නද්ධ අරගලයක් කිරීමෙනි. ‘ඔක්තෝම්බර් විප්ලවය’ යනු එයයි. ජවිපෙ 1971 අප්‍රේග් 05 වැනිදා උත්සාහ ගත්තේ එවැනි සන්නද්ධ අරගලයකටයි. ‘කකුලේ හැඩයට සපත්තුව මසා ගත යුතු බව’ කී විජේවීර, රුසියාව, චීනය, කියුබාව ආදි රටවල විප්ලවය සිදුවූ හැටි කියමින් ලංකාවේ පොලිසි හා හමුදා කඳවුරුවලට එකවර පහරදීමෙන් රාජ්‍ය බලය අල්ලා ගත හැකි බව ජවිපෙ සාමාජිකයන්ට තේරුම් කළේය. ජවිපෙ ‘පස් වැනි පන්තිය’ ලංකාවේ සන්නද්ධ අරගලය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකි.

ලෙනින් මෙහෙයවූ රුසියානු අරගලයට සහභාගිවූ කොමියුනිස්ට් සාමාජිකයන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ සාර් රජු සහ ඔහුගේ පවුලයි. ඔවුන් ඒ කටයුත්ත නිම කළේ රජ පවුලට සම්බන්ධ හැම නිලධරයකුම ඝාතනය කිරීමෙනි. එයින් නොනැවතුන විප්ලවවාදියෝ, ජයඝෝෂා නගමින් ඔවුන් ධනපතියන් යයි පිළිගත් රුසියානුවන් සහ ඔවුන්ගේ බල්ලන් බළලුන් කුරුල්ලන් ආදි සුරතල් සතුන් පවා මරාදැමූහ. එය ආදර්ශයක් කරගත් ගම් නගරවල වෙසෙන කාඩර්වරු රුසියාව එකම ලේ විලක් බවට පත් කළහ. පෙට්ටිකඩකාරයෙකුට වත් ඔවුන්ගෙන් නිදහසක් නොලැබුණි.

ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ෂවුලින් පන්සලේ භික්ෂුණ් වහන්සේ නමකට වත් චීන විප්ලවවාදින්ගෙන් ගැලවීමක් නැති විය. ඇමරිකාව ෂවුලින් ආත්මාරක්ෂක සටන් කලාව ගැන දැනගත්තේ විප්ලවය අවස්ථාවේ හොංකොංවල වැඩ සිට දිවි බේරාගත් ෂවුලින් භික්ෂූන් වහන්සේලා කිහිප නමකගෙනි. කියුබාවේත් මීට සමාන දෙයක් සිදු විය. දහස් ගණන් කියුබානුවෝ ඔරුවල නැගී රටින් පැනගත්හ.

හිට්ලර් යටතේ ජර්මනියේ සිදුවූ මිනිස් සංහාරය පිළිබඳ බොහෝ තොරතුරු ලෝකයා දනිති. ඊට වඩා බරපතල මනුෂ්‍ය සංහාරයක් ලෙනින් යටතේ රුසියාවේ සිදුවූ බව දන්නේ ඉතා ස්වල්ප පිරිසකි. ලෝක යුද්ධය විසින් ජර්මනියේ හිට්ලර්ව පැරදවීමට මිත්‍ර සන්ධානයක් ඇති කිරීම ඊට හේතුවයි. රුසියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය යන රටවල් ඒ හවුලේ සාමාජිකයෝ වූහ. ඔවුන්ට යුද මාධ්‍ය ප්‍රතිපත්තියක් තිබුණි. එයින් හිට්ලර්ගේ අපරාධ ඔප දමා ලෝකයට ඉදිරිපත් වූ අතර ලෙනින්, ස්ටාලින්, චර්චිල් ආදීන් කළ අපරාධ සඟවන ලදි.

සත්‍යජිත් රායි, කලක් ලංකාවේ චිත්‍රපට විචාරකයින් අතර අතිශයින් ජනප්‍රිය සිනමාවේදියා වූයේය. ඉන්දියාවේ ජාතික නිදහස් ව්‍යාපාරයේ සාමාජිකයෙකු වූ සත්‍යජිත් රායි බෙංගලි සිනමාව භාවිත කළේ සාමය, කරුණාව, ආදරය වැනි උත්තම සිරිත් ලෝකයට පැහැදිලි කිරීමටය. මෙය විප්ලවයට වෙනස් දෙයකි. ලෝක යුද්ධය නිසා ඇතිවූ සාගතය ඉන්දියාවට කළ හානිය හා මිලියන ගණනාවක් ඉන්දියානුවන් මිය ගිය අයුර රායි පෙන්වා දුන්නේය. රායිගේ චිත්‍රපටවල කලාත්මක බව කී ලංකාවේ ප්‍රකට විචාරක ආචාර්යවරුන් පවා ඔහුගේ සිනමා කලාවේ මූලික අරමුණ ගැන කතා කළේ නැත. ශ්‍රී හර්ෂ දේවයන්ගේ ‘රත්නාවලී’ ලංකා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට නිර්දිෂ්ට ග්‍රන්ථයක්ව තිබුණි. විශ්වවිද්‍යාලයේ සිදු වූයේ, ඉන් කියැවෙන ඉතිහාස පුවත ඉවත් කර නාට්‍ය රසය විඳීමට පමණක් ඉගැන්වීම යි. රායිගේ චිත්‍රපටවලට සිදු වූයේත් එයමය.

මාටින් හයිඩෙගර් Martin Heidegger දේවස්ථාන සේවකයෙකුගේ දරුවෙකි. ඔහු භක්තිමත් කතෝලිකයෙක් වූයේය. ජර්මනියේ බිහිවූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා හයිඩෙගර් බවට වාදයක් නැත. 1933 දී ඔහු හිට්ලර් නායකත්වය දැරු නාසි පක්ෂයට බැදුණි. හිට්ලර් පරාජය වූ පසු සේවය කළ විශ්වවිද්‍යාලයෙන් ඉවත් කෙරුණු නමුදු, හෙතෙම අදටත් ජර්මන් දර්ශනවාදයේ පියා ලෙසින් සැලකේ. කාල් මාක්ස් වනාහි හයිඩෙගර්ට සමාන උගතෙකි. දර්ශනවාදියෙකි. වෙනස හයිඩෙගර් ධනවතෙකු වීමයි. මාක්ස් අන්තිම දිළඳු පවුලක උපන්නෙකි. ධනවතුන් සමග පරම වෛරයෙන් පසු වූ මාක්ස්, පන්ති ඉතිහාසයක් ඉදිරිපත් කරමින්, ‘ප්‍රචණ්ඩ විප්ලවයක් මඟින් ධනපති පංතිය පෙරළන නිර්ධන පංතිය, තමන්ට හිමි රාජ්‍ය බලය හා සියලු දේපොළ උදුරා ගන්නා බව කීවේය. එය වෛරයෙන් ජීවත් වූ මාක්ස්ගේ සිහිනයයි.

වෛරය, මාක්ස්ගේ දර්ශනයේ පදනමයි. නිර්ධනයින් ධනපතියන්ට වෛර කළ යුතු යැයි ඔහු කීවේය. ධනපතියකු වූ ඒංගල්ස් නමැත්තා මාක්ස්ව හඳුනා ගත්තේය. මුදලින් උපකාර කරමින් මාක්ස්ගේ පවුල නඩුත්තු කළ ඔහු මාක්ස්ට ළංවූයේය. ඒංගල්ස් දර්ශනවාදියෙකු හෝ ලේඛකයෙකු හෝ නොවේ. එහෙත් මාක්ස්ගේ ‘කොමියුනිස්ට් ප්‍රකාශනයේ’ පවා ඒංගල්ස්ගේ නම තිබේ. මෙය ව්‍යපාරිකයෙකුගේ තවත් හපන්කමකි. එයින් කියැවෙන්නේ දාර්ශනිකයෙකු හෝ ලේඛකයෙකු හෝ නොවූ ඒංගල්ස්, දුප්පතෙකු වූ මාක්ස්ව මුදලට ගත් බවයි. එනිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවම ඔවුන්ගේ අත්අඩංගුවට ගැනීම පුදුම විය යුතු දෙයක් නොවේ.

දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ පසුව ලෝකය කඳවුරු දෙකකට බෙදුණි. ඔවුන් අතර ඇතිවූ බල අරගලය ‘ශීතල යුද්ධය’ (කෝල්ඩ් වෝ) නමින් හැඳින්වේ. රුසියාවේ සිදු වූ ඝාතන, විලෝපන හා සංහාර ගැන ලංකාවේ සුළු පිරිසකට දැනගන්නට ලැබුණේ ශීතල යුද්ධය හේතුවෙනි. ඒ කාලයේ කොමියුනිස්ට් විරෝධි කඳවුරෙන් කොමියුනිස්ට්වාදයට බැටේ දෙන නොයෙක් කතා ප්‍රචාරය විය.

’කෘෂෙව් කොමියුනිස්ට් පක්ෂයේ රැස්විමක මුලසුන දරමින් ස්ටාලින් නිසා විනාශ වූ මිනිස් ජිවිත ගැන කියන්නට විය.

’සහෝදරයා ඒ කාලෙ ඇයි ඕව නොකිව්වෙ ’ සභාවෙන් ප්‍රශ්නයක් මතු විණි.

’ඒ ප්‍රශ්නය අහපු සහෝදරයා අත උස්සන්ඩ’ කාෂෙව් කීවේය. කිසිදු අතක් එසවුනේ නැත.

’දැන් පැහැදිලියි නේද මං ඒ කාලෙ කතා නොකරන්ඩ හේතුව?’ කෘෂෙව් සභාවට කීවේය.

ලෝකයේ ඕනෑම රටක කොමියුනිස්ට් පක්ෂයක ස්වභාවය මෙයයි. ආරක්ෂාව ඇත්තේ නායකත්වයට පන්දම් අල්ලන්ට පමණි.

විජේවීර යනු, සමාජවාදී කඳවුර මෙහෙයවූ රුසියාව සිය ප්‍රචාරක අවශ්‍යතා වෙනුවෙන් පිහිටුවූ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් යැවූ දිළිඳු පවුලක ශිෂ්‍යයෙකි. ඔහු රුසියාවේදී පිස්සු කෙලියේය යන්න කොමියුනිස්ට්වාදීන්ගේ කතාවකි. එහි සත්‍යතාව සොයන්නෙකුට කෘෂේප්ගේ කතාව ආදර්ශයකි. ජවිපෙ යනු තවත් කොමියුනිස්ට් පක්ෂයකි. එහි මූලස්ථානය පැලවත්තේ පිහිටුවා තිබේ. නායකයා පක්ෂය මෙහෙයවන්නේ එතැන සිටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top