දකුණු ආසියාව කළඹන දේශපාලන කුණාටුව

Last Updated on 3 weeks by admin

නියමුවා, ඉංග්‍රීසියෙන් කොමාන්ඩර් හෙවත් අණදෙන්නාය. ජවිපෙ, ‘නියමුවා’ නමින් පක්ෂ පුවත්පතක් ප්‍රසිද්ධ කළේය. කොලිවුඩ් සිනමාව කලක සිට ‘නියමුවා’ වශයෙන් පුද්ගලයෙකු ප්‍රසිද්ධ කරයි. ඔහු ජෝසප් විජයි චන්ද්‍රසේකර්ය. දෙමළ චිත්‍රපට නරඹන ලක්ෂ සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයින් අතර මොහු ප්‍රසිද්ධ වී ඇත්තේ ‘තලපති’ යනුවෙනි. දෙමළ චිත්‍රපටි ලෝලී සිංහලයන් හඳුන්වන්නේ ‘තලපති විජේ’ නමිනි.

දෙමළ බසින් තලපති යන වචනය යෙදෙන්නේ අණදෙන්නාටය. බයිබල් ඉතිහාසයට අනුව, මනුෂ්‍ය ඉතිහාසයේ පැරණිම අණදෙන්නා වශයෙන් සැලකෙන්නේ මෝසස්ය. ඔහු මිසරයේ සිටි ඊශ්‍රායල් වහලුන්ට නායකත්වය සපයා අණදුන්නේය. සැබවින්ම සිදු වූයේ මෝසස්, වහලුන්ට නායකත්වය සපයා මැවුම්කාරයාගේ අණ ප්‍රකාශයට පත් කිරීමයි.

තලපති විජේ සිනමා ලෝකයේ සිට උත්කර්ෂයෙන් දේශපාලන ලෝකයට පා තැබීම පසුගිය සතියේ චෙන්නායි නගරයේ දී සිදු විය. එය වාර්තාගත රැලියකි. මාධ්‍ය වාර්තා අනුව ලක්ෂ සංඛ්‍යාවක් ජනයා උත්සවයට පැමිණ සිටියහ. ඔවුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් තරුණ තරුණියෝය. ඔවුන්ගේ ඔල්වරසන් මැද වේදිකාවට පැමිණි තලපති විජේ තමිල්නාඩුවේ බලය රඳවාගෙන සිටින ඩීඑම්කේ පක්ෂයටත් ඉන්දියාව පාලනය කරන බීජේපීයටත් ඇට්ටි හැලෙන්ඩ දුන්නේය. ඥාති සංග්‍රහය ඩීඑම්කේ පක්ෂයට එල්ල වූ ප්‍රධාන චෝදනාවයි. හින්දු ආගමට ප්‍රමුඛත්වය දීම කොංග්‍රසය විවේචනයට මුල් වූ ප්‍රධාන කාරණාවයි. මේ වසරේ පෙබරවාරි 2 වැනිදා තලපති විජේ අලුත් පක්ෂයක් ප්‍රකාශයට පත් කළේය. එය ටී.ඇන්.කේ. හෙවත් ‘ටමිෂාග වෙත්රි කසාගම්’ Tamizhaga Vetri Kazhagam නම් වේ. එහි සිංහල අරුත ‘තමිල්නාඩු සාර්ථක සමාජය’ යනුයි.

තලපති කිසිම අවස්ථාවක තමන් අදහන ආගම කුමක් දැයි ප්‍රසිද්ධියේ නොපැවසූ නළුවෙකි. එහෙත්, ඔහු බැතිමත් කිතුනුවෙකු බව තමිල්නාඩුවේ බීජේපී නායකයෙකු හෙළි කර ඇත. සිනමාකරණයට සම්බන්ධ වූ විජේගේ පියා ඇලෙක්ස් චන්ද්‍රසේකර් බැතිමත් කතෝලිකයෙකු වූයේය. ඔහු වෙල්ලාලයෙකි. ඔහු හින්දු කාන්තාවක විවාහ කරගත් නමුත් ඒ විවාහය හින්දු දේවාලයක නොව ක්‍රිස්තියානි ආගමික ස්ථානයක සිදු විය. ඇය විවාහයෙන් පසු ආගමික කටයුතු සඳහා ක්‍රිස්තියානි ආගමික ස්ථානවලට ගියාය.

මිශ්‍ර විවාහවලට එළඹෙන බැතිමතුන්ට තමා විවාහ කරගන්නා අන්‍යාගමික භාර්යාව හෝ පුරුෂයා ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට ආගමික ස්ථානයෙන් උපදෙස් ලැබේ. ඊට දුෂ්කරතාවක් ඇත්නම් උපදින දරුවන් ක්‍රිස්තියානි කරන්නැයි උපදෙස් ලැබේ. මෙය ලංකාවේ සිදුවන්නකි. නමුත් ලංකාවට පමණක් සීමා වූ ක්‍රියාවක් නොවේ. එය ඉන්දියාවේ ද සිදු වෙයි. චන්ද්‍රසේකර්ට එවැනි ගැටලුවක් තිබී නැත. පුතාට ජෝසප් යන නම දැමීමට භාර්යාව එකඟ වී ඇත. ජෝසප් විජේ, තමිල්නාඩුවේ ලොයලා ක්‍රිස්තියානි ආයතනයෙන් උසස් අධා්‍යාපනය ලැබ එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනයට ගියේය. එහි දී හමු වූ වෙල්ලාල ක්‍රිස්තියානි තරුණියක ඔහුගේ පෙම්වතිය වූවාය. ඔවුහු පසු කලෙක විවාහ වූහ.

ජෝස්ප් විජේ විවාහ කරගත් තරුණිය සංගීතා, ශ්‍රී ලංකා දෙමළ සම්භවයක් ඇති කාන්තාවක වීම අතිශයින් වැදගත් කාරණයකි. චිත්‍රපටි මගින් ලංකාවට බලපෑම් කළ තලපතිට අනාගතයේ ලංකාවේ දේශපාලනයට කෙලින්ම බලපෑම් කිරීමට අයිතිවාසිකමකි. ඉතිහාසයේ බොහෝ තැන්වල ආක්‍රමණිකයින් රටවල් අල්ලාගෙන ඇත්තේ කාන්තාවක් පාවාගෙනයි. මැක්සිකෝව නිදසුනකි. විජය කුමරා කුවේණි නමැති යක්ෂ තරුණිය පාවාගෙන ලංකා රාජ්‍යයට හිමිකම් කී බවක් කියැවේ. ‘මුස්ලිම්වරු ලංකාවට ගෑණු ගෙනත් නෑ. සිංහල ගෑණු කසාද බැඳගන තමා රටේ අයිතිය ලබාගත්තෙ’ යන්න පුත්තලම වැනි පළාත්වල සුප්‍රකට කතාවකි. විජේ, තලපති බැවිනුත්, ශ්‍රී ලංකා සම්භවයක් ඇති වෙල්ලාල කතක විවාහ කරගෙන තිබෙන නිසාත් ලංකාවේ දෙමළ කතාකරන ජනයාට පමණක් නොව දෙමළ චිත්‍රපටි ලෝලි සිංහලයන්ටත් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇත්තෙකි.

නළු ජීවිතයට එළඹි ජෝසප් කිසි කලෙක තමාගේ ක්‍රිස්තියානි නමින් පෙනී නොසිට තලපති විජේ නමින් පෙනී සිටීම වැදගත් කාරණයකි. චිත්‍රපටි නිෂ්පාදකයෙකු වූ ඔහු සිනමා කෘති මගින් ක්‍රිස්තියානි සිරිත් හා ධර්ම ප්‍රචාරය කළේය.

ජෝසප් විජේ දේශපාලනයට පැමිණීම සහ මාලිමාව බලයට පත් වීම කතෝලික පල්ලියේ ජයක් වශයෙන් සලකන්නෝ ලංකාවේ මෙන්ම විදේශ රටවලත් සිටිති. මාලිමාව බලයට පත් කිරීමට කතෝලික පල්ලියේ අනුග්‍රහය ලැබුණු බව රහසක් නොවේ. ඊට එක හේතුවක් පාස්කු ප්‍රහාරයයි. පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට ආණ්ඩුව පත් කළ කොමිසම් මගින් වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවූ බව කාදිනල්තුමා මෙන්ම සිරිල් ගාමිණී පියතුමාද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කීවේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කොමිසම් සභාවලට සිංහල අන්තවාදීන් පත් කරගත් බවට කාදිනල්වරයා චෝදනා නැගූවේය. කලකට පසුව (මේ සතියේ දිනක) ‘සුප්‍රිම්’ ටෙලිවිෂන් නාළිකාව ඔවුන්ගේ වැඩසටහනකට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව කැඳවා තිබුණි. රුපවාහිනී නාළිකා මෙවැනි වැඩ කරන්නේ අරමුණක් නැතිව නොවේ.

උදය ගම්මන්පිල තර්ක පිට තර්ක ඉදිරිපත් කළත්, මාලිමා ආණ්ඩුව, පසුගිය ආණ්ඩු පත් කළ පාස්කු කොමිසම් වාර්තා නොපිළිගන්නා බව සහෝදර විජිත හේරත් ඇමතිවරයා සපථ කරයි. අන්‍ය මත නොපිළිගැනිම මාක්ස්වාදීන්ගේ ගතියකි. නමුත් ගම්මන්පිල ඉදිරිපත් කළේ අදහසක් නොවේ. ඊට එහා ගිය යුක්ති ධර්මයකි. මැල්කම් රංජිත් කාදිනල්වරයා ප්‍රධාන කතෝලික සභාවත් පාස්කු කොමිසම් වාර්තා නොපිළිගනී. මේ ආකාරයට කටයුතු කළොත් මාලිමාව පිහිටුවන කොමිසම් සභා ඊළඟ ආණ්ඩු ප්‍රතික්ෂේප කරන්නට ඉඩ ඇතැයි යමෙකුට පැවසිය හැක. ඊටත් පිළිතුරු තිබේ. මාලිමා නායකයින් කියන ලෙසට මේ කපේ පවතින තුරු මාලිමා ආණ්ඩුව වෙනස් නොවන්නකි. මාලිමා ආණ්ඩුවක් පිහිටු වූ පසු වෘත්තිය සමිති විසුරුවා හරින බව ජවිපෙ විධායක සභිකයෙකු වූ ලක්ෂමන් නිපුනආරච්චි කියා තිබුණි. මෙවැනි ප්‍රකාශවලින් පැහැදිලි වන ලෙසට මෙවර ඡන්දයෙන් මාලිමාව දිනුවොත් පත් වන්නේ වෙනස් නොවන ආණ්ඩුවකි. එවැනි ආණ්ඩු දේශපාලන ලෝකයේ හඳුවන්නේ පැසිස්ට් ආණ්ඩු හැටියටයි.

මාලිමා ආණ්ඩුවේ නායක අනුර කුමාර දිසානායක කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලනය කරන කාලයේ අරවින්ද නමින් පෙනී සිටි බව සඳහන් වන ලිපි සති අන්ත පත්තරවල පළ වේ. අරවින්ද යනු ඒ කාලයේ සිංහල සාහිත්‍යය පිළිබඳව උනන්දු ඕනෑම කෙනෙකු දන්නා චරිතයකි. විඥානවාදී නවකතා ධාරාවේ ආරම්භක කෘතිය ලෙස සැලකෙන විරගය තරම් සංවාදයට ලක් වූ වෙනත් නවකතාවක් නැති තරම්ය. අරවින්ද චරිතය වත්මන් සමාජයට ආවේ මාර්ටින් වික්‍රමසිංහගේ ‘විරාගය’ චිත්‍රපටයක් වූ පසුවයි. විරාගය පොතේ විස්තර කෙරෙන අරවින්ද දුර්වල තරුණයෙකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාත් අඩු පෞරුෂයක් ඇති නායකයෙකු වශයෙන් සැලකේ. සමහරුන්ගේ අදහස ටිල්වින් සිල්වාට වුවමනා විදිහට වැඩ කරන බවයි. මාලිමාව මෙහෙයවන්නේ ආචාර්ය හරිනි අමරසූරිය බව තව සමහරුන්ගේ මතයකි. රටේ සිදු වන දේශපාලන පෙරළි සැලකිල්ලට ගනිද්දී ලංකාවේ සිංහල බෞද්ධයින්ගේ හා ඔවුන්ගේ නායකයින්ගේ දැනුම හා බුද්ධිය ගැන කතා කළ යුතු නැත. ඔවුන් කටයුතු කරන්නේ තල් අත්තට බෙලිගෙඩිය වැටුණු සද්දය අසා රැවටුන හාවා වගේය. හාවා පඳුරෙන් එළියට පැන ‘ලෝකය කඩා වැටෙනවෝ’ කිය කෑ ගසමින් පණ කඩාගෙන දිව්වේය.

තමිල්නාඩුවේ සහ ලංකාවේ දේශපාලනය සමස්තයක් වශයෙන් සලකන විට විශාල විපර්යාසයක් වෙමින් පවතී. මෙතෙක් ක්‍රිස්තියානි දේශපාලනයට යට වී තිබුණේ කේරළය පමණකි. දැන් එය ලංකාවත් ජය ගෙන ඇත. තලපති විජේගේ පැමිණීම පෙන්වා දෙන්නේ, කුණාටුව තමිල්නාඩුව කළඹවන බවයි. මෙය ක්‍රිස්තියානි පල්ලියේ කුණාටුවක් බව පෙනේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link