බටහිර උපාධි කරගහගෙන ඇවිත් යාච්ඥා කල්ලිවලට පාවාඩ එළන ආචාර්ය මහාචාර්යවරු

Last Updated on 2 months by admin

බටහිරින් අපට පටවන මතවාදවලට සමාන මතවාද බටහිරට පැටවීමේ හැකියාවක් අපට නැත. ඇමරිකානුවන් ඉතාම සුළු පිරිසක් ටිබෙට් බුදුදහම ගැන උනන්දුවක් දක්වන බව ඇත්තකි. ඒ දලයිලාමා පිළිබඳව ඇමරිකානු ආණ්ඩුව දක්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. චීනයට දලයිලාමා හතුරෙකි. චීනය ටිබෙටය ආක්‍රමණය කළ අවස්ථාවේ ටිබෙට් බෞද්ධ රාජ්‍යයේ නායකයාව සිටි දලයිලාමා සරණාගතයකු වශයෙන් ඉන්දියාවට පැමිණියේය. හිතවතුන් පිරිසකගේ ආරාධිතයකු වශයෙන් ඇමරිකාවට පැමිණි රාජනීස් භගවාන් ඉන්දියානු ආචාර්යවරයෙකි. මෙවැන්නෝ නිතර ඇමරිකාවට එති. යති. රාජනීස්ගේ වරද ආපසු නොයා එහි රැඳී සිටීමයි.

සත්ත්ව පාලනයට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ කටයුතුවල නියැළෙන්නන් ජීවත්වන භූමි කලාපයක් වශයෙන් ප්‍රසිද්ධ, ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තය පදිංචියට තෝරාගත් රාජනීස්, බයිබලය සහ ක්‍රිස්තියානි ඉගැන්වීම් පිළිබඳ සාම්ප්‍රදායික ඇමරිකානු චින්තනයට සම්පූර්ණයෙන්ම පටහැනි අදහස් ඉදිරිපත් කරන්නට වූයේය. ඊට ඔරිගන් වැසියන් දැක්වූ ප්‍රතිචාරය කුමක්දැයි නිවැරදිව දැනගන්නට ක්‍රමයක් නැත. දේවගැතිවරුන්, දේශපාලනඥයින් හා ජනමාධ්‍යකරුවන් ඔහුට එරෙහිව නැගී සිටි බව ඉතා ප්‍රසිද්ධ සිද්ධියකි. මේ කාලයේ ඉන්දියාවේ මාධ්‍ය බොහෝමයකින් රාජනීස්ට පහර වදින ප්‍රවෘත්ති ප්‍රචාරය විණි. ‘සෙක්ස් ගුරු’ වශයෙන් හඳුන්වමින් හැම පැත්තෙන්ම පහර කෑමට ලක් වූ රාජනීස්, ‘නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි රට ය යන බලවත් විශ්වාසයෙන් යුතුව තමා ඇමරිකාවට පැමිණි බව’ කීවේය. එමගින් ඔහු කීවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව රුසියාව වැනි කොමියුනිස්ට් රටක ඇති පීඩනය ඇමරිකාවේ ද ඇති බවයි.

රාජනීස් එසේ කී නමුදු, ඇමරිකාව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති රටක් යැයි ඇමරිකාවේ පදිංචි ඉන්දියානුවන්ගෙන් ස්වල්ප පිරිසක් හෝ පිළිගනිතැයි සිතිය නොහැක. චීනය, රුසියාව වැනි රටවල ජනතාව අතර නම් එවැනි පිළිගැනීමක් පවතී. එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය වැනි රටවල් අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇති අංක එකේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බවට පිළිගැනීමක් ඉන්දියාවේ බොහෝ උගතුන් අතර පවතී. මේ රටවල පවතින ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තොරතුරු ඉන්දියාවේ පාසල් අධ්‍යාපනයේ පවා අඩංගු වේ. ඉන්දියාවේත් ලංකාවේත් අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසි ආණ්ඩුවේ නිර්මාණයකි. වැදගත්ම ප්‍රශ්නය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනුවෙන් අප රටවල උගතුන් අදහස් කරන්නේ කුමක්ද යන කාරණයයි. ඇතැම් උගතුන් සිතන්නේ, එංගලන්තයේ හයිඩ්පාක් පිට්ටනියේ පකිස් පෙට්ටියක් උඩට නැගගෙන කෑගැසීම පවා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙසයි.

ඇමරිකාව, එංගලන්ත වැනි බටහිර රටවලට ගොස් උසස් අධ්‍යාපනය ලැබූ සමහරු නිදහස් චින්තනය නමින් යම් යම් මතවාද තමන්ගේ රටවලට ගෙන එති. ඇතැම් මාධ්‍ය ආයතන මෙවැන්නන්ගේ අදහස් ප්‍රචාරයට පුදුම කැමැත්තක් දක්වන්නේ ඒවායේ හරය පිළිබඳ වැටහීමකින් නොවේ. නූතනවාදය, මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ලිබරල්වාදය, නව ලිබරල්වාදය, මානව හිමිකම්, කාන්තා නිදහස, සම අයිතිවාසිකම්, නීතියේ සමානතාව, කතාකිරීමේ සමානතාව, බලයේ සමානතාව ආදිය ලංකාවේ ප්‍රසිද්ධ වූ මෙවැනි අදහස් කිහිපයකි.

බටහිර රටවලින් නිදහස පිළිබඳ කාලීන අදහස් ලබාගෙන එන උගතුන්ට ලංකාවේ දී නොයෙකුත් වරප්‍රසාද හිමිවේ. සමහරුන්ට විශ්වවිද්‍යාලයන්හි ආචාර්ය පදවි ලැබේ. ආණ්ඩුවෙන් නිලතල, තනතුරු හා වරප්‍රසාද ලබාගන්නා පිරිසකුත් සිටිති. මේ කාටත් සමාජයෙන් ගරු බුහුමන් ලැබේ. ඔවුන් අතර, බටහිර රටක් තුළ බටහිර සාරධර්මවලට තර්ජනයක් ඇතිවන ආකාරයට, ඉහත කී නිදහස් චින්තනයක් ඉදිරිපත් කළ කිසිම ලාංකිකයකු නැති බව ස්ථිරවම කීමට පුළුවන. ඔවුන් ලංකාවේ ප්‍රචාරය කරන විප්ලවකාරී අදහස් ඒවා බිහි කළ ඇමරිකාව එංගලන්තය වැනි රටක ප්‍රචාරය කිරීමට ඔවුන්ට නොපුළුවන. ලිපිය ආරම්භයේදී රාජනීස් ගැන සඳහන් කළේ, ඔහු, ඇමරිකාවේ වෙසෙමින්, ‘මනුෂ්‍යයාගේ පූර්ණ නිදහස’ මැයෙන් නව චින්තනයක් ඉදිරිපත් කළ බැවිනි. එයින් ක්‍රිස්තියානි සාරධර්මවලට පහර වැදුනි.

ලංකාවට පැමිණ, බටහිර ගුරුවරුන්ගේ අදහස් අනුව ‘අපි සමාන නීතියක් පිහිටුවමු. අපි කාටත් සමාන බලයක් දෙමු’ කියන නමුදු, බොහෝ උගතුන් කරන්නේ ස්වාමියාගේ හඬ ප්‍රකාශ කිරීමකි. සමාන බලය හොඳ දෙයකි. බටහිරුන්ට කළ හැකි හැම දෙයක්ම ලාංකිකයන්ට කළ හැකි ද යන්න ගැටලුවයි. යටත් විජිත පවත්වාගෙන යාමේ දීර්ඝ ඉතිහාසයක් යුරෝපා රටවලට තිබේ. ඇමරිකාව යනු ඉංග්‍රීසි ජාතිකයින් පිහිටුවූ රටකි. ලංකාව බ්‍රිතාන්‍යයට යටත්ව තිබුණු රටකි. ඔවුන්ගේ වුවමනා සහ පරමාර්ථ අපට නැත.

ඇමරිකාවේ හෝ එංගලන්තයේ පදිංචි ලාංකිකයකුට නිවසක් මිලයට ගැනීම ඉතාම පහසු ක්‍රියාවකි. නිවසක් පන්සලක් බවට පත්කර ගැනීම ද අපහසු වැඩක් නොවේ. එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකට සංගමයක් පිහිටුවා ගැනීමටත් පුළුවන. නමුත් එවන් සංවිධානයක්, බටහිර රටවල් මූලික වී ලංකාවේ පිහිටුවන ඇන්ජිඕ සංවිධානයකට හෝ යාච්ඤා කණ්ඩායමකට සමාන නොවේ. ඉවැන්ජලික කල්ලි විශාල සංඛ්‍යාවක් ඇමරිකාවෙන් බිහිවී තිබේ. මේ බොහෝමයක ශාඛා ලංකාවේ ඇත. ඔවුහු නොයෙක් හපන්කම් කරති. මොන්ටිසෝරි, ළමා නිවාස හා අනාථ නිවාස පවත්වා ගෙන යාම, බෞද්ධයන් අබෞද්ධයන් කිරීම ඔවුන්ගේ දේව කාර්යයන් කිහිපයකි.

යුද්ධ කාලයෙන් පසු උතුරු පළාතේ දෙමළ බෞද්ධයන්ගෙන් සියයට අනූවකටත් වඩා ඉවැන්ජලික කල්ලිවලට හසුවී තිබේ. මේ කෙටි කාලය තුළ උතුරු පළාතේ පිහිටුවා ඇති යාච්ඤා මධ්‍යස්ථාන සිය ගණනකි. ඇතැම් ඉතා පැරණි බෞද්ධ සිද්ධස්ථාන අතුරුදන් කර ඇත්තේ ඉවැන්ජලික කල්ලිවල අනුග්‍රහයෙනි. ප්‍රසිද්ධ දේශපාලනඥයින් කිහිප දෙනකු ඉවැන්ජලික කල්ලිවලට සම්බන්ධ වී කටයුතු කරන බව රහසක් නොවේ.

ඉවැන්ජලික කල්ලියක් ලංකාවේ කරන මොනම ක්‍රියාවක්වත් ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයන්ගේ පන්සලකට හෝ සංගමයකට කළ නොහැක. ඉවැන්ජලික කල්ලි විසින් ක්‍රිස්තියානින් බෝ කිරීමේ වැඩපිළිවෙළ යටත් විජිත යුගයේ සිට සිදුවන්නකි. ඔවුන් දකුණු ඇමරිකාව සියලුම රටවල් කතෝලික කර ඇත්තේ පාප්තුමාගේ නියෝගයෙනි. ‘පියුරිටන්වරුන්’ හෙවත් එංගලන්තයේ සිට ඇමැරිකාවට පැමිණ ජනපද පිහිටුවු ක්‍රිස්තියානි මුලධර්මවාදින් ඇමරිකාවේ ආගම පතුරුවා ඇත්තේ තනිකරම බයිබලයේ ඉගැන්වීමට අනුවය. බෞද්ධයින්ට ඔවුන් මෙන් කටයුතු කළ නොහැක. ඔවුන්ට ඒ අත්දැකීම් නැත. ඔවුන්ට එවැනි ක්‍රියාවකට නීතියෙන් ඉඩක් ලැබෙන්නේ ද නැත. එනිසා ධර්ම ප්‍රචාරය යනුවෙන් හැඳින්වෙන නමුදු, බටහිර රටක ඇති පන්සලකින් කෙරෙන්නේ යාච්ඤා මධ්‍යස්ථානයකින් කෙරෙන කාර්යය නොවේ.

ඇමරිකාව ප්‍රධාන බටහිර රටවලින් පුහුණු කෙරෙන බොහෝ උගතුන් බටහිර මතවාදයන් ලංකාවේ පතුරුවන්නේ බුදුසසුන හා සිංහල බලය නැතිකර දැමීම ඔවුන්ට පැවරී ඇති කටයුත්තක් බැවිනි. ඔවුන්ගේ එක් කටයුත්තක් වන්නේ, යාඥා කල්ලිවල වැඩ කටයුතු සඳහා වුවමනා පරිසරය හදා දීමයි. ඒ සඳහා බුදුසසුනට හා සිංහල ජාතියට විරුද්ධ නීති සම්පාදනය කිරීමට ආණ්ඩු පෙලඹවීම ඔවුන්ගේ එක ක්‍රියාවකි. මොවුන්ගේ නිදහස් චින්තනය නිසා පැනවෙන අභිනව නීති බොහෝමයකින් සිදුවන්නේ භික්ෂුන් වහන්සේ ප්‍රධාන දේශප්‍රේමීන් නීති කඩන්නන් බවට පත්වීමයි. වර්තමානයේ සකස් කරගෙන ඇති ඇතැම් නීති යටත් විජිත කාලයේ පැවතුණේ නම්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට වාද භූමියෙන් වඩින්නට වන්නේ සිරගෙදරට විනා පන්සලට නොවේ. අනාගාරික ධර්මපාලතුමා සාහසික අපරාධකාරයකු වශයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන්නකු වීම නොවැළැක්විය හැකි කරුණකි.

‘කාන්තාව පුරුෂයාට සමාන නැත’ යන්න බටහිර ආගමික දර්ශනයකි. එවැනි දර්ශනයක් සිංහලයන්ට නොතිබුණි. සිංහලයෝ මතු බුදුවන බෝසත්වරිය වශයෙන් සලකා තාරා බෝසත්වරිය වන්දනා කළහ. ස්වර්ණමාලි දෙව්දුව නමින් මහා ථූපය පිහිටුවූහ. කිසිම වැවක පන්සලක හෝ පොදු ස්ථානයක කාන්තාවන්ට පමණයි කියා කොටසක් වෙන් නොකළහ. එහෙව් රටේ කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි වෙන් වේ. බටහිරට අනුව හැසිරෙමින් කාන්තා හිංසනය වැළැක්වීමට සකස් කරගන්නා ඇතැම් නීති මගින් වන්නේ සිංහල සමාජය බිඳවැටීමයි. යටත් විජිත සමයේ පිහිටුවූ උසාවි නිසා සිංහලයා භේද වූ හැටි ප්‍රසිද්ධ පුවතකි. කුඹුරු පනත නිසා ඥාතීන් භේද වූ බවද පිළිගත යුතු සිදුවීමකි. දැන් කෙරෙන්නේ ස්ත්‍රීන් සහ පුරුෂයන් භේද කිරීමයි. ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් සියල්ලකම කාන්තා හිංසනය පැවති බව ඇත්තකි. සිංහල බෞද්ධ සමාජයේ එවැන්නක් නොතිබුණි. යටත් විජිතයක් වීම නිසා රටේ සිදුවූ වැරැද්ද නිවැරදි නොකර, සිංහල බෞද්ධ සමාජයේ විනාශය පිණිස කටයුතු කිරීම යටත් විජිතවාදීන්ට සේවය කිරීමකි.

(2019 අප්‍රේල් 07 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link