රටට තබා ලොවට වත් ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්!

Last Updated on 6 months by admin

ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ ජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ ගමන් කරමින් ප්‍රශ්නයෙන් ගොඩ ඒමට උපක්‍රම සොයමින් වෙහෙසෙති. තනි පුද්ගලයෙකු හැටියට ඉතිහාසයේ දැවැන්තම මානව හිතවාදී විප්ලවය කරනු ලැබුවේ ගෞතම බුදුන් වහන්සේ විසිනි. බුදු දහමේ ආභාෂය ලබමින් දුක් විඳින ජනතාවට සේවයක් කිරීමට පෙලඹෙන අය අදටත් අප අතර ඉපදීම ඇත්තෙන්ම ආශ්චර්යමත් දෙයකි. හිතටත් ගතටත් අස්වැසිල්ලකි.

දකුණු ආසියාවේ මෙන්ම අග්නිදිග ආසියාවේ රටවල් ගණනාවක ජනතාව කෘතගුණ පූර්වකව සිහි කරන අපූරු මිනිසෙක් දැනට වසර 75කට ඉහත දී කවදත් අසමාන අන්දමේ මිනිසුන් බිහි කරන දකුණේ මාතර පුරවරේ උපත ලැබුවා. ඒ මාකඳුර නමැති ග්‍රාමයේයි. නිදහස ලැබීමත් සමග 1948 වසර ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළා. ඊට සති කිහිපයකට පසු එනම් මාර්තු මස 27 වැනි දින දකුණේ ප්‍රභූ පවුලකට දාව පින්වන්ත දරුවෙක් ලොවට බිහි වුණා. එතුමාගේ දෙමව්පියන් පමණක් නොව සීයලා සහ ආච්චිලාත් ප්‍රසිද්ධ සමාජ සේවකයින් වුණා.

සෑම් දරුවා අකුරු කළ කඹුරුපිටියේ අකුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයත්, සමරනායක ආරාමයත් සෑම් සමරසිංහ දරුවාගේ ආච්චිලා හා සීයලාගේ පරිත්‍යාගයෙන් දැයට දායාද කළ අධ්‍යාපන නිකේතනයක් සහ විහාරස්ථානයක් ලෙස සඳහන් වෙනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා මාතර රාහුල විද්‍යාලයට ඇතුළු වූ සෑම් තරුණයා පාසැල් ගියේ ප්‍රබල දේශපාලනඥයකු හා ප්‍රසිද්ධ සමාජ සේවකයෙකු වූ ජස්ටින් විජයවර්ධන මහතාගේ නිවසේ සිටයි. තරුණ අවධියේ තමාගේ පෞරුෂත්වය වර්ධනය වීම ඇරඹුණේ ජස්ටින් විජයවර්ධන ඥාතියාගෙන් ලැබුණ ආභාෂය නිසා බව සෑම් සමරසිංහ මහතා අදටත් කෘතඥ පූර්වකව සීහිපත් කරනවා.

“හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ” කියන ගැමි වහර සනාථ කරමින් සෑම් තරුණයා දවසින් දවස තමන් ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් ඉදිරියටම ගමන් කළා. 1966 වසරේ නාලන්ද විද්‍යාලයේ හොඳම ශිෂ්‍යයාට හිමි වන රන් පදක්කම දිනා ගැනීමට තරම් දක්ෂ වූවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී ඉංජිනේරු උපාධිය ලබාගත් පසුව (1966- 1970) වසරක කාලයක් ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු වුණා. 1971 සිට 1975 කාලය අතර තුර රජයේ සේවයට සම්බන්ධව කටයුතු කළා. එම කාල පරිච්ඡේදය තුළදීම ශ්‍රී ලංකාවට පරිගණක ආධාරක දැනුම ඔස්සේ රජයේ දෙපාර්තමේන්තුවලට සැලසුම් සකස් කිරීමේ හා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ක්‍රමවේද හඳුන්වා දීමේ වැඩ පිළිවෙළක පුරෝගාමියෙකු ලෙස කටයුතු කළා.

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියා හිතන කාලයකුත් ලංකාවේ තිබුණා. එනමුත් අපගේ කතානායකයා ඒ කියමනත් බොරු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ඒ මහතා විසින්. 1975 දී නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම තුළින් එම සංකල්පය පණ ගැන්වුණා. එහි සම්පූර්ණ වියදම එතුමා විසින් දැරුවා. එතුමාගේ කාර්යය ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවේ පාසල් 800 කට වඩා ප්‍රමාණයක් කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවා ගනු ලැබුවා. මෙම සමිති එම පාසල්වලට විශාල සම්පතක් වූවා පමණක් නොව එම කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගම් ව්‍යාපාරය යටතේ විවිධ අන්දමේ වෙනත් සමිති සමාගම් ද බිහි වීම ඇරඹුණා. පසුගිය වසරේ නාලන්ද විදුහලේ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් එම විද්‍යාලයට රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කරන්නට යෙදුණා.

1975 වසරේ දී එතුමා දිවයිනෙන් බැහැර වන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි. මහා බ්‍රිතාන්‍යයේ බිනී සහ හවුල්කරුවන් සමාගමේ මැලේසියානු කාර්යාලයට අනුබද්ධිතව 1975 දී සේවය කරනු ලැබුවා. මැලේසියාවේ ක්වාලාලම්පූර්හි ජල සම්පාදන ක්‍රමය සැලසුම් කිරීමේ කාර්යභාරය පැවරී තිබුණේ සමරසිංහ ඉංජිනේරුවාටයි. එහිදී එතුමා විසින් හඳුන්වා දෙන ලද සංකල්පයක් වූ මැලේසියාවේ සංකීර්ණ ව්‍යුහයන් සැලසුම් කිරීම දේශීය වශයෙන් කර ගෙන යෑමත්, ඒවා පරික්ෂා කිරීම සඳහා පමණක් පිටරටවලට යැවීමේත් ක්‍රියාවලිය තුළින් මැලේසියානු රජයට ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගත හැකි වුණා.

මැලේසියාවේ ක්වාලාලම්පූර්හි බෞද්ධ මහා විහාරයේ උප සභාපති ධූරයට පත්වීම තුළින් මැලේසියාව තුළ බෞද්ධ පොත පත ලියා ප්‍රකාශයට පත් කිරීමට විහාරාධිපති ආචාර්ය කේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේව කැමති කරවා ගැනීමට සෑම් සමරසිංහ මහතා සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස, ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අතින් බෞද්ධ පොත් 80ක් පමණ ලියැවුණ අතර එම ග්‍රන්ථ භාෂා 26 කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය කරනු ලැබුවා.

එතුමා ලන්ඩනයේ ඉම්පීරියල් උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළු වන්නේ පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහායි. එම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල දී දක්වන ලද විශිෂ්ටත්වය නිසාම එම කීර්තිමත් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් වෙනුවෙන් පර්යේෂණ කිරීමට එතුමාට අවස්ථාවක් පිරි නැමුනද එම මහඟු අවස්ථාව ප්‍රතික්ෂේප කළ සිසුන් අතර අප සෑම් තරුණයාද සිටියා. එතුමාගේ ඒකායන අරමුණ වූයේ පුහුණු ඉංජිනේරුවරයෙකු සහ සමාජ සේවකයෙකු වීමයි.

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක ප්‍රථම බෞද්ධ සමිතියක් පිහිටුවීමේ ගෞරවය සෑම් සමරසිංහ මහතාට හිමි වන්නේ 1976 දී එහි නිර්මාතෘවරයා මෙන්ම එහි සභාපතිවරයාද වීමෙන්. එතුමාගේ වියදමින් “WISDOM” සඟරාව මුද්‍රණයට යන්නේ මේ වකවානුවේදීයි. බ්‍රිතාන්‍යයේ වෙනත් විශ්වවිද්‍යාලවලත් බෞද්ධ සමිති පිහිටුවීම ඇරඹුණේ සමරසිංහ මහතා විසින් ගත් උදාර පියවරේ ප්‍රතිඵලයක් ලෙසයි. බුදු දහම උගතුන් අතර පැතිරීමට මෙම ප්‍රයත්නය බොහෝ දුරට උපකාරී වුණා.

1978 දී ඉරානයේ උපදේශන සමාගමක ඉහළ වැටුප් තලයේ රැකියා අවස්ථාවක් ලැබීම නිසා එහි සේවයට සම්බන්ධ වී ඉරානයේ එවකට භාවිතා වූ පරිගණක මෘදුකාංගයන්හි බරපතළ වරදක් සොයා ගැනීමට සමරසිංහ මහතාට හැකි වුණා. එම මෘදුකාංගය වහාම භාවිතයෙන් ඉවත් කරනු ලැබූ අතර එම ක්‍රියාව තුළින් ඉරානයට සිදු වෙන්නට ගිය ඩොලර් බිලියන ගණනක පාඩුව වළක්වා ගැනීමට එම රටට හැකි වුණා. සෑම වසරකම පාහේ ඉරානයේ සිදු වන දරුණු භූමිකම්පා වළින් ඒ රටට අහිමි වන මිනිස් ජීවිත දහස් ගණනින් බේරා ගැනීමටද ඒ ගත් ක්‍රියාමාර්ගය හේතු පාදක වුණා.

මෙම වකවානුවේ දී එනම් 1980 දී සිංගප්පූරු රජයේ අනුග්‍රහයෙන් අලුතින් ඇරඹුණු උපදේශන සමාගමක සමරසිංහ මහතා එහි ප්‍රථම ඉංජිනේරුවා ලෙස වැඩ බාර ගත්තා. සෑම් සමරසිංහ මහතාගේ ජීවිතයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදය ඇරඹෙන්නේ එතුමාගේ සිංගප්පූරු ආගමනයත් සමඟයි. එය දෛවෝප ගත සිදුවීමක් මෙන්ම සුදුස්සාට සුදුසු තැන හිමි වන ලොවක් ලංකාවෙන් පිටස්තරව පවතින බව සනාථ කරන සිදුවීමක් ලෙසද සැලකිය හැකියි. අප මේ කියන්න යන කථාව පුද්ගලයකු වටා ගෙතුණද එය ඇත්තෙන්ම ඊට එහා යන ලෝකයටම ආදර්ශයක් විය හැකි සත්‍ය කතාවකි.

නවසිය අසූවේ දශකය සෑම් සමරසිංහ මහතාගේ ජීවිතයේ අතිශයින්ම වැදගත් මෙන්ම සුවිශේෂී කාල පරිච්ඡේදයක් ලෙස සඳහන් කළ හැකියි. රටක සංවර්ධනය රඳා පවතින දැවැන්ත කුලුණු සේ සැලකිය හැකි ගොඩනැගිලි, ගබඩා, පාලම්, ගුවන්තොටුපොළ, වරාය, මහාමාර්ග, වෙරළ ආරක්ෂාව, මුහුද ගොඩ කිරීම, කර්මාන්තශාලා ඉදිකිරීම මෙන්ම තෙල් ගබඩා පහසුකම් සැපයීමද එතුමාගේ වගකීම් යටතට පත්වීම සිංගප්පූරුව තනිකරම දියුණුම තලයේ සංවර්ධිත රටක් බවට පත්වීමට තුඩු දුන් එක් ප්‍රධානතම සාධකය බව සිංගප්පූරු ඉතිහාසයේ  සටහන්ව තිබෙනවා.

මෙතුමා විසින් සිංගප්පූරුවට හඳුන්වා දෙන ලද සුවිශේෂී නිර්මාණයන් අතර තට්ටු 42 කින් යුත් සිංගප්පූරු වරාය මූලස්ථානය හා වසර දෙකක කාලයකට සහල් ගබඩා කර තැබිය හැකි ලොව ප්‍රථම සහල් ගබඩා සංකීර්ණය හැඳින්විය හැකියි. සංවර්ධනය වෙමින් පවතින රටකට ඉතාමත් අවශ්‍ය වන පරිගණක ආධාරක සැලසුම් හා කෙටුම්පත් පද්ධති සිංගප්පූරුවට හඳුන්වා දීමට සෑම් සමරසිංහ මහතා දුන් දායකත්වය සිංගප්පූරුවේ දියුණුවේ මූලික අඩි තාළම වුණා. වසර 5ක කාලයක් තුළ එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාගම කලාපයේ උසස්ම උපදේශක ආයතනය බවට පත් වුණා. එතුමා යටතේ බොහෝ තරුණ ඉංජිනේරු වරුන් පුහුණුව ලැබුවා.

සමාජ මනෝ විද්‍යාත්මක සාධකයක් ලෙස සිංගප්පූරුව තුල බුදු දහමේ ව්‍යාප්තිය එහි සංවර්ධනයට අනුබලයක් වූ බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක්. සිංගප්පූරුව යනු ධනය පසුපස පමණක් හඹා ගිය රටක් නොවන බව පැහැදිලි වන්නේ සෑම් සමරසිංහ මහතාගේ ආගමනයත් සමඟම එරට බුදු දහම වැළඳ ගන්නා ප්‍රතිශතයත් ක්‍රමයෙන් ඉහළ යාම නිසයි.1980 වන විට සිංගප්පූරුවේ බෞද්ධයින් සිටියේ 20%ක් වැනි සුළු ප්‍රමාණයක්. වසර 2000 වන විට සිංගප්පූරුවේ බෞද්ධ ජනගහනය 10% දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය වී තිබුණා.

සෑම් සමරසිංහ මහතා එහි Singapore Buddhist Mission මූලස්ථානය ආරම්භ කළා. එතුමාගේ උපායශීලී ක්‍රියාමාර්ග තුළින් එතෙක් පැවති ප්‍රවණතාවය ආ පස්සට හරවමින් 2000 වසර වන විට එහි ජනගහනයෙන් 40%ක් බෞද්ධයින් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස බුදු දහම විෂයයක් ලෙස පාසල් විෂය ධාරාවට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා විහාරස්ථාන සංඛ්‍යාව 3 සිට 17 දක්වා වැඩි වී, ඉන් ඉක්බිතිව බෞද්ධ විහාරස්ථාන සිය ගණනක් අලුතින් ඉදි කෙරුණා. පූජ්‍ය වෙහෙරගොඩ සාරද නාහිමියන් බෞද්ධ පොත්පත් ප්‍රකාශනය සඳහා උනන්දු කිරීම තුළින් ඒ හිමියන් විසින් නොමිළයේ බෙදා හැරීම සඳහා ඩොලර් මිලියන ගණනක් වටිනා බෞද්ධ පොත්පත් රාශියක් ප්‍රකාශයට පත් කෙරුණා.

එතුමා තරුණ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ලොවට හඳුන්වා දුන්නා. ඔවුන්ගෙන් සමහර නමක් උන්වහන්සේලා වාසය කරන රටවලම ආගමික නායකයන් බවට පත්වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය වල්පොල පියනන්ද හිමි, සිංගප්පූරුවේ ආචාර්ය කරදෙටියානෙ ගුණරතන හිමි, කිරම විමලජෝති හිමි, ඒ අතර වේ.

එතුමාගේ කාර්ය නිසා සෘජුව සහ වක්‍රව මිලියන සංඛ්‍යාත ජනතාවකට ප්‍රතිලාභ ලැබෙනවා. එම සේවය නිසා සෑම වසරකම ශ්‍රී ලංකාවට පුණ්‍යායතනවලට, දුප්පතුන්ට සහ පන්සල් සඳහා පරිත්‍යාග වශයෙන් රුපියල් මිලියන ගණනක් ලැබෙනවා. බොහෝ විට වසරකට රුපියල් මිලියන 100 ඉක්මවයි. ශ්‍රී ලංකාවට තවත් වසර ගණනාවක් මෙම පරිත්‍යාග ලැබෙනු ඇති. අප හිතන අන්දමට ලංකාවේ ජනතාව එතුමාගේ අධ්‍යාපනයට වියදම් කරන ලද මුදල්වලට වඩා මුදල් ප්‍රමාණයක් එතුමා විසින් මෙකියන සේවාවන් තුළින් ආපසු ගෙවා අවසන් කර ඇති.

සිංගප්පූරුව බෞද්ධ රටක් හා දියුණු සංවර්ධිත රටක් බවට පත් කිරීමට එතුමාගෙන් ලැබුණු දායකත්වය උදෙසා “රටක් වෙනස් කළ සිංහලයා” යන ගෞරවාන්විත විරුදාවලියෙන් එතුමා හඳුන්වනු ලබනවා.

එතුමා විවාහ වී සිටින්නේ බණ්ඩාරනායක පවුලේ මනීෂා ඩයස් බණ්ඩාරනායක මහත්මිය සමඟයි. ඒ දෙපළට දාව ධනිත, අනූෂා සහ නිලූෂ නමින් දරුවන් තිදෙනෙකි.

බුද්ධි (IQ) වර්ධනය කිරීම සඳහා එතුමා විසින් පොත් ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම පොත් සිංගප්පූරුවේ සහ මැලේසියාවේ හොඳින්ම අලෙවි වන පොත් ලෙස පිළිගැනීමට ලක්වී තිබෙනවා. සිංගප්පූරු ගුවන් සේවය ඔවුන්ගේ මගීන් සඳහා එම ග්‍රන්ථ නැවත මුද්‍රණය කළා.

ලෝකයේ ඉතාමත් ඉහළ IQ අගයක් ඇති පුද්ගලයින්ගෙන් සමන්විත MENSA සමාජයේ මෙතුමා සාමාජිකත්වය දරනවා. එතුමා නව නිපැයුම්කරුවෙකු වන අතර එතුමාගේ නාමයට ගෞරවය පිදෙන නව නිපැයුම් කිහිපයක්ද තිබෙනවා. එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල වෘත්තීය සංවිධාන ගණනාවක සාමාජිකත්වය එතුමාට පිරිනමා තිබෙනවා. නොමිළයේ බෙදාහැරීම සඳහා බුදු දහම පිළිබඳ පොත් දහස් ගණනක් මුද්‍රණය කර ඇත.

ශ්‍රී ලංකාවට සහ ලෝකයට එතුමාගේ පනස් වසරක සේවය සිහිපත් කිරීම සඳහා සරසවි ප්‍රකාශකයන් මගින් 2021 දී “රටක් වෙනස් කළ සිංහලයා” නම්වූ කෘතිය ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකා රජය කිසි විටෙක ශ්‍රී ලංකාවට සහ ලෝකයට එතුමා විසින් කර ඇති සේවය ඇගයීම හෝ හඳුනා ගැනීම කර නැත. වසර 45 ක් තිස්සේ ශ්‍රී ලංකා රජයට සංවර්ධනය පිළිබඳ නොයෙකුත් යෝජනා ඉදිරිපත් කළත් ලංකාණ්ඩුව එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක කළේ නැත. වසර විසිපහක කාලයක් තුළ සෑම් සමරසිංහ මහතා විසින් සිංගප්පූරු සහ මැලේසියානු රජයන්ට ඉදිරිපත් කරන ලද යෝජනා සියල්ලම එම රටවල් විසින් ක්‍රියාවට නංවා ඇත.

ශ්‍රී ලංකා රජයන් විසින් එතුමාගේ සියලු යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අවසාන ප්‍රයත්නයක් ලෙසින් ශ්‍රී ලංකා රජයේ කිසිම ආධාරයක් නොමැතිව ගම් 10,000 ක් සංවර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කළා. එතුමාගේ උපක්‍රමශීලී ඉලක්කය වූයේ එක් එක් ගමකට දේශීය හෝ විදේශීය අනුග්‍රාහකයෙකු බැගින් ලබාගෙන ඒ මගින් ගම් සියල්ල දියුණු කිරීමයි. එතුමා විසින් මේ සඳහා හඳුන්වා දෙනු ලැබූ ” ධර්ම ග්‍රාම සංසදය” නමැති ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක අන්දමින් දියත් කළත්, රජයේ ඉහළ තනතුරු දැරූ නිලධාරීන් විසින් ඊට දක්වන ලද විරුද්ධත්වය නිසා ඒ අදහස අත්හැර දමන්නට සිදු වුණා.

ශ්‍රී ලංකාවේ ‘සිටුවර පවුර’ සමාජ සේවා සංවිධානය පිහිටුවීමට මූලික වූයේත් මෙතුමායි. ඔහු එහි ප්‍රධාන අනුග්‍රාහකයා හා අනුශාසක ද වනවා. මෙතුමාගේ මගපෙන්වීම යටතේ මෙම සමිතිය දහස් ගණනක් ව්‍යවසායකයින් සහ දුප්පත් පවුල් සඳහා අඛණ්ඩව ප්‍රතිලාභ ලබා දෙමින් සිටිනවා.

එතුමා විසින් ශ්‍රී ලංකාවට හා ලෝකයට කරන ලද උදාර මෙහෙය අගයනු වස් ශ්‍රී ලංකාවේ රාමඤ්ඤ නිකාය විසින් එතුමාට “විශ්ව කීර්ති ශ්‍රී දේශමාන්‍ය” සම්මානය පිරිනමනු ලැබුවා. එහෙත් ශ්‍රී ලංකාවේ කිසිම රජයක් එතුමාගේ හැකියාවන් හෝ යෝජනාවන් පිළිගැනීමට ලක් කළේ නැත.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පාසලකින් හෝ විශ්වවිද්‍යාලයකින් බිහි වුණු දක්ෂතම ශිෂ්‍යයින් අතර එක් අයෙකු ලෙස එතුමා පිළිගැනීමට ලක් වී තිබෙනවා. එතුමා තම ධනය දැනුම ප්‍රඥාව උත්සාහය සහ කාලය ජනතාව වෙනුවෙන් යෙදවූයේ නිශ්සරණාධ්‍යාශයෙනි.

සෑම් සමරසිංහ යනු තනි පුද්ගලයෙකු ලෙස ඉතිහාසය වෙනස් කළ අයෙකි. සද්ධර්මය තම ජීවිතයේම වෙන් කළ නොහැකි ප්‍රපංචයක් ලෙස සැලකූ එතුමා විද්‍යාත්මක දැනුමත් දහමත් ඉතා හොඳින් ගළපා ඉන් ලොවට යහපතක් කරන්නේ කෙසේ ද යන්න ප්‍රායෝගික ව ඔප්පු කළ යුග පුරුෂයෙක්.

එවන් පුතෙකු දැයට බිහි කළ ලක් මෑණියන් එතුමා ගන්නා මීළඟ පියවර ගැන ඉමහත් කුතුහලයකින් බලා සිටී. අප මේ සිටින්නේ එතුමාගේ සේවය ලංකාවට ඉතාමත් අවැසි මොහොතකයි.

ජනතාව එතුමන්ගෙන් බලාපොරොත්තු වන උදාර මෙහෙය ඉටු කිරීම සඳහා එතුමාට ශක්තිය ධෛර්යය හා චිර ජීවනය ලැබේවා කියා ඉත සිතින් පතන්නෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link