‘රණවිරුගායට’ කළ කෙම වැරදී ආණ්ඩුවට බඩ යන ලකුණු

Last Updated on 2 weeks by admin

ලෝකයේ බොහෝ රටවල යුද සෙබළුන් හැඳින්වෙන්නේ ජාතියේ වීරයන් ලෙසිනි. ජීවිතය වුව පරිත්‍යාග කරමින්, තම රට සහ එහි වැසියන් ආරක්ෂා කිරීම සඳහා වන ඔවුන්ගේ කැපවීම සහ ඔවුන් ගන්නා අවදානම, නිර්භීතකම ආදි කරුණු ගණනාවක් ඊට හේතු වෙයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ‘මෙමරියල් ඩේ’ සහ ‘වෙටරන්ස් ඩේ’ නමින් සැමරුම් දින දෙකක් තිබේ. ‘මෙමරියල් ඩේ’ ආරක්ෂක සේවාවන්හි නිරතව සිටියදී මියගිය ආරක්ෂක හමුදා සාමාජික සාමාජිකාවන්ට උපහාර පිණිසය. ‘වෙටරන්ස් ඩේ’ වෙන් වන්නේ, ආරක්ෂක සේවාවන්හි නිරතව මිය ගිය සහ ජීවත්ව සිටින සාමාජික සාමාජිකාවන්ට උපහාර පිණිසය. ඇමරිකාවේ සියලු වැසියෝ, ආරක්ෂක සේවා සාමාජික සාමාජිකාවන් වීරයින් වීරවරියන් සේ සලකති. තම දුව, පුතා ආරක්ෂක සේවාවන්හි සේවයේ නිතර වන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කෙරෙන වාක්‍ය සහිත වාහන, ඇඳුම් ආදිය ඇමරිකාවේ සුලබ දසුනකි. සමාජයේ කොතැනකට වුව, රණවිරුවන්ට ලැබෙන්නේ ඉහළ පිළිගැනීමකි.

2019 වසරේ පැවති ඇමරිකාවේ 66 වැනි ජාතික රණවිරු උපහාර උළෙලේදී, එවකට උප ජනාධිපති වූ මයික් පෙන්ස්, ඇමරිකානු ජනතාවට සියලු රණවිරුවන් වීරයෝ වෙතැයි ප්‍රකාශ කළේය. පසුගිය සතියේ මැදපෙරදිගදී ජනාධිපති ට්‍රම්ප් කළ කතාවකින්, අතීතයේ පටන් මැදපෙරදිග කලාපයේ සේවයට ගිය රණවිරුවන්ට පමණක් නොව, ඔවුන්ගේ පරම්පරාවලටද නින්දාවක් සිදුවී යැයි ඔහු ප්‍රසිද්ධියේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට විරෝධය පළ කළේය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයින් ‘රණවිරුවන්’ යන ගෞරව නාමයට පාත්‍ර වූයේ විශේෂිත හේතුවක් ඇතිවය. ඒ, ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය විසින් ශ්‍රේණිගත කරන ලද, කිසි කලෙක පරාජය කළ නොහැකි යැයි ඇතැමුන් අනාවැකි පළ කළ, සබ්මැරීන, ගුවන්යානා පවා පාවිච්චි කළ, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය, එහි සියලු නායකයින් සමග සහමුලින් පරාජය කරන්නට ලංකාවේ ආරක්ෂක හමුදා සමත් වූ බැවිනි. ඔවුන් ඒ සඳහා අප්‍රමාණ කැපකිරීම් කළ හෙයිනි. එවන් හපන්කමක් කළ ආරක්ෂක හමුදාවක් ලෝකයේ වෙනත් කිසිදු රටක නැත.

යුද්ධයෙන් පසුව වුව, ආරක්ෂක අංශ සාමාජිකයන් පිළිබඳව සමාජයේ ඇත්තේ විශාල ගෞරවයකි. එය යුද්ධයට සහභාගි වූ රණවිරුවන්ට පමණක් සීමා වූවක් නොවේ. වර්තමාන ආරක්ෂක අංශ සාමාජිකයන්ටද රණවිරු ගෞරවය නිතැතින්ම හිමිය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, මැයි 18 වැනිදා පැවති රණවිරු සමරු උළෙලට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබුණද, පසුව විවිධ ජාතික සංවිධානවලින් හා සමාජ මාධ්‍යවලින් එල්ල වූ ප්‍රහාර හමුවේ එයට සහභාගි වූයේය. එහිදී ඔහුගේ කටින් පිට වූ කටකැඩිච්ච කතා පිළිබඳව මේ වන විට සමාජයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී. රණවිරුවන් සෙබළුන් වශයෙන් හඳුන්වමින් ඔවුන්ට නිග්‍රහ කිරීම පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි අප්‍රසාදයකි. මේ සිද්ධියෙන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කෙතරම් විවේචනයට ලක්වූයේද යත්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාද, ‘මේක තමන්ගෙ රණවිරුවන්ට රණවිරුවන් කියලා කියන්න කොන්ද පණ නැති ආණ්ඩුවක් යැ’යි චෝදනා කළේය. ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කතාවලින් නින්දාවට පත්වූයේ රණවිරුවන් පමණක් නොවේ. ඔවුන්ගේ පරම්පරාවලටද ඒ කතා නින්දාවකි.

ජනාධිපතිවරණයට පෙර පැවති ජනරැලිවලදී ජනාධිපතිවරයා හමුදා සෙබළුන් හැඳින්වූයේ රණවිරුවන් වශයෙනි. දැන් බලය ලැබූ පසු ඔවුන් නිකම්ම සෙබළුන් බවට පත්වීම මගින් රණවිරු සාධකය ඉතාම දීන අයුරින් මැතිවරණ වාසි පිණිස පාවිච්චි කර ඇත්තේ ජනාධිපතිවරයා සහ මාලිමාව බව සනාථ වේ යැයි ජනතාව පවසති.

ගුරා හිටගෙන කරද්දී ගෝලයින් දුව දුව කරයි යන කතාවේ සැඟවුන අර්ථය මහජනයාට පැහැදිලි වෙමින් තිබේ. ඇතැම් මාලිමා පාක්ෂිකයින්ට අනුව, ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය, රණවිරුගායට කෙමකි. නැතිනම් රණවිරුගායට ඇඹරූ ගුලියකි, කල්කයකි. විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේරත්න ජනපති ගෝලයා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී, ‘දකුණේ නොවේ උතුරේද තරුණයින්ද වීරයින් බව’ කීවේය. එය අසන්නෙකුට රණවිරුවන් ගොඩට ත්‍රස්තවාදී එල්ටීටීකාරයින්ද දමා ඇති සැටි පැහැදිලි වේ.

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය, රටේ බරපතල ආරක්ෂක හිඩැසක් ඇති කරන්නට සමත් තත්වයක් බව ජනාධිපතිවරයාටත් ඔහුගේ ටියුෂන් මාස්ටර්ලාටත් නොදැනෙන සෙයකි. රාජ්‍ය නායකයා ඇතුළු සමස්ත රාජ්‍යයේම ආරක්ෂාව භාරව සිටින්නේ සුළු කාලයක් ඇතුළත රණවිරු ශ්‍රේණියේ සිට සොල්දාදු ශ්‍රේණියට ඇදවැටුණු දුර්ලභ මිනිසුන් පිරිසක් විසිනි. ජනාධිපතිවරයා, අගමැතිවරිය ආදී ආණ්ඩුවේ සියලු ප්‍රධානීන්ට ආරක්ෂාව සපයන්නේ ඔවුන් විසිනි. කලකට පෙර ජනාධිපතිවරයා විසින්ම රණවිරුවන් යැයි මහ ඉහළින් අගය කරන ලද තමන් එකවරම සොල්දාදුවන් බවට පත්වීම පිළිබඳව කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයකු තුළ පැහැදීමක් ඇතැයි සිතිය නොහැකිය. මෙය ත්‍රිවිධ හමුදා, විශේෂ කාර්ය බලකාය, බුද්ධි සේවා, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය යන සියලු ආයතනයන්හි සාමාජිකයන්ගේ මානසික මට්ටම බිඳ වැටීමට හේතුවකි.

මේ තත්වය යටතේ ඔවුන්ගේ කාර්යක්ෂමතාව සහ ආණ්ඩුව කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය හා බැඳීම බිඳවැටීම නිරායාසයෙන්ම සිදු වේ. එවිට රටේ ආරක්ෂක තත්වයේ හිඩැසක් ඇතිවීම නොවැළැක්විය හැකිය. දුර්වල මට්ටමක පවතින රටේ බුද්ධි සේවා අනාගතයේදී තවත් දුර්වල වීම අපේක්ෂා කළ යුතුය. ආරක්ෂක හමුදාවල ශක්තිය අඩු කිරීමේ ආණ්ඩුවේ බලාපොරොත්තුව සමග මේ තත්වය ගැළපූ විට පෙනෙන්නේ නරක චිත්‍රයකි. මේ තත්වය හමුවේ, අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන, බුද්ධිසේවා චරපුරුෂයින්, විදේශ බුද්ධි සේවා ආදිය කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වේද යන්න තවත් බරපතල කාරණයකි.

ජනාධිපතිවරයාත් මාලිමාවත් තම පක්ෂයේ ආරක්ෂකයන් මත විශ්වාසය තබා ඇති බව ප්‍රකට කරුණකි. මේ තත්වය නිසා මාලිමාවේ දේශපාලන නායකයන් තවතවත් තම පක්ෂ සාමාජිකයන් වෙතින් ආරක්ෂාව සලසා ගැනීම කෙරෙහි නැඹුරු වනු ඇති. එවිට රාජ්‍ය ආරක්ෂක අංශ හා මාලිමාවේ ආරක්ෂකයන් අතර සීතල ගැටුමක් නිර්මාණය වේ. මෙය ආණ්ඩුවේ බිඳ වැටීම දක්වා ගමන් කරන උග්‍ර ගැටුමක ආරම්භය වීමට ඇති ඉඩකඩ බොහෝය. රණවිරුගායට ඇඹරූ ගුලිය නිසා නුදුරේදීම ආණ්ඩුවට බඩ යෑමට ඉඩ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top