පන්ති සහෝදරයින් බාගෙට හෙලුවෙන් සිටියදී නායකයින් ‘බ්‍රෑන්ඩඩ්’ අඳින අපූරු පන්ති සටන

Last Updated on 3 months by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

හෙළුවෙන් ඉඳගෙන ඇත්ත කිව්වත්, ඇඳුම් ඇඳගෙන බොරු කිව්වත් ජනතාවට අවශ්‍ය වන්නේ මේ දෙකම නොවෙයි. හැදිච්චකම.

සමාජ පරිණාමය තුළ මිනිස්සු මුලින් කොළ අතුවලින් විළි වසාගෙන, පසුව රළු ගෝනි පඩංගු වැනි වස්ත්‍ර සකසා ගන්න කලින් සතුන්ගේ හම්වලින් ඇඳුම් තනා ගත්තා.

අතීතයේදී මිනිස්සු ඇඳුම වැනි දෙයක් හඳුනාගන්නේ විළි වසා ගැනීමට පමණක් නොවෙයි.

දේශගුණික විපර්යාස මෙන්ම පරිණාමික ක්‍රියාවලිය තුළ ආදි කල්පික මානවයාගේ සිරුර වසා සිටි රෝමකූප ඉවත්වන විට ශීතයෙන් බේරී සිටීම සඳහා මිනිස්සු වස්ත්‍ර තනා ගත්තා.

කාර්මික විප්ලවයෙන් පසු මහා පරිමාණයෙන් වස්ත්‍ර නිපදවීම ඇරඹීමත් සමගම ඊට මෝස්තර කලාවත් ඇතුල් වුණා.

පන්ති සහෝදරවරුන් බාගෙට හෙළුවෙන් සිටියදී, පක්ෂ නායක සහෝදරවරුන් ලක්ෂ ගණන් වියදම් කරමින් පාවහන් හා විශේෂ ගණයේ කමිස අඳින්න පෙළඹෙන්නේ පංති සටනට වඩා ලස්සනට කාලා බීලා ඇඳලා ඉන්න කොයි මිනිහටත් තියෙන ආශාව වාමාංශිකයයි කියාගන්නා පක්ෂවල නායකයින්ටත් ඇතිවීම ස්වභාවික නිසයි.

නමුත් මැත දොඩවන නිර්ධන පන්ති සටන් දේශපාලන දර්ශනය ඉදිරියේ නම් එය අදහගන්න බැරි තරම් පරස්පර විරෝධීයි.

ජනතා විමුක්ති පෙරමුණ වැනි අතිශයින් අන්තවාදී ultra radical දේශපාලන ව්‍යාපාරයක පීඩිත ජනතාව වෙනුවෙන් කියා උගුර ලේ රහ වන තුරු කෑගැසූ මහින්ද විජේසේකර ඔහුගේ බිරිඳ සමග Las Vegas වල කැසිනෝ සෙල්ලම් කරන පින්තූර ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළ වීම ලැජ්ජාවක සේයාවක්වත් කිසිදා නොදුටු මහින්ද විජේසේකරට ගාණක් වුනේ නෑ.

පසු කාලයක ජවිපෙ නායකයා වී සිටි සෝමවංශ අමරසිංහටවත් ඔහුගෙන් පසු නායකයා වුණු අනුර කුමාර දිසානායකටවත් ලැජ්ජාව කියල එකක් නෑ. මිල අධික ඇඳුම් පාවිච්විය ගැන අනුර මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකදී කළ පාරම්බෑම ඊට එක් උදාහරණයක්.

88-89 ජවිපෙ අපරාධ කළා නම් ජවිපෙ වෙනුවෙන් නන්දා මාලනී සින්දු කිව්වේ ඇයිද කියා අනුර කුමාර දිසානායක අහන ප්‍රශ්නය අමු අමුවේ ඔලමොට්ටල කතාවක්.

මෙතන තියෙන්නේ නන්දා මාලිනීගේ කටහඬ පමණයි. ‘පවන’ නිර්මාණය වන්නේ ශ්‍රී ලාංකික ගීත ලෝලයින්ගේ අවශ්‍යතාවයකට වඩා පල්ලියේත් අවශ්‍යතාවයක් ඉටු කරන්නයි. හිඟමනට වැටී හිටි නන්දාට ගොජ එන්න ආධාර කළේ පල්ලිය බව නන්දාම කියා තියෙනවා.

“වැටට උඩින් පනින එවුන්ට මන්න පහර දෙන්න වෙනවා” කියා ලිව්වේ කථිකාචාර්ය සුනිල් ආර්යරත්න. නන්දා මාලනී කළේ ඒකට කටහඬ දී ජනප්‍රිය කිරීමයි.

සුනිල්- නන්දා සුසංයෝගය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දස දහස් ගණනාවකගේ ජීවිත නැති කිරීමට ඍජුව දායකත්වය දුන් බව පවසන්න සිදුවෙනවා.

අනිත් අයට මන්න කැති අරගෙන පාරට බහින්න කනට මී පැණි වක්කරන විලාශයෙන් ප්‍රබල මාධ්‍යයක් වන ගීතය හරහා ඉදිරිපත් කළ ඔවුන් දෙදෙනා තරුණ ජනතාව නොමග යැව්වා. නමුත් ඔවුන් දෙදෙනා කැරැල්ලේ කොටස්කාරයන් නොවී පසුබිමේ සිට ගීත ඉදිරිපත් කෙළ් කාගේ අවශ්‍යතාවයක් ඉටුකරන්නද?

උතුරේ දෙමළ කොටි ත්‍රස්තවාදයට අත්තිවාරම් දැමූ කතෝලික පල්ලියට අවශ්‍ය වී තිබුණා උතුරේ ක්‍රිස්තියානි දෙමළ අය වෙනුවෙන් භූමියක් වෙන්කර ගැනීම සඳහා සමස්ත රාජ් ‍යතන්ත්‍රයටම එරෙහිව යුද්ධයක් දියත් කරන්න. අනාගතයේදී එවැනි යුද්ධයක් ඇතිවුණහොත් සිංහල ප්‍රදේශවල තරුණ තරුණියන් දසදහස් ගණනින් හමුදාවට බැඳී කුමන අන්දමේ හෝ ත්‍රස්තවාදයකට එරෙහිව පෙරමුණට එන බව කොළඹ කතෝලික සභාව පමණක් නොව වතිකානුවත් විදේශ ඔත්තු සේවාවනුත් දැන සිටියා.

71 සිද්ධියේදී හා 88-89 සිද්ධියේදී සිංහල තරුණ තරුණියන් අවුස්සා දංගෙඩියට දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලක්ෂයකට ආසන්න සිංහල තරුණ තරුණියන් වධ බන්ධනවලට හා ඝාතනවලට ලක් වුණා.

බංකොලොත් දේශපාලනයකට උගත්කම් අවශ්‍ය නොවන බව සනාථ කරමින් සජිත් ප්‍රේමදාසත් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබා සිටිනවා. දේශපාලන සාක්ෂරතාවයෙන් වඳ තැනැත්තකු වන අනුර කුමාරත් රටේ නායකයා වීමට සිහින මවනවා. මේ දෙන්නාව කර තබාගෙන යන උගත් යයි කියාගන්න පිරිසක් සිටීම ඇත්තෙන්ම ශෝචනීයයි.

මේ කාටවත් හැදිච්චකම කියන එක ගෑවිලාවත් නෑ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link