අනුරව බලයට ගේන්න තරම් පිස්සුවක් ඇමරිකාවට නෑ

Last Updated on 3 weeks by admin

පැමිණ තමා හමුවන්නැයි රුසියානු තානාපතිවරයා දෙවරක්ම කළ ඇරයුම් අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කර ඇති බවට විමල් වීරවංශ කළ ප්‍රකාශය සමාජයේ කතාබහට ලක්වුණු මාතෘකාවකි.

අතැමුන්ගේ අදහස මෙයින් අනුර කුමාර ඇමරිකන් ඒජන්තයකු බව තහවුරු වුන බවයි.

අනුර කුමාර රුසියන් තානාපතිගේ ආරාධනය නොපිළිගත් බව ඇසූ මට මතක් වුණේ පරණ චිත්‍රපටවල එන සිද්ධියකි. කොල්ලාට කෙල්ලගේ හිත දිනාගැනීමට අවශ්‍ය නමුත් ඊට ක්‍රමයක් නැත. ඒ නිසා ඔහු දෙතුන් දෙනෙකුට කීයක් හෝ අත මිටමොලවා උද්‍යානයක්, පාළු පාරක් වැනි තැනකදී කෙල්ලට හිරිහැර කිරීමට යොදවයි. ඒ අවස්ථාවේ එතනට පාත්වෙන කොල්ලා දාමරිකයන්ට ගුටි ඇන කෙල්ලගේ හිත දිනාගනියි.

රුසියානු තානාපතිවරයකු සාකච්ඡාවකට එන්නැයි කෙරෙන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නට තරම් හැකියාවක් ඇති රටක්, ජගතෙක් ලෝකයේ නැත. කොතරම් පසමිතුරන් වශයෙන් කටයුතු කළද ඇමරිකාව පවා එවන් ඉල්ලීමක් අහක දමන්නේ නැත. එසේ නම් අනුර කුමාර එසේ කළේ ඇයි?

අනුර කුමාර නායකත්වය දරන ජවිපෙ මාක්ස්වාදී පක්ෂයකි. තවමත් මාක්ස්වාදීන්ගේ මහගෙදර රුසියාවයි.

මාලිමාව සහ ජවිපෙ ලංකාවේ මූණපා සිටින ලොකුම ප්‍රශ්නය එය මාක්ස්වාදී දේශපාලන පක්ෂයක් වීමයි. එයින් රටටත් විශේෂයෙන් සංස්කෘතියට හා බුදු සසුනටත් සිදුව ඇති විනාශය පිළිබඳව බොහෝ රටවැසියෝ දනිති. ජවිපෙ වෙබ් අඩවියට අනුව ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ සියලු පුද්ගලික දේපොළ රාජසන්තක වෙයි. සේවකයන් 10ට වැඩි ව්‍යාපාර රාජසන්තක කෙරෙයි. මාලිමාව යනු ජවිපෙ කොමියුනිස්ට් වෘක හම වැසීමට පෙරවූ බැටළු හමකි. මේ තොරතුරු දන්නා ජනතාව ජවිපෙට සහ මාලිමාවට අකමැත්තක් දක්වති.

ජවිපෙ මේ බව දන්නා නමුත් තම මාක්ස්වාදී ඇදහිල්ලෙන් ඉවත්වීමටද කැමති නැත. ලාල් කාන්ත වැන්නවුන් තමන් මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් බව පවසමින් පෙන්වන්නේ ඔවුන්ගේ සැබෑ ස්වරූපයයි. ඇතැම් ජවිපෙ නායකයින් බුදුන් වැඳීම, බෝධි වන්දනාව ආදි බොදුනු සංස්කෘතිකාංගවලට නින්දා කරන්නේද එහෙයිනි.

මාලිමාව ඊයේ පෙරේදා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ භික්ෂුන් වහන්සේලා මගින් රටවැසියන්ට ඉනා බේත් කැවීමටයි. සසුන නසන්නේ පිටස්තරයින් නොව චීවර දරාගත් තමන්ගේම පිරිස බව බුද්ධ භාෂිතයයි.

පසුගිය කාලය දෙස විමසිල්ලෙන් බැලූ විට, ඉන්දියාව, ඇතැම් මැදපෙරදිග රටවල් සහ බටහිර රටවල් අනුර කුමාර හෝ මාලිමාවේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. නැතිනම් අනුර ඇතුළු පිරිසක් ඒ රටවල සංචාරයේ නිරතව තිබේ. අනුරගේ ඉන්දියානු සංචාරය උදාහරණයකි.

අනුරගේ ඉන්දියානු සංචාරය මාලිමාව මැතිවරණයෙන් දිනන නිසා හිතවත්කම වර්ධනය කරගැනීමට ඉන්දියාව විසින් සැලසුම් කළ එකක් යැයි මාලිමාවේ හිතවත්තු ප්‍රීති වෙති. මෙය මුළාවකි.

ඉන්දියාවට අවශ්‍ය වූයේ මාලිමාවට ලණුවක් දී සිය ඕනෑ එපාකම් ඉටුකරගැනීමයි. සංචාරයෙන් පසු මාලිමාවේ ඉන්දියානු විරෝධී මුඛ පූට්ටු විය. ඉන්දියාවට රටේ සම්පත් විකිණනවාට විරුද්ධව තිබුණු උද්ඝෝෂණ විරෝධතා අතුරුදහන් විය.

නමුත් පසුගිය කාලය පුරාම චීනයත් රුසියාවත් මාලිමාවට හෝ ජවිපෙට ලොකු හිතවත්කම් පාන්නට ආවේ නැත. හමුවීම් සිදුවූයේ නම් එම තානාපති කාර්යාලවල පහළ මට්ටමේ නිලධාරීන් සහ මාලිමා නියෝජිතයින් අතරය. අප්‍රේල් මාසයේ අනුරව හමුවූයේද චීන කොමියුනිස්ට් පක්ෂයේ උප නිලධාරිනියක ඇතුළු පිරිසකි.

ඊට හේතුව රටට කොලේ වැසීමයි. මේ රටවල් දෙක ලොකු හිතවත්කම් පාන්නට ආවේ නම් මාලිමාවේ සැබෑ තත්වය ලොවට අනාවරණය වෙයි. එවිට මාක්වාදයට කොමියුනිස්ට්වාදයට අකමැති ජනයා මාලිමාවට එරෙහිවීම වැළැක්විය නොහැකිය.

අනික් අතින් මාලිමාවෙන් වැඩ ගන්නා ජුලි චංග් ප්‍රමුඛ බෝන් එගේන් කල්ලිය උරණ වෙයි. ඇතැමුන් සිතන පරිදි ජුලි චංග් මාලිමාවට හා ජවිපෙට උදව් කරන්නේ මාලිමාව බලයට ගෙන ඒමට ඇමරිකාවට ඕනෑකමක් ඇති නිසා නොවේ. එසේ සිතන්නන් ඇමරිකාවේ දේශපාලනය ගැන කිසිවක් නොදන්නා අය විය යුතුයි.

ඇමරිකාව කොමියුනිස්ට්වාදී පක්ෂයකට බලයට ඒමට ආධාර කිරීම ඉබ්බෙක් විය සිදුරෙන් අහස දකිනවාටත් එහා ගිය සිද්ධියකි. මේ, රුසියාව, චීනය, උතුරු කොරියාව, ඉරානය, වෙනිසියුවේලාව වැනි ඇමරිකාවේ කොමියුනිස්ට් හා ඉස්ලාම් පසමිතුරන් ඇමරිකානු මිදුල අද්දර යුද අභ්‍යාස පවත්වන්නට පෙලඹී සිටින කාලයකි. මේ සමයේ කොමියුනිස්ට් බලයේ සුළු හෝ වර්ධනයක් ඇමරිකාව වෙනදාටත් වඩා නොඉවසයි. මේ වන විට ලොව පුරා රටවල පැවති කොමියුනිස්ට් පක්ෂ දුර්වල වී තිබේ. දියවෙමින් පවතින කොමියුනිස්ට් රටවලට නව පණක් ලැබෙන්නට සලස්වමින් තවත් රටක මාක්ස්වාදී ආණ්ඩුවක් බිහිවන තැනට කටයුතු කරන්නට ඇමරිකාව ඉදිරිපත් නොවේ.

නමුත් ජුලි චංග් සහ ඇමරිකාව කේන්ද්‍ර කොටගත් විවිධ ක්‍රිස්තියානි සංවිධාන මාලිමාවට උදව් කරන්නේ ඒ හරහා බුදු සසුන දුර්වල කළ හැකි බැවිනි. ඔවුන් කිසි දිනක මාලිමාවට රටේ බලයට එන්නට ඉඩ දෙන්නේ වත් එවන් ඉඩත් ඇති බවක් දැනුනහොත් ඊට ඉඩක් තබන්නේ වත් නැත. ඇමරිකාව මාලිමාවට බලයට එන්නට උදව් කරන බව සිතන මාලිමාවේ හිතවත්තු මෝඩ චූන් එකක් ගනිති.

එසේම කලාපීය බලවතා වන්නට උග්‍ර තරගයක යෙදෙන ඉන්දියාවද කොමියුනිස්ට් පදනමක් ඇති පක්ෂයක් ලංකාවේ බලයට එනවා දකින්නට අකමැතිය. එය චීනයට වාසිදායක බව ඉන්දියාව දනී.

කොමියුනිස්ට් කඳවුරද මේ සත්‍යය දනී. මාලිමාව, රුසියාව හා චීනය සමග වැඩි සබඳකමක් ඇතැයි ඇමරිකාවට වැටහුනහොත් එය කොමියුනිස්ට් කඳවුරට ලොකු අවාසියකි. ජුලි චංග්ලාට ප්ලග් එක ගලවන්නට සිදු වෙයි. අනුර කුමාර රුසියානු තානාපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම ජුලි චංග් කල්ලියේද අමන්දානන්දයට හේතුවකි. ඔවුන්ගේ සහායෙන් මාලිමාව දිනවා කොමියුනිස්ට් ආණ්ඩුවක් බිහි කිරීම රුසියාවේ හා චීනයේ අරමුණයි.

මෙය රුසියාවේ ඔත්තු සේවාවන්හි තිර පිටපතකට අනුව අනුර කුමාර විසින් කරන ලද සුපිරි රංගනයකි. සමහර විට සිද්ධිය රුසියානු ඔත්තු සේවා විසින් ප්‍රචාරය කරන ලද බොරුවක්ද විය හැකිය.

මාක්ස්වාදී පක්ෂයකට ඡන්දය දී බලයට පත් කිරීම බුදු සසුනේත් සංස්කෘතියෙත් පුද්ගලිකව තමතමන්ගේත් විනාශය පිණිස දායක වීමක් බවත් ජනතාව සිතට ගත යුතුය.

විජාතික බලවේගවල උත්සාහය සිංහල බෞද්ධයා මූලික කරගත ජාතිකවාදී ඡන්ද පදනම දෙදරවා ඒ ඡන්ද බෙදුම්වාදයටත් අන්තවාදයටත් සේවය කර පක්ෂ අතරට මුසුකිරීමයි. ජුලි චංග් කල්ලියේ උත්සාහය මාලිමාව දිනන බව ජනතාවට ඒත්තු ගන්වා, ජාතිකවාදී ඡන්ද හැකිතාක් මාලිමාව පැත්තට හැරවීමයි. එවිට ඔවුන්ගේ ජාතිකවාදී මතය වෙනස් වී තම අලුත් කඳවුරේ මතවාදවලට එකඟතාව පළ කරනු ඇත. සිංහලයාගේ ජාතික ආගමික හැ’ගීම් හිමිහිට දියවනු ඇත. ජාතික හැ’ගීමෙන් යුතු එක්සත් ජාතික පාක්ෂිකයන් අති විශාල සංඛ්‍යාවක් නායකයන්ගේ බසට නැමී බෙදුම්වාදයට ඉඩ දෙන තැනට යොමුවී සිටීම ඒ බව සනාථ කෙරෙන උදාහරණයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link