කුස රජ්ජුරුවෝ සහ ජුලී චංග්

Last Updated on 1 week by admin

මෙහි ඇති ඡායාරුපය නිසා, කුස රජ්ජුරුවෝයි සඳහන් කළේ ඩලස් අහලප්පෙරුම හැඳින්වීමට යැයි වරදවා වටහා නොගත යුතුය. කුස රජු විරූපී මුහුණක් ඇති අයෙකි. ඉන්දු නදී ප්‍රදේශයේ බලවත් රාජධානියක විසූවෙකු නිසා කළු හමක් තිබුණ කෙනෙක්ද නොවේ. ඉහළම රණශූරයෙකි. පබාවතී වැනි සුරූපීනියකට ප්‍රේම කළෙන් මිට්ටෙකු විය නොහැකිය. කුස රජු යනු එඩිතර, නිර්භීත අයෙකි. කුස රජු කිසිම ආකාරයකින් ඩලස්ට සමාන කිරීමට නොහැකිය.

ශක්‍රයාගේ උපායක් නිසා පබාවතී කුමරිය ලබාගැනීම සඳහා අවට සියලු රාජධානිවල කුමාරවරුන් පැමිණ ඇගේ පියාගේ රාජ්‍යය යටත් කරගැනීමට සැරසේ. එවිට, කුස රජු ඇතා පිටින් ඔවුන් ඉදිරියට පැමිණ, ’මමයි කුස රජු’ යැයි ගර්ජනා කරයි. සියලු කුමාරවරු කුසගේ අණ පිළිගනිති. ඔවුන්ටද මදු කුමරියන් පාවා ගැනීමට ඉඩ ලැබේ. මේ සියල්ල සැලකිල්ලට ගත් විට, කුස රජු යනු සංකේතයකි. තේජෝ බලපරාක්‍රමයෙන් යුතු, අන් කිසිවෙකුට පරාජය කිරීමට නොහැකි යැයි පිළිගැනීමක් ඇති සංකේතයකි. කුමාරවරුන් යටත් වූයේ ඒ සංකේතයට බියෙනි. ඩලස් කිසිම ආකාරයකට එවැනි සංකේතයක් නොවේ.

ජුලී චංග් සංකේතයකි. ඇය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියයි. ඇමරිකාවට ලෝකයේ ඇති පිළිගැනීම නිසා ජුලී චංග්ද මහා බලවන්තියක බවට පත් වේ. ඇමරිකාවට ලෝකයේ ඇති පිළිගැනීම තවමත් එලෙසම පවතී. චීනයේ හෝ රුසියාවේ හෝ එංගලන්තයේ හෝ තානාපතිවරයෙකුට ඇමරිකානු තානාපතිට තරම් පිළිගැනීමක් තවමත් නැත.

අරගල කානිවලය සමයේ පටන්ම මාලිමාට බලයට ඒම සඳහා ඇමරිකානු තානාපතිනිය මැදිහත් වූ බව පොදු සමාජයේ විශ්වාසය විය. ඒ විශ්වාසය, අනුරගේ ජනාධිපතිවරණට මෙන්ම මහමැතිවරණ ජයග්‍රහණයටද බලපෑවේය. ජවිපෙ ප්‍රධානත්වයෙන් යුතු පක්ෂයකට බලය ලබාදීමට හෝ බලයේ රැඳී සිටීමට ඇමරිකාවට අවශ්‍යතාවක් නැති බවත් ලැබෙන පළමු අවස්ථාවේදීම ජවිපෙ පාලනය බිඳදැමීමට ඔවුන් කටයුතු කරනු ඇති බවත් අප මෙයින් පෙර පැහැදිලි කර ඇත. දැන් එය නිවැරදි බවට සාක්ෂි මතුවේ.

පසුගිය දින කීපයේ ජුලී චංග් ශ්‍රී ලංකාවේ දේශපාලන චරිත කීපයක් හමු වී තිබේ.

මැයි 19 වැනිදා ‘එක්ස්’ පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු තානාපතිනිය පවසා ඇත්තේ තමන් හා චන්ද්‍රිකා බණ්ඩාරනායක අතර හමුවක් පැවති බවයි. “අද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවීමටත්, රටේ දේශපාලන හා ආර්ථික වාතාවරණය පිළිබඳ ඇයගේ අදහස්වලට සවන් දීමටත් ලැබීම සතුටකි. ශ්‍රී ලංකාව සමග අපගේ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම මම නැවත තහවුරු කළෙමි.” යැයි තානාපතිනියගේ පණිවිඩයේ සඳහන් වේ.

එයින් දින දෙකකට පසුව 21 වැනිදා තානාපතිවරිය, තකහනියේම ඩලස් අලහප්පෙරුමගේ නිවෙසටම ගොස් ඔහු හමුවී ඇත. මේ පිළිබඳව සඳහන් කෙරෙන ඩලස්ගේ ‘එක්ස්’ පණිවිඩයක් තිබේ. මේ අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන ලේකම් ෂැච් ලොන්ස්ද සහභාගි වී ඇත. එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය, ඇමරිකාවේ නව පරිපාලනය, ආර්ථික සහයෝගිතාව හා ද්වීපාර්ශවික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බව ඩලස්ගේ ‘එක්ස්’ පණිවිඩයේ සඳහන්ය.

මැයි 22 වැනිදා ‘එක්ස්’ පණිවිඩයක් නිකුත් කරන ඇමරිකානු තානාපතිනිය මෙසේ පවසන්නීය: “අද මම එක්සත් ජනපද ආධාර වැඩසටහන්වල උපායමාර්ගික ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැති හරිනි අමරසූරිය හමුවීමි. අප දැනටමත් එක්ව අත්කරගෙන ඇති ශක්තිමත් පදනම මත සිට අපගේ හවුල්කාරිත්වය ශක්තිමත් කරගැනීමට මේ සංක්‍රාන්ති කාලය හොඳ අවස්ථාවකි. එක්සත් ජනපදය අපගේ දිගුකාලීන හවුල්කාරිත්වය බෙහෙවින් අගය කරන බවත් අපගේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවත් මම අග්‍රාමාත්‍යවරියට සහතික වීමි.”

මේ හමුවීම් දැක්වෙන ඡායාරූප සහිත ප්‍රවෘත්තියක් බෝධි සභාව මුහුණු පොතේ පළ කළ එහි සංස්කාරකවරයා, අපූරු ප්‍රශ්නයක් අසා තිබුණි. ඒ, හරිනි සහ ඇමරිකානු තානාපතිවරිය හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ රුව පසුබිමෙන් දැක්වෙන ඡායාරූපයක් ප්‍රසිද්ධ කිරීම අහම්බයක්ද යන ප්‍රශ්නයයි. එසේය, එය මේ ලිපිය ආරම්භයේ දැක්වූ ආකාරයේ සංකේතයක් විය හැකිය.

අලහප්පෙරුම හා චන්ද්‍රිකා දෙදෙනාම මේ වන විට ආණ්ඩුවකට සම්බන්ධ නැත. ඒ නිසා රටේ දේශපාලනය ගැන ඔවුන් සමග නිල වශයෙන් කතාකරන්නට දෙයක් ඇමරිකානු තානාපතිවරියට නැත. හරිනි අගමැතිවරිය බව සැබෑය. එහෙත්, ට්‍රම්ප් පරිපාලනය වියදම් කප්පාදු කරගෙන යන ආකාරය දෙස බලන විට, ඉදිරියේදි යූඑස්ඒඅයිඩී ආධාර පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකිය. ඒ පිළිබඳව ඇමරිකානු තානාපතිනියට කරන්නට හැකි දේකුත් නැත. එසේ නමුදු, ඒ පිළිබඳව නිල සාකච්ඡා පැවැත්වීමට බාධාවක්ද නැත.
එම නිසා මේ තිදෙනාගේ හමුවීම් පිටුපස වෙනත් අරමුණක් තිබෙන බවට සැක පහල වේ. පළමුව චන්ද්‍රිකාත් දෙවනුව අලහප්පෙරුමත් හමුවීම අහම්බයක් විය නොහැකිය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ ඡන්ද ප්‍රතිශතය වැඩිවීම හා රණවිරු සැමරුම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ පිළිබඳ ජනතාව කතාබහ කිරීම චන්ද්‍රිකාගේ නොසතුටට හේතුවකි. රාජපක්ෂවරයකු නැවත බලයට ඒම වැළැක්වීමට ඇය උපරිම ශක්තිය යොදවනු නියතය. ඇයට දැන් ජීවිතයේ ඇති එක් බලාපොරොත්තුවක් රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගෑමයි. අනෙක සිය පුතා දේශපාලනයට ගෙන ඒමයි.

ගෝඨාභයගෙන් පසුව ජනාධිපති වන්නට බලා සිටි ඩලස් සිටින්නේ දේශපාලන සුසාන භූමියකය. ඔහු ඇමරිකාවේ සිටි කාලයේ ක්‍රිස්තියානි කණ්ඩායමකට එකතු වී සිටි බව ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයෝ කියති. ඔහු යාච්ඥා පොත් ප්‍රදර්ශනය කරමින් පදික වේදිකාවේ සිටි බව සමහරු කියති.

මාලිමාව කෑලි 4කට බෙදී ඇති බව මේ වන විට තොරතුරු වාර්තා වේ. ඒ, අනුර පිල, ටිල්වින් පිල, හරිනි පිල හා කාටත් නැති පිල වශයෙනි. ඔවුන් එකිනෙකා එළිපිටම විවේචනය කරන තත්වයක් උද්ගතව තිබේ. ජවිපෙ 60 සංවත්සරයදා අනුරගේ කතාවෙන් මෙන්ම පසුගියදා සමාජ මාධ්‍යවල සංසරණය වූ බිමල් රත්නායකගේ වීඩියෝවකින්ද පැහැදිලි වන්නේ ඒ තත්වයයි. මේ තත්වය මත අනුරට එරෙහිව fදා්ෂාභියෝගයක් එල්ල කිරීමේ හැකියාවක් ඇති බව අපි පෙර ලිපියකින් පැහැදිලි කළෙමු.

ජුලි චංග්ට අවශ්‍යව ඇත්තේ බුදු සසුනට කටුව ගැසිය හැකි කණ්ඩායමකට බලය ලබාදීමයි. වර්තමාන ආණ්ඩුව ඊට ඉතා සුදුසු වුවද ලොකුම ප්‍රශ්නය එහි ජවිපෙ පාර්ශ්වය කොමියුනිස්ට්වාදීන් වීමය. කොමියුනිස්ට්වාදීන් බලයේ සිටිනු දැකීමට ඇමරිකාව කැමති නැත. ඒ නිසා ජවිපෙ දියකර හැරීම ජුලී චංගේ වගකීමකි. හරිනි, එංගලන්තයේ බෞද්ධ විරෝධීන් විසින් පුහුණු කරන ලද චරිතයකි. ඇය සමලිංගික විවාහ වැනි දේ අනුමත කරන බවට සමාජ පිළිගැනීමක් තිබේ.

ජුලී චංග් ඇමරිකාවේ Fuller Theological Seminary ආයතනයට සම්බන්ධ අයෙකි. මේ ආයතනය ලිංගික විවාහ පිළිබඳ එහි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නීතිමය අභියෝගවලට මුහුණ දී ඇති අතර, LGBTQ+ ගැටළු සම්බන්ධයෙන් එහි ස්ථාවරය ආයතනය තුළ සහ එවැන්ජලිකල් ප්‍රජාව තුළ අඛණ්ඩ විවාදයට භාජනය වන මාතෘකාවක් වී ඇත.

සජිත්ගේ කඳවුර බෝන් එගේන් සාමාජිකයන්ගෙන් පිරී තිබේ. ඒ අනුව, ජුලී, හරිනි, සජිත්, ඩලස් අතර යම් සම්බන්ධතාවක් පෙනේ.සජිත් ප්‍රමුඛ බෝන් එගේන් කණ්ඩායම සමග හරිනි එකතු කර ලොකු බලයක් ගොඩනැගීම මොවුන්ගේ ඉලක්කය විය හැකිය.

චන්ද්‍රිකා, ඩලස්, හරිනි තිදෙනා සජිත්ට එකතු කළහොත් ලොකු බලවේගයක් ගොඩනගා ගත හැකිය. කෑලි කැඩී ඇති මාලිමාවුන්ගෙන් හැකිතාක් පිරිස මේ සන්ධානයට එකතු කරගැනීම ඩලස්, චන්ද්‍රිකා, හරිනි තුන්කට්ටුවට පැවරෙන කාර්යයයි. ඒ සඳහා අවශ්‍ය මුල්‍යාධාර ඇමරිකාවේ ක්‍රිස්තියානි සංවිධානවලින් පොම්ප කිරීමට ජුලීට පුළුවන. බෞද්ධ දකුණු කොරියාව ක්‍රිස්තියානි කොරියාවක් වූයේද මෙවැනි මෙහෙයුමකිනි. ජුලී ඒ කොරියාවේ සිට ළමා වියේදී ඇමරිකාවට ආ කෙනෙකි. ජුලී චංග් අප සමග යැයි කීමම මේ කණ්ඩායමට ශක්තියකි. කුමාරවරුන් කුස රජ්ජුරැවන්ට යටත් වූ පරිදි, මාලිමාවේ සැලකිය යුතු පිරිසක් ජුලී චංග්ට යටත් වීමට ඇති ඉඩකඩ බොහෝය.

එමනිසා කිසිවකු බලාපොරොත්තු නොවූ දේශපාලන විපර්යාසයක් නුදුරේදීම සිදුවීමේ ඉඩක් පවතී. ඇතැම් විට විමුක්ති කුමාරතුංගගේ දේශපාලන ආරම්භයද නුදුරේදීම දැකගත හැකි වනු ඇත. මේ ආණ්ඩුවට විරුද්ධව අරගලයක් කරන්නට කලින් තරම් අමාරු නැතැයි අරගල කානිවලයේ ප්‍රධාන නළුවකු වූ පැතුම් කර්නර් සමාජ මාධ්‍යයක සඳහන් කර තිබුණි. එයින් පෙනෙන්නේ දැනටම නැට්ටුවන් වෙස් බඳිමින් සිටින බවයි. ජුලී චංග් වෙනුවට නව තානාපති ලෙස එළිසබෙත් කේ. හෝස්ට් පැමිණීමට නියමිතව තිබුණු කාලය පසුවී ඇතැයි ඇතැම්හු කියති. එය ඇත්තක් නම්, තවමත් ජුලී චංග් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති පුටුවේ ඉන්නේ මේ කාරිය ඉවර වන තෙක් විය හැකිය.

මෙය සිංහල බෞද්ධයා හොඳ සිහිබුද්ධියෙන් සිටිය යුතු වෙලාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top