විජේදාස දිලිත් නාමල් තොවිල් තුනක් නටලා බෙරේ පලු යවයිද

Last Updated on 1 month by admin

පණ්ඩුකාභය කුමාරයා සිංහල රට එක් සේතත් කළේ ජන කණ්ඩායම් ගණනාවක් එකමුතු කරගෙනයි. ඉතිහාසය පුරාම සමගිසම්පන්නකම සිංහලයන්ගේ ජයට හේතු වුණා. කාවන්තිස්ස රජ්ජුරුවෝ රටේ විවිධ පළාත්වලින් යෝධයෝ දහ දෙනෙක් එකතු කරගත්තා කියන එකේ අර්ථය තමයි ජාතික සමගිය. අන්තිමේ ගැමුණු – තිස්ස දෙන්නා විරසක වුනාම මහා සංඝරත්නය මැදිහත්වෙලා දෙන්නාව සමගි කෙරෙව්වා. දශක ගණනාවක් රට යටත් කරගෙන සිටි එළාර පරදන්න මග පෑදුණේ එහෙමයි.

රට විදේශ ආක‍්‍රමණවලට ලක් වුණාට පස්සේ සමගියෙන් හිටිය හැම විටම සිංහලයා දිනුවා. බෙදෙන්න ගත්තාම පැරදුණා. අවසානයේ ගිවිසුමකින් රට සුද්දාට පවරන තැනට වැඩේ කෙරුණා.

56 ජයග‍්‍රහණය එකමුතු වීමේ ප‍්‍රතිඵලයක්. එයින් පසුව ජාතිකවාදී කන්ඩායම් හැම විටම ජයග‍්‍රහණය කළේ එකමුතු වූ අවස්ථාවල පමණයි. ඒ තත්වයේ උච්ඡතම අවස්ථාව තමයි 2019 ගෝඨාභයව ජනාධිපති කරවීම.

ඉන්පසු සියලූ අන්තවාදීන්, බෙදුම්වාදීන්, ගෝත‍්‍රවාදීන් එක්ව ගෝෆේස් රූකඩ නැටුම නටවා සිංහල ජාතිකත්වයට මරු පහරක් දී සමගිව සිටි පිරිස් විසුරුවා හරින්නට කටයුතු කළා.

දැන් ආයෙත් මැතිවරණ උණුසුම. ජනාධිපතිවරණය නොතියා ජනමත විචාරණයකට යාවි කියලා මම මුලින් හිතුවත් දැන් පෙනෙන්නේ රනිල් අඩියක් ආපහු අරන් ප්ලෑන් බී එකට යන්න වගේ. ප්ලෑන් බී මොකක්ද කියලා මම ලිපියේ අන්තිමට කියන්නම්.

දාං පෙතට උඩින් එබිලා බැලුවාම පේනවා, පළමු වරට විජාතික බලවේග, බෙදුම්වාදීන්, සිංහල විරෝධීන් හා සිංහල බෞද්ධ විරෝධීන් කණ්ඩායම් තුනකට බෙදිලා. ඒ රනිල්, සජිත් සහ අනුර නියෝජනය කරන කණ්ඩායම් තුන.

ඔන්න ජාතිකත්ව කණ්ඩායමට දාං යන්න පාරක් තියෙනවා. නමුත් හුඟක් වෙලාවට පිට ඉඳලා දාං ලෑල්ල දිහා බලං ඉන්න මිනිහට පේන දේ දාං අදින මිනිස්සුන්ට පෙනෙන්නෙ නෑ. එවගේම ජාතිකවාදී දේශපාලකයින්ටත් මේ අවස්ථාව පෙන්නෙ නෑ වගේ.

විජාතික බලවේග තුනට කැඩිලා ඉන්නවා වගේම ජාතිකවාදීනුත් තුනට කැඩිලා. ඔහොම ගියොත් අ.පො.ස. ෆේල්. අපොස කිව්වෙ අත, පොහොට්ටුව, සර්වජන බලය.

තුන් ගොල්ලම බලං ඉන්නෙ අර 69 ලක්ෂය දිහා. පලු ගැලවිලා ගිහිල්ලා වුනත් ශ‍්‍රීලනිප හිතනවා, මහින්දගෙ කාලෙ දැන් ඉවරයි, ඒ නිසා පරණ ශ‍්‍රීලංකාකාරයො මේ පාර එයාලාට ඡන්දය දෙයි කියල. දිලිත් හිතනවා, එයා පොහොට්ටුව ඇන්ද, ගෝඨාගෙ අත්ගෙඩිය වගේ හිටපු කෙනා. දැන් පොහොට්ටුව ඉවරයි. ඒ නිසා එයාට පොහොට්ටුවෙ ඡන්ද වැඩි කොටසක් ගන්න පුළුවන් වෙයි කියල.

ශ‍්‍රීලනිපය ගැන මිනිස්සුන්ගෙ විශ්වාසය කැඩිලා බොහෝම කල්. දැන් ඒක එකසිය අටෙන් පංගුවෙන් හතෙන් පංගුවෙන් තුනෙන් පංගු දෙකහමාරට නඩු කියාගන්න ඉඩම් නඩුවක් වගේ. ඒ නිසා විජේදාසට දිනන්න බෑ. නමුත් ඡන්ද ටිකක් ගන්න පුළුවන්.

දිලිත් අලුත්. වටේ ඉන්න පිරිස අතරෙ හොඳ පිරිසක් ඉන්නවා වගේම බෝම්බ කෑලි ටිකකුත් තියෙනව. ඒ නිසා දිලිත්ට දිනන්න බෑ මෙවර. නමුත් ඡන්ද ටිකක් ගන්න පුළුවන්.

පොහොට්ටුවෙන් නාමල් එනව. මහින්දගෙ නම කැත වෙන්න නාමල්ල බොහෝම තරුණ කාලෙ කළ වැඩ තදින් බලපෑ බව ඇත්ත. ඒ වගේම නාමලුත් පහුගිය කාලෙ ටිකක් වෙනස් වෙලා බවක් පේනවා කියන එකත් ඇත්ත. නමුත් නූතන සමාජයට ගැලපෙන අලූත් දේශපාලන ගමනක් යන බවක් නම් මම දකින්නෙ නෑ. හිටියාට වඩා හොඳයි. ඒඞ්ස්වලට වැඩිය හෙම්බිරිස්සාව හොඳයිනෙ. ඒ කොහොම වෙතත් මහින්දගෙ පුතා නිසා නාමල්ට සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් ගන්න පුළුවන්.

දැන් ප‍්‍රතිඵලය මොකක්ද අනිවාර්යයෙන්ම පාර්ශ්ව තුනම පරදිනවා. ජාතිකවාදින්ගෙ ඡන්ද තුනට කැඩෙනව.

කට්ටිය එකතු වුනොත්?

දිනන්න පුළවන්. අර වැලි යට පොළඟා වගේ හැංගිලා ඉන්න ජාතිකවාදීන් ටික මතුවෙලා ඇවිත් ඡන්දෙ දාට දෂ්ට කරනව. කට්ටිය එක්සේතත් වුනා කියලා දැක්කාම බුදියගෙන ඉන්න මිනිස්සුන්ට ගැම්ම එනව. තනි තනිව ඉල්ලලා ගන්න ඡන්දවල එකතුවට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ගන්න පුළුවන් වෙනව.

පොහොට්ටුවේ මන්ත‍්‍රීලා සේරම රනිල් ළඟට ගියත් පොහොට්ටුව කියන්නෙ මහින්ද කියලයි මිනිස්සු හිතන්නෙ. ඒ ප‍්‍රධාන වශයෙන්ම ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑනියෙක් කරන්නයි විතරයි බැරි කියලා කියාපු ජේආර්ටත් කරගන්න බැරිවුන යුද්දෙ නතර කරපු නිසයි. ඒ නිසා රනිල් ළඟට යන පොහොට්ටු මන්ත‍්‍රීලාට බෑ පොහොට්ටුවේ ඡන්ද රනිල්ට අරන් දෙන්න.

මේක ඉතාම තීරණාත්මක මැතිවරණයක්. මේකෙන් රනිල්, සජිත්, අනුර තුන්දෙනාගෙන් කවුරු දිනුවත් සිංහලයාගේ විශේෂයෙන්ම සිංහල බෞද්ධයාගෙ මළගම තමයි. අනික මං කලින් කිව්ව ප්ලෑන් බී.

ප්ලෑන් බී තමයි, ජනාධිපතිවරණය කොහොම හරි ගොඩදාගෙන, ඒකට උදව් කරන පොහොට්ටු මන්ත‍්‍රීන් ඇතුළු පිරිසට කළගුණ සැලකීමක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණය නොතියා මේ පාර්ලිමේන්තුවේ කාලය දික්කරන්න ජනමත විචාරණයකට යන එක. ජනාධිපතිවරණෙ ගොඩ දාගත්තොත් ඒක ලේසියෙන් දිනන හැටි රනිල් දන්නවා. ඊට පස්සේ කාටකාටත් රනිල්ගේ රූකඩ නැටවිල්ලට සහභාගි වෙනවා ඇර කරන්න දෙයක් නෑ. බලය ලැබුණාම ඒක පාවිච්චි කරන හැටි රනිල් දන්නවා. ඒකේ අවසානය ඊයේ පෙරේදා බංගාලි දේශයෙන් සිද්ධ වුන දේට සමාන වෙන්න පුළුවන්. ලාල් කාන්ත ඊයේ පෙරේදාත් දුක් වුනානෙ අරගලේ පාර්ලිමේන්තුවට ගේන්න බැරිවුන එකට. පෙරටුගාමිනුත් ශිල්ප දක්වන්න විධියක් නැතිව කල්පනාවෙන් ඉන්නෙ.

තමතමන්ගෙ බලය උරගාලා බලන්න ඡන්දෙට ඉදිරිපත් වෙන්න සුදුසු වෙලාවක් නෙවෙයි මේක. ඒ වගේම ‘මමයි රජා’ කියලා තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන්න සුදුසු වෙලාවකුත් නෙවෙයි මේක. ඡන්ද ප්‍රතිඵල එනකල් හැමෝම ඉන්නෙ මලේ තමයි. ජවිපෙ වගේ. ඒ නිසා අ.පො.ස. පාර්ශ්ව තුනම අවංකවම රටට සේවය කරන්න නම් දේශපාලන කරන්නෙ මේ අවස්ථාවෙ බැරෑරුම් විදියට කල්පනා කළ යුතුයි. වෙන්වෙලා පැරදිලා රට බිල්ලට දෙනවද? එකතුවෙලා ජයග‍්‍රහණය කරලා රට බේරාගන්නවාද?

ඔය දෙකෙන් නිවැරදි එක තෝර ගන්න තරම් සිහිබුද්ධියක් නැත්තං දේශපාලනේ නොකරන එක වැඩිය හොඳයි.

සමගි වීම මගඅරින්න නොයෙකුත් හේතු ඉදිරිපත් කරන්න පුළුවන්. පොහොට්ටුවේ වැරදි. බැසිල්, නාමල් සහ සහෝදරවරුන්ගේ දෝෂ වගේ කතා. ශක්තිමත් බුද්ධිමත් මිනිස්සුන්ට ඔය එකක්වත් ගැටලු නෙවෙයි.

ඊශ‍්‍රායලය කියන්නෙ ලංකාවෙන් තුනෙන් එකක් විතර විශාල වැඩි ඉතිහාසයක් නැතැයි කියන රටක්. නමුත් ඔවුන් ලෝකයේ ඉතාම බලවත් රටක්. දැවැන්ත මුස්ලිම් රටවලට මැදිවෙලා බටු ඇටයක් වගේ ඉන්න ඔවුන්ට අර දැවැන්ත රටවල් ඉදිරියේ අභීතව සටන් කරන්න තරම් බලයක් විශ්වාසයක් සහ ශක්තියක් තියෙනවා. 1948 රට ස්ථාපිත කළ දා පටන් මේ රට පාලනය කරන්නෙ සන්ධාන ගහගෙනයි. සමහර වෙලාවට එකිනෙකට සපුරාම වෙනස් දර්ශන ඇති කණ්ඩායම් එකතු වෙලා රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියනව.

අවුරුදු ගණන් එකට දේශපාලන කරලා විරසක වෙලා ඉන්න පිරිසකට රට බේරගන්න එකතු වෙන්න බැරිනම් රටටත් ඔවුන්ටත් අනාගතයක් තියේවිද?

මහින්දට ශ‍්‍රී ලංකා ජනරන්ජන සම්මානය දෙන්න කියන්න එදා පන්සල් ගානේ ගියේ විජේදාස. දිලිත් අවුරුදු ගණනාවක් රාජපක්ෂලා එක්ක වැඩ කළා. යුද ජයග‍්‍රහණය හා 2019 ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. මේ හැමෝම දැන් විරසකයි. මේක තමයි විජාතික බලවේගවලට අවශ්‍ය වුනේ.

විජාතික බලවේග පරදන්න නම් මේ පිරිස් නැවත එක් වෙන්න ඕන. වැරදි නැති මිනිස්සු කොහෙද ඉන්න? මාර්ග ඵල ලබපු අය දේශපාලනය කරන්නෙ නෑ මම දන්න තරමින්.

මේ වෙලා තියෙන්නෙ අර අතින් වැටුණු කඩල ඇටේ අහුල ගන්න කඩල අහුරම විසි කරපු රිළවාට වෙච්ච දේ. බැසිල් එක්ක ඇරගෙන කට්ටිය අයින් වෙනව. ආණ්ඩුව ඉවරයි. 69 ලක්ෂය කානුවෙ. උන් හදලා දීපු බලවේගය කීතුකීතු කළේ කවුද? විමල්, උදය, ඩලස් ඇතුළු පිරිස නෙවෙයිද? ඒකද එයාලාට ඒ වෙලාවෙ කරන්න තිබුණෙ?

වැරදිකාරයාව මැඩපවත්වලා බලය පතුරුවාගන්න පුළුවන් මිනිහා තමයි බුද්ධිමතා. ශක්තිමතා. පැනලා දුවන්නෙ දුර්වලයො. පොහොට්ටුවෙ කුනුගොඩවල් ගොඩක් දැන් රනිල් ලඟ. දැන් පුළුවන් හොඳ පිරිසකට පොහොට්ටුවෙ බලය අල්ලන්න. ඒක තමයි දේශපාලනය. බලය!

පොහොට්ටුව, අත, සර්වජන බලය, මේවා එකක්වත් මේ පක්ෂවල නායකයින්ගේ බූදල් නෙවෙයි. මේ හැමෝම නියෝජනය කරන්නෙ ජනතාව. ඒ නිසා ජනතාවගෙ අවශ්‍යතාව මිස තමන්ගෙ පුද්ගලික ප‍්‍රශ්න ගැන හිතලා තීන්දු ගැනීම වැරදියි.

විජේදාස, නාමල්, දිලිත් ඇතුළු පාර්ශ්ව සැබෑම ජනතාවාදී, රටට ආදරය කරන අය නම් කළ යුත්තේ වහාම එක්සේසත් වී සුදුසුම අපේක්ෂකයා ජනාධිපවරණයට ඉදිරිපත් කර ජනතාවට ජයග‍්‍රහණය අරන් දීමයි. එහෙම නැතිව තම තමන් දිනන්න හිතාගෙන, එහෙමත් නැත්තං මොකද වෙන්නෙ කියලා බලන්න හිතාගෙන තුන් දෙනාම ඡන්දෙට ආවොත් ප‍්‍රතිඵල ආවාම තේරෙයි නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලූත් නෑ නේද කියල.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link