ලිබරේෂන් තියලොජියෙන් ඉපදී එයින්ම නැසුන ජවිපෙ

Last Updated on 2 hours by admin

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

Pic. Credit: Lankadeepa.lk

ලෝක ඉතිහාසයේ මහා මිනිස් ඝාතකයින් වශයෙන් ප්‍රසිද්ධව සිටින සෑම පුද්ගලයෙකුම පාහේ දේශපාලන බලය ලැබීමෙන් පසු ඒ තත්වයට පත්වූන්ය. මෑත ඉතිහාසයට අදාළව ඇඩෝල්ෆ් හිට්ලර් සහ රුසියාවේ ජෝසප් ස්ටාලින් නම් දෙක ඉදිරියෙන්ම තිබේ. මොවුන් දෙදෙනාම දේශපාලන බලය ලබාගන්නා තෙක් ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් නොවූහ. දේශපාලන බලය හිමිකර ගැනීමෙන් පසුව ඔවුහු මනුෂ්‍ය ඝාතකයින් බවට පත් වෙති. මොවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ඇතැම්හු, අපරාධ සහ දේශපාලන බලය අතර සම්බන්ධකමක් ඇතැයි පෙන්වා දෙති.

ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස රාජ්‍ය නායකයින්ව සිටි කාලයන්හි ලංකා ඉතිහාසයේ පුද්ගල ඝාතන බොහෝ සිදු විය. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ මොවුන් දෙදෙනාටම රාජ්‍ය පාලනය නිසි අයුරින් කරගන්නට බැරි වූයේ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වූ බැවිනි. අභියෝගය පැමිණියේ රට බෙදා වෙනම රාජ්‍යයක් හදන්නට සැරසුන එල්ටීටීඊයෙනි. අසරණ වූ රාජ්‍ය පාලකයින් දෙදෙනා සිංහලයින් බහුල ප්‍රදේශවල අර්බුද ඇති කරමින් පාලනයට බාධා කළ ජවිපෙ සාමාජිකයන්ව ඉතා කුරිරු අයුරින් මර්දනය කළහ. මෙනමින් සිදු වූයේ සිංහල බෞද්ධ ජන සංහාරයකි. එය ගැඹුරින් වටහා ගත් ජනයා, ජවිපෙ උපන්නේ බෙදුම්වාදීන්ගේම උපායක් ලෙසට යයි සැකයකින් තොරව පිළිගනිති.

ජවිපෙ පියා ෂන්මුගදාසන් මෙහෙයවූ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය වූයේය. ෂන්ලා දකුණු ඇමරිකාවේ ඉපදී කේරළයේ ජනප්‍රිය වූ ක්‍රිස්තියානි ගළවා ගැනීමේ දේවධර්මය (ක්‍රිස්ටියන් ලිබරේෂන් තියොලොජි) පිළිගෙන සිටියහ. ප්‍රේමලාල් කුමාරසිරි, තේජා ගුණවර්ධන වැන්නෝ ඔවුන්ගේ න්‍යාය ඇදුරු ඇදුරියෝ වූහ. ෂන්ගේ පක්ෂය, රහස් කඳවුරු පිහිටුවීම සහ පක්ෂ සාමාජිකයන්ට අවි භාවිතාව හා සටන් පුහුණුව දීම වැනි ක්‍රියාවල නියුතු විය. ෂන්ගේ පක්ෂය බිඳගෙන බිහි වූ ජවිපෙ නිර්මාතෘවරු ෂන්ගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගියහ. ඔවුහු ඊට ‘චේ ගුවේරා දර්ශනය’ යැයි අලුත් නමක් දුන්හ. මාලිමාව යටතේ බලයට පත් වන තෙක්ම ජවිපෙ නායකයින් හොඳම රට කීවේ චේ විසූ කියුබාවටයි. ‘ඩබල් පොකට්’, චේ, කස්ත්‍රෝ ඇතුළු කියුබා විප්ලවවාදීන්ගේ කමිස මෝස්තරයකි.

1971 අප්‍රේල් පහරදීම තම අනුදැනුම නැතිව සිදු වූවක් බව මහනඩුවට මුහුණ දුන් විජේවීර කීවේය. මේ නිසා කැරැල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයින්ට විජේවීර අතහැර අලුත් විප්ලවවාදී සංවිධාන පිහිටුවීමට හෝ පවතින එවැනි සංවිධානවලට සම්බන්ධ වීමට සිදු විය. සිරිමා බණ්ඩාරනායකගේ බෑණා වූ කුමාර් රූපසිංහ (සුනේත්‍රාගේ සැමියා) හිරගෙවල් තුළ ‘ජනවේගය’ නමින් කල්ලියක් හැදුවේය. පින්දෙණිය සටන්බිමේ නායකයෙකු වූ පැට්රික් ප්‍රනාන්දු සහ ජීඅයිඩී ධර්මසේකර සමඟ සිටි කුලියාපිටියේ ප්‍රනන්ද වැන්නෝ ඒ ගොඩට එක් වූහ.

ගාමිණී යාපා, ‘පෙරදිග සුළං ව්‍යාපාරය’ නමින් ඉන්දියාවේ නක්සලයිට් ව්‍යාපාරයට සමාන දේශපලන ව්‍යාපාරයකට නායකත්වය දුන්නේය. බර්ටි රංජිත් හිරෙන් පලා ගොස් ඊට එක්වීම ගුප්ත ක්‍රියාවකි. කැරැල්ල සිදුවෙද්දී යාපනේ හිරගෙදරට ගොස් එහි සිටි විජේවීරව ඝාතනය කිරීම භාරව සිටි බර්ටි රංජිත්, බඩල්ගම ප්‍රදේශයේ ග්‍රාම සේවකවරයකු මරා දැමීම ගැන චෝදනා ලැබූවෙකි. බර්ටි සමග ඇසුරට ගිය ගාමිණී යාපා සහ නිමල් මාතලේ ප්‍රදේශයේ කැලෑවකදී (කළුපහන) රහස් පොලිස් අත්අඩංගුවට පත් විය. එයින් පසු පෙරදිග සුළං මිය ගියේය.

‘දිවයින’ පත්‍රයේ රැකියාව කළ කීර්ති වර්ණකුලසූරිය ජිනීවාහි සිටිය දී බර්ටි රංජිත් හිරගෙදරින් ජර්මනියට යාම ගැන තොරතුරු සෙවූවෙකි. බර්ලිනයේ විසූ ලලිත් ගංහේවා නමැති මාධ්‍යවේදියා තොරතුරු සෙවීමට ආධාර කරගත හැකි දුරකතන අංක කිහිපයක් කීර්තිට දී තිබුණි. බර්ටි රංජිත් ක්‍රිස්තියානි දේවස්ථානයේ ආධාරයෙන් පිලිපීනය හරහා ජර්මනියට පැමිණි බව කීර්ති දැන සිටියේය. ලලිත් ගංහේවා ඔහු සතුව තිබුණු, හමුදා ඇඳුමෙන් සැරසුන බර්ටිගේ ඡායාරූපයක් ගැනත් කීර්තිට පවසා තිබුණි. සරණාගතයෙකු ලෙස ජර්මනියට පැමිණි බර්ටි, ප්‍රබල ක්‍රිස්තියානි නායිකාවක විවාහ කරගෙන ජර්මන් පුරවැසියෙකු බවට පත් වූයේය. ඒ සමග තම නම රංජිත් ලොක්බිල් යනුවෙන් වෙනස් කරගත්තේය. ලොක්බිල් මහත්මිය යුරෝපා සංගමයට සම්බන්ධ දේශපාලන නායකාවකි. දේශප්‍රියලා කටයුතු කරන්නේ රංජිත් ලොක්බිල් සමගය.

71 අප්‍රේල් පහරදීමට සම්බන්ධව පසුව විල්පත්තුව හා ගල්ගමුව කැලෑවලට පැමිණි කැරලිකරුවන් එකිනෙකා ආරක්ෂක අංශවලට අසු විය. රහස් පොලිසිය හරහා සිරගෙවල්වලට ගිය ඔවුන්ගෙන් පිරිසක් එළියට පැමිණ ‘ජනතා සංගමය’ පිහිටුවා ගත්හ. තව පිරිසක්, ‘71 අප්‍රේල් සංසදය‘ පිහිටුවා ගත්හ.

අප්‍රේල් කැරැල්ල සහ කැරලිකරුවන් ගැන ව්‍යාජ තොරතුරු ඉතිහාස ගත කිරීම කාලයක සිට සිදුවන ක්‍රියාවකි. රාජ්‍ය නොවන පරිසර සංවිධානවලට සම්බන්ධව සිටි ධර්මන් වික්‍රමරත්න අප්‍රේල් කැරලිකරුවන් ගැන තාමත් ලියයි. වෛද්‍ය රුවන් ජයතුංග ‘71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ සමාලෝචනයක්) මැයෙන් ලොකු පොතක් පළ කළේය. මේ දෙදෙනාම අප්‍රේල් කැරැල්ලට ගෑවුන අය නොවේ.

අප්‍රේල් කැරැල්ල ගැන පූර්ණ සමාලෝචනයක් කිරීම විශේෂ ජනාධිපති කොමිසමක් වැනි ව්‍යූහයක් මගින් කළ යුතු බරපතල ක්‍රියාවකි. එම නිසා ජයතුංගගේ පොතේ නමින් කෙරෙන්නේ පාඨකයා නොමග යැවීමකි. එය පළ කරන්නේ විජේවීරගේ දේශපාලන හතුරන් වීම සැලකිල්ලට ගත යුතු දෙයකි. ‘ක්‍රිස්තියානි කම්කරු සංවිධානයේ’ උපකාර ලබමින් සඟරාවක් සංස්කරණය කළ වින්සන් කුරැඹාපිටිය වැන්නෙකු පොත බෙදාහැරීම කරට ගෙන කටයුතු කිරීමද ප්‍රශ්න කළ යුතු දෙයකි. රුවන් ජයතුංග ලියන ඇතැම් මුහුණු පොත් සටහන් කියවන සමහරු, ඔහු පිටරට සිට කරන ප්‍රධාන කාරිය සිංහල බෞද්ධයන්ට තැලීම බව කියති.

එදා විජේවීර ප්‍රධාන ජවිපෙ සාමාජික සාමාජිකාවන් දේශපාලනයට පිවිස ඇත්තේ ප්‍රචණ්ඩකාරීන් වශයෙන් නොවේ. දැනුම හා අත්දැකීම් අඩු සිංහල බෞද්ධ තරුණ තරුණියන් වශයෙනි. අයුක්තියට එරෙහි වීමේ ජාන උරුමයක් ඔවුන් සතුව තිබුණා විය යුතුය. නොදන්නා ක්‍රිස්තියානි විමුක්ති දේවධර්මයක් මනසට වද්දා ගත් ඔවුන්ගේ සියලු හැසිරීම් වෙනස් විය. ඒ ගතිය මාලිමාවේ වැඩිදෙනාගේද හැසිරීම වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top