ඥනසාර හාමුදුරුවන්ගෙ අලුත් කරණම

Last Updated on 2 months by admin

ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබිලා එළියට ඇවිත් මාධ්‍යවලට දක්වපු අදහස් සහ පොදුවේ බොදු බල සේනාවේ කටයුතු රට වැසියන් හැමගේම අවධානයට ලක් විය යුතුයි. විස්තර කළ යුතු බැරෑරුම් කරුණු කීපයක්ම තියෙන නිසා මා මේ ගැන තොරතුරු ලිපි කීපයක් මගින් ඉදිරිපත් කරන්න කල්පනා කළා. මේ ලිපිය පූර්විකාවක් පමණයි.

ජුලි 22 වැනිදා ‘ද ඩේලි මිරර්’ පත්තරේ පළ වුණ ලිපියකට අනුව, අන්තවාදී කණ්ඩායම් තවමත් ක‍්‍රියාත්මක බව සඳහන් කරන ඥනසාර හාමුදුරුවෝ ඔවුන් සමහර පළාත්වල ඉඩම් පවා ලබාගෙන ඇතැයි පවසනව. මේ වන විට ඔවුන් යම් පුහුණුවීම් පවා සිදුකරගෙන යන බවට මුස්ලිම් ජාතිකයන් පවසලා තියෙනවා.

‘‘අපි රටේ වර්ගවාදයක් ඇති කරන්නෙ නෑ. සිංහල බෞද්ධයො හැටියට අපි රටේ සියලූ ජනතාව ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. ආගමික කණ්ඩායමකට මුවා වී මිනිස්සුන්ට පහර දෙන්න කිසිවෙකුට ඉඩ දෙන්න අපිට පුළුවන්කමක් නෑ.’’ කියලා ඥනසාර හාමුදුරුවෝ කියලා තියෙනවා.

ඥනසාර හාමුදුරුවෝ ඇප ලැබිලා එළියට එන්නෙ ජනාධිපතිවරණයක් කටේ තියෙද්දි. මගේ අදහස නම්, ජනාධිපතිවරණයට දින නියම කරලා තිබුණත්, රනිල් උත්සාහ කරයි ජනමත විචාරණයකට යන්න. ඉස්සරවෙලාම රනිල් ඒ වෙනුවෙන් ඇප තැන්පත් කිරීම පවා සැකයට කාරණයක්. එවැනි ජනමත විචාරණයක ඉව වැටුණු නිසා තමයි විජේදාස රාජපක්ෂ කිව්වේ ’ඒක ගැසට් කරන්න එපා’ කියල. ඒ වගේම මහජන කැළඹීමක් ඇති වෙයි කියල හිතලා එහෙම කිව්ව බව ප‍්‍රකාශ කිරීම සම්‍යක් ප‍්‍රයෝගයකට සමානයි. ඒ සමග බංගලාදේශයෙ කෝලාහලය ආවා. ඒ නිසා රනිල් අඩිය පස්සට ගන්නත් පුළුවන්.

මේ වෙලාවෙ ඥනසාර හිමියන් ඇප ලැබී එළියට ඒම මම දකින්නේ ඔළුවට ගහනවා වගේ පෙන්නලා බඩට ගැහිල්ලේ රනිල්ගේ නාට්‍යයේම ජවනිකාවක් විදියටයි.

ඥනසාර හාමුදුරුවෝ පළවෙනි පාර හිරේ ඉඳලා ඇවිත් තමන් වහන්සේ දැන් වෙනස් වූ චරිතයක් බව රටට ඇඟෙව්වා. තමන් හැසිරුණ විදිය හොඳ නෑ කියල පිළිගත්තා. ඒ ස්ථාවරයෙ ඉද්දියි උන්නාන්සෙ මීට මාස කිහිපයකට පෙර නැවත හිරේ වැටෙන්නේ. ජනාධිපතිවරණය කටේ තියෙද්දි එළියට බහින උන්වහන්සේ පළමු සැරේ හිරේ වැටෙන්නට පෙර කරපු කතාවලට සමාන කතා සමාජයට දෙමින් ඉන්නව. මේක අංශක 360ක කරණමක්. උන්නාන්සේ කිසියම් න්‍යාය පත‍්‍රයකට නැතිනම් පිටපතකට වැඩ කරන බවයි ඒ කතාවලින් පෙනෙන්නෙ.

‘‘ආගමික අන්තවාදීන්ට රටේ මිනිස්සුන්ට පහර දෙන්න බෑ’’ කියලා කියන කතාවෙන් වැටහෙන්නෙ කුමක්ද? උන්වහන්සේ ආයෙත් පරණ සෙල්ලම් පටන් ගන්න යන බව නේද?.

ඥනසාර හාමුදුරුවෝ තේරුම් ගන්න ඕන, මේ රටේ බහුතර ජනතාව – බහුතරයක් බෞද්ධයින්ද ඇතුළුව – බොදු බල සේනාවත් හඳුන්වන්නෙ අන්තවාදී කණ්ඩායමක් හැටියටයි. ඇත්තටම මේක සේනාවක් නොවෙයි කල්ලියක්. සේනාවක් නම් විශාල පිරිසක් ඉන්න ඕනනෙ. කල්ලියේ ක‍්‍රියාකාරිකයෙක් වශයෙන් අනුන්ට චෝදනා එල්ල කරන්න කලින් තම තමන්ගේ කටයුතු දිහා ඥනවන්තව බලන එකයි ඥනාසර හාමුදුරුවන්ට කරන්ඩ තියෙන්නෙ.

දැන් බලන්න, හාමුදුරුවෝ කියන කතාව ඇත්තක් නම් හාමුදුරුවන්ගේ මෙම ප‍්‍රකාශයම ඇති ත‍්‍රස්තවාදින්ට තමන්ගෙ ‘බඩු ටික’ හංගලා ඔත්තුුකාරයොයි කියලා හිතෙන කීප දෙනෙකුව අතුරුදහන් කරන්න. ඥනසාර හාමුදුරුවො ඥනවන්ත නම්, රටක බුද්ධි සේවාවක් කියන්නෙ මොකක්ද කියන එක ගැන අබමල් රේණුවක දැනුමක් තියෙනවා නම් ඔය වගේ කතා ප‍්‍රසිද්ධියේ කිය කියා ඉන්නෙ නෑ.

ඥනසාර හාමුදුරුවෝ ඉන්නෙ ආගමකට අපහාස කරා කියන චෝදනාවට වැරදිකාරයා වෙලා හිරේ ගිහින් ඇප පිට. එහෙම කෙනෙක් මේ වගේ අදහස් ප‍්‍රසිද්ධියේ කියන එක කොයි තරම් දුරට නිවැරදිද? නීති අංශ, අධිකරණය මේ සම්බන්ධයෙන් මොකද කියන්නෙ?

ඉස්ලාම් ආගමේ නාමයෙන් ක‍්‍රියාත්මක අන්තවාදීන් රටේ ඉන්න බව රහසක් නොවෙයි. ඔත්තු සේවාවන්ට මේ ගැන අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. අපේ ඔත්තු සේවා කෙසේ වෙතත්, ‘රෝ’. ‘සීඅයිඒ’, ‘මොසාඞ්’ ඒ ගැන අවධානයෙන් ඉන්න බවට සැකයක් නෑ. ඒවා ඒ අය බලාගනී. ‘පාස්කු’ ප‍්‍රහාරය ගැනත් ඔත්තුව ආවෙ පිටින්නෙ. හාමුදුරුවන්ට තියෙන්නෙ ඒ අයට බාධා වන වැඩ නොකර පැත්තකට වෙලා ඉන්න. ඔත්තුවක් ලැබුණා නම් අදාළ අංශයකට කියන්න.

අනික ඥනසාර හාමුදුරුවෝ වගේ ආගමික කල්ලියක කලහකාරී නායකයෙකුට ඥානය ඇත්තෙක් වැදගත් රහසිගත තොරතුරක් සපයන්නෙ නැහැ. අනික ඉස්ලාම් ආගමිකයන් උන්නාන්සෙට රහසේ තොරතුරු දෙනව කියල හිතන්ඩ බැහැ. ‘අල්ලා’ට, ඉස්ලාම් ආගමට අපහාස කළ කෙනෙකුට රහස් තොරතුරු දෙන්න ඉදිරිපත් වෙන මුස්ලිම්වරයෙක් ඉන්නවා නම් ඒ වෙනත් අරමුණකින්. ඒ ගැන මම වෙන ලිපියකින් පෙන්වන්නම්. බුදුන්ට අපහාස කරන බෞද්ධයින්ට පද්නම් අල්ලන බෞදධයො හිටියට ඉස්ලාම් ආගමිකයො ඒ ජාතියෙ අය නෙවෙයි. ත‍්‍රස්තවාදය ගැන තොරතුරු දැනගන්නා කෙනෙකුට ඒ ආරංචි අදාල තැන්වලට දෙන්න ඕන තරම් ක‍්‍රම තියෙනව.

ඊළඟ ප‍්‍රශ්නය සද්දේ දැම්මට ඥනසාර හාමුදුරුවන්ට අන්තවාදින්ව නවත්තන්න මොනවද කරන්න පුළුවන් කියන කාරණාවයි. කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. කොල්ලො කුරුට්ටො කීප දෙනෙක් අරගෙන ගිහින් ත‍්‍රස්තවාදින්ව අත්අඩංගුවට ගන්න උන්නාන්සේට බැහැ.

මෙතන යන ‘ගේම’ අප තේරුම් ගත යුතුයි. සිංහල බෞද්ධයො 99%ක් දෙනා උන්නාන්සේ කියන දේවල් තඹේකට ගණන් ගන්නෙ නැහැ. නමුත් මේ ආවේගශීලි කතාවලින් යම් පිරිසක් කලබල වෙන්න පුළුවනි. මිනිස්සුන්ව කලබල කරවන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවනෙ. ‘ෆේස්බුක්’ එක බලද්දි ඒ සැකය වැඩිවෙනව. එම නිසා කොහේ හරි කෝලාහලයක් වෙන්න ඉඩ තියෙනවා.

මේ කතා නිසා මුස්ලිම් දේශපාලකයින්ට තමන්ගෙ වාසිය බලාගෙන මුස්ලිම් ජනතාව කුලප්පු කරන්ඩ මග පෑදෙන්ඩ තියෙන ඉඩ වැඩියි. ‘අපිට සිංහල බෞද්ධයින්ගෙන් කරදරයි’ කියන අදහස සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතරට කාන්දු කිරීමට ඔවුන්ට මග හැදෙනව. මැතිවරණ සමයක් නිසා මේක වසංගතයක් වගේ වේගයෙන් පැතිරෙන්න පුළුවනි. ඒ වගේම, ‘සිංහල බෞද්ධ බහුතරයෙන් සුළු ආගමික ඉස්ලාමිකයින්ට හිරිහැර’, ‘බෞද්ධ භික්ෂුවගේ හිංසාකාරී ක‍්‍රියා’, ‘සිංහල බෞද්ධ අන්තවාදය’ වගේ අදහස් ලෝකෙ පුරාම පතුරුවන්න අල් ජසීරා, බීබීසී වගේ ජනමාධ්‍යන් වගේම උගත් ඉස්ලාම් ලේඛකයින් සැදී පැහැදී ඉන්නවා.

ඔන්න රනිල්ට වාසිය එන්නෙ ඔතනින්. සජිත් වටේ ඉන්න මුස්ලිම් දේශපාලකයො කීප දෙනෙක්ව බාගන්න රනිල්ට මේ හරහා අවස්ථාව ලැබෙනව. වවුල්ලූ එන්නෙ ඵල ඇති රුකටලූ.

අමතක කරන්න එපා. බොදු බල සේනාවේ හිටලූ ප‍්‍රධාන විධායක නිලධාරිය දැන් ඉන්නෙ රනිල් එක්ක. ඔය නොර්වේ කුමන්ත‍්‍රණ කතා එන්නෙත් එයා හරහා තමයි. ඒ විස්තර ඉදිරි ලිපිවලින් ඉදිරිපත් කරන්නම්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link