කොහොල්ලෑ බබාගේ ඇලුණු ‘ත්‍රී ඉඩියෝට්ස්’

Last Updated on 6 days by admin

තරුණ තරුණියන් පිරිසක් පසුගිය සතියේ දිනක කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේ පැවැත්වූ චිත්‍රපට සන්ධ්‍යාවක තොරතුරු අඩංගු යූ ටියුබ් වීඩියෝවක් සංසරණය වෙමින් පවතී. ඊට අනුව එම අවස්ථාව සඳහා රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුණි. මෛත්‍රී වික්‍රමසිංහ දක්නට නොවීය. සාගල රත්නායක රනිල් සමීපයේ වාඩි වී සිටි නිසා සාගල ද ආරාධිතයෙකු යැයි සිතන්නට පුළුවන.

රනිල්ගෙන් පැමිණ සිටි කිහිප දෙනෙක් ප්‍රශ්න කරති. ‘ඔබ හින්දි චිත්‍රපටි නරඹනවාදැ’යි නිවේදිකාවකගේ ස්වරූපයෙන් හැසිරෙන තරුණිය අසයි. රනිල් තමා නැරඹූ පැරණි හින්දි චිත්‍රපටියක නමක් කියයි. තරුණිය, සාගල රත්නායකගෙන් ‘ත්‍රී ඉඩියෝට්ස්’ චිත්‍රපටිය ගැන අසයි. සාගල ඒ ගැන ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් කරයි. ඇය රනිල් අසලට ගොස් ඒ ප්‍රශ්නය ඔහුගෙන් අසයි. ‘දැන් කවුද ත්‍රී ඉඩියෝට්ස්ලා?’ රනිල් සිනාසෙමින් තරුණියගෙන් පෙරළා ප්‍රශ්න කරයි. අවට සිටින පිරිස සිනාසෙති.

ප්‍රතිවාදීන් ප්‍රශ්න අසද්දී ඊට විහිළුකාරයෙකුගේ ස්වරූපයෙන් පිළිතුරු සැපයීම කලක සිට දකින්නට ලැබුණු රනිල්ගේ ප්‍රතික්‍රියාවකි. මෙය ඔහු ජනාධිපති කාලයේ තදටම සිදු විය. රනිල් මෙම පුරුද්දට ඇබ්බැහි වූයේ, මෛත්‍රී හා අනුර සමග යහපාලන ආණ්ඩුව කරන කාලයේ බව අපේ මතකයයි. ඔහුට මිස්ටර් බීන් නම දැම්මේ මංගල සමරවීරය. ඒ චන්ද්‍රිකාගේ කාලයේදීය. එකල මිස්ටර් බීන්ගේ රුවට සමාන ලෙස වෙනස් කරන ලද රනිල්ගේ ඡායාරූපයක් ඇතුළත් පෝස්ටරයක ‘රනිල්ට බෑ’ යි මුද්‍රණය කර රට පුරා අලවා තිබුණි.

රනිල් තරුණියගෙන් ප්‍රශ්නය අසනු දකින්නෙකුට, රනිල් කියන්නේ කුමක්දැයි වටහා ගැනීම අපහසු නැත. එහෙත් චිත්‍රපටි සන්ධ්‍යාව සංවිධාන කළ තරුණ පිරිස කවුරුන්ද? මේ පිරිස චිත්‍රපටි සන්ධ්‍යාවක් පවත්වා ත්‍රී ඉඩියෝට්ස් ප්‍රදර්ශනය කරන්නට හේතුව කුමක්ද? වැනි කාරණා වටහා ගැනීම පහසු නැත.

‘ත්‍රී ඉඩියෝට්ස්’, ඉන්දියාවේ ප්‍රසිද්ධ වූ නවකතාවක් ඇසුරින් 2009 වසරේ නිපදවූ ප්‍රහසනයකි. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයේ, ‘ඉඩියෝට්’ යන්නට මෝඩයා, මුර්ඛයා, මුග්ධයා, මොළේ නැත්තා, මන්ද බුද්ධිකයා යන අර්ථ දැක්වෙයි. වචනාර්ථය සලකතොත් චිත්‍රපටියෙන් පෙන්වන්නේ පල් මෝඩයින් තුන්දෙනෙකු සම්බන්ධ කතාවකි. ‘ත්‍රී ඉඩියෝට්ස්’ නම අසන්නා කුමක් හිතුවත් චිත්‍රපටිය නරඹන්නා දකින්නේ පට්ට වැඩකාරයින් තිදෙනෙකි.

මීට කලකට පෙර 1922 – 1970 කාලයේ ඇමරිකාවේ ‘ද ත්‍රී ස්ටූජස්’ ඔයැ ඔයරුැ ීඑදදටැි නමින් ප්‍රහසන මාලාවක් ප්‍රදර්ශනය විය. සමහර විට ඉන්දියානු නිෂ්පාදකයාට ඇමරිකානු කොමඩි චිත්‍රපටි මාලාවේ ආකාර්ශණයත් ලැබෙන්නට ඇත. ඉන්දියානු කොමඩිය හාස්‍යයට පමණක් සීමා වූ කතාවක් නොවේ. එයින් කියැවෙන්නේ උපායශීලී ධෛර්යවන්ත ජයග්‍රාහකයින් තිදෙනෙකු ගැනයි.

වර්තමානයේ ලංකාව පාලනය කරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා, ආචාර්ය හරිනි අමරසූරිය අගමැතිවරිය හා විජිත හේරත් බහුකාර්ය ඇමති සහෝදරයා යන තිදෙනා විසිනි. ඔවුන් පලපුරුද්ද නැත්තන් බව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන තර්කයයි. ඒ කතාවේ ලොකු ඇත්තක් තිබේ. එක් මාසයක් තුළ වැරදි කප්පරක් ඔවුන්ගෙන් සිදු වී ඇත.

ඊයේ හිරු ප්‍රවෘත්ති වලට ආචාර්ය හරිනි කී ලස්සන කතාවක් ප්‍රචාරය වූයේය. එයින් කියවුනේ පුද්ගලයින් වැරදි කරන නමුත් ඔවුන්ගේ පක්ෂයට හොඳ විනයක් ඇති නිසා එවැනි වැරදි සිදු නොවන බවයි. නරියා කොහොල්ලෑවලින් බබෙකු හදා තබා බලා සිටියේය. හාවා බබා වෙත පැමිණ අත්වලින් ගැසුවේය. අත් ඇලුණි. පයින් ගැසුවේය. පා ඇලුණි. ඔළුවෙන් ගැසුවේය. ඔළුව ඇලුණි. ‘තව උඹට ගහන්ඩ මොකක්ද ඉතුරු?’ කියා නරියා ඇසුවේය.

රනිල් දේශපාලන විෂයයෙහි බුද්ධිමතකු බවට තර්ක කළ හැකිය. මෙහි දී බුද්ධිමතා යනු කවුරුන් දැයි තර්කයෙන් පැහැදිලි කිරීමට නොහැකිය. රට බෙදනවාට කැමති පිරිස අතරේ මහාචාර්වරු හා බිෂොප්වරු සිටිති. ඔවුන් උගත්තුය. බුද්ධිමත්තුය. ලංකාව පෘතුගීසීන්ට පාවා දුන් දොන් ජුවන් ධර්මපාල ඔහුගේ හිතවතුන්ට පමණක් නොව පෘතුගාලයේ රජුටත් බුද්ධිමතෙකු වූයේය. ඔහු සිංහලයන්ට ද්‍රෝහියෙකු විය. රට බෙදනවාට දේශප්‍රේමීන් කැමති නැත. ඔවුන් අතර වැඩි පිරිසක් ආචාර්යවරු නොවෙති. ඔවුන් සාමාන්‍ය මිනිසුන්ය. ගොවියෝය. ගොවි දරුවෝය. රනිල් බෙදුම්වාදයට පක්ෂ දේශපාලනඥයෙකු වශයෙන් සැලකේ.

රනිල් ත්‍රී ඉඩියෝට්ස්ලා කවුරුන් දැයි ප්‍රශ්න කිරීම මගින් වක්‍ර ආකාරයකින් ලංකාවේ පාලකයින් තිදෙනා හෑල්ලුවට ලක් කරන බවක් සමහරුන්ට පෙනේ. උදය ගම්මන්පිලත් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහගේ ත්‍රී ඉඩියෝට්ස් කතාව ප්‍රශංසාවට ලක් කළේය. ගම්මන්පිල දේශප්‍රේමියෙකි. රනිල්, ත්‍රී ඉඩියෝට්ස් නරඹන්නේ නැතිව මේ අදහස ප්‍රකාශ කළා දැයි සැකයක්ද ඇති වේ. එසේ නම් ඉදිරියට එවැනි වැරදි නොකළ යුතුයි.

මැතිවරණ සමයේ ත්‍රී ඉඩියෝට්ස් වැනි කොමඩියක් ප්‍රදර්ශනය කිරීමට පෙළඹුන පිරිස මෙන්ම ඊට පහසුකම් සැලසූ පිරිසත් ඉඩියෝට්ස්ලා විය නොහැකිය. ඔවුන්ගේ ක්‍රියාව සමීක්ෂණයකට සමානය. මෙයින් කෙරෙන්නේ ගෝඨාභය අසරණ වී රනිල් බලවත් වූ හැටි රටේ සිංහල බෞද්ධයන්ට වැටහී ඇත්දැයි දැනගැනිීමයි.

මාලිමා නායකයෝ ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු නොකළහ. ඔවුන් අතින් විවේචනය වූ දේ ඔවුන් විසින්ම නැවත කරනු දකින්නට ලැබේ. ඔවුන් කරන මෝඩ වැඩ හා මෝඩ කතා බොහෝය. මේ නිසා අධෛර්යය වී සිටින ඔවුන්ට ඡන්දය දුන් පිරිසට අනාගතය හොඳ වෙනු ඇතැයි යම් හැඟීමක් දී මහමැතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය බාගැනීමේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් වශයෙන්ද, චිත්‍රපටිය පෙන්වීම හැඳින්විය හැකිය. දැන් ලංකාවේ වැඩිපුරම කෙරෙන්නේ, තරුණ තරුණියන්ගේ මොළය කෙළෙසන මනෝවිද්‍යාත්මක සටන්ය.

‘ත්‍රී ඉඩියෝට්ස්’ යනු තිරපිටපත් රචකයාගේ කතාවට අනුව අධ්‍යක්ෂවරයාට අවශ්‍ය ආකාරයට නිර්මාණය කෙරෙන චිත්‍රපටයකි. අප ලංකාවේ දකින්නේ එම චිත්‍රපටිය පමණක්ම නොවේ. සැබෑ චිත්‍රපටිය යට සැඟවුන දේශපාලන චිත්‍රපටියක්ද ඇත. එහි තිරපිටපත් රචකයින් ගණනාවකි. අධ්‍යක්ෂවරුන් ගණනාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link