සජිත්ගේ ‘ස්මාර්ට්’ ගොන්කතා

Last Updated on 2 months by admin

Pic. credit: REUTERS/Dinuka Liyanawatte

ඇලෙක්සැන්දර්ගේ හමුදාව සමඟ ඉන්දු නිම්නයට පැමිණි ඇතැම් ග‍්‍රීක උගතුන්, ඉන්දියාවේ දාර්ශනිකයන් සොයා ගිය බව පැරණි ග‍්‍රීක ලේඛනයන්හි සඳහන් වේ. හින්දු හා ඉස්ලාම් සංස්කෘතීන් යටතේත් ඉන්දියානු භූමිය තුළ දාර්ශනිකයන් බිහි විය. සද්ගුරු, වර්තමානයේ ප‍්‍රසිද්ධියට පත්ව සිටින ඉන්දියානු දාර්ශනිකයෙකි. Inner Engineering; A Yogi’s Guide to Joy පොතෙන් එතුමා ඉදිරිපත් කරන සිත පිළිබඳ විග‍්‍රහය කෙරෙහි උගතුන් විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබේ.

ලංකාව දාර්ශනිකයන් බිහි නොවන රටකි. සිංහල භාෂාව අතීතයේ ලංකාවේ දාර්ශනිකයන් බිහි වූ බවට විද්‍යමාන සාක්ෂ්‍යයකි. සිංහල භාෂාවේ වටිනාකම පැහැදිලි කරදෙන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ දේශනයක් අඩංගු යූටියුබ් වීඩියෝවක් ඇති බැවින් ඒ ගැන මෙහි විස්තර කිරීම අවශ්‍ය නැත.

කොතරම් වටිනා ඉතිහාසයක් ඇතත් සිංහලයා මෝඩයා කරන ජාතික අධ්‍යාපන ක‍්‍රමයක් පැවතීම ලංකාවේ දාර්ශනිකයන් බිහිනොවන්නට ප‍්‍රධාන හේතුව බව පෙනේ. ඊට වගකිව යුත්තන් අතර දේශපාලනඥයෝද පිරිසකි. විරුද්ධ පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස චරිතය ඔවුන් ගොඩේ කැපී පෙනෙයි.

සජිත් පාසල්වල ළමයින්ට කතා පවත්වන්නෙකි. ඒ කතා මාධ්‍යවලින් ප‍්‍රචාරය වේ. ඔහු ළමයින්ට කතා පැවැත්වීමට නුසුදුස්සෙකු බව පාසල්වලට ගොස් කියන තකතීරු කතාවලින් පැහැදිලි වේ. සජිත් ළමයින්ට කතා පවත්වන්ට මග හදාගන්නේ පංති කාමරයක් හදාදීමෙනි. ඊට ‘සුහුරු කාමරය’ යන නම භාවිතා කෙරෙයි. සුහුරු කාමර තනමින් ඔහු පාසල් ළමයින්ට පවත්වන දේශපාලන කතාවලින් ළමයින්ගේ මොළවලට හානි සිදුවීමට ඉඩක් පවතී. එනිසා රාජ්‍ය අනුග‍්‍රහය ලබමින් ඔහු කරන්නේ අතිශයින් භයානක ක‍්‍රියාවකි.

සුහුරු යනුවෙන් සිංහලෙන් ඉදිරිපත් කර ඇත්තේ තාක්ෂණික ලෝකයේ භාවිත වන ‘ස්මාර්ට්’ යන ඉංග‍්‍රීසි වචනයයි. මෙය පැරණි ‘ස්මාර්ට්’ වචනය නොවේ. නවීන තාක්ෂණික ලෝකයේ ‘ස්මාර්ට්’ යන වචනය යෙදෙන්නේ Self-monitoring Analysis and Reporting Technologies අරුතිනි. එම වදන් පෙළෙහි මුල් අකුරු එකතු කිරීමෙන් ස්මාර්ට් පදය හදාගෙන තිබේ. සිංහල වචනයේ ඉංග‍්‍රීසි වචනයේ අරුත බිඳක් වත් නැත. මෙවැනි ක‍්‍රියාවලින් පැහැදිලි වන්නේ සිංහලයට අලූතින් වචන හදන පණ්ඩිතයන්ගේ දැනුමේ තරමයි. ඔවුන්ට විශ්ව දැනුම නැත. භාෂා දැනුම ඇත්තේම නැත. සුහුරු වචනය භාවිතා කරන්නන් අතර සජිත් කැපී පෙනෙන්නෙකි.

බොරැුල්ල තිඹිරිගස්යාය පාසලක ‘සුහුරු’ පන්ති කාමරයක් විවෘත කරමින් ඔහු පැවැත්වූ කතාවක කොටසක් 12 සිකුරාදා රාත‍්‍රී දෙරණ ප‍්‍රවෘත්ති විකාශයෙන් ප‍්‍රකාශයට පත් වූයේය. ‘ගිරාපෝතකයින් වගේ කටපාඩම් කළ අධ්‍යාපන ක‍්‍රමය අවසන් කළ යුතු බව’ ඔහු එහිදී ළමයින්ට කියයි. එය වැරදි ඉගැන්වීමකි. ඔහු මේ පහර දෙන්නේ රටට ජාතියට කෙළවූ යටත් විජිත අධ්‍යාපන ක‍්‍රමයට නොවේ. වළං කඩයකට පැන්න ගොනෙකු මෙන් අනින්නේ පැරණි බෞද්ධ අධ්‍යාපන ක‍්‍රමයටයි. එහෙත් සජිත් කියන්නේ මෝඩ කතාවක් බව ළමයින්ට වටහා ගැනීමට නොහැක. ගුරුවරුන් ස්වල්ප පිරිසකට හෝ මේ බව වැටහිය යුතුයි. ගැටලූව, වැටහෙන්නෙකුට වරද නිවැරදි කරන්නට නොහැකිකමයි. වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් ගුරුවරයාගේ චරිතය කාබාසිනියා කර තිබේ. ඉස්සර ගුරුවරයා උත්තම පුරුෂයෙකි. අද ඒ තත්වය වෙනස් වී ඇතත් තවමත් අප ලියන දේ වටහාගත හැකි ගුරුවර ගුරුවරියන් ස්වල්ප පිරිසක් හෝ සිටිති.

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ‍්‍රාවක භික්ෂුන් වහන්සේ බුදුන්ගේ ධර්මය ආරක්ෂා කරගත්තේ කටපාඩමිනි. ධර්මය සිතේ තැන්පත් කරගැනීමේ ශක්තිය උන්වන්්සේ සකසා ගත්තේ භාවනාවෙනි. භාරතයේ දියුණු වූ යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍රයන් වැඩුණේද කටපාඩමේ බලයෙනි. සජිත් ලංකාවට පමණක් නොව ඉන්දියාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවට උරුම පෙරදිග ලෝකයේ දැනුම රැකගැනීමේ මාර්ගයක් සිය නොදත්කම හේතුවෙන් අවමානයට ලක්කරයි. ඔහු කරන ලොකුම වරද ළමයින් ඉදිරියේ මෙවැනි වැරදි කතා පැවැත්වීමයි.

රුසියාවේ සංචාරයෙන් පසු ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ඕස්ටි‍්‍රයාවේ සංචාරයක යෙදුනේය. එරට අගමැතිවරයා ප‍්‍රමුඛ බොහෝ විද්වතුන් නරේන්ද්‍ර මෝදිව දුටුවේ දේශපාලනඥයා අභිභවා ගිය දාර්ශනිකයෙකු ලෙසිනි. දාර්ශනිකයාට බටහිර රටවල් සහ බටහිර අධ්‍යාපනය දක්වන සැලකිල්ල මෙයින් පැහැදිලි වේ. ළමයින්ට ‘ස්මාර්ට්’ අධ්‍යාපන ක‍්‍රමයක් ලබාදීම බටහිර රටවල ලක්ෂණයකි. ඉන්දියාව, චීනය වැනි රටවල්ද ‘ස්මාර්ට්’ අධ්‍යාපන ක‍්‍රම මගින් අනාගත පරපුරු ගොඩනංවති. සජිත්ගේ කතා අසමින් ඔල්වරසන් දෙන වැඩිහිටියන් පෙන්නුම් කරන්නේ බටහිරුන් ‘ස්මාර්ට්’ යනුවෙන් භාවිත කරන වචනයේ තේරුම නොවැටහෙන පිරිසක් රටේ සිටින බවයි. ඔවුන් මේ විනාශ කරන්නේ දරුවන්ගේ අනාගතයයි.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට, මෝදිට වඩා පිළිගැනීමක් ලෝකයේ තිබුණි. තමිල්නාඩු දේශපාලනඥයින්ගේ විරෝධය නොතකා ඉන්දිරා ගාන්ධි අගමැතිවරිය කච්චතිවු දූපත ලංකාවට අයිති බව පිළිගත්තේ සිරිමාවෝට දැක්වූ ගෞරවය හේතුවෙනි. අධ්‍යාපනයෙන් නිවැරදි සිහිය අවුල්ව තිබූ නිසා, සිරිමා පරදවා ජේආර්ට රට බාර දීමට බොහෝ ශ‍්‍රී ලාංකිකයෝ ඉදිරිපත් වූහ. මෙය අත්වැරදීමක් නොවේ. බරපතල ජාතික විනාශයකි. මහජනයාගෙන් බලය ලැබූ ජේආර් සිරිමාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළේය. ඔහුගේ ඇම්බැට්ටයෝ ඉන්දියාවේ අගමැතිවරියට නින්දා කරන්නට වන්හ. මේ නිසා එල්ටීටීඊ සංවිධානය ගොඩනැගීමට ඉන්දියාවේ බුද්ධි අංශවල සහාය ලැබුණි. ‘අපි කැපුවත් කොළ පාටයි’ කියමින් ජේආර් පස්සේ ගිය හැමෝම ඊළාම් යුද්ධයට
පාර කැපූවෝ වෙති.

සිංහලයන්ගේ මනස ටිකෙන් ටික දුර්වල වීම ඇරඹෙන්නේ ලංකාව යටත් කරගැනීමට පැමිණි බටහිර රටවල් හඳුන්වා දෙන අධ්‍යාපන ක‍්‍රමයෙනි. බි‍්‍රතාන්‍ය සමයේ එය බලවත් විය. ඕල්කොට් පැමිණ බෞද්ධයන්ව බි‍්‍රතාන්‍ය අධ්‍යාපන ක‍්‍රමයට කොටුකර දුන්නේය. මේ නිසා විශේෂයෙන් සිංහලයින් මිණිකැටවලට පහරමින් තිරිවානා බදාගන්නා ජාතියක් බවට පත් විය.

රනිල්, පොහොට්ටුව, මාලිමාව, සමගි ජන බලවේගය ලෙසින් රට විනාශයට වගකිව යුතු දේශපාලන පක්ෂවලට බෙදී රට ගලවා ගැනීමට සිතන කවුරුත් සිහිය පාදා ගත යුතුයි. ඔවුන් හදන්නේ රට කබලෙන් ලිපට දැමීමටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link