ධනේශ්වර රටවලට බැට දෙන මාක්ස්වාදීන් ඒවායේ පදිංචියට යන්නේ ඇයි?

Last Updated on 1 week by admin

ලෝක දේශපාලන බලතුලනයේදී තම ක්‍රමය රැක ගැනීමට ධනේශ්වර සහ සමාජවාදී කඳවුරු දෙක ගත් සියලු ක්‍රියා මාර්ග ඉතිහාසයේ ලියවී ඇත. එයින් මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී සමාජවාදයට, වචනයෙන් ප්‍රකාශකළ මානුෂිකබව, මානව දයාව සහ ප්‍රජාතන්ත්‍රවාදීබව වර්ධනය කරගත නොහැකිවූ අතර ධනේශ්වර යයි කියන  ලෝකය එය යහපත් දිසාවට වෙනස් කර ගනිමින්  තම මානුෂික භාවයේ කොටස ප්‍රායෝගිකවම ක්‍රියාවට නගා පෙන්වුහ.

මේ උදාහරණ ඉතාම සරලය. පැහැදිලිය. ඇත්තය.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ස්පාඥ්ඥය යන රටවල් ලෝකයේ සිවු දිගින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සරණාගතභාවය සහ දේශපාලන රැකවරණ ලබාදී රටේ පුරවසිභාවයද ලබාදෙයි. මෙම රටවල ඇති මානුෂික නිදහස, කාරුණික භාවය, සමානාත්මතාව ගැන දන්නේ මෙම රටවලට පැමිණ ජීවත් වන්නන් පමණි.  වසර 70ක් තිබී කඩා වැටුණ සමාජවාදී කඳවුරේ රටවල් එසේ නොකළ අතර දැනට ඉතිරිවී ඇති නාමික සමාජවාදී රටවල් එසේ නොකරයි.

ලංකාව කොමියුනිස්ට්වාදී සමාජවාදී රටක් කිරීමට සටන්කොට පැරදී ජීවිතාරක්ෂාව පතා මේ ධනපති රටවලට පැමිණ දේශපාලන රැකවරණ ඉල්ලු කවරෙකුගෙන් වුව මෙම රටවල් මෙසේ නෑසුවෝය.  ” හා! නුඹලා තමන්ගේ රටවල තිබිච්ච අපේ ක්‍රමයේ ආණ්ඩු පෙරළන්න හදලා දැන් අපේ රටවලටම ඇවිල්ලා ආරක්ෂාව ඉල්ලනවා නොවේද?.”  නොඑසේනම් සමච්චල් නොකළෝය. රැකවරණ දී ආදරයෙන්ම සැලකුවෝය.

ජවිපෙ හිටපු නායක සෝමවංස අමරසිංහ ජීවිතාරක්ෂාව පතා පැමිණ අවුරුදු 14 ක්ම ජීවත්වූයේ ඉතාලියේ, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සහ සියලු පහසුකම් යටතේය. ඔහු රුසියාවට, චීනයට, වියට්නාමයට, උතුරු කොරියාවට, කියුබාවට නොගියේ මන්ද? එම රටවල එවන් මානුෂික ප්‍රතිපදාවක් නොමැති නිසාය. එහෙත් පසුව තම රටට  යන ඔහු සමාජවාදී ලංකාවක් හැදීමට ජනතාව පොළඹවයි.

පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් ජීවිතාරක්ෂාව පතා ගියේ ධනපති ඔස්ට්‍රේලියාවටය. ඔහු ගියා වුවද එකදු සමාජවාදී රතු රටක් ඔහු භාර නොගනියි. පසුව නැවත  ලංකාවට ගිය ඔහු සමාජවාදී රතු ලංකාවක් හැදීමට ජනතාව පොළඹවයි. තමා විඳි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිදු හොඳක් නොකියයි.

ජවිපෙ හිටපු නායක  රෝහණ විජේවීර 1989 ඝාතනයට ලක්වූ තැන්සිට ඔහුගේ වැන්දඹු බිරිද සහ දරුවන් 6 දෙනෙකු ගතවූ වසර 34 පුරාවටම සියලු පහසුකම් දෙමින් රැක බලා ගත්තේ එදා මෙදා පැවති ධනපති ආණ්ඩු විසිනි. ඒ ප්‍රේමදාසද, චන්ද්‍රිකාද, මහින්දද, රනිල්ද, මෛත්‍රී ද යන ප්‍රශ්නයක් නොවීය. මෙම  මුළු කාලයේදී විජේවීර මහත්මිය විසින් හමුදා කඳවුරු ජීවිතයෙන් මිදී ජීවත්වීමට තමන්ට නිවසක් ලබා දෙන්නැයි වත්මන් ජවිපෙ නායකයන්ගෙන් කොතරම් ඉල්ලීම කර තිබේද?  ඔවුන් ඒ සඳහා මානුෂික වුයේද? වුයේ නම් විජේවීර මහත්මිය මේ දැනුත් නාවික හමුදා කඳවුරු නිවස්නයක සිටින්නේ ඇයි?

විජේවීර මහත්මිය  පැවති රජයන් යටතේ අදටත්  නිරුපද්‍රිතව වෙසෙතත් 1989 දී ජවිපෙ රජයක් බලයට පත්වී නම් එවකට සිටි රාජ්‍ය නායකයන්ගේ බිරින්දන්   සහ දරුවන්  (තව බොහෝ දෙනෙකු) රජයේ භාරයට ගෙන නඩත්තු කරනු ඇතැයි කවරෙකු හෝ සිතන්නේද? ඔබ එසේ සිතන්නේ නම් ඒ ඔබගේ නොදැනුවත්කම මිස අන් යමක් නොවේ.

කවර තත්වයක් යටතේ හෝ ජීවිත සුරක්ෂිතතාවය ගැන සහතිකයක් ඇත්තේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ද ? නැද්ද???

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link