Last Updated on 2 hours by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක


(ඡායාරූපවල දැක්වෙන්නේ, නාමල් හා චන්න ඔඩිසාහි උත්සවවලට සහභාගි වූ අවස්ථායි. – ඡායාරූප අන්තර්ජාලයෙනි).
දිල්ලියේ සුල්තාන් රාජ්‍ය බිහි වන තෙක්ම, ජම්බුද්වීපයේ රටවල් සමග නෑදෑ සබඳකම් පැවැත්වීමට සිංහලයින්ට හැකි විය. බ්‍රිතාන්‍යයින් දිල්ලි සුල්තාන් රාජ්‍යය යටත්කර ගැනීමෙන් පසුව, දුර්වල වෙමින් පැවති ඒ නැදෑකම් නැත්තටම නැතිව ගියේය. ඉන්දියාවට ලිඛිත ඉතිහාස කතාවක් නිර්මාණය කිරීම, සුල්තාන් පාලන කලයේ ඇරඹි ක්‍රියාවකි.
ඉස්ලාම් පාලකයින්ගේ කාලය දක්වා ඉන්දියානුවන් ඉතිහාසය ග්‍රන්ථාරූඨ නොකළ බවත් ඔවුන්ගේ තොරතුරු අඩංගු පුරාණ ලේඛන ඉතිහාසය නොවන බවත් බටහිර ඉතිහාසකරුවන්ගේ මතයයි. සිංහලයන් වංශකතා ලියා තිබේ. මහාවංශය, දීපවංශය, ථූපවංශය, ධාතුවංශය ඒ අතරින් කිහිපයකි. මහාවංශයට කොටස් එකතු කිරීම බි්‍රතාන්‍ය පාලන කාලයේ සිදු වූවකි. ඒ අනුව රොබට් බ්‍රවුන්රිග් වැනි ඉංග්‍රීසි පාලකයන්ද අයත් වන්නේ මහාවංශයටය.
මහානාම හිමියන් ලියූ මහාවංශයේ සිංහබාහු පරපුර බිහි වූ හැටි සඳහන් වේ. සිංහල රටේ ආදිවාසි යකුන් සමග එක් වූ සිංහ පරපුර විසින් සිංහල ජාතිය බිහි කරන ලද බවද සඳහන් වේ. සිංහලයින් බෞද්ධයින් වූ පුවතත් මෞර්ය හා කාලිංග රාජ්‍යයන් ඒ ඉතිහාසය පිළිගෙන සිටි විස්තරත් මහාවංශයේ සඳහන්ය.
බ්‍රිතාන්‍යයින් ‘සෙයිලෝන්’ ඉන්දියාවේ කොටසක් වශයෙන් පෙන්වන්නට වූයේ සිංහලයින් සහ ඉන්දියානුවන් අතර භේදයක් ඇති කිරීමේ අරමුණිනි. සිංහලයින් ඉතිහාසය පුරාවටම වෙනත් රටකට යටත් නොවී බෞද්ධයන් හැටියට අදීනව ජීවත් වීමට වෙහෙසුන ජාතියක් බව ඔවුන්ට වැටහුණි. ලංකාවේ අධ්‍යාපනය ඉතිහාසය නමින් උගන්වන්නේ බ්‍රිතාන්‍යයින් නිර්මාණය කළ සාවද්‍ය කතාවයි. ඇතැම් ආචාර්යවරුන් සිංහලයන් ඉන්දියාවේ උතුරින් ආවාද දකුණින් ආවාද යන්න සොයන්නට වෙහෙසෙන්නේ ඒ වැරදි මඟ යාමෙනි. සිංහලයින් ඉන්දියාවෙන් පැමිණි ජන කණ්ඩායමක් නොවේ. ඔවුන්ට ආර්යයන් කීමද වරදකි.
බ්‍රිතාන්‍ය පාලන කාලයේ පටන් මෑතක් වන තුරුම කොළඹ හා ඒ අවට උපනගර සියල්ලකම වැසිකිලි පිරිසිදු කළ මනුෂ්‍යයින් හැඳුනුම් ලද්දේ, ‘සක්කිලි’ නම් පොදු නමකිනි. එය තමිල්නාඩුවේ ජන කණ්ඩායමක් හැඳින්වූ ‘සක්කිලියාර්’ නම් දෙමළ නමේ විකෘතියකි. සක්කිලිහු, කොළඹින් පිට ප්‍රධාන නගරවලත් සේවයේ යොදවනු ලැබ සිටියහ. බ්‍රිතාන්‍යයින් ඉන්දියාවෙන් ගෙන්වූ ඔවුන්ට ලංකා සමාජයේ කිසිම අයිතිවාසිකමක් නොතිබුණි. මොවුන්ගෙන් පිරිසක් පිහිටුවා ගත් සංගමයක කාර්යාලයක් කොළඹ කොම්පඤ්ඤවීදියේ තිබුණි. එහි සක්කිලි ජනයා හඳුන්වා තිබුණේ අරුන්දියර්වරුන් නමිනි.
රාජාවලියේ සඳහන් පරිදි වංකනාසික රජතුමාගේ කාලයේ මෙරටට කඩා වැදුණු සොළී හමුදාවක් සිංහලයින් දහස් ගණනක අල්ලාගෙන එරටට ගෙනගොස් කාවේරී ගංගාව ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට යෙදවූහ. ඒ ආකාරයෙන්ම, කර්ණාටක, තෙලිංගාන රටවලින් අල්ලා ගන්නා ලද සිරකරුවෝ, සොළී දේශයේ යම් යම් සේවාවන් සඳහා යොදවන ලදහ. ඒ චෝල රටේ කුමන නගරවල දැයි සොයා බැලිය යුතුව තිබේ. අරුන්දියර්, සක්කිලියාර්, මදාර් ආදි දෙමළ නම්වලින් හඳුන්වනු ලද්දේ එවැනි ජනයාය. වැසිකිළි පිරිසිදු කිරීම, අශුචි ඇදීම, මාර්ග පවිත්‍ර කිරීම, මිනී වළලෑම වැනි කටයුතු සඳහා ඔවුන් යොදවා තිබුණි.
තෙලිඟු භාෂාව ඈත අතීතයේ සිටම සිංහලයින්ගේ මහත් සැලකිල්ලක් දිනාගත් භාෂාවකි. ඊට එක හේතුවක් වූයේ මෙම භාෂාව ව්‍යවහාර වූ ආන්ද්‍ර දේශය සොළොස් මහා ජනපද අතර ප්‍රධාන රටක් වීමයි. දෙවැන්න ආන්ද්‍ර රටේ (කාලිංග) වැසියන් සිංහලයන්ගේ නෑයින්වීමයි. ඔවුන් නෑයින් වන්නේ මව් (සුප්පාදේවි) පරපුරෙනි. සිංහල රජවරුන් ‘බාහු’ යන්න කීර්ති නාමයක් කරගන්නට හේතුව එයයි (විජයබාහු, ගජබාහු, පරාක්‍රමබාහු). බුදු සසුන බැබලූන ආන්ද්‍ර දේශයේ, ආන්ද්‍ර බසින් බොහෝ පතපොත ලියවී තිබීම තවත් හේතුවකි. ආන්ද්‍ර දේශයේ සම්පාදිත අටුවාවක්ද තිබූ බව ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ලියූ බුදුසමයේ ඉතිහාසය ග්‍රන්ථයේ සඳහන් වේ. දන්ත ධාතුන් වහන්සේ රැගෙන හේමමාලි කුමරිය සහ දන්ත කුමරු සිංහල රටට පැමිණියේද ආන්ද්‍රයන්ගේ කාලිංග නුවර සිටයි.
බුදුන් ජීවමාන සමයේ සොළොස් මහා ජනපදවලින් එකක් වූ කාලිංගය මගධය බඳු මහා රාජධානියක් වූයේය. එහි ඉතා ප්‍රබල රාජවංශ කිහිපයක්ම බිහි වුණි. (එයින් ඇතැම් රාජ වංශ රාජපුත්‍ර වංශවලට සම්බන්ධය) මේ නිසා කාලිංග දේශසීමා කලින් කල වෙනස් වූයේය. වංශකතාවට අනුව කලක් වංගය හා කාලිංගය සමීප රාජධානි දෙකක්ව පැවතුණි. සිංහබාහුගේ මව සුප්පාදේවි, වංග කුමරකු විවාහ කරගත් කාලිංග කුමාරිකාවකි.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී කොළඹ වැසිකිළි හා මහා මාර්ග පිරිසිදු කිරීම සඳහා තෙලිඟු බස කතා කරන ජන කණ්ඩායම් ලංකාවට ගෙන ඒම නියත වශයෙන්ම රාජ්‍ය පාලන උපායකි. උඩරට රජ පරම්පරාව තෙලිඟු බස කතා කිරීම ඊට හේතුවයි. ඒ මගින් සිංහලයින් පාලනය කිරීම ප්‍රධාන අරමුණයි. තමන්ට නායකයින් නැති විට දඹදිවින් නායකයෙකු ගෙන ඒම සිංහල සිරිතයි.
තෙලිඟු රටේ ‘කාලිංග කර්මාන්ත තාක්ෂණික ආයතනය’ (KIIT), ඉන්දියාවේ 77 වෙනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාමල් රාජපක්ෂව කැඳවීම ඇතැමුන්ගේ සරදමට ලක්වුවද, එය දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධියකි. දොස්තර චන්න ජයසුමනව ඔදිසාහි සම්මන්ත්‍රණයකට කැඳවීම තවත් වැදගත් සිදුවීමකි. මෙවැනි වැදගත් ක්‍රියා සිදු වන නමුදු, රට තුළ සිංහලයන් සහ ඔරිස්සානුවන් අතර පැවති නෑදැකම ගැන සංවාදයක් ඇති නොවෙන්නට එක් හේතුවක් වන්නේ, ලංකාවේ ඉතිහාසය තවමත් බ්‍රිතාන්‍යයයින් විසින් හසුරවනු ලැබීමයි.
