නාමල්, කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න

Last Updated on 4 weeks by admin

බ්‍රිතාන්‍ය පාලකයින් සංහාරයකින් අවසන් කළ 1848 නිදහස් සටන ආයෙත් මතුවුනේ පානදුරාවාදය විදිහටයි. අනාගරික ධර්මපාලතුමා ඒ සටන දිගටම කරගෙන ගියා. පානදුරාවාදයට පණ දුන්න මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් අඩු වයසින් අපවත් වෙන්නෙ මේ අතරයි. ධර්මපාලතුමාව ඉන්දියාවේ නිවාස අඩස්සියට පත්වෙනව. එතුමාගේ සමිපතම අනුගාමිකයා වලිසිංහ හරිස්චන්ද්‍රතුමා අනුරාධපුරය නිදහස් කරගැනිමේ වැඩපිළිවෙළක යෙදී ඉද්දි කෝලහාලයක් කළේ යයි චෝදනාවට හිරේ දමනව. එතනදි එතුමාට වස කැවු බවයි කියවෙන්නෙ. හිරෙන් නිදහසු වු එතුමා ඉතාම අඩු වයසින් අභාවයට පත් වුණා. එයින් පසුව ධර්මපාලතුමා පණගැන්වූ ජාතික නිදහස් සටන කළුසුද්දන් අතට පත්වෙනව. ඔවුන් ජාතික නිදහස් සටන පටු දේශපාලන වාසි පිණිස පාවිච්චි කළා.

රට මේ විදිහට යද්දි කොටගම වාචිස්සර හිමි, එච්.එල්. මෙත්තානන්ද ඇක්. කියු. දියස් ඇතුළු පිරිස් ‘බෞද්ධ බලවේගය’ අරඹනව. කොටගම වාචිස්සර හිමියනුත් අකාලයේ අපවත් වෙනව. 56 ජයග්‍රහණයට නායකත්වය දුන් බණ්ඩාරනායක අගමැතිවරයාව ඝාතනය වෙනව. ඊට භික්ෂූන් වහන්සේලාව පැටලීමෙන් සංඝ සමාජයට අපකීර්තියට පත් වෙනව.

මේ හැම තැනකදිම දැකිය හැකි පොදු ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි ජාතික සටනට පණ දුන් නායකයින් අකාලයේ අපවත්වීම හෝ මරණයට පත්වීම. සිරඅඩස්සියට පත්වීම. මේ මාර්ගවලින් නිදහස් සටන අඩපණ වෙනව.

ගංගොඩවිල සෝම හිමියන් සටනක් ඇරඹුවා. උන්වහන්සේත් අඩු වයසින් අපවත් වුණා.

ජාතික නිදහස් සටනේ ඊළඟ අවස්ථාව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමයි. ඊට නායකත්වය දුන් අය එකිනෙකාට පසමිතුරන් කිරීම හා රට විනාශ කළ ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම අපි දැන් අත්විඳිමින් ඉන්නවා.

මෑතකදී මේ ජාතික සටනට සම්බන්ධ වුණු පිරිස් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ අය බව හඳුනාගත හැකියි. සෙසු දේශපාලන පක්ෂවල අය ඊට දායක වුණේ නෑ කියලා කියනවා නෙවෙයි. නමුත් බොහෝ අය තමන්ගේ දේශපාලන පක්ෂවල නායකයින් අනුව යමින් ජාතික නිදහස් සටන හමුවේ නිහඬව සිටීම හෝ විරෝධය පෑම දකින්නට හැකි වුණා. යුද්ධය දරුණුවට යන කාලේ, අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා වැනි කතා එජාප නායකයින් කියද්දි දැන් ලොකුවට ඝෝෂා නගන එජා පාක්ෂිකයන් කටවල් වහගෙන සිටීම උදාහරණයක්.

56 දරුවන් නැතිනම් ධර්මපාල පරපුර වැනි නම්වලින් හැඳින්වෙන මේ පිරිස තමයි බුදු සසුන ආරක්ෂා කරගැනීම හා රට නොබෙදා ආරක්ෂා කරගැනීම සඳහා වෙහෙසුන පිරිස. ඔවුන් අවසානයේ ඇවිත් නතර වුණේ පොහොට්ටුවෙ.

ඒ නිසා පොහොට්ටුව කියන්නේ, මහින්දගේ, ගෝඨාභයගේ, බැසිල්ගේ, නාමල්ගේ හෝ පිදේනි තටුවට කෙළ හලමින් සිටි දැන් රනිල්ට එකතුවෙලා ඉන්න මන්ත්‍රී රොත්තේ බූලදයක්, බලවේගයක් නෙවෙයි. පොහොට්ටුව කියන්නේ මේ රටත් බුද්ධ ශාසනයත් බේරගන්න ඕන කියන අධිෂ්ඨානය පරම්පරා ගණනාවක් තිස්සේ ජානගත වෙලා ඉන්න මිනිස්සුන්ගේ බලවේගයයි.

රට බෙදන්න, රට අන්‍යාගමික දේශයක් කරන්න වෙහෙසෙන පිරිස් මේ බව දන්නවා. ඒ නිසා තමයි ඌරගේ මාළු ඌරාගේ ඇඟේ තියලා කපනවා වගේ, අන්න අර කියපු පිරිස හරහාම මේ රට විනාශ මුඛයට ඇදලා දාන්න සැලසුම් හදන්නේ. චන්ද්‍රිකාගේ කාලේ ගිය සාම තවලම එක උදාහරණයක්. ජාතික හැඟීම් ඇති ජනයාගේ හිත් වෙනස් කිරීම තමයි ඉලක්කය. ඒ සඳහා ඔවුන් කලින් කලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.

දැන් මේ පිරිස අතරට මතයක් දාලා තියෙනවා රාජපක්ෂලා හොරකම් කරපු නිසා තමයි රට මෙතැනට වැටුණේ කියලා. රාජපක්ෂලා හොරකම් කළාද කියන්න මා දන්නේ නෑ. බලය තිබුණ කාලෙ ජවිපෙ අයත් වංචා, ඟාති මිත්‍ර සංග්‍රහ කළ එකේ රාංපක්ෂලත් එහෙව් වැඩ නොකළා කියල හිතන්නත් බෑ.

මේ රටේ සැලකිය යුතු පිරිසක් ඉන්නෙ හොරු, වංචාකාරයෝ බව නම් පැහැදිලියි. ඒකනෙ සමහර රාජ්‍ය සේවකයො මාසෙට පැය 600ක් අතිකාල කරලා කියලා ප්‍රවෘත්ති පළ වෙන්නෙ. රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයො වැහි වැහැල. මේ වගේ හොරු තමන්ගෙ ඇ’ග බේරගන්න දේශපාලකයන්ට ඇඟිල්ල දික් කරනව .

මහ බැංකුවෙ හිටපු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙ විරෝධය නොතකා අනවශ්‍ය වෙලාවක රන් සංචිත විකුණලා බිලියන ගණනක් පාඩු වුණා. බොහෝ දෙනෙක් ඒ ගැන කතාකරන්නෙ නෑ. ඇයි? ඒකෙ කිසි කුණු රහක් නෑ. දේශපාලන වාසියක් ගන්න විදියක් නැ.

රට මෙතනට වැටීම ගැන මහින්දලත් වගකිව යුතුයි. රනිල්, සජිත්, අනුර ඇතුළු පිරිසත් වගකිව යුතුයි. පොදුවේ රටේ මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයක්. දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩුවත් ජනතාවගෙන් වැඩි පිරිසකුත් ආදායමට වඩා වියදම් කළා. 77 විවෘත ආර්ථිකය නිසා රටේ නිෂ්පාදනය බිඳවැටුණා. දශක ගණනාවක් තිස්සේ ණය බර එන්න එන්න වැඩි වුණා. අලුත් ණය අරන් පරණ ණය ගෙව්වා. අන්තිමේ පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතය නිසා රටට නැගිටගන්න බැරි අගාධයකට වැටුණා. දැන් පෙනෙනවා නේද පාස්කු ප්‍රහාරයාගේ ඉලක්කය සාර්ථක බව. 2019 වෙනකොට ලංකාවේ ආර්ථිකය තිබුණේ ඉතාම නරක තැනක. අපට පිටිපස්සෙන් ආසියාවෙන් හිටියේ ඇෆ්ගනිස්ථානයයි.

මේ කඩාවැටීමට, දේශපාලකයන්, මහබැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවකයින් අතිමහත් බහුතරයක් වගකියන්න ඕනැ. ඒ වගේම හතු පිපෙනවා වගේ වැඩ වර්ජන කරමින් රටේ නිෂ්පාදනය අඩාල කර කෝටි ප්‍රකෝටි ගණන් පාඩු කළ ජවිපෙ ඇතුළු වෘත්තීය සංගම්කාරයොත් වගකියන්න ඕන. එල්ටීටීඊ හා ජවිපෙ ත්‍රස්තවාදය නිසා රටට කොයි තරම් හානියක් වුණාද? හොරට අතිකාල ගන්න පිරිස් ඇතුළු රාජ්‍ය, සංස්ථා, මණ්ඩල ආදියේ සේවකයින් අති විශාල පිරිසක්, සමෘධිය ගන්න මුදලාලිලා, උණ්ඩියල් ක්‍රමයට සල්ලි යවන අය, පගා ගහන ග්‍රාමසේවකලා වගේ දස ලස්ඛ සංඛ්‍යාවක් මේ කඩාවැටීමට වගකියන්න ඕන.

මේ සේරම පැත්තකට දාලා රාජපක්ෂ විරෝධයක් ගෙනාවේ පොහොට්ටුව වටේ එකතු වෙලා ඉන්න ජනතාවගේ ඡන්ද ටික මංකොල්ල කාලා රට බෙදීමේ වැඩපිළිවෙළට ඔවුන්ගේ සහයෝගය ගන්නයි කියන එක ධර්මපාල පරපුරට අවබෝධ විය යුතුයි.

69 ලක්ෂයක් ජනතාව ගෝඨාභයටයි පොහොට්ටුවටයි ඡන්දේ දුන්නේ රට බෙදනවාට විරුද්ධවයි. ආගමික ත්‍රස්තවාදයට විරුද්ධවයි. දැන් ඒ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය කට්ටියක් රට බෙදන්න කැමති රනිල්ට ආවඩනවා. මේක ඉවසිය යුතු දෙයක් නොවෙයි.

ධරිමපාල පරපුරේ තවත් පිරිස් බුදුසසුනට ගරහන මාලිමාවට ඡන්දෙ දෙන්න යනවා වෙනසක් කරන්න. වාසනාවට මාලිමාවට ආණ්ඩුවක් පිහිටුවන්න බලයක් ලැබෙන්නෙ නෑ. නැතිනම් ඒ කට්ටියට නුදුරේදීම බලාගන්න තිබුණා පාදඩ දේශපාලන පක්ෂයකට බාරදුන්නාම රටකට යන කල දසාව.

තවත් සමහරු සජිත්ටත් දීලා බලන්න හිතයි. එහෙමවත් පුළුවන්ද කියලා රට ගොඩගන්න. සජිත් කියන්නේ එජා පාක්ෂිකයන් රවටන්න තවරපු අවරපදං අයිසින් තට්ටුවක් විතරයි. සජිත්ගෙ ඔළුවට අටවලා තියෙන නූල් තියෙන්නෙ බෝන් එගෙන් කල්ලියෙ සහ අන්තවාදීන් බෙදුම්වාදීන් අතේ. ජනාධිපතිකම ගන්න සජිත් ඕනම පාවාදීමක් කරනව.

කොවිඩ් වසංගතයෙන් කඩාවැටුණු ලෝකය තවම දණින් යන්නෙ. ඇමරිකාවේ, චීනයේ ආර්ථික දුර්වල තත්වයකයි තියෙන්නෙ. තත්වය හිතනවාට වඩා දරුණුයි. මේ රටවල වැටීම ඉදිරියේදි ලෝකයට කොයි විදියෙන් බලපායිද කියන්න බෑ. බොහෝ දෙනා නොදන්නවා වුනාට ඉන්දියාවෙත් ආර්ථිකය ටිකක් පල්ලම් බැහැලා.

මේ නිසා රටේ අනාගතය ගොඩනැගිය හැක්කේ නිසි වැඩපිළිවෙළක් ඇති පිරිසකට පමණයි. මාලිමාවට එහෙම දැක්මක්වත් හැකියාවක් ඇති වැඩ්ඩොවත් නෑ. මං ඒ බව කලින් ලිපියකින් පෙන්නුවා.

සජිත්ලටත් එහෙම ආර්ථික දැක්මක් නෑ. හර්ෂ කියලා තිබුණෙ රට කැලිෆෝනියාවක් කරනවා කියලනෙ. කැලිෆෝනියාව කියන්නෙ, ජීවත්වෙන්න බැරිව මිනිස්සු අතඇරලා යන, අපරාධ වැඩිවෙන කඩාවැටෙමින් තියෙන ඇමරිකානු ප්‍රාන්තයක්.

මේ හැමෝම තමන්ට බලය ලැබෙනවා නම් රට බෙදන්න පක්ෂ අය.

රට ගොඩගන්න පුළුවන් යම් දැක්මක් තියෙන බවක් පෙනෙන්නෙ දිලිත් ජයවීරට පමණයි. ඔහු ඉදිරිපත් කරන ව්‍යවසායකයන් බිහිකිරීම තමයි රට ගොඩගන්න ඇති මාර්ගය. එදා අපට තිබුණෙ ව්‍යවසායකයක් පිරුණු සමාජයක්. දැන් අවශ්‍ය ඒ සංකල්පය නූතනයට ගැලපෙන පරිදි වෙනස් කරගැනීමයි.

දැන් ධර්මපාල පරපුරේ ඡන්ද විසිරිලා. එක පැත්තකින් දිලිත් ජයවීර, අනෙක් පැත්තෙන් නාමල්. විජේදාසත් ඉදිරිපත් වෙනව. තවත් කීප දෙනෙක් ඉන්නවා ධර්මපාල පරපුරේ ඡන්ද ටික තමන්ට ලැබෙයි කියලා හිතාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ.

මේ යන විදියට කිසිම කෙනෙකුට 50% ඉක්මවා ඡන්ද ගන්න බෑ. ලංකාවේ මිනිස්සු දෙවෙනි මනාප දෙන සිරිතකුත් නෑ. එතකොට දෙවෙන මනාපත් නැතිව කොහොමින් හරි කාටවත් 50%ක් ගන්න බැරිවුනොත් මොකද වෙන්නෙ? ව්‍යවස්ථාව කියවලාම තමයි බලන්න වෙන්නෙ. රනිල් කඩිමුඩියේ 22 දෙවැනි සංශෝධනය ගේන්න හේතුව මේක වෙන්නත් පුළුවන්. 50% කිසිවකුට නැතිනම් රනිල් ජනමත විචාරණයකට යන්න බලයි.

නමුත්, නාමල් හා දිලිත් එකතු වුනොත් ලොකු වෙනසක් ඇති කරන්න හැකිවෙනව. 50% ඉක්මවා ඡන්ද ගන්න පුළුවන් එකම ක්‍රමය ඒකයි. කට්ටිය සමගි වුනොත් 69 ලක්ෂෙන් අතිමහත් බහුතරයට පණ එනව. නාමල් හා පොහොට්ටුවෙ ලොක්කො මේක තේරුම් ගත යුතුමයි.

නාමල් ඉස්සරට වැඩිය හොඳ බවක් පේනවා. නමුත් රාජපක්ෂ විරෝධය, නාමල්ට ඇතැමුන්ගේ ඇති අකමැත්ත, අපේකෂාභංගත්වය වගේ හේතු නිසා නාමල්ට අවාසියි.

දිලිත් දේශපාලන පිටියට අලුත් වුනත් යුද්ධය කාලයේත් ගෝඨාභය බලයට ගේන කාලයේත් විශාල වැඩ කොටසක් කළ කෙනෙක්. ආයතන ගණනාවක පාලනයට සම්බන්ධ වෙලා ලබපු අත්දැකීම් නිසා රටක ආර්ථකයක් ගැන යම් අවබෝධයක් ඇතිකරගන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඔහු ජාතිකත්ව සංකල්පය අගයන, රට බෙදනවාට විරුද්ධ කෙනෙක්.

රටට වෙනසක් හොයන, ආර්ථකය ගොඩගන්න ඕන කියල හිතන පිරිසට තියෙන හොඳම විසඳුමත් දිලිත්.

ඒ නිසා නාමල් මේ වෙලාවෙ කරන්න ඕන මේ අවස්ථාව දිලිත්ට දෙන එකයි. නාමල්ට පුළුවන් ගම්වල තියෙන පොහොට්ටුවේ ඡන්ද දිලිත්ට අරන් දෙන්න. දිලිත්ව ගමට අරන් යන්න. නාමල්ට අනාගතයේ නායකයෙක් වෙන්න පුළුවන් එහෙම කළොත් විතරයි. එහෙම නැත්තං මේක නාමල්ගේ අන්තිම ඡන්දය වෙන්නත් පුළුවන්.

මහසෙන් රජ්ජුරුවෝ නොමග ගිය වෙලාවෙ මේඝවර්ණාභය ඇමතිවරයා ඊට එරෙහිව යුද්ධයට ආවා. යුද්දෙට කලින් දවසෙ දෙන්නා අතරේ ඇති වුන සංවාදෙන් පස්සේ රජතුමා වරද පිළිඅරගත්තාම යුද්ධය නැවතුණා. රට දියුණු වුණා.

පොහොට්ටුව වටේ එකතු වෙලා හිටිය ධර්මපාල පරපුරෙන් යම් පිරිසක් නැතිනම් 69 ලක්ෂය පොහොට්ටුවෙන් ඈත් වෙන්න නාමල් සෘජුවම සම්බන්ධයි. දැන් නාමල්ගේ යුතුකම තමයි ඒ පිරිසට හොඳ නායකත්වයක් හොයලා දීලා අතරමං වෙන්න නොදී රැකගන්න එක. ඒක තමයි රට ගොඩගන්නත් රට රැකගන්නත් තියෙන මාර්ගය.

එදා දිලිත් ජයවීර රාජපක්ෂලා දිනවන්න කැපවෙලා වැඩ කළා. දැන් රාජපක්ෂලාගේ යුතුකම දිලිත්ව දිනවා රට බේරගන්න එක.

මේ අවස්ථාව මගඇරුණොත් ආයෙත් අවස්ථාවක් නොඑන්න තියෙන ඉඩ ඉතාම වැඩියි. සජිත් ආවත් රනිල් ආවත් රට විනාශයි. අවුරුදු 5ක් යද්දි කොයි තත්වයක් එයිද කියන්න කාටවත් පුළුවන්ද?

ඒ නිසා, නාමල් වේවා. දිලිත් වේවා, මේ පාර ගියාවෙ ඊලඟ පාර බලනවා කියලා හිතුවොත් රටත් ඉවරයි. ඒ දෙන්නත් ඉවරයි. එහෙම හිතීමම රට ගැන නොහිතීමක්. දෙන්නා දෙපැත්තකින් ඉල්ලීමෙන් පෙන්නුම් කරන්නේ දිනුමක් ගැන දෙන්නාම නොහිතන බවයි.

අරගල කානිවලෙන් පස්සෙ ඇදවැටුන නිසා මෙවර දිනන්න බෑ කියලා දෙන්නාම හිතන හැඩයි. ‘වැටුණට පරදින්නෙ නෑ. නැගිට්ටෙ තැත්තං තමයි පරදින්නෙ’ කියලා කිව්වෙ බොක්සිං සූර මොහොමඩ් අලි. ධර්මපාලතුමා ආදර්ශයට ගන්න. එතුමා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් වැසියකු වශයෙන් තවත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවට ගිහින් එහි ප්‍රබල හින්දුන් එක්ක සටන් කරලා බුද්ධ භූමි බෙ1ද්ධයන්ට හිමිකර දුන්නා. කොයි තරම් අධිෂ්ඨානයක්, ආත්ම විශ්වාසයක්, එඩිතරකමක්ද?

දෙරණ නාළිකාව සජිත්ට හොරණෑ පිඹින හැටි ගැන කල්පනා කරද්දි අතේ පත්තුවුන පරණ ජවිපෙ උපක්‍රමයක් මතක් වෙනව. 70 මැතිවරණය අවස්ථාවෙදි ජවිපෙ අදහස වුනේ සිරිමාවෝට දිනන්න අවස්ථාව දුන්නාම දුර්වල ආණ්ඩුවක් එයි. එතෙකාට ගහලා ගන්න පහසුයි කියන එකයි. අපි දන්නවා වෙච්ච දේ. 88 දි ජවිපෙ කල්පනා කළා ජේආර්ට වැඩිය ප්‍රේමදාස දුර්වලයි. ඒ නිසා ඔහුට බලයට එන්න ඇරියාම ආණ්ඩුව පෙරළගන්න ලේසි වෙයි කියල. අපි දන්නවා ඉතිරි හරිය.

ඒ වගේ කවුරු හරි දිලිත්ට දිරච්ච ලණුවක් දුන්නාද දන්නෙ නෑ, ‘සජිත් ආවාම ගොන්පාට් ටිකක් දායි. එතෙකාට ඊළ’ග ඡන්දෙන් එන්න පුළුවන්’ කියල.

එහෙම හිතනවා නම් හරිම මෝඩකමක්. ඔච්චරටම ෂුවර්ද සජිත්ලා ඇවිල්ලා දිලිත්ලාට ඩෑෂ් එක ගහන්න බෝලෙ උස්සලා දෙයි කියල?

පළමුවෙන්ම හිතන්න ඕන දිලිත්ලාගෙ සැලසුම ගැන සජිත්ලාගෙ ක’දවුරට ඉවක් නැතිව ඇතිද කියන එක. සජිත් පිටිපස්සෙන් ඉන්නෙ අන්තර්ජාතික සම්බන්ධකම් ඇති අන්තවාදින් බෙදුම්වාදීන්. ඔවුන් මේ උපාය දැනටමත් දන්නවා ඇති.

ඒ වගේම කවුරු බලයට ආවත් ගහන පදේ තමයි, ‘අවුරුදු 5කින් රට ගොඩගන්න බෑ. රාජපක්ෂලා මේක කාලා තියෙන්නෙ. අපිට තව 5ක් දෙන්න’. කියන පදේ. ඉතිං ජනතාවට වගේම දිලිත්ලාටත් වෙන්නෙ බලාගෙන ඉන්න. ඒ කාලය අවසන් වෙද්දි බෙදුම්වාදීන් හා ආගමික අන්තවාදින් තමන්ට ඕන දේ කරගෙන තියේවි. ධර්මපාල පරපුරට නියෝ නියෝ ඉන්න වේවි.

අනික බැරිවෙලා හරි සජිත්ලා රට හරියට කරගෙන ගියොත්?

පණ නම් තණ අග පිනිබි’දු වැන්නේ කියලා විශ්වාස කරන බෙ!ද්ධයො රට රැකගන්න අවුරැදු 5ක් බලන් ඉන්න එක කොයි තරම් දුරට ගැලපෙනවාද කියලත් හිතන්න ඕන.

ඒ නිසා අනාගතයක් කියලා එකක් නැති බවත් අනාගතය කියන්නෙ වර්තමානය බවත් දිලිත්, නාමල් හා ඔවුන්ගේ කණ්ඩායම් අවබෝධ කරගන්න ඕන. අනාගතය තීරණය වන්නේ වර්තමානයේ ගන්න ක්‍රියාමාර්ග මතයි. එක ඡන්දයක් හෝ වැඩිකරගන්නෙ කොහොමද කියන එක විතරයි සැලසුම. වෙනත් සැලසුම් නෑ.

මගේ මිත්‍රයෙක් අහනවා, මාධ්‍ය ආයතන තුනක් තියාගෙන දිලිත් පොල් ගානවද කියල. මාධ්‍ය ආයතන තුත විතරක් නෙවෙයි දිලිත්ට දැන්වීම් ආයතනයකුත් තියෙනවානෙ. මේ වෙලාවෙ නැති මාර්කටින් මොකටද දිලිත්?

ධර්මපාලතුමා වගේ සටන් කරන්න. මොහොමඩ් අලි වගේ නැගිටින්න. වැලි යට ඉන්න පොළොංගු ටික අවුස්සලා ඡන්දෙ දවසට එළියට ගන්න. දෙපැත්ත හිටපු විදියට එකතු වුනොත් ඒක කරන්න බැරිකමක් නෑ.

මේ වෙලාවෙ නාමල්ට තියෙන්නෙ ජනාධිපතිවරණ තරගයෙන් අඩියක් පස්සට තියලා රටේත් තමන්ගේත් අනාගතය වෙනුවෙන් අඩියක් ඉස්සරහට තියන එකයි. කඩුව දිලිත්ට දීලා කොපුව තියාගන්න. කොයි වෙලාවෙ හරි කඩුව ආපහු එන්නෙ කොපුවටමයි. කඩුව එක්ක ඔට්ටු වෙවී හිටියොත් දෙන්නාගෙ විතරක් නෙවෙයි රටෙත් බෙල්ල ගහලා යයි.

මිනිස්සුන්ට ඕන ඒ වගේ අලුත් විදියට හිතන නායකයින්. රටේ යහපත පිණිස තමන් පැත්තකට වෙලා සුදුසු කෙනෙකුට අවස්ථාව දෙන්න තරම් ශක්තිමත් නායකයින්. නාමල්ට අනාගත නායකත්වය හැදෙන්නෙ වර්තමානයේ රට ජාතිය වෙනුවෙන් කරන පරිත්‍යාගය අනුවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link