කට පුක වහගෙන මාලිමාවට ඡන්දෙ දෙමු

Last Updated on 2 months by admin

‘එන්පීපී කතාව ජේවීපී ක්‍රියාව’ මැයෙන් එරික් ගාමිණී ජිනප්‍රිය නමැති මාධ්‍යවේදියා ලියූ කෘතිය කලඑළි දක්වන්නට සූදානම් කර තිබුණු උත්සවය මැතිවරණ ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් නවත්වා ඇත්තේ මේ මාසයේ මුලය. ඒ, ජවිපෙ/මාලිමාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. ලෝකයේ බිහිවූ සියලුම මාක්ස්වාදී ආණ්ඩුවල ප්‍රධාන ලක්ෂණය අදීන ලේඛකයන්ට බියවීම සහ පන්දම්කාරයින්ව එසවීමයි. මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදී හම පොරවාගත් මාක්ස්වාදී පක්ෂයකි. බලය නැතත් ඔවුන් විවේචනයට බය බව පෙන්වයි.

ඉහත කී උත්සවය සඳහා ප්‍රධාන අමුත්තන් ලෙස පැමිණි ඕමාරේ කස්සප, බෙංගමුවේ නාලක හිමිවරුන්ට අනුශාසනා පවත්වන්ට ඉඩ ලැබී නැත. දේශප්‍රේමී අදහස් ප්‍රකාශ කිරීම උන්වහන්සේලාගෙන් සිදුවන්නකි. බෙදුම්වාදීන් සහ නිරාගමිකයන් උන්වහන්සේලාට කැමති නැත.

තහනමට හේතුව වශයෙන් පෙන්වා ඇත්තේ කිසියම් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම හෝ විවේචනය කිරීම නීති විරෝධී බවයි. එය හැම දෙනාටම භාරගන්නට පුළුවන් වන්නේ මැතිවරණ බලධාරීන් වහාම අදාළ ආයතනවලට කතා කර වැසිකිළි වළක් බඳු මුහුණු පොත මැතිවරණය අවසන් වන තෙක් වසා දැමීමෙනි.

‘දිවයින’ පුවත්පතට මාලිමාවෙන් එල්ල වුන තර්ජන නිසා මාධ්‍යවේදී එරික් වැඩ තහනමට ලක්ව ඇත. ඒ අනුව විරුද්ධ මත දරන්නන් නිහඬ කිරීමට ඔළුවට මෙන්ම බඩටද මැර ප්‍රහාර එල්ල කිරීම මාලිමාවේ සටන් උපක්‍රමය බව පැහැදිලිය.

දින කීපයකට පෙර අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැරිය මාලිමාවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ යූටියුබ් ක්‍රියාකාරිකයකු, මාලිමාව විවේචනය කරන හාමුදුරුවරුන්ට තග පාට් එකක් දැම්මේය. ‘යූරියා සමන්ත, මිහින්තලේ ධර්මේ, මහමෙවුනාවේ ඥානේ වගේ විෂබීජ බොරුවට හැප්පෙන්නට ආවොත් සිවුරු ගලවා නැගිට ගන්නට බැරිවෙන්නම ගහන බව’ ඔහු කියයි.

15 කට අධික මාලිමා ආධාරකරුවන් පිරිසක් ප්‍රචාරක කටයුතු සඳහා තම නිවසට පැමිණි අවස්ථාවේ එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව පහදා දෙන්නට ගිය හෝමාගම පිටිපන පදිංචි, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසා, ගුටි නොකා බේරී ඇත්තේ යාන්තමිනි.

ඉස්සර නම් මෙවැනි සිදුවීම්වලට විරෝධය පළ කරන්නට ඉදිරියට පනින, ලේඛකයින්, හා මාධ්‍යවේදීන්ගේ අඩුවක් නොවීය. තවමත් ඔවුන් එක්වූ සංවිධාන තිබේ. නමුත් ඒ කිසිවෙකුගෙන් හාවක් හූවක් නැත. නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමය එරික් ගාමිණීට එල්ල වුණු මැර ප්‍රහාරවලට විරුද්ධව හීන් කෙඳිරියක් නගා තිබුණි. මෙයින් පෙනෙන්නේ, එබඳු පුද්ගලයින් සහ සංවිධාන විරෝධතා පාන්නේ ඔවුන්ට රිදෙන විට පමණක් බවයි. දේශප්‍රේමී අදහස් ඉදිරිපත් කරන මාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු හෝ කලාකරුවකු යම් වැදගත් දෙයක් ඉදිරිපත් කළ විට ඔවුන්ට රිදේ.

දේශපාලන සාකච්ඡා සඳහා තම වැඩසටහනට කැඳවන දේශපාලකයන්ට ඇන්ඩි රොබට්, බ්‍රෙට් ලී, ෂොයිබ් අක්තාර් වැන්නන්ගේ වේග පන්දු බඳු දඩාර් ප්‍රශ්නවලින් ගසන, මොළේ කුඩයි කට පළලයි නාළිකාවේ නිවේදක චණ්ඩියා, අනුර කුමාර සාකච්ඡාවට ආ අවස්ථාවේ පන්දු යැව්වේ එල්ලේ තරගයකදී වගේය. එය හරියට රූප සුන්දරී තරගයක් දිනා රටට ආ තරුණියක සමග කරන ආකාරයේ හුරතල් සාකච්ඡාවකි.

මෙවැනි සිද්ධිවලින් පෙනෙන්නේ මාධ්‍යකරුවන්ගේ ගරාවැටීම සහ සමාජය භීතියට පත්වීමයි. 87-89 කාලයේ යූඇන්පියේ ශාඛා සමිතියක නිලයක් දැරීම, ආරක්ෂක හමුදාවට කෑම සැපයීම වැනි දේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට හේතුවක් විණි. ඒ මිනීමැරුම්වලට සම්බන්ධ පුද්ගලයන් මාලිමා වේදිකාවේ ගරු ගාම්භීර ලෙස පෙනී සිටින බව දකින, මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුවහොත් ඒ සඳහා මැදිහත් වීමට මාලිමාවේ කොට්ඨාශ බල මණ්ඩලවලට හැකියාව ඇති බවට අනුර දිසානායක පාරම්බානු අසන, බොහෝ අයට එබඳු භීතියක් ඇති වීම අසාධාරණ නැත. නමුත් දෙපයින් හිටගෙන ඉන්නට දත කන බව පෙන්වූ අය නිශ්ශබ්දව සිටීම නම් අනුමත කරන්නට නොහැකිය.

ප්‍රංශයේ වෙසෙන ලේඛකයකු වන රෝහිත මුණසිංහ බෝධි සභාවට ලියූ ලිපියකින් පෙන්වා දී තිබුණු පරිදි, මාලිමාවට හේත්තු වී සිටින ලේඛක ලේඛිකාවෝ කටපියාගෙන සිටිති. ඔවුන් මාලිමාවට එක් වන්නට එක් හේතුවක් හැටියට කියන්නේම, සාධාරණ, වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක් බිහිකිරීම තමන්ගේ වුවමනාව බවයි.

මාලිමාවේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ පොතේ, දියුණු මානව සම්පතක්, සමබර තොරතුරු සමාජයක්, ගෞරවණීය වෘත්තීය ජීවිතයක් ගැන සඳහන් වේ. එවන් සමාජයක් බිහිකිරීමට නම් අදහස් ප්‍රකාශ කිරීමේ, විවේචනය කිරීමේ හා විරුද්ධ අදහස් දැරීමේ අයිතිය තහවුරු වී තිබිය යුතුයි. එය වඩාත් හොඳින් කළ හැක්කේ මාධ්‍යවේදීන්ට හා ලේඛක ලේඛිකාවන්ටය.

බයට පත්කිරීම, බියවීම හා ‘අපේ පැත්තේ එවුන් මොන බලු වැඩේ කළත් කමක් නෑ’ යන සිතුවිල්ල මාධ්‍යකරුවන්, ලේඛකයන් වෙලාගත් අසනීපයක් නම් එය යහපත් රටක් හැදීමට බරපතළ බාධාවකි. මේ තත්වය, අප දීර්ඝ කාලයක් මුළුල්ලේ අත්දකිමින් සිටි තත්වයේ වඩාත් අයහපත් වර්ධනයකි. යහපත් රටක් හැදීමට අපේක්ෂා කරන කවුරුන් හෝ වේ නම් වහාම කළ යුත්තේ කාගේ වුනත් මැරකම්වලට විරෝධය පළ කිරීමයි. එසේ නොවුන හොත් මුරබල්ලන්ටත් මුරදේවතාවුන්ටත් කන්ඩ පනින මේ දඩබල්ලන්, මෙල්ල කරන්නට නොහැකි පිස්සු බල්ලන්ගේ තත්ත්වයට පත්වනු ඇත.

ඉස්සර සමහර කෛරාටියෝ ‘කට පුක වහගෙන ඉන්න එක ඇඟට ගුණයි’ කියා ඇඟ බේරාගන්නා ක්‍රමයක් ඉදිරිපත් කළහ. ඒ න්‍යායට අනුව මාලිමාවට ඡන්දය දෙන ලේඛක ලේඛිකාවන්, මාධ්‍යවේදීන් වේදිනියන්, මේ මැරකම් ඉදිරියේ කට පුක වහගෙන ඉන්නේ රට හැදීමටවත් යහපත් සමාජයක් බිහිකිරීමටවත් නොවේ. බය, නෝන්ජල්කම හා වාසිය හේතුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link