ධර්මපාලතුමාගේ රුසියානු මිතුරා: නිකොලායි රෝරික්

Last Updated on 2 days by admin

ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල විෂය හැදැරූ හැම දෙනෙක් ම ඇන්ටන් චෙකොෆ්ගේ (1860 – 1904) නම අසා ඇතුවා නිසැක ය. ඊට හේතුව කලක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසකගෙන් ඇන්ටන් චෙකොෆ්ට ලැබුණු පුඵල් ප්‍රචාරයයි. එමනිසා ම සමහරෙක් රුසියානු සාහිත්‍යය හෝ සාහිත්‍යකරුවන් පිළිබඳ ව කිසිවක් නොදනිතත් ඇන්ටන් චෙකොෆ් යනු ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛයෙක් යයි කීමට දනිති. චොකොෆ් ලියූ එක් ප්‍රසිද්ධ නාට්‍යයක් සහ ඔහුගේ කෙටිකතා කිහිපයක් සිංහලට පරිවර්තනය වී තිබේ.

පේරාදෙණි සාහිත්‍යකරුවන් චෙකොෆ් මේ තරම් ඇගැයීමට කුමක්හෝ හේතුවක් තිබිය යුතු ය. ඔහු ලංකාවට පැමිණි අයකු වීම නිසා ම පේරාදෙණි ඇදුරන් පිරිසගේ මහත් ඇගැයුමට ලක්වූයේ යයි සිතිය නොහැකිය. තවත් ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන් කිහිප දෙනෙක් ම ලංකාවට පැමිණ ඇත්තෝය. ඔවුන් අතරින් රවීන්ද්‍රනාත් තාගෝර් හෝ පේරාදෙණි ඇදුරන්ගේ නිසි ඇගැයුමට ලක් වී නැත.

චෙකොෆ්ගේ සොහොයුරු මිචායිල් චෙකොෆ් නමැති ඇමරිකන් රුසියානුවා ලියා ඇති පොතේ ඇතුළත් චෙකොෆ්ගේ ලංකා ගමන පිළිබඳ තොරතුරු කිහිපයක් ඔහු ගැන ලියූ හැමගේ සැලකිල්ලට යොමුව තිබේ. චෙකොෆ් කොළඹ ගාලු මුවදොර හෝටලයේ නවාතැන් ගෙන ඇත්තේ ය (දැන් හෝටල් බලධාරීන් චෙකොෆ් නැවතී සිටි කාමරය චෙකොෆ් කෞතුකාගාරයක් බවට පත් කර ඇත).

චෙකොෆ් මෙම හෝටලයේ නැවතී සිටි දිනයන්හි හැන්දෑ යාමයේ සුරාමතින් එළියට ගොස් අසල පොල් රුප්පාවට එන ගණිකාවක් සමඟ හැසිරීම ගැන ද චෙකොෆ් ලංකාව පරාදීසයකැයි කී බව ද ඔහු ගැන ලියන අය සඳහන් කර ඇති තවත් කරුණු දෙකකි.

මේ කලාකරුවා ලංකාවේ කොතරම් ගෞරවයට පාත්‍ර වී ඇත්තේ ද යත් පසුගිය කාලයේ ඔහුගේ පිළිරුවක් නිරාවරණය කෙරුණි. මේ හැම ක්‍රියාවකටම පේරාදෙණි ඇදුරන් චෙකොෆ් කෙරෙහි දැක්වූ විශේෂ ඇල්ම හේතු විණි. පේරාදෙණි සාහිත්‍යය නමින් සාහිත්‍ය සම්ප්‍රදායක් ආරම්භ කිරීමට වෙහෙසුණු පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඇදුරන් පිරිස සුරාව හා කාමාස්වාදය බොහෝ ඉහළින් ඇගයූ පිරිසක් වශයෙන් ප්‍රසිද්ධිය ලබා සිටිති.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ සාහිත්‍ය කෘති විවේචනය කරමින් ‘පේරාදෙණි සාහිත්‍යය හා ජපන් කාම කතා හෙවනැල්ල’ නමින් විවේචන ග්‍රන්ථයක් ප්‍රසිද්ධ කළේ ය. පේරාදෙණි ඇදුරන්ගේ ජීවිතයේ සුරාව කොතරම් වැදගත් කාරණයක් වී ද යන්න සිංහල ප්‍රවෘත්ති පත්‍ර කිහිපයක නිරන්තර ඇගයුමට ලක්වෙන මහාචාර්ය සුචරිත ගම්ලත් ලියූ ලිපි කිහිපයක් මඟින් ද පැහැදිලි විණි. පහත ඇත්තේ වරෙක ඔහු ලිපියක කොටසකි:

“මාගේ ගුරුදේව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශේෂ අනුග්‍රහයෙන් මේ සුබැසි රැස්වීම්වලට නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගි වීමට මට ද වරම් ලැබිණ… ඇතැම් සැන්දැවක මේ විදග්ධයෝ නුවර වැවේ රවුමේ සෙමෙන් සෙමෙන් සරති….. මේ පාදචාරයන් කෙළවර වන්නේ රැජින හොටලයේ ආලින්දයේ මන්දාලෝකිත කොනකය. එහි ද රෑ බෝවනතුරු මී රස හා සුබස රස ගලායයි”.

පාසල් දරුදැරියන් ඇතුළු වයස තරාතිරමක් නැතිව මහජනයා කියවන ජාතික යයි සැලකෙන පුවත්පතක පළ වූ ලිපියක මෙබඳු දෑ සඳහන් වීම යහපත් දෙයක් නොවේ. මෙයින් කෙරෙන්නේ සුරා පානය කිරීම ඇගයීමයි. තරුණ පෙළ එවැනි ක්‍රියා සදහා පෙළඹවීමයි.

පේරාදෙණි කල්ලිය ඇරඹූ කාමය හා සුරාව පැතිරවීමේ වැඩපිළිවෙල පාසල් මගින් ද සිදු වේ. එදා මාර්ටින් වික්‍රමසිංහ කාම කතා වශයෙන් පෙන්වා දුන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මලවුන්ගේ අවුරුදු දා’ වැනි පොත් අද අධ්‍යාපන දෙපාර්තමේන්තුව උසස් පෙළ සිංහල විෂය සඳහා නිර්දේශ කර ඇත. සිසුන් සඳහා මෙබඳු පොත් තෝරාගන්නා උගතුන් සිංහල දරුවන් කෙරේ කිසියම් වෛරයකින්ප සුවන්නේ දැයි සැක ඇතිවේ. එය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදින් සිංහල සමාජය විනාශ කිරීමට අනුගමනය කළ සංස්කෘතිය දූෂණය කිරීමේ මාර්ගයයි.

මෙයින් ජාතිය ගලවා ගැනීමට ධර්මපාලතුමා දැඩි වෙහෙසක් දැරුවේ ය. එම නිසා බි්‍රතාන්‍ය පාක්ෂික සිංහලයෝ ධර්මපාලතුමා ජාතිවාදියකු වශයෙන් නම් කළෝ ය.

පේරාදෙණි කල්ලියේ මහාචාර්යවරුන් ඇන්ටන් චෙකොෆ් ජනප්‍රිය කරවීමට ප්‍රධාන කාරණය ඔහුගේ සාහිත්‍ය සේවය නොව ජීවිතයට සම්බන්ධ සුරාසොඬභාවය හා ස්ත්‍රීලෝලිත්වය ඔවුන් දැඩි ලෙස අගය කිරීමයි. ඔවුන් හෝ සෝවියට් මිත්‍ර සංගම් පවත්වාගෙන බොහෝ ප්‍රයෝජණ ලැබූ පුද්ගලයන් හෝ ලංකාවට දැඩි ලෙස ඇල්ම දැක්වූ ශ්‍රේෂ්ඨ රුසියානුවකු පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැත.

නිකොලොයි කොන්ස්ටන්ටයින් රෝරික් නමින් ප්‍රකට මෙතුමාණන් ගැන විස්තර ලියන කෝෂග්‍රන්ථ, රෝරික්, දාර්ශනිකයකු, චින්තතයකු, ගවේෂකයකු, ලේඛකයකු, චිත්‍ර ශිල්පියකු ආදි වශයෙන් හඳුන්වයි. අපට වැටහෙන ලෙසට ඒ හැම විග්‍රහයක ම අඩුවක් පවතී.

රෝරික් කිසි ම විෂයකට සීමා කළ නොහැකි ය. එතුමා මුනිවරයෙකි. රෝරික් හා සමාන කරන කල්හි චෙකොෆ් යනු යෝධයකු අසල සිටගත් අඟුටුමිට්ටෙකි. එහෙත් වන්දිභට්ටයෝ යෝධයා නොදුටුවා සේ අඟුටුමිට්ටා අගයති.

රුසියාවේ පීටර්ස්බර්ග්හි ඉහළ මධ්‍යම පංතියේ පවුලක උපත ලැබූ රෝරික්, නීතිඥයකු හෝ වෛද්‍යවරයකු කරන්නට නීතිඥ පියාට අවශ්‍ය වූ නමුත් ඔහු බාලකාලයේ සිට ම ගවේෂකයෙක් වූයේ ය. මේ නිසා ම අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු හෙතෙම ගවේෂණ චාරිකා පටන් ගත්තේ ය. හිමාල ප්‍රදේශයේ කළ මෙබඳු ගවේෂණ චාරිකාවක දී ලඩාක්හි හෙමිස් නම් ආශ්‍රමයට ගිය රෝරිකට එහි විසූ ලාමාවරයෙක් යේසුතුමාගේ ජීවිත කතා තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළේ ය.

යේසුතුමා බාල වියේ දී කාශ්මිරයට පැමිණීම, එහිදී මහණවී උපසම්පදාව ලැබීම, පෙරළා රටට ගොස් බුදුදහම දේශනා කරන්නට ගොස් කුරුසියේ ඇණ ගැසුම්කෑම, අනුගාමිකයන් එතුමන් ගලවාගෙන කාශ්මීරයට ගෙන ඒම යන මේ සියලු කරුණු එම සංග්‍රහයේ අඩංගුව තිබුණි. රෝරික් එම ග්‍රන්ථය පිටපත් කරගෙන ගොස් පූජකවරුන්ගේ බලවත් විරෝධය මැද ප්‍රකාශයට පත් කළේ ය.

රෝරික්ගේ ධෛර්යය නිසා යේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයකු බව ලොවට හෙළිවූයේ ය. රෝරික් ජීවිතයේ පශ්චිම සමය ඉන්දියාවේ හිමාල අඩවියෙහි ගෙවුයේ ය. හිමචල් ප්‍රාන්තයේ කුල්දු නිම්නයේ බිස් ගංගාව අසල ස්ථානයක එතුමන්ගේ සොහොන්කොත දකින්නට පුළුවන. මොස්කව් නුවර පිහිටුවා ඇති රෝරික් කෞතුකාගාරය, නිව්යෝක්හි ජාත්‍යන්තර කලාගාරය, ඉන්දියාවේ පිහිටි උරුසුවති ආයතනය ආදි ස්ථානයන් ගැන අඩුම තරමින් අන්තර් ජාලයේ අඩංගු තොරතුරු විමසීමෙන් හෝ ඕනෑම අයකුට රෝරික් පිළිබඳ බොහෝ විස්තර දැනගැනීමට පුළුවන.

රෝරික් පඬිතුමා ලංකාවට පැමිණි අයෙකි. එතුමා මහනුවර ගොස් දන්තධාතුන් වහන්සේ වැදපුදාගත්තේ ය. ඒ ගමන් විස්තරය පිළිබඳ තොරතුරු සොයන විට එතුමන් අනගාරික ධර්පාලතුමා සමඟ පවත්වා ඇති මිත්‍රසබඳතා හෙළි වේ. සමහරවිට රෝරික් චරිතය ලංකාවේ ප්‍රසිද්ධ නොවන්නට ප්‍රධාන හේතුව ධර්මපාලතුමන් සමඟ පැවති මේ සම්බන්ධතාව විය හැකි ය.

යේසුස් බුද්ධ ශ්‍රාවකයකු බව හෙළිදරව් වීම දෙවැනි කාරණයයි. අනාගරික ධර්මපාලතුමාගේ ප්‍රතිපත්ති නැති කිරීමේ නොයෙකුත් ව්‍යාපාර අදටත් ලංකාවේ ක්‍රියාත්මක වේ. එමෙන් ම රෝරික්තුමා ජනප්‍රිය වීම නොඉවසන පිරිසක් ද සිටිති. රෝරික් පඬිතුමා සිය ලංකා චාරිකාව ගැන සඳහන් කරමින් ලියූ ලිපියක් බු. ව. 2488 සිංහල බෞද්ධයා වෙසක් කලාපයේ දක්නා ලැබේ.

‘ස්වකීය චිත්ත සන්තානයෙන් කිසිවිටකත් අමතක නොවන සිද්ධිය’ මැයෙන් සඟරාවේ පළ වී තිබුණු ඒ ලිපියේ අඩංගු වන්නේ මහනුවරට ගිය ගමන පිළිබඳ පුවතකි. ලිපිය අවසන් කරන රෝරික් පඬිතුමා මෙසේ සඳහන් කරයි:

“බෞද්ධ කල්‍යාණ මිත්‍ර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ලෝවැඩ වඩනු පිණිස පිහිටුවා තිබෙන ‘සිංහල බෞද්ධයා වෛශාඛ්‍ය සංග්‍රහය’ සඳහා වචන කිහිපයක් ලිවීම සඳහා පෑන අතට ගත් හැටියේ ම මගේ මනැස අතීතය කරා යොමු වී මේ වචන කිහිපය ලියැවුණේ ය. එහෙත් සම්බුද්ධ ජයන්තිය සම්බන්ධ ලේඛනයක ආරම්භයේදී මට මෙබඳු සිතුවිල්ලක් දර්ශනයක් පහළ වීමේ හේතුව කවරේ ද? අවුරුදු කීපයකින් වැසී පවත්නා අතීත සිද්ධියක් කරා මගේ මනැස දිවීමේ හේතුව කවරේ ද? ගෞතම තථාගතයන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත සභ්‍යත්වයත් සාධුර්ථවයත් උන්වහන්සේ විසින් දර්ශිත අනාගත ලෝකයත් පිළිබඳ ඡායාමාත්‍රයක් මේ අල්පමාත්‍ර සිද්ධියක් තුළ තිබීම එහි හේතුව ය.

“ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද තිබ්බතයේ ද චීනයේ ද මොන්ගෝලියාවේ ද රුසියාවේ ද මගේ හිතමිතුකම් දිනාගත් මගේ විශ්වාසය භක්තිය දිනාගත් බෞද්ධ මිත්‍රයෝ බොහෝ ය. ශාක්‍යමුනින්ද්‍රයාණන් වහන්සේ මුවගිරින් උදාවුණු සද්ධර්ම සූර්යයා නිසා පහළ වී පිබිදුණු මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදී ගුණ තඹුරු මේ හැම මිත්‍රයෙකු තුළ ම මට දක්නට ලැබේ. කිසිවිටෙක කිසිවකුට හානියක් නොකිරීම ද මනුෂ්‍ය සමාජයේ හිතසුවයට අදාළ හැම දෙයක් හැමවිට ම ඇතිකිරීම ද උතුම් බෞද්ධයාගේ ගුණයකි. තථාගතයාණන් වහන්සේගේ අභිප්‍රේථාර්ථය ද එය ම ය.”

රෝරික් පඬිවරයා ලියූ මේ සටහන අනගාරික ධර්මපාල චරිතය කුමක් දැයි පැහැදිලි කර දෙන්නකි. එතුමා ජීවිතයේ හැම වෙහෙසක් දැරුවේ මනුෂ්‍ය හිතසුව වෙනුවෙනි. එතුමා සිය ජාතිය අවදි කළේ අනිකුත් ජාතින් මැඬීම සඳහා නොවේ. සිංහල බෞද්ධ සිරිත ගොඩනංවා සියලු සත්ත්වයා සුවපත් කිරීමේ අරමුණෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link