Last Updated on 4 hours by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

Pic. credit: atuwa.lk
මහාචාර්ය සුචරිත ගම්ලත් පවසා ඇති පරිදි, ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර මහාචාර්යවරයාගේ හොඳම ගෝලයෙකි. සුචරිත, සාහිත්‍ය විචාරයේදී ප්‍රතිවාදීන්ට එල්ල කළ ඇනුම් පාරවල් කොයිතරම් කර්කශවීද යත් සමහරු ඔහුගේ විචාර කලාව ‘දෙන්නම් බැටේ විචාරය’ නමින් හැඳින්වූහ. ‘ඇයගේ (නන්දා මාලනීගේ) ගීතවලින් රැව්දුන්නේ ආදරය කරන්න. ද්වේෂ කරන්න එපා. අනුකම්පා දක්වන්න යන්න යැයි සරච්චන්ද්‍ර පවසා ඇත’ යනුවෙන් ‘කාව්‍ය විචාර හා මාක්ස්වාදී විකටරූප’ කෘතියේ සඳහන් කරන සුචරිත, ’මෙය පරම මුසාවකැ’යි ලියමින් සරච්චන්ද්‍ර පස්සේ රැලේ ගිය ගෝලයින්ගේත් කරටි කඩයි.
‘පන්සිල් පද පහේ සඳහන් වන ක්‍රියා අඩු වැඩි වශයෙන් ඇතිව දරුවෙක් බිහිවෙයි.’ රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේ දී ඔලිවර් ගුණතිලකට පහරදීමට ප්‍රසිද්ධ කළ ලිපියේ අඩංගු කතාවේ ඇත්තේ එවැනි අදහසයි. දිනක් දුම්රියක සොරෙක් හා වෛශ්‍යාවක වූ ඔහුගේ බිරිඳ ගමන් කළහ. ගර්භණීව සිටි මෙම කාන්තාවට දුම්රියේදී ප්‍රසව වේදනා ඇති විය. එහි ගමන් කළ වෛද්‍යවරයෙක් දරු ප්‍රසූතියට ආධාර කළේය. එළියට ගත් දරුවා එක අතක් මිට මොළවාගෙන සිටියේය. වෛද්‍යවරයා ඒ අත දිගහැරිය විට ඔහුගේ මුද්ද දරුවා මිට මොළවා සිටින බව දක්නා ලැබුණි.
බුද්ධාගමෙන් හා සංස්කෘතියෙන් කළේ ජන්මයෙන් ලැබෙන නරක ගති යම් පමණකට හෝ පාලනය කර සිංහල දරුවා යහපත් වැඩිහිටියෙකු කිරීමයි. පස් පව් යහපත් ක්‍රියා බව උගන්වන පාලකයින් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. වර්තමාන සමාජයේ වඩාත්ම කැපී පෙනෙන ‘බොරුව’ නිදර්ශනයකට ගතහොත්, එය මිනිසුන්ගේ මොළය අපවිත්‍ර කරයි. ප්‍රඥා ශෛල ගිලන් කරයි. එම නිසා සමාජයට හානි සිදු වන්නේය. පසුගිය මහ මැතිවරණයෙන් මාලිමාව ලැබූ ජයග්‍රහණය, ඒ විනාශය පෙන්වන සාක්කියකි. දැන් මාලිමාවුන් කරන්නේ අතීතයේ රට කරපු දේශපාලනඥයින් හොරුන් යැයි කියමින්, බුදු සසුන හා සිංහල ජාතියට වින කැටීම, රණවිරුවන් පාවාදීම, කොටින් පැරදවීමට නායකත්වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිරිහැර කිරීම වැනි ක්‍රියා මගින් බෙදුම්වාදීන් සතුටු කිරීම, රට හා එහි සම්පත් විදේශීන්ට පිදීම ආදි ක්‍රියා සඳහා ගිලන් මනස් ඇති මහජනයාගේ සහාය ලබාගැනීමයි.
සමහර සතුන්ට මනුෂ්‍යයින්ට නැති ලක්ෂණ ඇත. රිළවුන්, වඳුරන්, අලි ඇතුන්, වැනි සත්තු ඔවුන්ගේ රැලේ වැඩිම ඥානය හා පෞරුෂය ඇති සතා නායකයා වශයෙන් තෝරා ගනිති. එවැනි නායකයෙකු තෝරා ගැනීමට රටවැසියාට ඊට ඉඩක් නොදීම යටත් විජිතවාදීන්ගේ උපක්‍රමයයි. මේ නිසා ඇතැම් රටවල සිදු වන්නේ කිසිම පෞරුෂයක් නැති හොඳට බොරු කියන්නට හැකි කෛරාටිකයෙකු රටේ නායකයා වීමයි.
ගම්පොළ රාජධානි සමය සිංහලයන්ට ඉතා අවාසනාවන්ත කාලයකි. විදේශ ආක්‍රමණ සිදු වූ අතර රටවැසියෝ බෙදී නායකයින් කිහිප දෙනෙකු යටතේ සංවිධාන වූහ. එම නිසා රටේ සිංහල රාජධානි කිහිපයක් ඇති විය. දැනට විද්‍යමාන පැරණිම අස්න කාව්‍යය වන ‘තිසර’ සන්දේශය රචනා වී ඇත්තේ රටක නායකයා කවර අන්දමේ පුද්ගලයෙකු විය යුතුද යන කාරණාව මහජනයාට වටහා දීමටයි. එවැනි උතුම් ජාතික පරමාර්ථයකින් ලියවුන දෙමළ සන්දේශ කාව්‍යයක් නැත. ඇතැම් උගත්තු මේ ඇත්ත මගහැර සිංහල සන්දේශ කාව්‍යයේ දෙමළ බලපෑම ගැන ලියති.
මහාවංශය සඳහන් කරන ලෙසට බුදුන් පිරිනිවන්පාන අවස්ථාවේ දිගු කාලයක් බුද්ධ ශාසනය ලොවෙහි පැවතිය යුතු බව තීරණය කළ ශක්‍රයා ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවන්නැයි උපුල්වන් දෙවියන්ට කීවේය.
විජය කුමරා ලක්දිව ගොඩබැස්ස තොට අසල ගසක් මුල උපුල්වන් දෙවියෝ පරිබ්‍රාජක (තාපස) වෙස් ගෙන භාවනා කරමින් සිටියේය. විජය සහ පිරිවර එතැනට ගොස් එතුමාට වැන්ද විට ඒ සැමට ආශිර්වාද කළ උපුල්වන් දෙවියෝ, ‘මෙහි ගම් හදාගෙන පදිංචි වෙන්නැ’යි කියා කෙන්ඩියෙන් පැන් ඉස විජය ඇතුළු පිරිසේ සියලු දෙනාගේ අත්වල පිරිත් නූල් ගැට ගසා බැන්දේය. (පිරිත් නූල් බැඳීමේ සිරිතේ මුල මෙය බව බොහෝ දෙනා නොදනිති). අනතුරුව ඔවුන් භාර කෙරෙන්නේ යක්ෂණියකටයි. ‘උපුල්වන් දෙවියෝ ලක්දිව බුදු සසුන රකිති’ යන විශ්වාසය ගම්පොළ රාජධානි කාලයේත් පැවති බවට ‘ලංකාතිලක ලිපිය’ සාක්කියකි.
උපුල්වන් දෙවියන් වැඩ විසූ නුවර හෙයින් ‘දෙවිනුවර’ නම් වූ නගරයේ ප්‍රධාන විහාරයේ වැඩ විසූ රට දැන සිටි නායක ස්වාමීන් වහන්සේ උපුල්වන් දෙවියන්ට ප්‍රබල ආයාචනයක් කළ බව තිසරයේ සඳහන් වේ.
සව් ඉසුරෙන් සුසැදි – කිහිරැලි උපුල් සුරිඳු සඳ
සුරිඳුන් අතිනෙවර වරලදුවත් සුදුසු
නිරිඳුන් ඇතෝතිනි ලක රැකුමට පාසු
එබැවින් දැන් වැජඹි – පැරකුම්බා නිරිඳු සඳ
සත රැක ලක එක්සත් කරනුව වෙසෙස
වෙත යොමුකර නිති වන තම කුඵණු ඇස
‘සියලු සම්පත්තියෙන් මනාකොට සැදුණු කිහිරැලි උපුල්වන් දෙවිතුමනි. සුරේන්ද්‍රයාගේ (ශක්‍රයාගේ) ගේ වෙතින් ඒ අවස්ථාවෙහි වරම ලැබුවත් ලංකාව රකින්ඩ පහසු (වන්නේ) සුදුසු වූ රජුන් ඇතහොත් පමණි. එහෙයින් දැනට වැජඹෙන්නා වූ පරාක්‍රමබාහු රාජෝත්තමයා සත්ත්වයා ආරක්ෂාකොට ලංකාව විශේෂයෙන් එක්සත් කරනු නිතර පවතින පිණිස තම කරුණාව නැමති ඇස (ඔහු) වෙත යොමු කර ප්‍රමාද නොවී විරුද්ධ සේනාවන්ගේ මානය බලය බිඳලමින් නැවත සමස්ත කීර්තිය තේජස දීර්ඝායුෂ රූපශ්‍රීය දෙවමින් සිත් පරිද්දෙන් රකිනු මැනවැයි දෙවිඳුන් සමීපයෙහි වාසය කොට (බැති) සිත දියුණු කරමින් මෙම ආකාරයට ආයාචනා කරමි’. (සිරිතිලක සිරි සංස්කරණය)
නාහිමියෝ මේ පුවත තිසරෙකු අත දැතිගම්පුර වෙසෙන පරාක්‍රමබාහු රජුට දන්වා යැවූහ. සංග්‍රහයේ අනිකුත් කවිවල ඇත්තේ ගමන් විස්තරයයි.
රට එක්සත් කළ හය වැනි පරාක්‍රමබාහු රජතුමා ජයවර්ධන පුරය අගනුවර කරගෙන රට පාලනය කළේය. ඔහුට අනාගතයේ රට පාලනය කිරීමට පුතෙකු නොසිටීම දැහිතකාමීන්ගේ වේදනාවට හේතු වූ කරුණකි. රජතුමාට සිටියේ දූවරුන් දෙදෙනෙකි. මෙයින් වැඩිමහලු චන්ද්‍රවතී කුමරිය අවිවාහකව විසුවාය. මේ සමයේ විසූ කීර්තිමත් භික්ෂුවක වූ තොටගමුවේ රාහුල හිමියෝ පරෙවි සන්දේශය රචනා කරමින් චන්ද්‍රවතී කුමරියට සුදුසු හිමියෙකු ලබා දී රට පාලනය කිරීමට පුත් කුමරකු ලබා දෙන්නැයි උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිති.
සඳවත් නමින් යුත් රජ දූ ලඳට සිරිබර
පුත් රුවනක් දෙන ලෙස අයදින් යහළු (203)
එහෙත් චන්ද්‍රවතී කුමරිය මිය ගියාය. ඉන් පසුව රාහුල හිමියෝ සැළලිහිණි සන්දේශය රචනා කරමින් රජුගේ දෙවැනි දුව වූ උලකුඩය කුමරියට පුත් කුමරෙකු ලබා දෙන්නැයි කැලණියේ විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලීමක් කළහ.
නොහැරී පෝය අටසිල් රැකුම පිරිසිදු
සසිරි උලකුඩ දේවි හට පසිඳු
පුත් රුවනක් දුන මැනවි නිසි ලෙස (203)
නන්නුර්තුනයා විවාහ කරගෙන සිටි උලකුඩය දේවියට පුතෙකු ලැබුණි. පරාක්‍රමබාහු රජුගෙන් පසු ජයබාහු නමින් ඒ කුමාරයා රජ වූයේය.
යටත් විජිත කාලයේ සිට සන්දේශ කාව්‍ය කොටස් වශයෙන් පාසල්වලත් සම්පූර්ණ කාව්‍ය වශයෙන් විශ්වවිද්‍යාල හා පිරිවෙන්වලත් උගන්වාගෙන එති. එහෙත් ඒවා උගන්වනු ලබන්නේ කර්තෘ වරයාගේ කාව්‍ය රචනා කිරීමේ මූලික පරමාර්ථය සඟවමිනි. ඒ වෙනුවට ආචාර්ය ආචාර්යවරියන්ට සිදු වී ඇත්තේ සන්දේශ කාව්‍යයන්හි බාහිර වර්ණනා පට්ට ගැසීමටයි. විභාග සමත් විය හැක්කේ ඒවා ඉගෙනීමෙන් පමණකි. විභාග ප්‍රශ්න සැදෙන්නේ ඒ කතා ඇසුරෙනි. එම නිසා සිය ගණනක් සන්දේශ කාව්‍ය සංස්කරණ හා විමර්ශන පොත් මුද්‍රණය වී ඇතත් ඉන් සියයට අනූවක්ම වැඩකට ඇති ඒවා නොවේ.
ක්‍රි. ව. 1588 දී තෝමස් ද සුසාගේ නායකත්වයෙන් පෘතුගීසි හමුදාවක් මුහුදු මගින් දෙවිනුවරට ගොස් උපුල්වන් දේවාලය ගිනි තැබූහ. එහි අරමුණ බුදු සසුන සමතලා කිරීමයි. උපුල්වන් දෙවියෝ රටේ සංස්කෘතියේ ප්‍රධාන බල කණුවක් වූයේය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ගැන ඉවසීමක් නැතිව කියවන මැල්කම් රංජිත් කාදිනල් මේ අපරාධය ගැන කට සොලවා නැත. පෘතුගීසි පූජකයින් නියෝජනය කරන ඔහු කෙසේ කට අරින්නද? උපුල්වන් දෙවියන් විෂ්ණු දෙවියන් කිරීමත් ප්‍රයෝගකාරී ක්‍රියාවකි.
සන්දේශ (අස්න) ලියූ සිංහල කවියන් රටේ නායකයා කෙබඳු චරිතයක් ඇත්තෙකු විය යුතු දැයි පෙන්වා දී තිබේ.
’පැහැදි ගැමුණු නරනිදු සේ දහම් මග’ (ගිරා සඳෙස, 250)
‘ගත් රූසිරු සුර කුමරෙකු මෙන් බැබළු – යුත් ගුණ නැන දැනුමැති තෙපළ කවි නළු’ (පරෙවි, 203)
පාලකයින් ධර්ම මාර්ගයට යොමු කළ භික්ෂු චරිතයත් මේ වන විට වැනසෙමින් තිබේ. භික්ෂුව පහළ අසුනක හිඳුවා වේදිකාවට නගින දේශපාලනඥයා භික්ෂුවට අනුශාසනා කරන තත්වයක් උදා වී තිබේ. මේ වන විධිය බලන විට රටට සුදුසු රාජ්‍ය නායකයකු ඉල්ලා නැවතත් සන්දේශ කාව්‍ය ලියන්නට සිදු වේදැයි සැක පහල වේ.