දිලිත් අරුන් එකමුතුව හා රටේ අනාගතය

Last Updated on 3 months by admin

අරුන් සිද්ධාර්ථන්, දිලිත් ජයවීර නායකත්වය දරන මවුබිම ජනතා පක්ෂය සමග එක් වූ පුවත ඊයේ ‘දෙරණ’ ප‍්‍රවෘත්ති විකාශයෙන් ඉදිරිපත් කෙරිණි. එහි වැදගත්කම අවබෝධ කරගත හැක්කේ අරුන්ගේ දේශපාලන දැක්ම පැහැදිලි කරගැනීමෙනි.

අරුන්, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම, රට බෙදීම, පෙඩරල් ආණ්ඩුවක් හැදීම, 13 ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීම ආදි බෙදුම්වාදී දේශපාලනයෙන් තොර අදහස් ඉදිරිපත් කරන්නෙකි. ඔහු උතුරේ ජීවත් වන දෙමළ කතාකරන කුලහීන ජනතාවගේ මුල පැහැදිලි කිරීමට උත්සාහ කළේය. ඔවුන්ගේ මුතුන් මිත්තන් සිංහල ජාතිකයින් බව නොපැකිළව කීවේය. උතුරේදී එක කතාවකුත් දකුණේදී ඊට වෙනස් කතාවකුත් නොකී ඔහු සිංහලයින් අතර ජනප‍්‍රිය දේශපාලනඥයෙක් බවට පත් විය.

කුල හීනයන් වශයෙන් සැලකෙන උතුරේ දෙමළ ජනතාව හින්දුන් හෝ ක‍්‍රිස්තියානින් වශයෙන් ලේඛනගත වීමට පෙර බෞද්ධයන් බව පැහැදිලි කළ ඔහු බෞද්ධයෙකු වශයෙන් කටයුතු කරන්නට වූයේය. උතුරේ නටබුන් වී පවතින සිය ගණනක් බෞද්ධ වෙහෙර විහාරවල ඉතිහාසය පැහැදිලි කළ ඔහුගෙන්, ඒ සියල්ලකම දියුණුව හා ආරක්ෂාව රඳා පවතින්නේ ආණ්ඩුවේ, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ, සංස්කෘතික අමාත්‍යංශයේ හෝ වෙනත් ආයතනයක බලය මත නොව බෞද්ධයන් බවට පත් වන උතුරේ දෙමළ ජනතාවගේ ශක්තිය මත බව පැහැදිලි විය.

හරිජන පවුල් ලක්ෂයක් සමග බුදුදහම වැළඳගත් ආචාර්ය අම්බෙඞ්කාර් ඉන්දියාවේ සමාජ විප්ලවයක් කළේය. නරේන්ද්‍ර මෝදි බලයට පත්වී පැරණි රණකාමී හින්දු සංස්කෘතිය තහවුරු කරන්නට යාමෙන් ඊට විශාල හානියක් සිදු විය. පසුගිය ඉන්දිය මහා මැතිවරණය ඊට සාක්කියකි. හින්දු ඡුන්ද දායකයින් බහුල උතුරේ ප‍්‍රාන්තවලින් පවා භාරතීය ජනතා පක්ෂය පසුබෑමකට ලක් විය. ඊට හේතුව, හින්දු ආගම හා සංස්කෘතිය කුල භේදයට අනුබල දෙන්නක් බව හරිජන හින්දුන්ගේ සහ බෞද්ධයන්ගේ සිත්වලට ඇතුළු කිරීමට සෙසු දේශපාලන පක්ෂ සමත් වීමයි.

භාරතීය ජනතා පක්ෂයට කැමති මුස්ලිම් ආගමිකයන් පිරිසක් සිටී නම් ඒ ඉතා ස්වල්පයකි. පකිස්ථානය ඇතුළු ඉන්දියාව අවට ඉස්ලාම් රටවල් මෝදිගේ පාලනයට විරුද්ධව කඳවුරක් බඳිති. මාල දිවයින, රටේ සිටි ඉන්දියානු හමුදාව පිට කළේය. මෝදිගේ හින්දු ඉන්දියාවට ලංකාව ගිලගනු ඇතැයි බියක් සිංහල බෞද්ධයන් අතරද පවතී.

ලංකාවේ සම්පත් ඉන්දියාව ප‍්‍රධාන විදේශීය රාජ්‍යයනට පාවා දෙන ජනාධිපති රනිල් සමග අරුන් එක්වීම බොහෝ සිංහලයන්ට ගැටලූවක් විය. අරුන් උතුරේ එජාප සංවිධාකයා වූයේය. ඊට හේතුව, රනිල් මාර්ගයෙන් උතුරේ කුලහීන ජනතාවගේ පාසල් හා අධ්‍යාපන කටයුතුවලට ආධාර ලබා ගැනීම බව අරුන් කීවේය. උතුරේ දේශපාලනයේ අධ්‍යාපනය විශාල සුදුසුමකි. බෙදුම්වාදී දේශපාලනඥයින් සියලූ දෙනාම පාහේ හින්දු හෝ කතෝලික පාසැල්වලින් අධ්‍යාපනය ලැබ උගත්තු වූහ. එවැනි හැකියාවක් නැති කුලහීනයන්ට සිදු වූයේ කිසිම පහසුකමක් නැති කුඩා පාසැලකට ගොස් කම්කරු රැකියාවක් ලබාගැනීම හෝ ගස් මැදීම වැනි වෘත්තියක් තෝරාගැනීමටයි. අරුන් ජනාධිපති රනිල්ට එක්වීමෙන් ඉදිරි දේශපාලන කටයුතු කිරීමට රාජ්‍ය ආරක්ෂාව ලබාගත්තේ යයි සිතන පිරිසක්ද සිටියි.

සිංහල ජාතිකත්වය යනු කුණාටුවක් මෙන් පැමිණ සුළඟක් සේ පිටව යන්නක් නොවේ. එය අවුරුදු දහස් ගණනක් තිස්සේ රට වැසියන්ගේ ශරීර තුළ පවතින උරුමයකි. කලින් කල බලවත් විජාතික බලවේගයන් හමුවේ එය යටපත් වේ. එහෙත් අවස්ථාව ලැබූ සැණින් නැවත මතු වෙයි. පෘතුගීසින්ගේ ආරක්ෂාව යටතේ ගෝවේ හැදුණු දොන් ජෝන් හෙවත් කොනප්පු බණ්ඩාර පෘතුගීසින් රටේ බලය අල්ලා ගැනීමට ඔන්න මෙන්න තිබියදී ලංකාවට පැමිණ සිහසුන උදුරාගෙන පළමුවෙනි විමලධර්මසූරිය නමින් රජ විය.

එස්. ඩබ්ලිව්. බණ්ඩාරනායක බි‍්‍රතාන්‍යයන්ට මහත් සේ උපකාර කළ දේශීය ප‍්‍රභූවරයෙකුගේ පුතෙකි. කළුසුද්දෙක් වශයෙන් එංගලන්්තයේ ඉගෙනුම ලැබූ ඔහු ලංකාවට පැමිණ බෞද්ධයෙකු වී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළේය. බණ්ඩාරනායක අගමැතිවරයා එම ක‍්‍රියාව නොකරන්නට වර්තමාන ලංකාවේ ප‍්‍රබලයන් වශයෙන් කටයුතු කරන වැඩි පිරිසකට හේන් කෙටීම, කුඹුරු කෙටීම වැනි ක‍්‍රියාවන්හි යෙදෙනවා හැර ඔය හපන්කම් කිරීමට නොලැබේ. වර්තමානයේ කළුසුද්දන් සේ හැසිරෙන තෙන්නකෝන් මුණුබුරන්ලා සිටියද, 1956 දඹුල්ලේ මන්ත‍්‍රීවරයා වූ තෙන්නකෝන්, දඹුල්ල බස් නැවතුම් පොළේ පදිංචිව සිටි කවිකොලකාරයෙකි.

මහජන ඡන්දයෙන් බලය නොලබා ජනාධිපති වූ රනිල් වික‍්‍රමසිංහ, රටේ භූමිය තමන්ගේ බූදලයක් වශයෙන් බෙදමින් බලය තහවුරු කර ගැනීමට සැරසේ. ‘දකුණේ මිනිසුන් කුමක් කීවත් 13 වැනි සංශෝදනයෙන් ප‍්‍රකාශ කරන බලය උතුරට දෙන බවට’ සජිත් පේ‍්‍රමදාස වහසිබස් දොඩවයි. අනුර දිසානායක ජාතියක් ආගමක් නැති කොමියුනිස්ට් සමාජයක් බිහි කිරීමට සැරසේ. හරිනි අමරසූරිය කරන්නේ, මාලිමාවේ වාඩි වී බටහිරට වුවමනා අදහස් රටේ ප‍්‍රචාරය කිරීමයි.

රට බෙදීමේ සියලු බලවේග පරාජය කරන්නට ඇත්තේ එකම මගකි. ඒ ජාතිකත්වය පදනම් කරගත් ආණ්ඩුවක් සහ නායක මණ්ඩලයක් බිහිකර ගැනීමයි. දිලිත් ජයවීර සමග එක්වීමෙන් අරුන් පැහැදිලි කරන්නේ ඒ මාවත කුමක්ද යන්නයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link