Last Updated on 3 days by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක
ඡද්දන්ත ජාතකය දැක්වෙන අජන්තා ලෙන් සිතුවමක් (අංක 10 සිතුවම)
සති කීපයකට පෙර, කෘෂිකර්ම ඇමති ලාල්කාන්තා සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින්, වගා බිම්වලට එන වනසතුන්ට කැමති දෙයක් කරන්නැයි වගාකරුවන්ට කීවේය. එය දේශපාලන නායකයෙකු විසින් නොකළ යුතු වැරදි උසිගැන්වීමකි. ඒ කතාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් මස්පාතාලයන්, එදා පටන් නීතියක් නැතිව සතුන් දඩයම් කිරීම අරඹා තිබේ. බස්නාහිර පළාතේ මස්කඩ බොහෝමයක මුව, ගෝන, වල්ඌරු ආදී මස් විකිණීම රහස් වැඩක් නොවේ.
චීනයේ සංස්කෘතික විප්ලවය ඇරඹූ හතර දෙනාගේ කල්ලියේ නායකයෝද මෙවැනි කතා කියා ජනතාව උසිගැන්වූහ. ‘මංසන්ධිවල වාහන හැසිරවීමට සවි කර ඇති රතු එළිය, නැවතීමට නොව යෑමට සුදුසු සංඥාව යැ’යි එකෙකු කීවෙන්, මිනිස්සු මහාමාර්ගවල පිස්සු නැටූහ. එනිසා ඒ කාලයේ චීනයේ බොහෝ මාර්ග අනතුරු සිදු විය. ලාල්කාන්ත ඇමති සහෝදරයාගේ කතාවෙන් පසුව, ආරක්ෂ හමුදා, වනජීවි ආරක්ෂකයන් සහ වගාකරුවන් එක් වී අලින් එළවීම අරඹා තිබේ. එය තනිකරම වනසතුන්ට එරෙහිව නැගුණු සුනාමියකි.
29 වැනිදා, ‘සති අග අරුණ’ පුවත්පතේ ’කැලයට පන්නන අලින්ගේ කන් නෑසේ’ උද්ධෘතයෙන් ලිපියක් පළව ඇත. අලි ඇතුන් බිහිරන් වන්නට හේතුව ස්වභාවික විපතක් නොවේ. එය උන් අභය භූමිවලට කොටු කිරීමට පුපුරවනු ලබන වෙඩි කන්දරාවේ ප්රතිඵලයකි. සිංහල ඉතිහාසයේ කවර කලක වත් වන සතුන්ට මෙවැනි විපතක් සිදු වී නැත. ලාල්කාන්ත සහෝදරයා නිවැරදි ජවිපෙ නායකයකු වූයේ නම් කළ යුතුව තිබුණේ වනසතුන්ට, කුරුල්ලන්ට පමණක් නොව කුරාකූඹියන්ටත් වින කරන අනවශ්‍ය වෙඩි හා රතිඤ්ඤා පත්තු කිරීම වැළැක්වීම හා ඒ ගැන ජනතාව දැනුම්වත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් ඇරඹීමයි. දැන් මේ කරන්නේ තනිකරම බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මග යාමකි.
ඡද්දන්ත ජාතකයේ ඇතා දළ දෙක දන් දෙන්නේ බුදු බව පතමිනි. ඒ දහමින් පෝෂිත සිංහල බෞද්ධ චින්තනයට අනුව, අලියා වනසතුන් අතර වඩාත්ම සංවේදී සත්වයා වූයේය. ඔවුන්ට හස්තියා, බෝසතෙක් වූයේය. ‘කන්දේ කකා ලද්දේ යන බෝසත්තු’ වැනි කව්වලින් අනාවරණය වන්නේ ඒ චින්තනයයි. පාරිලෙය්‍ය වනයේ විසූ හස්තියෙකු එහි වැඩම කළ බුදුන්ට උපස්ථාන කළ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. ‘බීරි අලින්ට වීනා ගායනා කරනවා වැනිය’ යන්න අපේ පැරණි උපහැරණයකි. එයින් කියැවෙන්නේ අලි ඇතුන් ගායන වාදනවලට ප්‍රිය කරන බව පැරැන්නන් දැැන සිටි බවයි. හේන් මායිම්වලට එන අලි ඇතුන්, ගොවියන් පැල්වල සිට මිහිරි හඬින් ගායනා කරන පැල් කවි රසවිඳින බව පැරැන්නෝ දැන සිටියහ. වනවාසී භික්ෂුන් වහන්සේ ශබ්ද නගා දේශනා කරන පිරිත් ඇසීමට අලි ඇතුන් කැමැත්ත දැක්වූයේ යැයි පැරැන්නනෝ කියති. වර්තමානයේ ඇතැම් භික්ෂූන්, කුලප්පු වී සිටින වගකරුවන් මැදට පැන ඔවුන් තවත් කලබල කරන අයුරු රූපවාහිනී නාළිකාවලින් ප්‍රදර්ශනය වූයේය.
සතුන්ගේ කන්, ගායන වාදනවලට හුරු කිරීම වර්තමානයේ බටහිර රටවල සිදුවන්නකි. මෙය පැරණි සිංහලයන්, නූතන ලෝක වාසීන්ගේ දැනුමෙන් කටයුතු කර ඇති බවට සාක්කියකි. රටවැසියන් වැඩි පිරිසකට ඒ ජාතික දැනුම නැති වන්නට ප්‍රධාන හේතුව ඔවුන්ට යටත් රටක වැසියන් වන්නට සිදු වීමයි. යටත් විජිත අධ්‍යාපනය ලැබීම දෙවැනි කාරණයයි. ලාල්කාන්ත වැනි දේශපාලනඥයින්ට වැරදුනේ යටත විජිත අධාපනය නිසා මොළය කුරුවල්වීමෙනි.
‘පාර්දේස්’ Pardes හීබෲ වචනයකි. කෝෂකරුවන් පෙන්වා දෙන ලෙසට එහි අරුත, පවුරකින් වට වූ වන බිම යනුයි. ඇතැම් ආගමික ආචාර්යවරුන් (තියොලොජිස්ට්) සිතන ලෙසට මෙයින් අදහස් කෙරෙන්නේ ‘මැවුම්කරුගේ උයන’යි. ආදම් සහ ඒවා එම උයනේ සිටි බව සමහරු සිතති. ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් බිහි වූයේ යුදෙව් බයිබලයෙනි. මුස්ලිම් සේනාධිපතිවරු පර්සියාවේ ‘පාර්දේස්’ ගොඩනැගූහ. ඉන්දු ගංගා ප්‍රදේශවලත් ගොඩනැගූහ. පාර්දේස් වනාන්තරවලට අවසර නැතිව කිසිවෙකුට ඇතුළු විය නොහැකි විය. ඒ වටා හමුදා රැකවල් යොදා තිබුණි.
ඉස්ලාම් ආක්‍රමණ කාලයේ, ඉන්දු නිම්න ප්‍රදේශයන්හි ‘පාර්දේස්’ තුළ විසූ අලි ඇතුන්, සිංහයන්, ව්‍යාඝ්‍රයන්, කොටින්, වළසුන් මිලියන ගණනින් මරා දමනු ලැබ ඇත. පාර්දේස් යනු මිනිසුන් නිර්මාණය කළ සතුන්ගේ සිරගෙවලට භාවිත නමකි. මුස්ලිම් සේනාපතිවරු ඒවාට වැදී සිත් සේ සතුන් මැරූහ. පාරාදීසය, පර්සියානු පාරාදේස් වචනය අනුව සදාගත් සිංහල වචනයකි. කුමන අර්ථකථන සැපයූවද, පාරාදිසයෙන් කෙරෙන්නේ විනාශයකි.
‘අභය භූමිය’ පාරාදීසයේ විකෘතියකි. ලංකාවේ අභය භූමි තැනීම, බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූවකි. ඒ යහමෙට අලින් ඝාතනය කෙරුණු කාලයකි. යුරෝපීයයන්ට වැවිලි සඳහා ඉඩම් ලබා දීම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූයේය. මේ නිසා රටේ වනාන්තර විශාල ප්‍රමාණයක් එළි කෙරිණි. අභය භූමි පිහිටුවීම සිදු වූයේ පසු කලෙකය. ගත වූ කාලයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ හෙංචයියන් අභය භූමි කොල්ලකා තිබේ. වනසතුන් ගම් වැදීමට ප්‍රධාන වගකිවයුත්තන් වූ වනාන්තර මංකොල්ලකරුවන් වැරදිකරුවන්, නොකර සතුන්ගෙන් පළිගැනීම යුක්තිගරුක රජයක ක්‍රියාවක් නොවේ.
වනාන්තර අහිමි වූ අලි ඇත්තු බඩගින්න නිවා ගැනීමට වගා බිම්වලට පැමිණෙති. මෙය ප්‍රසිද්ධ කර ඇත්තේ ‘අලි මිනිස් ගැටුම’ නමිනි.