මාලිමා ආණ්ඩුවේ එළහරක් මීහරක් රංගන

Last Updated on 1 hour by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

අතීතයේ ලෝකයේ මාක්ස්වාදී (සමාජවාදී) නමින් රටවල් තිබුණි. ඒ කාලයේ නැගෙනහිර යුරෝපයම සමාජවාදී කදවුරකි. මෙම රාජ්‍යයන් රටවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වැළැක්වීමට කටයුතු කිරීම ඔවුන්ගේ විනාශයට සහ විරුද්ධවාදීන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවයි. ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නියෝග ක්‍රියාවට නැංවූ නිලධාරීන්ට විරුද්ධව අදහස් දැක්වූ පුද්ගලයින් සිරභාරයට ගැනීම හා දඬුවම් කිරීම ඒ හැම රටකම සිදුවිය.

රුසියාව ප්‍රධාන නැගෙනහිර යුරෝපා රටවල්, විවේචනය නොරිස්සීමේ ඒකාධිපති ස්වරූපය සඟවා ගැනීම සඳහා ජර්මන් ජාතික බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් ඉදිරිපත් කළ සාහිත්‍ය සටන් පාඨ පාවිච්චි කළහ. ඇමරිකානු ගවේෂකයෙකු වූ මහාචාර්ය ජෝන් ෆුජි, බ්‍රෙෂ්ට් කාන්තාවන් රවටමින් ඔවුන්ගේ සාහිත්‍ය නිබන්ධන කොල්ලකෑවකු බවට තොරතුරු අනාවරණය කරමින් පොතක් ප්‍රකාශයට පත් කර, බ්‍රෙෂ්ට් හාන්සි කළේය. ඒ පොතෙන් පැහැදිලි කෙරෙන පරිදි, බ්‍රෙෂ්ට් සාහිත්‍ය කොල්ලකරුවෙකි. තක්කඩියෙකි.

ලෙනින් සමග රුසියානු විප්ලවයට නායකත්වය දුන් ට්‍රොස්කි රටින් පලාගොස් මැක්සිකෝවේ හැංගුනේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළ නිසා නොවේ. රුසියාවේ බිහි වූයේ කොමියුනිස්ට් ආණ්ඩුවක් නොවන බව පැහැදිලි කරන්නට යෑමේ විපාක ඔහුට විඳින්නට සිදු විය. ලෙනින්ව හාන්සි කර රටේ නායකත්වය ලබාගත් ජෝසප් ස්ටාලින් ට්‍රොස්කි සමග හොඳටම කෝප විය. ට්‍රොස්කිට ස්ටාලින්ගේ චරපුරුෂයන්ගෙන් ගැලවී මැක්සිකෝවේ වැඩි කලක් ජීවත් වීමට නොලැබුණි.

මාක්ස්ගේ දර්ශනයෙන් පැවසෙන ආකාරයේ නිර්ධන පංතිය ප්‍රධාන වී බලයට පත් කරන ලද ආණ්ඩුවක්, ලෝකයේ කිසිම තැනක බිහි වූයේ නැත. එහෙත්, බටහිර මාධ්‍යයන් පෙන්වූ ලෙසට 2024 පැවැත්වූ ලංකාවේ ජනාධිපතිවරණයෙන් මාක්ස්වාදී ආණ්ඩුවක් ලංකාවේ ඇති විය. එය ඇත්තක් නොවේ. බටහිර මාධ්‍යකාරයින් කිසියම් පරමාර්ථයක් ඇතිව කී බොරුවකි. මාධ්‍යයන් පමණක් නොව පුද්ගලයන් පවා බොරු කියන්නේ කිසියම් පරමාර්ථයක් ඇතිවය. මේ ඊට උදාහරණයකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඩොලර් බිලියන 18 ක මුදලක් උගන්ඩාවට යවා එහි බැංකුවක තැන්පත් කළ පුවතක්, පසුගිය කාලයේ ජවිපෙ ප්‍රචාරය කළේය. ඊට වගකිවයුත්තන් සෙවීමක් හෝ ජවිපෙට විරුද්ධ ක්‍රියා කිරීමට, මහින්ද රාජපක්ෂට හෝ පැවති රජයකට වුවමනා නොවීය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු නාමල් රාජපක්ෂ ඒ කතාවට ප්‍රතිචාර දක්වමින් අනුර කුමාර දැන් ජනාධිපති නිසා පර්යේෂණ කණ්ඩාමක් උගන්ඩාවට යවා රාජපක්ෂලා උගන්ඩාවේ තැන්පත් කළ බව කියූ මුදල් ලංකාවට ගේන්නැයි කීවේය.

වේදිකාවලට නැග උගන්ඩා කතාව රසකරකර කියමින් ප්‍රේක්ෂකයින් පිනවූ ජවිපෙ ක්‍රියාකාරීන් ගණනාවකි. නිලන්ති කොට්ටහච්චි සහෝදරිය එක් අයෙකි. මේ කතාව නිසාම තමන් ‘උගන්ඩා මැණිකේ’ නමින් ප්‍රසිද්ධියට පත් වූ බව ඇයම කීවාය. දැන් ඇය මහමැතිවරණයට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මාලිමාවෙන් තරග කරයි. නිලන්ති කොට්ටහච්චි මෑතකදී කළ ප්‍රකාශයක් මැටාහි සංසරණය වෙමින් පවතී. එයින් කියැවෙන ලෙසට, රාජපක්ෂලා උගන්ඩාට මුදල් යැවූ බවට ඈ කී කතාව ව්‍යාජයකි. ඊට මුල්වුන ඩොලර් උගන්ඩාවට ගෙන ගියේ මුදල් මුද්‍රණය කළ තෝමස් ඩිලාරු සමාගම විසින් බව ඇය හොඳකාරව දැන සිටියාලු.

ලංකාවේ මාක්ස්වාදී ආණ්ඩුවක් බිහිවූ බවට බටහිර මාධ්‍යයන් ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව පෙනෙන්නේ ජාජ බලවේගයේ සංයුතිය අවබෝධ කරගත් විටය. රට පාලනය කරන්නේ ජවිපෙ නොවන බව ලාල් කාන්ත සහෝදරයාම කියයි. (17 හිරු ප්‍රවෘත්ති) කතාව ඇත්තය. මාලිමාව එළහරකකු හා මීහරකකු එක බානට ඈඳීමක් බඳුය.

ජාජ බලවේගය උපදින්නේ ජවිපෙට ක්‍රිස්තියානි චින්තනය කළවම් වීමෙනි. පාස්කු ප්‍රහාර විමර්ශනය තමන්ට වුවමනා අයුරින් සිදු නොවීම නිසා උරණව සිටි කතෝලික නායකයින් විශාල පිරිසක් මුහුණ නොපෙන්වා පැස්බර න්‍යායෙන් ජනාධිපතිවරණයේදී මාලිමාවට ආධාර කළහ.

පාප්වරයා සතුව තිබූ අධික බලයට එරෙහිව රෙපරමාදු ප්‍රතිසංස්කරණය ඇති විය. එහි ප්‍රතිඵලය යුරෝපයේ රටවල් සෑහෙන සංඛ්‍යාවක් පාප්තුමාගෙන් ඈත් වීමයි. එංගලන්තය විසින් අත්පත් කරගත් උතුරු ඇමරිකාව රෙපරමාදු ව්‍යාපාරයේ මධ්‍යස්ථානය බවට පත්වූ නමුදු එංගලන්ත කිරීටයට යටත්ව පැවති රටවල් සිය භාරයේ තබාගැනීම එංගලන්තයේ වුවමනාව විය. එය සිදු වූයේ, ඇමරිකාවට හෝ එංගලන්තයට හෝ පැමිණ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව ආචාර්ය උපාධිය ලබාගන්නා පුද්ගලයින් මගින් බව පැහැදිලි කෙරෙන පොත් ප්‍රකාශයට පත්ව තිබේ. ඇමරිකාව එංගලන්තය වැනි රටවල ඇතැම් විශ්වවිද්‍යාලවලට එන ඉන්දියානු උගතුන්ට ක්‍රිස්තියානි චින්තනය පෙවෙන හැටි ‘බ්රේකින් ඉන්දියා’ පොතේ හොඳින් විස්තර කෙරේ.

කොළඹ බිෂොප් විද්‍යාලයේ මූලික ඉගෙනුම ලැබු ස්කොට්ලන්තයේ වැඩිදුර ඉගෙනුමට පහසුකම් හිමිවු ආචාර්ය හරිනි අමරසූරිය, ඒ සඳහා ලංකාවෙන් පෙන්විය හැකි නිදසුනකි. ඇය ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොඳින් දන්නා කෙනෙකි. හරිනි කතාකරන කාන්තා අයිතිවාසිකම්, ලිංගික නිදහස ආදී සියල්ල යුරෝපයේ පැතිරෙන්නේ ක්‍රිස්තියානි චින්තනයේ කොටස් වශයෙනි.

ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ තමා පිළිබඳ හැඳින්වීමේ මෙසේ කියයි.

“My research while at IASH will be focussing on the women’s movement and the influence of radical Christians on dissent in Sri Lanka.”

“…මගේ පරියේෂණ කටයුතු කාන්තා ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ විසම්මුතිය කෙරෙහි රැඩිකල් ක්‍රිස්තියානින්ගේ බලපෑම පිළිබඳව අවධානය යොමු කරනු ඇත.”

එංගලන්තයේ සිට පැමිණි ලේඩ් බීටර් බිෂොප්තුමා කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ධුරය දරද්දී බෞද්ධයකු වශයෙන් පෙනී සිටියේය. විශ්‍රාම ලබා ආපසු එංගන්තයට ගිය පසුව පෙරළා බිෂොප්වරයකු වූයේය. උපාධිය ලබා එංගලන්තයෙන් ලංකාවට පැමිණ බෞද්ධ සාර්ධරමවලට පහර ගසමින් සිටි ආචාර්ය හරිනි, මාලිමාවට එක් වී අගමැති වූ පසු තමා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක බව පෙන්නීමට වෙහෙසෙයි.

බහුකාර්ය ඇමති ධුරයක් ලැබූ විජිත හේරත්ට හරිනිට මෙන් ‘ඇකඩමික්’ පුහුණුවක් නැත. විනයක් නොපෙන්වන ඔහු හැසිරෙන්නේ මාක්ස්වාදියෙකු පරිද්දෙනි. වළං කඩයකට පැන්න වෘෂභයෙකු ලෙසිනි. ඔහු ගම්මන්පිල සමග ඇති කරගත් ආරවුල නිදසුනකි.

දැනට ප්‍රසිද්ධ නොකළ, එස්. අයි. වී. ඉමාම් ඇතුළු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු, හිටපු ජනපති රනිල්ගේ ඉල්ලීම මත සැකසූ පාස්කු ප්‍රහාර වාර්තාව, දින හතක් ඇතුළත එළිදක්වන්නට වත්මන් රජය කටයුතු නොකළොත්, තමන් එය එළිදක්වන බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

වාර්තාව එළියට පැන්නොත් පසුගිය මැතිවරණයකට ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ ඊබ්‍රාහිම් නානා සහ ඔහුගේ පුතුන් දෙදෙනා පිළිබඳ තොරතුරු එළියට එනු ඇතැයි බොහෝ දෙනා සිතති. අකුරු මැකී හෝ පිටු ගැලවී ඇතැයි තමා කී වාර්තාව ගම්මන්පිල අතට පත් වූයේ කෙසේ දැයි අසන ඇමති විජිත හේරත්, එය සිදු වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු බව කියමින් ගම්මන්පිලට තර්ජනය කරයි.

විජිත හේරත් ඇමතිවරයා තමන් දන්නා මාක්ස්වාදයට අනුකූලව හැසිරේ. අගමැති හරිනි, ඇය උගත් ක්‍රිස්තියානි විනයට අනුකූලව කටයුතු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link