පාස්කු බෝම්බ ප්‍රහාර ගැන රටම රැවටුවත් කාදිනල්තුමාට හිත රවටගන්න බෑ

Last Updated on 6 months by admin

ප්‍රභාකරන් කිව්වෙ ඇත්ත. සිංහලයින්ට යමක් මතක තියෙන්නෙ දවස් 14යි. මේකට හොඳම උදාහරණයක් තමයි මේ දවස්වල ලොකුවට කතාවෙන පාස්කු බෝම්බ සිද්ධිය. කාදිනල්තුමා, ඕමල්පෙ සෝභිත හාමුදුරුවො, අනුර කුමාර දිසානායක වගේ අය වහෙං ඔරෝ භාෂාවෙන් කියන්නෙ, ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරවන්න මේ බෝම්බ පිපිරෙව්වා කියලයි. අපි පොඞ්ඩක් ආපහු හැරිලා බලමු රටේ සිද්ධ වුන දේවල්.

2015 ජනවාරි 8 පැවති ජනාධිපතිවරණයෙන් පසු යහපාලනය ඇරඹුණා. කෙටි කලකින් ජනාධිපති හා අගමැති අතර විරසක ඇතිවීමෙන් රටේ පාලනයත් ආරක්ෂාවත් ගැටලූ රාශියකට මූණ දුන්නා. පාස්කු බෝම්බ සිද්ධියෙන් පසු පාර්ලිමේන්තුවේදී එළදරව් වුන කරුණුවලට අනුව මේ විරසකය නිසා ආරක්ෂ මණ්ඩල රැස්වීම් පවා නිසියාකාරව පැවැත්වී නැහැ.

පාස්කු බෝම්බයට දින ගණනාවකට කලින් විදේශ රහස් ඔත්තු සේවා විසින් සහරාන් ඇතුළු 6 දෙනෙකුගේ නම්, ලිපින, ජාතික හැඳුනුම්පත් අංක සහිත වාර්තාවක් රාජ්‍ය බුද්ධි අංශවලය ලබාදී තිබුණා. නමුත් ඒ පිළිබඳ නිසි පියවරක් ගන්නට ආණ්ඩුව අසමත් වුණා. ඊට ඉහත කී විරසක ස්වභාවය බලපෑ බවට සැකයක් නෑ.

2019 4. 11 වැනිදා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නිකුත් කළ රහසිගත ලිපියකින් මේ බව ආරක්ෂක අංශ ගණනාවකට දැනුම් දී තිබුණා. නමුත් දින 10කට පසු 21 වැනිදා බෝම්බ පිපිරීම් වළක්වා ගන්නට නොහැකි වුණා. එකිනෙකාට චෝදනා එල්ල කරගැනීම පමණක් බෝම්බ පිපිරුම්වලින් පසු සිදු වුණා.

මේ ලිපියේ පිටපත් පසුව හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයා මුහුණුපොතේ පළ කර තිබුණා. ඔහු පසුව කියා සිටියේ ඒවා බෝම්බ පිපුරුම්වලට පසුව තමන්ට ලැබුණු බවයි. එය බොරුවක් බව පැහැදිලියි.

මේ ලිපියේ ඉතා පැහැදිලිව කියා තිබෙනවා සහරාන් ඇතුළු පිරිස ප‍්‍රසිද්ධ කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුමක් ඇති බවට.

එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු විදේශ මාධ්‍යයට පැවසුවා, ‘‘අපට තොරතුරු ලැබුණා නමුත් මෙච්චර ලොකු දෙයක් වෙයි කියා අපි හිතුවෙ නෑ’’ කියා. එයින් පේනවා ඔවුන් කටයුතු කර ඇති ආකාරය හා මේ තොරතුර ඔවුන් දැන සිටි බව.

හරීන් ප‍්‍රනාන්දු එකල හිටි ඇමතිවරයෙක්. ඉහත කී ලිපියේ පිටපතක් ඇමති ආරක්ෂක කොට්ඨාසයට යොමු කර ඇති නිසා එම තොරතුරු ඇමතිවරුන්ටත් ඔහුගේ වටා සිටින අයටත් කාන්දු වීමට ඇති ඉඩකඩ වැඩියි. ලැබුණු බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග නොගන්නකොට ඇති වන පීඩනය නිසා තොරතුර එළියට යන්න තියෙන අවස්ථාව වැඩියි. විශේෂයෙන්ම හරීන් ප‍්‍රනාන්දු කතෝලික බැතිමතෙක් නිසා ඔහුට එය ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩියි.

ඒ නිසා ඔහුගෙන් මෙය කාදිනල්තුමාටත් කාදිනල්තුමාගෙන් පූජකවරුන්ටත් ලැබුණු බවට විශ්වාස කළ හැකියි. හරීන් ප‍්‍රනාන්දුගෙන් පමණක් නොව බුද්ධි අංශවලින් හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන්ද මේ තොරතුර කාදිනල්තුමාට ලැබෙන්නට ඇතැයි සැක කළ හැකියි. තොරතුර වතිකානුවෙන් ලැබුණා නම් පුදුම විය යුතු නැහැ.

පසුගිය දිනක මහාචාර්ය එඞ්වඞ්. එම්. පෙරේරා මෙහි පළකර ඇති ලිපියේ කාදිනල්තුමාගෙන් අසන ප‍්‍රශ්නයට උත්තරය එයයි. කිසිදු පූජකවරයකු පාස්කු දවසේ පූජාවන්ට සහභාගි වීමෙන් වැළකීමට හේතුව කාදිනල්තුමාගෙන් මේ තොරතුර පහළ පූජකවරුන් අතරට යෑමයි.

සිද්ධියෙන් පසු ඉන්දියානු මහකොමසාරිස්වරයා තමන් අමතා එවැනි තොරතුරක් දුන් බවට කාදිනල්තුමා කියන කතාව පිළිගන්න බෑ. වගකීමක් හා මොළයක් ඇති මහකොමසාරිස්වරයකු සිද්ධිය වුණාට පස්සෙ අපිට මෙහෙම තොරතුරක් ලැබුණා. කියන්න බැරිවුන එක ගැන කනගාටුයි කියා කියයිද?

කාදිනල්තුමා ලැජ්ජා විය යුතුයි තමන්ගෙත් තම පහළ පූජකයින්ගෙත් ජීවිත බේරාගෙන අසරණ බැතිමතුන් බිලිවෙන්නට හැර බලාහිඳීම ගැන. එදා පාස්කුව. කිතුණුවන්ගෙ වැදගත් පූජාවක්. බෝම්බකාරයින්ට හොඳ දවසක්. නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී මුස්ලිම්වරුන් 51 දෙනෙකු කතෝලිකයකු විසින් ඝාතනය කර ඒ වන විට මාසයක් ගත වී තිබුණේ නැහැ. මේ ගැන කතාබහක් සමාජයේ තිබුණා. කාදිනල්තුමා ඇතුළු ඉහළ පූජක මණ්ඩලයට මේ ගැන හිතන්න තිබුණා. විදේශවලින්, බුද්ධි අංශවලින් උපදෙස් ගන්න තිබුණා. නිවේදනයක් නිකුත්කර බැතිමතුන් නිවෙස්වල රඳවාගන්න ඕනෑ තරම් අවස්ථාව තිබුණා.

මං හිතෙන හැටියට කාදිනල්තුමාගේ මේ හැසිරීමේ එක් බලාපොරොත්තුවක් තමයි සමාජය රැවටීම. තමන් මේ ගැන කිසිවක් දැන නොසිටි බව සමාජයට අඟවන්න. සමාජය කොහොමින් හරි රවටගන්න පුළුවන් වුනත් තමන්ගේ හිත තමන්ට සාප කරනකොට එය දරාගන්න අමාරු ඇති. කාදිනල්තුමාගෙ අනික් බලාපොරොත්තුව සිංහල බෞද්ධයින්ට පහර ගැසීම. ඒක වෙනම විස්තර කළ යුතු දෙයක්.

ලංකාවේ සිද්ධ වෙන්න යන මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ගැන ලංකාවේ බුද්ධි අංශ දැනගන්නෙ විදේශ බුද්ධි සේවාවකින්. එයින් පේනවා ලංකාවේ බුද්ධි අංශවල කඩාවැටීම. ඒ විතරක් නෙවෙයි. අඩුම තරමින් අපේ‍්‍රල් මාසේ 11 වෙනිදාට පෙර ලැබුණු තොරතුර සමාලෝචනය කරලා අවශ්‍ය පියවර අරන් හැඳුනුම්පත් අංක පවා තිබුණ ත‍්‍රස්තවාදින්ව අත්අඩංගුවට ගන්න ආරක්ෂක අංශ අසමත් වෙනවා.

මෙහි තවත් පැත්තක් තිබෙනවා. ඇයි ඒ විදියට සැකකරුවන්ව අත්අඩංගුවට ගන්න බැරිවුණේ? කාගේ හෝ බලපෑමක් මතද? සහරාන්ගේ තාත්තා ජවිපෙ ලොකු තැනක හිටිය කෙනෙක්. යහපාලන යුගයේ ජවිපෙට ආණ්ඩුවෙ ලොකු හයියක් තිබුණ බව බොහොම ප‍්‍රසිද්ධ කාරණයක්. ඔවුන්ගේ බලපෑම මත එවැන්නක් සිද්ධ වුනාද? නැතිනම් වෙනත් මුස්ලිම් බලවතකුගේ මැදිහත්වීමෙන් එවැන්නක් සිදුවුණාද? එවැනි සැකයක් මෙතනදි ඇති වෙනවා.

පසුව අයිඑස්අයිඑස් සංවිධානය නිවේදනයක් නිකුත් කළා ප‍්‍රහාරයේ වගකීම තමන් භාරගන්නා බවට. ඇමරිකාවේ සීඅයිඒ සංවිධානයත් තහවුරු කළා මෙය මුස්ලිම් ත‍්‍රස්තවාදීන්ගේ වැඩක් බවට.

මෙවැනි තොරතුරු තිබියදී කාදිනල්තුමා ඇතුළු කතෝලික නායකයින්, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු ඇතැම් බෞද්ධ නායකයින්, අනුර කුමාර දිසානායක ඇතුළු ඇතැම් දේශපාලකයින් මෙය ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට කළ කුමන්ත‍්‍රණයක් යැයි කීම හාස්‍යයට කරුණක්. නමුත් ඔවුන් ඇත්ත දැනදැනත් ඒ බව දිගින් දිගටම කියන්නේ ඇයි කියන කාරණය පිළිබඳව සිංහල බෞද්ධ ජනතාව ගැඹුරින් කල්පනා කළ යුතුව තිබෙනවා.

මට හිතෙන විදියට ඊට එක් හේතුවක් තමයි ගෝඨාභය රාජපක්ෂ නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට යම් හෝ අවස්ථාවක් තියෙනවා නම් එය නැති කිරීම.

කවුරු කොයිතරම් කෑගැහුවත් පාස්කු බෝම්බවලට සම්බන්ධ සෙසු පිරිස් ඇල්ලීම පහසු නෑ. සහරාන් මේ පිරිසේ නායකයා වෙන්නට තියෙන ඉඩකඩ ඉතා අඩුයි. නායකයා ගෝලයින් ලවා මෙවැනි වැඩ කරවා ජීවිතය බේරාගන්නවා. එය කොයි ත‍්‍රස්ත කණ්ඩායමක වුනත් සිදුවන්නක්. ප‍්‍රභාකරන්, බින් ලාඩන් උදාහරණ. පාස්කු බෝම්බවලට සම්බන්ධ අනික් පිරිස් අල්ලගන්න තිබුණ අවස්ථාව අහිමි වුණේ ලැබුණු තොරතුරු මත ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන්. පිරිසක් මරාගෙන මැරුණ. තව පිරිසක් අත්අඩංගුවට ගන්න දැරූ උත්සාහයන්හිදී මියගියා. එයින් සිද්ධිය අභිරහසක් වුණා.

කඩාවැටුණු ලංකාවේ බුද්ධි අංශවලට එවැනි හපන්කමක් කරන්න පුළුවන්ද කියන එක ලොකු සැකයක්. කොහොම වුනත් බටහිර බුද්ධි අංශ වගේම ඉන්දියානු බුද්ධි අංශත් මේ ගැන විමසිල්ලෙන් ඇති. ඒ සියලු දෙනාටම ඉස්ලාම් ත‍්‍රස්තවාදය තර්ජනයක්. ඒ නිසා කාදිනල්තුමා ඇතුළු පිරිසට කරන්න තියෙන හොඳම දේ ඒ පිරිස්වල උදව් ඉල්ලන එක.

ගෝඨාභයගෙ මේකට සම්බන්ධයක් තියෙනවා නම් බටහිර බුද්ධි අංශ ඒ බව ලෝකෙට කියන්න තත්පරයක්වත් පමා වෙන්නෙ නැහැ කියන එකත්, ‘පාස්කු බෝම්බෙ ගැහුව අයව අපි දන්නවා’ කියල කයිවාරු ගහන ඔය පුංචි මොළවලට සිහිපත් කරන්න කැමතියි.


Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link