වෛරල් ගිය අනුරගේ ෆොටෝ එක ඔච්චර වැදගත් ඇයි?

Last Updated on 3 weeks by admin

කියුබානු විප්ලවයට සහභාගි වූ පිදෙල් කස්ත්‍රෝ, අර්නස්ටෝ ගුවේරා (චේ) කැමිලෝ සියන් ආදී සහෝදරවරුන් මහජනයා ඉදිරියට ආවේ විශේෂ මිලිටරි ඇඳුමකින් සැරසීය. ඊට අයත් වූයේ කාකි පැහැති කලිසමක් සහ සාක්කු දෙකක් සහිත බුෂ් කමිසයකි (ෂර්ට්). මෙය ඔවුන් හදාගත් ලතින් ඇමරිකාවට ගැලපෙන ගොරිල්ලා ඇඳුමකි. මුහුණේ වවාගත් රැවුල් මගින් ඔවුන් ප්‍රකාශ කළේ වනාන්තරයේ සිට සටන් බිම හරහා රාජ්‍ය බලයට ලබාගත් බවයි.

අනුර දිසානායක බලය ලබාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකිනි. මැතිවරණ නිලධාරින්ගෙන් ජනාධිපති පදවියේ නිල ප්‍රතිඵල භාරගන්නා අනුර කියුබානු සහෝදරවරුන්ගේ ඇඳුමට ඉතා සමාන ඇඳුමකින් සැරසී සිටියේය. එහි වර්ණය මිලිටරි ඇඳුම්වල තද කොළ පැහැයට සමානය. ඔහු, මේ වැදගත් අවස්ථාවට සිය පක්ෂයේ වර්ණය වන රතු හෝ සිය අලුත් හවුලේ වර්ණය වන දම් හෝ රටේ දේශපාලකයන් සාමාන්‍යයෙන් අඳින සුදු ඇඳුමක් භාවිතා නොකිරීම ලංකාවේ බොහෝ දෙනාගේ සැලකිල්ලට ලක් වී නැත.

කියුබානු විප්ලවවාදීන්ගේ කැලෑ ඇඳුමට ඉතා සමාන ඇඳුමකින් සැරසුන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රතිඵල නිවේදනය කෙරෙන අවස්ථාවට පැමිණෙමින් සිය ආධාරකරුවන්ට ආචාර කරන ඡායාරූපයක් අන්තර්ජාතික වෙබ් අඩවිවල සහ පුවත්පත්හි ප්‍රසිද්ධ විය. එය අනුර කවුද ඔහුගේ විප්ලවවාදී දේශපාලනය කුමක්ද යන කාරණා පැහැදිලි කරන්නකි. ඡායාරූපයේ ඔහුගේ ඉරියව්වේද විශේෂත්වයක් දක්නට පුළුවන. එයින් දැක්වෙන්නේ, ඔහු සිය ආධාරකරුවන්ට ‘සැලියුට්’ එකක් ගසා ආචාරය කිරීමයි. කියුබානු විප්ලවවාදීන්ද මහජනයාට ආචාර කළේ ඒ ක්‍රමයටයි.

අනුර ජනාධිපතිවරයා, මෙවැනි මිලිටරි ඇඳුමකින් සැරසුනේ, රටේ මාක්ස්වාදී ලෙනින්වාදී විප්ලවවාදී සහෝදර සහෝදරියන්ට ලංකාවේ විප්ලවවාදී මාක්ස්වාදය ජයග්‍රණය කළ බව පෙන්වීමට යැයි දේශපාලන නිරීක්ෂකයෝ සිතති. ජාත්‍යන්තර දේශපාලනයේ යෙදෙන මාධ්‍යවේදියෝ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා මාක්ස්වාදී විප්ලවාදී දේශපාලන පක්ෂයක නායකයකු බව පෙන්වති. ඒ අතරම සූක්ෂ්ම ආකාරෙයන් ඔහුට සමච්චල් කරති. ඔවුන් ඒ විප්ලවවාදියාව මුරුංගා අත්තේ තැබීමෙන් අදහස් කරන්නේ ලංකාවේ කස්ත්‍රෝ කෙනෙක් බිහිවූ බව නොවේ. බෞද්ධ රටේ ඉඩි අමින් හා සමාන නායකයෙකුගේ සම්ප්‍රාප්තියයි.

ජාත්‍යන්තර මාධ්‍යයේ හා මාධ්‍යවේදින්ගේ හැසිරීම සුබවාදී එකක් නොවේ. ශ්‍රී ලංකාව විප්ලවවාදී, මුරණ්ඩු, මිලිටරි පාලනයක් කරා යමින් සිටින බව හා නව ජනාධිපතිවරයා දුර්වල විකටයකු බඳු පුද්ගලයකු බව ඉඟි කිරීම ඔවුන්ගේ අරමුණයි. බුෂ් කමිසයකින් සැරසී සැලියුට් ගසන අනුරගේ ඡායාරූපය දකින ජාත්‍යන්තර දේශපාලන දැනුම අඩු ලංකාවාසීන් හුරේ දැම්මද, ජාත්‍යන්තර දේශපාලනයේ යෙදෙන මාධ්‍යවේදීන්ගේ අරමුණ මාක්ස්වාදී දේශපාලනයට එරෙහි වෛරය පැතිරවීමයි.

ඔවුන්ව තේරුම්ගත් චීන නායකයින් මාඕගේ බුෂ් කමිසය අතහැර ඇමරිකානු ක්‍රමයට ටයි කෝට් ඇඳුමට තෝරාගත්හ. වියට්නාම් නායකයින් හෝචි මිංගේ බුෂ් ඇඳුම ඉවත ලා ටයි කෝට් ඇඳුම තෝරාගත්හ. අදීනයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික ඇඳුම තෝරා ගත්තේය. මහින්ද රාජපක්ෂගේ ජාතික ඇඳුමට එක් වූ මෙනේරි පාට සාටකය ලංකාවට කීර්තිය ලබා දුන්නේය.

අනුර දිසානායක ජනාධිපතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට ආන්fදා්ලනයට ලක්ව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ රවි සෙනවිරත්න පත් කිරීම, ඔහුව කෝළමට ලක් කරන විදෙස් මාධ්‍යකරුවන්ට කදිම තුරුම්පුවකි.

රවි සෙනෙවිරත්න යනු මෑතක මාලිමාව වේදිකාවට ගොඩවුණ දේශප්‍රේමියෙකු වශයෙන් සැලකුවත්, ඔහු පාස්කු ප්‍රහාරය හා බැඳුණු පරීක්ෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයෙකි. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ඔහු ජනාධිපතිවරණයට දිනකට පෙර අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි. බීමතින් රිය පදවා හදිසි අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද නමුත් එය දේශපාලන බලපෑම මත කරන ලද එකක් බවද පැවසේ.

මාලිමාව, රට හමුවේ තබා ඇති නීතිගරුක පාලනය පිළිබඳ චිත්‍රය ගැන කල්පනා කරන විට, මෙවන් පුද්ගලයකු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කිරීම සැකයට කාරණයකි. එය පාස්කු ප්‍රහාර සම්බන්ධ ඉදිරි විමර්ශනවල විනිවිදභාවය පිළිබඳ සැක පහල කරයි.

ජනතා විමුක්ති පෙරමුණ උපතින්ම ප්‍රචණ්ඩකාරී දේශපාලන සංවිධානයකි. එය පක්ෂ අරමුදල් සෙවීමට බැංකු කොල්ලකෑවේය. තවත් බොහෝ අපරාධ ඔවුන් විසින් සිදු කරන ලදී. එය ඉතා මෑතකදීත් ප්‍රචණ්ඩත්වය පෙන්වූ දේශපාලන සංවිධානයකි.

ජනාධිපතිවරයා පුද්ගලිකව එම ප්‍රචණ්ඩකාරී අවස්ථාවලට සහභාගි වූ බවට සාක්කි ඇත. ලාල් කාන්ත, හඳුන්නෙත්ති වැනි ජවිපෙ ඉහළ පෙළේ නායකයෝ, ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩත්වය පෙන්නුම් කළහ. ඔවුන්ගේ උසිගැන්වීම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂකයා මහමග ඝාතනය විය. දේපළ ගිනිතැබීම් සිදු විය. පාර්ලිමේන්තුව බේරුණේ නූලෙනි.

ඔවුන් සමාජයට බෝකළ වෛරයේ ගිනිදැල්වලින් බොහෝ ජනයා වෙලී සිටින බව සමාජ මාධ්‍යවල පළ වන අදහස්වලින් පැහැදිලිය. නිදහසේ සිට රට මෙතෙක් පාලනය කළ කිසිවකුගේ කිසිම හොඳක් නොදකින, ඔවුන්ට වෛර කරන සමාජයක් බිහිවෙමින් පවතී. මෙහි නරක ප්‍රතිඵල සමාජයට අත්දකින්නට කලක් ගත වනු ඇත.

මෙම පිරිසගේ පාලනය යටතේ රටේ දැඩි පැසිස්ට්වාදී පාලනයක් බිහිවීමට ඉඩකඩ ඇත. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ අවස්ථාවේ ජනාධිපතිවරයා, ඇඳ සිටි කොළපාට බුෂ් කමිසය සහ ඔහු පත් කළ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා සංකේතවත් කරන්නේ ඒ අනතුරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link