ඥානසාර හිමියන් රටට හංගන නෝර්වේ කුමන්ත්‍රණයේ සුලමුල

Last Updated on 4 weeks by admin

සෑම් සෙනෙවිරත්න

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් අන්තවාදින්ගේ ලණු කා කලහකාරි හැසිරීම් දිගටම කරගෙන ගිය අයුරු මම පසුගිය ලිපිවලින් පැහැදිලි කළෙමි.

උන්වහන්සේට ලොකුම ලණුව කවන්නේ බොබසේ හිටපු ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ විසිනි.

24 ජුනි 29 ‘ඩේලි මිරර්’ පුවත්පත සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙන ඩිලන්ත අනාවරණය කරන ලෙසට අවුරුදු ගණනාවකට පෙර ඔහු ඥානසාර හිමියන් හඳුනා ගත්තේ කිසියම් පුද්ගලයකුගේ මාර්ගයෙනි. ඒ කවුදැයි ඩිලන්ත නොකියයි. ඒ වන විට ඥානසාර හිමියෝ විදේශගත වෙන්නට සූදානමින් සිටියහ. උන්වහන්සේව එයින් වළක්වා බොදු බල සේනාව අරඹන්න පොළඹවා ගත්තේ ඔහුය. ‘රටේ පාලකයා වීමට වුනත් ඔබ වහන්සේට හැකියාව ඇතැයි’ ඔහු ඥානසාර හිමියන්ට කියා ඇත.

මේ ජනාධිපති මැතිවරණයකට රට සැරසෙන කාලයයි. විශාල පිරිසක් ජනාධිපති වෙන්නට පෝළිමේ සිටිති. ඇතැම් පුද්ගලයින් රටේ ජනාධිපතිකම සඳහා ඉදිරිපත් වි සිටින්නේ තමාගේ තරම ගැන අධි තක්සේරුවකින් බව රහසක් නොවේ. ජනාධිපති ධුරයක් සඳහා පිළිගැනීමක් හා සුදුසුකමක් නැත්තෙකු තමා ඊට සුදුස්සෙකු යයි සිතීම සිහියේ දෝෂයකි.

ඩිලන්තගේ ලණුව කෑ ඥානසාර හාමුදුරුවෝ විදේශගතවීම අතහැර බොදු බල සේනාව අරඹති. කිරම විමලජෝති හාමුදුරුවෝ එහි නායකයා වුහ. ඥානසාර හාමුදුරුවෝ මහ ලේකම්ය. ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළේ ඩිලන්තය.

එදා බොදු බල සේනා යයි ඇසු සැණින් බොහෝ දෙනාගේ සිහියට නැගුනේ ඉන්දියාවේ ශිව සේනා සංවිධානයයි. බොහෝ දෙනෙකු එය දැන සිටියේ උග්‍ර ආගම්වාදී සංවිධානයක් හැටියටයි. නමුත් ඉන්දියාවේ යම් පිරිසක් හින්දු ආගම වෙනුවෙන් ශිවගේ නමින් සේනාවක් හැදීම ගැලපේ. ශිව විනාශකාරයෙකි.

එහෙත් එවැන්නක් බෞද්ධයන්ට නොගැලපේ. කිසිම රටක බෞද්ධයින් බලය පෙන්වීමට සේනා හදා නැත. අතීතය පුරාම ඔවුන්ගේ බලය වුණේ බුද්ධ, ධර්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයයි. යටත් විජිත ආක්‍රමණිකයින් නම් හාමුදුරුවරුන්ව කහ හමුදාව කියා නම්කර තිබුණි.

අන්තර්ජාලයෙන් පළවු එක්තරා ඡායාරූපයක් බොදු බල සේනා ඇරඹීම ගැන සැක ඇතිවූවන්ගේ සැකය වැඩි කරන්නකි. (ඒ ඡායාරූපය මේ සමග එවමි). ඥානසාර හාමුදුරුවෝ කළු ඇඳුමින් සැරසුන හැඩිදැඩි රළු පෙනුමක් ඇති ආරක්ෂකයින් පිරිසක් පිරිවරා ගෙන සිටිති. එය නරඹන්නන්ට පෙනෙන්නේ මැරයන් පිරිසක් සමග සිටින භික්ෂුවක සේය. බෞද්ධ සේනාවක් නම් කහ සිවුරු දරාගත් භික්ෂූන් සමග සුදු ඇඳගත් පිරිසක් සිටිය යුතුයි.

භික්ෂූන් ප්‍රධානත්වය දරන සංවිධානයක ප්‍රධාන විධායක තනතුර ගිහියෙකුට දීම මෙන්ම එවැනි සංවිධානයක සීමාසහිත සමාගමක මෙන් ප්‍රධාන විධායක තනතුරක් තිබීමත් ගැටලුවකි. ලොකුම ගැටලුව ඥානසාර හාමුදුරුවන් කලහකාරි විදියට හැසිරෙද්දී ප්‍රධාන විධායකයා උන්වහන්සේ එයින් වළක්වන්න කටයුතු නොකිරීමයි. බොබසේ නායකයා වූ කිරම විමලජෝති හිමියන් වත් ඒ ගැන ක්‍රියාකරන්න උත්සාහ ගත්ත බවක් දකින්න නැත.

ඩිලන්ත කියන ආකාරයට ජාතින් අතර සමගිය ඇති කරවන ‘සිතමු’ නම් සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන් පළ වුන අන්තර්ජාල සඟරාවක්ද ඔහු අරඹා තිබේ.

මෙහිදී ඩිලන්තගේ හැසිරීම ඉතා බරපතල සැකයක් මතු කරයි. තමා විදේශ අධ්‍යාපනය ලැබූ අමාත්‍යංශ කීපයක උපදේශක තනතුරු දැරූ උගත් පුද්ගලයෙකු බව ඔහු අවධාරණය කරයි. මෙවැන්නෙකුට ජාතීන් හා ආගමිකයන් අතර සහයෝගිතාව ඇති කරවන වැඩසටහන් මැද ඥානසාර හාමුදුරුවන් ජාතීන් අතර අසමගිය ඇතිකරවන ආකාරයෙන් හැසිරෙන බව නොපෙනීම ගැටලුවකි.

ඩිලන්ත පවසන පරිදි, මුස්ලිම් පිරිසක් පැමිණ අන්තවාදින් පිරිසක් ඉස්ලාම් ආගමේ නාමයෙන් අන්තවාදී වැඩ කරන බව බොබසේට කියයි. ඒ ගැන සෙවීම ආරක්ෂක අංශවලට භාර නොදී බොබසේ එම තොරතුරු සාමාන්‍ය ජනතාව අතර ප්‍රචාරය කරයි. ඒ මදිවාට කඩාපනින හමුදාවක් පරිදි වැඩ කරයි. මෙය සංහිඳියා ක්‍රියාවට නොගැලපෙන ඊට විරුද්ධ දෙයක් බව ඩිලන්තට නොවැටහීම පුදුමයකි.

නෝර්වේ හා බොබසේනාව අතර කුමන්ත්‍රණකාරී සම්බන්ධයක් ඇති බවත් එරටින් බොබසේට මුදල් ලැබුණ බවත් පසුගිය කාලයේ බොබසේනාවට විරුද්ධව ඉදිරිපත් වු චෝදනාවකි. ඒ ගැන ඥානසාර හාමුදුරුවන් හා ඩිලන්ත දක්වන අදහස් අතර පරස්පරයක් තිබේ. ඥානසාර හිමි කියන්නේ, ඉස්ලාම් අන්තවාදින් ගැන එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දැන්වුවාට පසු ඇතැම් දේශපාලකයන් හාමුදුරුවන්ට නෝර්වේ චෝදනාවක් ඉදිරිපත් කළ බවයි. ඩිලන්ත කියන්නේ, නෝර්වේ චෝදනාව එල්ල කළේ විමල් වීරවංශ බවයි.

මේ අයුරින් දෙන්නා කතාන්දර දෙකක් කීම සැකයට කරුණකි.

ඥානසාර හිමි, ඩිලන්ත මෙන්ම කිරම විමලජෝති හිමියන්ද බොබසේට නෝර්වේවලින් මුදල් නොලැබුණ බව මාධ්‍යවලට පවසා තිබේ. නමුත් පෙර සඳහන් කළ ‘සිතමු’ සංහිඳියා වැඩපිළිවෙළ ඩිලන්තගේ ව්‍යාපෘතියක් නොව බොබසේ ව්‍යාපෘතියක් බවත් ඊට ආධාර දුන්නේ නෝර්වේ රජය මාර්ගයෙන් බවටත් සාක්කි තිබේ.

ඩිලන්ත ‘ඩේලි මිරර්’ පුවත්පතට පවසා ඇති ලෙසට ඔහුගේ ‘සිතමු’ වැඩසටහනට නෝර්වේ ආධාර ලැබුණි. නමුත් බොබසේ පිහිටුවූ පසුව ඒ ආධාර නතර වුණි.

2023 අගෝස්තු 22 ‘ඩේලි නිව්ස්’ පුවත්පතට ‘සිතමු ඇන්ඩ් නෝර්වේජියන්ස්’ නමින් මහාචාර්ය රජීව විජේසිංහ සපයා ඇති ලිපියෙන් බොබසේ සහ නෝර්වේ අතර තිබුණු සම්බන්ධය ගැන වැදගත් තොරතුරු කීපයක්ම අනාවරණය කෙරේ.

ඔහු පවසන පරිදි ‘සිතමු’ අන්තර්ජාල සඟරාවට ඔහුත් ලිපි කීපයක් සපයා ඇත. ඒ ඔහුගේ ශිෂ්‍යයකු වූ මාධ්‍යවේදී සමන් ඉන්ද්‍රජිත්ගේ ආරාධනය මතයි. ටික කලකින් ‘සිතමු’ වැඩසටහන නතර වුණි. කලකට පසු ඒ ගැන ඇතිවූ කතාබහකදී මාධ්‍යවේදී සමන් ඉන්ද්‍රජිත් මහාචාර්යවරයාට අනාවරණය කරන්නේ ‘සිතමු’ නෝර්වේ ආධාර යටතේ බොබසේ සහ ඥානාසාර හිමියන් පවත්වාගෙන ගිය අන්තර්ජාල සඟරාවක් බවයි.

එහ ලිපියෙන් මහාචාර්ය රජීව විජේසිංහ අපගේ අවධානය යොමු විය යුතු ඉතා වැදගත් කරුණක් පවසයි. ඔහු ඩිලන්තව දන්නේ තාරා ද මැල් අධ්‍යාපන අමාතංශයේ ලේකම්ව සිටි සමයේ පටන්ය. ඩිලන්ත එහි පරිගණක අංශයේ සේවය කර ඇති අතර මහාචාර්යවරයාද එකල එම අමාත්‍යංශයට සේවය සපයා තිබේ.

ඒ අතරතුර වරක් ඩිලන්ත නෝර්වේජියානුවෙකු මහාචාර්යවරයාට හඳුන්වා දුන්නේය. ඔහු දශක ගණනාවක් මුළුල්ලේ ලංකාවේ විවිධ වැඩසටහන්වලට ආධාර ලබාදීමට සම්බන්ධ වූ ආර්න් ජෝටොෆ් නමැත්තාය.

මහාචාර්ය රජිව් පෙන්වා දෙන පරිදි ජෝටොෆ් සටකපට පුද්ගලයෙකි. තමන් යෝජනා කරන ඉතා ඉහළ වටිනාකම් සහිත ආධාර ව්‍යාපෘතිවලට සම්බන්ධ වුනොත් ලැබිය හැකි පුද්ගලික වාසි සඳහන් කරමින් ජෝටොෆ් සිය කතාබහ ආරම්භ කිරීම නිසා මහාචාර්යවරයාට ඔහු සම්බන්ධයෙන් ඇති වුයේ අප්‍රාසදයකි. විදේශිකයන් හා ලංකාවේ ඇතැම් දේශපාලකයන් මෙන්ම වෙනත් පුද්ගලයන්ද එකතු වී මෙවැනි ව්‍යාපාරවලින් මුදල් කඩාවඩා ගන්නා අන්දම පසුව මහාචාර්යවරයාට දැනගන්නට ලැබී ඇත.

මහචාර්ය රජිව් ඉදිරිපත් කරන කරුණු අනුව පැහැදිලි වන්නේ ඩිලන්ත හා ජෝටොෆ් අතර සම්බන්ධයත් අත ලෙවකන්නට ඇතිකරගත් එකක් නොවන බවයි. කෙනෙකුට ඥානසාර හාමුදුරුවන් සම්බන්ධයෙන් ද එවන් සැකයක් ඇතිවීම සාධාරණය.

පසුව බොබසේ ‘සිතමු’ ව්‍යාපෘතියෙන් ඉවත්ව සහජීවන කතාබහ නතර කළ බවත් ඒ වන විට ‘සිතමු’ ව්‍යාපෘතිය සඳහා වෙන්කර තිබූ මුදලෙන් සුවිසල් මුදල් ප්‍රමාණයක් ඉතිරිව තිබුණු බවත් මහාචාර්ය රජීව පවසයි. ඒ මුදල් ඔවුන්ගේ වෙනත් කටයුතු සඳහා පාවිච්චි කරන්නට ඇති බව ඔහු පවසයි.

මහාචාර්යවරයාගේ අදහස, ආර්න්ගේ මැදිහත්වීම මත, දෙමළ ජනයා හා කටයුතු කිරීමට සලස්වා බොබසේ ශීලාචාර කිරීමේ අරමුණින් නෝර්වේ රජය මේ මුදල බොබසේ වෙත ලබාදෙන්නට ඇති බවයි. මේ පිළිබඳව ඔහු නෝර්වේ තානාපතිවරයාගෙන් විමසූ විට, සද්භාවයෙන් යුතුව ඒ මුදල් ලබා දුන් බව තානාපතිවරයා පවසා තිබේ. ජාතීන් අතර අසමගිය ඇතිකරවීමේ කුමන්ත්‍රණයක් සඳහා නෝර්වේ රජය බොබසේ වෙත මුදල් ලබාදුන් බවට වන චෝදනාවේ පදනමක් නැතැයි පෙනුනද ආර්න් පිළිබඳව එසේ නොසිතිය හැකි බව මහාචාර්යවරයාගේ අදහසයි.

ආර්න් මියන්මාරයට ගිය පසු එහිද වාර්ගික කෝලාහල ඇරඹුණ බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. බොබසේ ලංකාවේ ඇති කළ කෝලාහලවලට හා මියන්මාරයේ කෝලාහලවලට ආර්න්ගේ යම් සම්බන්ධයක් ඇතැයි යන ඉඟිය මහාචාර්යවරයාගේ ප්‍රකාශයේ සැඟව තිබේ.

මේ ගනුදෙනුව යට තව බොහෝ දේ ඇති බවත් කිසිදා සත්‍යය අනාවරණය කරගත නොහැකි වනු ඇති බවත් මහාචර්යවරයා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් හා ඩිලන්ත පසු කලෙක සවුදි අරාබියට ගිය ගමනත් ඉතා සැකකටයුතු එකකි. මෑත ඉතිහාසයේ ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් සවුදි අරාබියට වැඩම කළහ. එක් නමක් මහාබෝධි සංගමයේ බානගල උපතිස්ස නායක හාමුදුරුවෝය. අනික් නම ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝය.

බානගල හිමියන් ප්‍රමුඛ භික්ෂු පිරිස සවුදියට වැඩම කළේ කුමටද යන්න ගැන සුවදි අරාබිය මෙන්ම එහි ලංකාවේ තානාපති කාර්යාලයත් ප්‍රසිද්ධ කළ විස්තර තිබේ. නමුත් ඥානසාර හිමි හා ඩිලන්තගේ ගමන ගැන කිසිදු තොරතුරක් ප්‍රසිද්ධ කර නැත. ඩිලන්ත හෝ ඥානසාර හිමියන් ඒ ගැන විස්තර කරද නැත. සංචාරය අතරතුර සවුදි රජු හෝ ආරක්ෂක ඇමතිවරයා හමුනොවුන බව පමණක් මාධ්‍යවලින් කළ විමසීම් හමුවේ කියා තිබේ.

මෙම ගමන පිළිබඳ තොරතුරු අබිරහසක් වී ඇත්තේ ඇයි?

මේ සංචාරය පුද්ගලික එකක් නෙවේ. බොබ සේනාව සවුදියට යන්නේ ලංකාවේ බෞද්ධ සංවිධානයක් වශයෙනි. එහි අදහස ඔවුන් රටේ බෞද්ධයන් නියෝජනය කළ බවයි. බොබසේනාව ආගමික ජාතික අසමගියට මුල් වූ සංවිධානයක් වශයෙන් ප්‍රසිද්ධ නිසා ලංකාවේ බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයිනුත් එම ගමනේ විස්තර දැනගත යුතුව තිබේ.

එපමණක් නොව සවුදි සංචාරයෙන් පසුව ලංකාවේ සවුදි තානාපති කාර්යාලයේ පරවති ජාතික දිනයේ විශේෂ ආරාධිතයෙකු වශයෙනුත් ඥානසාර හිමියන් සහභාගි වී තිබුණි.

මේ සියල්ල යට සැඟවුණු රහස්, මහාචාර්ය රජීව පවසන පරිදි කිසිදා අනාවරණය නොවේවිද?

ඥානසාර හිමියන් හෝ ඩිලන්ත බොබසේ හරහා යහමින් මුදල් හම්බ කරගත්තා නම් අපට එය ගැටලුවක් නොවේ.

අපට ඇති ගැටලුව බෞද්ධ සංවිධානයක් පිහිටුවා, බෞද්ධයන් වෙනුවෙන් කටයුතු කරන බවක් පෙන්වා බෞද්ධ සමාජය පිළිබඳ ඉතාම නරක චිත්‍රයක් ලෝකය හමුවේ තබන්නට කටයුතු කිරීම ගැනයි.

අන්‍යාගමික උගත්තු දිගින් දිගටම ලංකාවේ බෞද්ධයන්ගෙන් ඔවුන්ට සිදු වන හිරිහැර ගැන පර්යේෂණ ලිපි ලියති. මේවා නිසා අනාගතයේදී උද්ගත විය හැකි තත්වය ගැන කාගේ හෝ අවධානය යොමු වී තිබේද?

මේ අනුව බලන විට, බොබසේ ක්‍රියාකාරකම් යට දරුණු කුමන්ත්‍රණයක් සැඟව ඇති බවට ඇති චෝදනාවේ සත්‍යයක් ඇති බව පැහැදිලිය. කුමන්ත්‍රණයේ ප්‍රතිපල කලඑළි බසින විට ඥානසාර හිමියන්, ඩිලන්ත හෝ අප කිසිවකු ජීවතුන් අතර නොසිටිනු ඇත. වන්දිය ගෙවන්නට සිදු වනු ඇත්තේ අනාගත සිංහල බෞද්ධ පරපුරුවලටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link