රට අගාධයට තල්ලු කරන ජාතිකත්වයක් නැති දේශපාලන රූකඩ

Last Updated on 2 months by admin

ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වෙනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට රනිල් වික‍්‍රමසිංහ අනුර කුමාර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස එකඟය. මේ තිදෙනා ඡුන්ද දායකයින් පිනවීම පිණිස රට දියුණු කිරීම පිළිබඳ තමන්ගේ දක්ෂකම ගැන මොන කතා පොජ්ජවල් දැම්මත් 13 වෙනි සංශෝධනය බලාත්මක කිරීමට එකඟතාව පළ කිරීමෙන් ඔප්පු වන්නේ තිදෙනාම ජාත්‍යන්තරයේ බලපෑමට යටත්ව කටයුතු කරන බවයි. 13 වෙනි සංශෝධනය යනු රට බෙදන මගයි.

රට බෙදීම, ජාත්‍යන්තරයේ ප‍්‍රධාන වුවමනාවයි. දීර්ඝ කාලයක් පැවති ඊළාම් යුද්ධය කාලයේ එය ප‍්‍රදර්ශනය වුණි. මහින්ද රාජපක්ෂගේ රජය යුද්ධ ජයග‍්‍රහණය කළ නමුදු බෙදුම්වාදය මිය ගියේ නැත. එය වෙනත් ක‍්‍රමවලින් ක‍්‍රියාක්මකය. ඇතැම් යුද වීරයන් පවා දෙමළ ඩයස්පෝරාවේ සහ කතෝලික සභාවේ බලයට හිස නමන්නේ, බෙදුම්වාදය ක‍්‍රියාත්මක නිසාය.

මේ සත්‍යය වටහා ගැනීමට අපොහොසත් සිංහලයෝ සිටිති. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කරන්නේ, හුරේ දමමින් ජාතිකත්වයක් නැති නායකයින් පස්සෙ රැලේ වැටීමයි. මහින්ද රාජපක්ෂ පසුපස ජාතික ඇඳුමින් සැරසී මහජනතාව ඉදිරියට පැමිණි තරුණ දේශපාලනඥයින් ටයි කෝට් ඇඳ රනිල් පස්සේ යමින් පෙන්වන්නේ ඔවුන්ගේ දුර්වලකමයි.

ඉන්දියාව පාලනය කරන මෝදිගේ බීජේපී ආණ්ඩුව හින්දු චින්තනයට අනුගතව කටයුතු කරයි. රාහුල් ගාන්ධිලා බටහිර ගැත්තන් වුවද, ඉන්දියානු අනන්‍යතාව පෙන්වන්නට උත්සාහ කරන්නේ, බීජේපියේ බලපෑමටය. ක‍්‍රිස්තියානි හෝ මුස්ලිම් චින්තනයට බර ජාත්‍යන්තරය මෝදිගේ ආණ්ඩුවට වඩා කොංග‍්‍රසයට හිතවත්ය. ඔවුහු පසුගිය මැතිවරණයෙන් මෝදි පරදවා රාහුල් ගාන්ධි දිනවීමට සිය මාධ්‍ය හා මාධ්‍යකරුවන් යෙදවූහ. හින්දු ආගම බ‍්‍රාහ්මණයන්ගේ ආගම බව කියමින් හරිජනයා කුපිත කරවා බිජේපී බලකොටු සෙලවූහ.

කේරළය, ඉන්දියාවේ ප‍්‍රාන්ත හා සසඳන විට, වැඩිම උගතුන් පිරිසක් වෙසෙන ප‍්‍රාන්තයයි. එහි බලය ඉස්ලාම්, හින්දු සහ ක‍්‍රිස්තියානි ආගම් අතරේ බෙදී යයි. එය කොමියුනිස්ට් පක්ෂය බලය හිමි කරගෙන සිටින ඉන්දියාවේ එකම ප‍්‍රාන්තයයි. උගතුන් වැඩි පිරිසක් සිටින නමුදු, කේරළය පිරී ඇත්තේ ජාතිකත්වයක් නැති ඉන්දියානුවන්ගෙනි. එය ඉන්දියාව තුළ පිහිටි විදේශ රටකට සමානය. කේරළ ප‍්‍රාන්ත ආණ්ඩුව පසුගිය දිනක අපූරු දෙයක් ක‍්‍රියාත්මක කළාය. ඒ විදේශ කටයුතු භාර නිලධාරිනියක ප‍්‍රකාශයට පත් කිරීමයි. ඉන්දියාවේ ව්‍යවස්ථාව ප‍්‍රකාර විදේශ රාජ්‍යයන් සමඟ කටයුතු කරන්නේ මධ්‍යම ආණ්ඩුවයි. කේරළය විදේශ කටයුතු භාර නිලධාරිනියක පත්කිරීම මධ්‍ය ආණ්ඩුවට අභියෝග කිරීමකි. ජාත්‍යන්තරය මෙවැනි බෙදුම්වාදී ක‍්‍රියාවන්ට සහ එවැනි කටයුතුවල යෙදෙන දේශපාලනඥයන්ට ඉතා කැමතිය.

චීනය මානව හිමිකම් උල්ංඝණය කරන රටක්ය යන්න බටහිරුන්ගේ අදහසයි. බටහිරුන් නොසලකා කටයුතු කිරීමට චීන නායකයින්ට හැකිවී තිබේ. චීන දේශපාලනය යනු ජාතිකත්වයයි. මා ඕ ගොඩනැගූ කොමියුනිස්ට් චීනය ජාතිකත්වය ඇති රටකි.
චීනය සමඟ තරග කරන නමුදු, චීනය මෙන් කටයුතු කරන්නට ඉන්දියාවට නොහැකිය. ඉන්දියාවේ ජාතික නායකයෝ සිටිති. නරේන්ද්‍ර මෝදි වචනාර්ථයෙන්ම ජාතික නායකයෙකි. නමුත් ඔවුන්ට විරුද්ධ විජාතික බලවේග ඉන්දියාව තුළ ක‍්‍රියාත්මක කරන්නට බටහිරුන්ට හැකියාව තිබේ. නිදහස ලැබූ ඉන්දියාව බි‍්‍රතාන්‍යයන් පිහිටුවූ අධ්‍යාපන ක‍්‍රමය ඉදිරියට ගෙනයාම ඊට හේතුවයි.

කේරළය ලංකාවට තදින් බලපෑම් කරයි. විමුක්ති දේවධර්මය ලංකාවට ආවේ කේරළයෙනි. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුණේ විමුක්ති දේවධර්මයේ බලයෙනි. අනුර කුමාරගේ ඉන්දියානු සංචාරයේ ප‍්‍රධාන ස්ථානයක් වූයේ කේරළයයි. කේරළ දේශපාලන නායකයෝ බොහෝ කාලයක සිට බටහිර රූකඩ සේ ක‍ටයුතු.

ඕනෑම රටක ජාතිකත්වයක් නැති දේශපාලන නායකයින් රූකඩ හා සමානය. ජාත්‍යන්තරයට ඔවුන් නටවන්නට පුළුවන. එවැන්නන් පස්සේ රැලේ වැටීමෙන් රට ගොඩගත නොහැකිය. හැකි යැයි හිතන්නන් අනාගත පරපුරට කරන්නේ අපරාධයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link