බුදු දහම, රාජ්‍ය පාලනය හා කෘෂිකර්මය බත් මුට්ටිය රකින ලිප් ගල් තුන වගෙයි

Last Updated on 2 days by admin

Pic. credit: travel yesterday

විමල් වීරවංශගේ දේශපාලනය අවසන් වගෙයි. යම්කිසි හෙයකින් අනුරත් පිල්මාරු කළා නම්, විමල් වීරවංශ වගේ තාවකාලිකව වින්දනයක් ලබා දේශපාලනයෙන් අතුගෑවීයාමට ඉඩ තිබුණා.

පක්ෂයේ දැඩි විනය අනුර මත තැබූ බරුවක් වුණා. ඒ නිසා ඔහු ඒ තත්ත්වය කාගෙන සිටියා.

අනුරගෙන් වැඩ ගන්න බලාගෙන සිටි දේශයේ හතුරන්ට අනුරගේ මේ “විනය” බන්දේසියක් මත තබා පිදෙන ත්‍යාගයක් වුණා.

සැබෑ ජනතාවාදී ව්‍යාපාරයක් සත්තකින්ම සමාජවාදී නම් ඡන්ද සටනේදී “මුළු රටම අනුරට” කියා කියන්නේ නෑ. ඔවුන් කිව යුතුව තිබුණේ ‘මුළු රටම ජනතාවට’ කියායි.

රටේ ජනතාවගෙන් බහුතරය අනුර විරෝධී සජිත්ට හා රනිල්ට කතිරය ගැසීමෙන් මුළු රටම අනුරට කියන මිථ්‍යාව අරුත් සුන් ප්‍රලාපයක් බවට පත්කරනු ලැබුවා. කෝටි දෙකක් ඡන්ද බලාගෙන උද්දාමයෙන් සිටි අය ජනාධිපතිවරණයෙන් පස්සෙ බූමිතෙල් ඉවර වුන කුප්පිලාම්පුවක් නිමුණා වගේ නිස්සද්ද වුනේ ඒකයි.

රුසියාවේ ඔක්තෝබර් විප්ලවය දියත් කළ විට “මුළු රටම ලෙනින්ට” කියා පීඩිතයින් කෑ ගැසුවේ නෑ.

ලෙනින් කෙරෙහි තැබූ විශ්වාසය ගොඩනැගෙන්නේ විප්ලවය සාර්ථක කර ගැනීමට ලෙනින්ගෙන් ලැබුණු දායකත්වය නිසයි.

ශ්‍රී ලංකාව වැනි රටක දේශපාලනය මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ පුද්ගලාහිවාදනය මතයි.

නායකයා මොන පාදඩයෙකු වුවත්, ඔහුව සඳුන් ඳියරෙන් නෑවීම ජනතාව සාම්ප්‍රදායිකව අදටත් කරනවා. නායකයා කොමියුනිස්ට් වුනත් උග්‍ර දක්ෂිණාංශික ධනවාදියෙක් වුවත් පිළිගැනීමට ලක්වීමේදී ක්‍රියාත්මක වන්නේ එකම මූලධර්මයමයි.

1977දී ජේ.ආර් ජයවර්ධන බලයට පත්වෙද්දී උඩ දැමූ ආකාරයටම සමහරු අනුරවත් උඩ දමනවා. රටේ ආර්ථික පරිහානියට වගකිවයුතු හා සංස්කෘතික සෝදා පාළුවට පාර කැපූ ජේ.ආර්. තමන් විසින් තමන්වම හඳුන්වා දෙනු ලැබුවේ “ධර්මිෂ්ඨ” පුද්ගලයකු කියායි.

මෑත ඉතිහාසයේ ලොව පහළ වුණු කෲරතම මනුෂ්‍යයෙක් වූ ඇඩොල්ෆ් හිට්ලර් ආර්ය පාරිශුද්ධභාවයක් තම ජනතාවට පෙන්වීම සඳහා ස්වස්තිකය භාවිතා කළ ආකාරයෙන්, ජේ.ආර්. ජයවර්ධන පොලිස් සේවාවේ නිල ඇඳුමට ධර්ම චක්‍රය එකතු කිරීමට සැහැසි වුණා.

බෞද්ධ විරෝධී ආගමික සංවිධාන ඒ පිළිබඳව ඉතාමත් සතුටට පත් වූයේ මහ මඟ විරෝධතා දක්වන ජනතාවට එළව එළවා බැටන් පොලුවලින් පහර දෙන පොලිස් භටයින්ගේ නිල ඇඳුම්වල ධර්ම චක්‍රයේ සමීප ඡායාරූප දර්ශන ජාත්‍යන්තර පුවත්පත්වල පවා පළ කිරීමට ඔවුන්ට ඉන් අවස්ථාවක් ලැබුණු නිසයි.

හිට්ලර් ජර්මන් ජාතිකයින්ට ස්වස්තිකය එපා කළ අන්දමින්ම අපේ “ධර්මිෂ්ඨ” ධර්ම චක්‍ර සංකේතය ලෝකය හමුවේ හෑල්ලු කිරීමට කටයුතු සම්පාදනය කළා.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වුණු හොඳම දේශපාලනඥයා ආර්. ප්‍රේමදාස යයි එක්තරා මහාචාර්යවරයෙක් කලකට ඉහතදී මා හට පැවසුවා.

මෑතකදී මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ජනාධිපති සටනේ වේදිකාවකදී ප්‍රසිද්ධියේම කියා සිටියා (ආර්. ප්‍රේමදාසගේ එකම පුත්) සජිත් ප්‍රේමදාස ලංකාව පාලනය කිරීමට හොඳම සුදුස්සා බව.

දේශද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී විවිධ බලවේගවලට රැවටී සිටින භික්ෂූන් කිහිප නමක්ම මේ අදහස පුනරුච්චාරණය කරමින් සජිත් ප්‍රේමදාසව බලයට පත්කිරීමේ ප්‍රයත්නක නිරත වුණා.

අතීත රජවරුන් ඉතිහාසයට එකතු වන්නේ විරුවන් ලෙසයි. ඒ වීරත්වය, යුද ජයග්‍රහණ ඔස්සේ පමණක් නොව බුදු සසුනත්, දැයට බත සැපයූ මහා වාරි සංස්කෘතියත් සුරක්ෂිත කිරීම නිසයි. අපේ ශිෂ්ඨාචාරය අඛණ්ඩව ආරක්ෂා වුණේ එම මහා සංස්කෘතිය බුදු දහමින් පෝෂණය වුණ නිසයි.

බුදු දහමත්, රාජ්‍ය පාලනයත්, කෘෂිකර්මයත් ලිප් ගල් තුනක් මෙන් බත ඉදෙන මුට්ටිය පෙරළෙන්න නොදී රැක ගත්තා. තෘප්තිමත් බවත්, ආරක්ෂාවත්, ආධ්‍යාත්මයත් ඒ තුළ ඒකාග්‍රව රැඳී තිබුණා.

විනාශය මගින් බලය ලබා ගැනීමට මාක්ස්වාදී දේශපාලන ආර්ථික න්‍යාය කරපින්නා ගත් පිරිසක් මුලින් විප්ලවයක් ගැන කතා කර ඉන්පසුව විකල්පයක් ගැන කතා කිරීම ඇරඹුවා.

ඔවුන් දැන් සිතන්නේ ශ්‍රී ලංකාවේ නිර්ධන පංති ආඥාදායකත්වය ස්ථාපිත වූ බවයි.

හාස්‍යයට කරුණ නම් ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට සත්‍යයට එරෙහිව යුද වැදුණු ඊනියා සහතික උගතුන්, විශ්‍රාමලත් ආරක්ෂක අංශවල බලවතුන්, දූෂිත ව්‍යාපාරිකයින්, සිංහල බෞද්ධ විරෝධී ආගමික නායකයින් සියලු දෙනාම එකට එකතු වුන අශුද්ධ සන්ධානයක් විසින් මෙම ඊනියා ‘නිර්ධන පංති ආඥාදායකත්වය’ බිහි කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link