Last Updated on 3 days by admin
සෑම් සෙනෙවිරත්න
ඉන්දියාවේ පහල වූ ශාස්තෘන් වහන්සේ සහ දාර්ශනිකයන් පිළිබඳව අප්‍රමාණ සාක්කි තිබේ. උන්වහන්සේලාගේ ධර්මය හා දාර්ශනික අදහස් ‘සේද මාවත’ නමින් වර්තමානයේ හඳුන්වන වෙළෙඳ මාර්ග ඔස්සේ බටහිරට හෙවත් අපරගෝයානයනට පැතිරිණි. බටහිර දැනුමට පදනම වැටෙන්නේ ඒ දැනුම සොයා බටහිර සිට පෙරදිගට පැමිණි පඬිවරුන්ගෙනි. ඔවුන්ගේ පරම්පරාවේ සාමාජිකයෙකු වූ ඇරිස්ටෝටල් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩයන්ගේ පාලනය’ යැයි හඳුන්වා ඇත. එයද දාර්ශනික සිතුවිල්ලකි. බොහෝ දෙනෙකුට දාර්ශනික අර්ථය නොවැටහේ.
ප්‍රජාතන්ත්‍රවාදය යනු වර්තමානයේ ප්‍රසිද්ධ දේශපාලන සංකල්පයකි. ලිවීමේ හා කතාකිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්ත දෙකකි. ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කතා කරන බොහෝ දෙනා තමන් මහා උගතුන් වියතුන් හා බුද්ධිමතුන් බව පෙන්වති. රූපවාහිනී නාළිකාවන්හි රෑට රෑට පෙන්වන දේශපාලන සංවාද හා වාදපිටි, සමාජ මාධ්‍ය යනාදිය නිදසුනයි. මේ තැන්වල කොයි ආකාරයෙන් රඟපැවත් බොහෝ දෙනාගේ කියුම් කෙරුම්වලින් පෙනෙන්නේ ඔවුන් බොල් මිනිසුන් බවයි. බොල් වීවලින් ඌරු කෑම වත් හදන්නට නොහැකිය. හරසුන් පුද්ගලයාත් ඊට සමානය.
‘කඩේ යන්නෙ රට වෙනුවෙන්’ යනු පසුගිය සමයේ ඉතා ජනප්‍රිය සටන් පාඨයකි. ගරුගාම්භීර කයිවාරු කතා කී බොහෝ දෙනා කඩේ යාම මැයෙන් පෙන්නුවේ මාලිමාවට පක්ෂ වීමයි. මොන අර්ථයෙන් ගත්තත් දේශපාලන පක්ෂයකට කඩේ යෑම ප්‍රබුද්ධයින්ගේ කාරියක් නොවේ. ‘බූරුවෝ බර අදිති’ යන්න පෘතුගීසි පඬි වදනකි. කඩේ යාමේ කතාවෙන් පෙනෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ ගැන වත් නොදන්නා පෘතුගීසි ආප්තෝපදේශයෙන් කියැවෙන ‘උගතුන්’ පිරිසක් රටේ වෙසෙන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ජනතා ස්වාධිපත්‍යයයි. ඡන්දය රහසේ ප්‍රකාශ කරන්නට හේතුව එයයි. තමන් කිසියම් දේශපාලන පක්ෂයකට කඩේ යනවා යැයි කවුරුන් හෝ කියන්නේ නම් ඔහුගේ දැනුමේ හා බුද්ධියේ බරපතල අඩුවක් තිබේ.
එවැනි පඬි වාක්‍ය කී බොහෝ දෙනා එයින් අදහස් කළේ රට නිවැරදි මගකට ගෙනයෑමේ උදාර කාර්යයට තම දායකත්වය දෙන බවයි. එය සැබෑ නම් දැන් රට යන්නේ නිවැරදි පැත්තටදැයි තම තමන්ම විමසා බැලීම වටී.
අදහස් පළ කිරීමේ මූලික මිනිස් අයිතියට බාධා එල්ල කිරීම පිළිබඳව ජවිපෙට දශක ගණනාවක අත්දැකීම් ඇත. ඔවුන් මාලිමා හම පොරවාගත් නමුදු සැබෑ හම ඒ ලෙසම පවතී. පසුගිය අවුරුදු කීපයේ සමාජ මාධ්‍ය හා දේශපාලන වේදිකාවේ ඔවුන් හැසිරුණු ආකාරය ඊට නිදසුනකි.
මේ වාරයේ ඔවුන් නිල වශයෙන් අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි වූයේ මැතිවරණයට පෙර සිටයි. ඒ ජාතිකවාදී ලේඛකයකු හා මාධ්‍යවේදියකු වන එරික් ගාමිණී ජිනප්‍රියගේ ’එන්පීපී කතාව ජේවීපී ක්‍රියාව’ පොත එළිදැක්වීමේ උත්සවයට මැතිවරණ කොමිසම හරහා බාධා එල්ල කිරීමෙනි එම උත්සවයේ අනුශාසනා කිරීමට වැඩ සිටි ඕමාරේ කස්සප හා බෙංගමුවේ නාලක හිමිවරුන්ට කට අරින්නට ඉඩ නොලැබුණි. ඉනුත් නොනැවතුණු මාලිමාව ‘දිවයින’ පත්තර ආයතනයට බලපෑම් කර එරික්ගේ රැකියාව අත්හිට වූයේය. ඔහුට රැකියාවට යන්නට ඉඩ ලැබුණේ මේ ඊයේ පෙරේදා බව ආරංචි විය.
යහපත් රටක් වෙනුවෙන් කඩේ යන බව කී කිසිවෙකු මේ අසාධාරණයට එරෙහිව හඬක් නැගුවේ නැත. ඔවුන්ගේ හැසිරීම කසාය බීපු ගොළුවන්ට සමානය. මේ සිද්ධියෙන් මාලිමාව යා යුතු පාර හොයාගත්තේය.
රාජ්‍ය බලය නමැති දැලි පිහිය අතට ගෙන සිටින මාලිවේ බහුකාර්ය ඇමති සහෝදර විජිත හේරත් වල්බූරු නිදහසක් ගැන කියමින් මාධ්‍යවලට තර්ජන කරයි. රාමඤ්ඤ නිකායේ මහානායක හිමියන් බැහැදැකීමට අගමැතිවරිය පැමිණි අවස්ථාව ආවරණය කරන්නට ගොස් සිටි මාධ්‍යවේදීන් අගමැති ආරක්ෂකයන් විසින් පලවාහැරිණි. වැඩවර්ජන කරන්නට ආවොත් බලාගෙන යැයි තර්ජන එල්ල වෙයි.
රට වෙනුවෙන් කඩේ යන බවට සද්ද දැමූ අය නිස්සද්දය.
මාලිමාවේ ලොකු කෙරුමකු වන දූෂණ විරෝධී සංවිධානයේ කැඳවුම්කරු හා අනාගත හොරු ඇල්ලීමේ ඇමති වසන්ත සමරසිංහට, ජවිපෙ ගුරු සංගමයේ කෙරුමකු වන මහින්ද ජයසිංහට හා ජවිපෙ තවත් වෘත්තිය සමිති කෙරුමන් කෙරුමියන් පිරිසකට, හොර ඔප්පු සාදා මිලියන 36ක් වංචා කිරීමේ චෝදනා එල්ල වී තිබුණි. ජනාධිපතිවරණයටත් පෙර, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නැයි නියෝගයක්ද කෙරිණි. දැන් වසන්ත සමරසිංහ මාධ්‍ය මගහරිමින් සිටින බවට පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි.
හූනියම් ශාස්ත්‍රයේ ‘මුඛ පුට්ටු’ නමින් රෝගයක් ගැන සඳහන් වේ. රට වෙනුවෙන් කඩේ යනවා කී හැමෝටම මුඛ පූට්ටු වෙලා වගේය.
ජනාධිපති සහෝදරයා වැඩ ඇල්ලුවේ අපරාධ චෝදනාවලට ලක්වූ පිරිසකට වගකිව යුතු තනතුරු ප්‍රදානය කරමිනි. පාස්කු බෝම්බකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන චෝදනා ඇති රවී සෙනෙවිරත්න, ෂානි අබේසේකර, හොර බිල්පත් ඉදිරිපත් කර බිලියන ගණන් රටට අහිමි කළ එක්ස්ෆෝලංකා අධිපති ආදීන්ගේ පත්කිරීම් කිසිසේත්ම සදාචාර සම්පන්න නැත. එවන් ආරම්භයක් මගින් රටක් පිරිසිදු කළ නොහැකිය. ඔවුන්ට තනතුරු දෙනවා නම් දිය යුතුව තිබුණේ ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් බව ඔප්පු කළ හැකි නම් එසේ කිරීමෙන් පසු පමණි.
රට වෙනුවෙන් කඩේ යනවා කියූ අය ගල් ගිල්ලා සේ නිහඬය. සිංහල ජනවහරේ ගල් ගිලලා වගේ යැයි කියන්නේ වුවමනා ස්ථානයේ කතා නොකරන දුර්වලයින්ටයි.
ඉන්ධන, විදුලි බිල් ආදිය දැනෙන තරමින් ඉක්මනින් අඩු කළ හැකි බව ජනාධිපති සහෝදරයාම කීවේය. දැනෙන තරමින් අඩු වන බවක් පෙනෙන්නට නැත. බිත්තරවලින් පවා කොමිස් ගහන බවට සද්යක් පැතිරුනි. දැන් ඒකත් බොරු වගේය. පාස්පෝට් පෝලිම්, පොල් පෝලිම් නැවතත් රට පෝලිම් යුගයකට යන බවට සංඥා එළි දල්වයි. උගන්ඩාවේ, ඩුබායි ආදි රටවල රාජපක්ෂලා හංගා ඇති ධනය ගැන දැන් කියන්නේ වෙන වෙන අනංමනංය.
රට වෙනුවෙන් කඩේ යනවා කී අය මෝල්ගස් ගිල්ල පිඹුරන් සේ කට ඇරගන්න බැරිව සිටිති. පිඹුරෝ මෝල් ගස් නොගිලිති. ලොකු ගොදුරක් ගිල්ල විට නොසෙල්වී සිටීම පිඹුරාගේ සිරිතයි. මේ සිංහල ජනවහරෙන් කියන්නේ වැරදි දුටු තැන කතා නැති මිනිසුන් ගැනයි.
මේ ලැයිස්තුව දිගට ලියන්නට ගියොත් පිටු ගණනක් ලියන්නට කරුණු තිබේ. කෙටියෙන් කියන්නට ඇත්තේ මෙයයි.
රට වෙනුවෙන් කඩේ යනවා යැයි ආඩම්බරයෙන් කියූ පුද්ගලයින් ඇත්තටම රටට ආදරේ නම් කට ඇරිය යුතුයි. අතදිග ඇර ලිවිය යුතුයි. සමාජ මාධ්‍ය පෝස්ටු පළ කළ යුතුයි. තමන් මේ වැරදිවලට එරෙහි බව ආණ්ඩුවට කිය යුතුයි. ආණ්ඩුව හරි පීල්ලට තල්ලු කිරීමේ වගකීමෙන් මිදීමට, රට වෙනුවෙන් කඩේ යන බව කී අයට නොහැකි වීම කණගාටුවට කරුණකි.
ඔවුන් කසාය බීපු ගොළුවන් සේ මෝල්ගස් ගිලපු පිඹුරන් සේ මුඛ පුට්ටු වූවන් සේ ගල් ගිල්ලා සේ සිටියොත් මහමැතිවරණයෙන් පස්සේ හොඳ හොඳ සෙල්ලම් බලමින් හූල්ල හූල්ලා හිටින්ඩ පුළුවන.
ඒ අතර රටට ආදරේ නැති ආතල්කාරයින් පෙරළුණ පිට හොඳයි කියමින් හුරේ දදා මාලිමාව වෙනුවෙන් තවදුරටත් කඩේ යනවා ඇත.
ආණ්ඩුවේ වැරදි පෙන්නමින් නිවැරදි මගට ජනතාවට පැහැදිලි කරන්නේ නම් ඇත්තටම රට වෙනුවෙන් කඩේ ගිය හැකිය.