Last Updated on 2 hours by admin
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

ඡායාරූපය: bbc.com
ලංකාව ‘ස්පා’ (සම්බාහන ආයතන) වලින් සශ්‍රීක රටකි. විශේෂයෙන්ම පුරුෂයින්ගේ ශරීර සම්බාහනය කිරීම ‘ස්පා’වලින් කෙරෙන ප්‍රධාන ක්‍රියාවයි. ඇතැම් සම්බාහන ආයතවල මීට එහා ගිය දේද සිදු වන බව ප්‍රචලිතය. මෙම සම්බාහන ආයතන බහුතරයක් සංවිධානාත්මක පුද්ගලයින් පිරිසකගේ පාලනය යටතේ පවතී. ඒවායේ රැකියාව කරන කාන්තාවන් අතරින් වැඩි පිරිස අයත් වන්නේ දිළිඳු ගැමි පවුල්වලටයි.
කර්මාන්තයක් වශයෙන් සැලකීමේදී ශරීර සම්බාහනය පෙර අපර දෙදිගම වෛද්‍ය ශාස්ත්‍රයන්හි ප්‍රතිකාර ක්‍රමයකි. සම්බාහනය පිළිබඳව ඉංග්‍රීසි බසින් ඇති විස්තරවලින් පැවසෙන්නේ මේ ක්‍රියාවේදී රෝගියාගේ ශරීරය හෝ එහි කොටසක් වයිබ්‍රේට් vibrate වන බවයි. ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂ බොහෝමයක ගැහෙනවා, කම්පනය වෙනවා, ලෙල දෙනවා, ස්පන්දනය වෙනවා, වෙවුලුවා ගන්නවා ආදී තේරුම් ‘වයිබ්‍රේට්’ ක්‍රියාව සඳහා ඉදිරිපත් කර තිබේ.
යාච්ඥාවෙන් ලෙඩ සුව කිරීම සම්බාහනයට වෙනස් ආගමික වෛද්‍ය ක්‍රමයකි. මෙය සොයාගත් බටහිර ක්‍රිස්තියානි පූජකයින්ගේ මතය වන්නේ එය බයිබලයේ සඳහන් වෙදකමක් බවයි. සිංහල බෞද්ධයන් වැඩි වශයෙන් වෙසෙන ගම් පළාත්වල යාච්ඥාවෙන් ලෙඩ සුව කිරීම පැතිරෙන්නට හේතුව ලංකාව යකුන් විසූ රටක් වීම බව මේ ගැන සෙවූවන්ගේ අදහසයි.
බලි, තොවිල්, ශාන්ති කර්ම, දහඅට සන්නිය ආදි හැම යාතුකර්මයක්ම පැරණි යක්ෂ සභ්‍යත්වයට සම්බන්ධ කිරීමට පුළුවන. ලංකාවේ යක්ෂ සභ්‍යත්වය බුදුදහම සමග මිශ්‍ර වීමෙන් ගොඩනැගුන සිංහල සංස්කෘතිය යටතේ යක්ෂ වෛද්‍ය ශාස්ත්‍රයට අයත් බොහෝ අංග සුරැකුණි. ඒබ්‍රහම් ටී. කොවුර් සහ වෛද්‍ය කාලෝ ෆොන්සේකා මූලික වී ගොඩනැගූ හේතුවාදී සංගමය එය වැනසීමට එල්ල වූ පොකුරු බෝම්බයක් බව සමහරුන්ගේ අදහසයි. එහි ප්‍රතිඵලය සිංහල ගම්වලින් ‘වයිද්ද ශාස්ත්‍රය’ දැන සිටි ශිල්පීන් වඳවී යාමයි. ඒ රික්තය පිරවෙන්නේ විදේශීය බලවේග විසින් රටේ බිහි කරන ලද පාස්ටර්වරුන්ගෙනි.
පාස්ටර්වරුන්ට වෛද්‍ය සංස්කෘතිය කියා දෙයක් නැත. කලාතුරකින් හෝ පාස්ටර්වරයෙකු වූ වෛද්‍යවරයෙකු ගැන දැනගන්නට නොලැබේ. මොවුන් අයත් වන්නේ පූජකයින්ගේ ගොඩටයි. එබැවින් ඔවුන් හාස්කමින් රෝග සනීප කිරීම මැයෙන් කරන්නේ රෝගීන් මරාදැමීමදැයි ප්‍රශ්න කරන්නෝ සිටිති (Faith healing or Faith killing). යාඥවෙන් (හාස්කමින්) රෝග සුවකරන බව කියන පාස්ටර්වරුන් ඊට මග පාදාගන්නේ ඔවුන්ට හසුවන මනුෂ්‍යයන් (විශේෂයෙන්ම කාන්තාවන්)ගේ ශරීර ස්පර්ශ කිරීමෙනි. මෙය දුරාචාරයක් වශයෙන්ද හැඳින්විය හැකිය.
විද්‍යාව හා තාක්ෂණය දියුණු නවීන ලෝකය විශ්මය ජනක තාක්ෂණික උපකරණ නිපදවා තිබේ. හාස්කම් දකින්නට එන අසරණයෝ මේවා ගැන නොදනිති. පාස්ටර්ගේ අල්ලේ හෝ කමිස අත කෙළවරේ තාක්ෂණික උපකරණයක් සඟවා ගෙන ඇති බව ඔවුන්ට නොසිතේ. එම නිසා ඔවුහු පාස්ටර්ට තමන්ගේ හිස හෝ නළල ස්පර්ශ කිරීමට ඉඩ දෙති. එවිට පාස්ටර් කරන්නේ පිහිට පතන පුද්ගලයාගේ ශරීරයට, තමන් සඟවාගෙන සිටින විද්‍යුත් මෙලමින් කිරණ යැවීමයි. ඊට ගොදුරුවන්නාට, තම සිරුර දිගේ විදුලිය දුවන්නාක් වැනි හැඟීමක් ඇති වේ.
මෙවිට පාස්ටර් දෑස් පියාගෙන, තද කරගෙන, ‘ජේසුස් වහන්සේගේ නාමයෙන් මෙම තැනැත්තාගේ ශරීරයට ඇතුල් වී සිටින යක්ෂයා වහා ඉවත් වෙනු’ කියා බෙරිහන් දෙන්නට ගනියි. එවිට ඔහුගේ ස්පර්ශය ලබන තැනැත්තා බියෙන් වෙවුලයි. නොබෝ වේලාවකින් එම තැනැත්තා බිම ඇද වැටී පනුවෙකු වගේ දඟලන්නට ගනියි. එම තැනැත්තා පියවි සිහිය ලබන්නේ පාස්ටර් හෝ ඔහුගේ බිරිය හෝ ඇඟට ‘යාච්ඥා වතුර’ පොදක් ඉස්ස පසුවයි. ‘නැගිටන්න ඔබට දැන් සනීපයි’ පාස්ටර් කියයි. රැවටුන පුද්ගලයා පාස්ටර්ගේ අනුගමිකයෙකු වේ.
සම්බාහන ආයතනයක සිදු වන දේ අනුමාන කිරීමට ඕනෑම අයෙකුට පුළුවන. හාස්කමින් යකුන් පන්නන පාස්ටර්වරුන් කරන දේ වටහා ගත හැක්කේ හාස්කම් නරඹන්නන් අතුරින් කලාරකින් කෙනෙකුටයි. මෙවැනි රැස්වීමකට ගිය වැඩිහිටියෙකු ආඩම්බරයෙන් පැවසුවේ තමාගේ දෙපතුල්වලින් රිංගූ ‘විදුලි සැරය’, සබ්බ පාපස්ස අකරණං ගාථාව හෙමින් හෙමින් මැතිරීමෙන් වළක්වා ගත් බවයි. ජනතාව මුළා කිරීම සඳහා මෙවැනි උපකරණ පාවිච්චි කිරීම සහ ‘වතුර ලේ කිරීම සඳහා’ පොටෑසියම් පර්මැංගනේට් පාවිච්චි කිරීම, තැරැව්කරුවන් යොදවා බොරු රඟපෑම් කිරීම වැනි උප්පරවැට්ටි පිළිබඳව ලෝකයේ විවිධ රටවලින් වාර්තා වී තිබේ. ‘මළ මිනිසෙකුට පණ දුන්’ පාස්ටර්වරයෙකුට එරෙහිව මිනීපෙට්ටි සාප්පුවක් නඩු දැමූ පුවතක් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබුණි.
ලෝකයේ සමහර රටවල් යාඥා කල්ලි ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙසින් සලකා තහනම් කරන්නට ප්‍රධාන හේතුවක් ඇත. මේවාට සම්බන්ධ පාස්ටර්වරු ක්‍රම දෙකකට අසරණ ජනයා රෝගීන් කරති. එකක් ඔවුන් මානසික රෝගීන් කිරීමයි. අනෙක ශරීරවලට කිරණ රිංගවා ශාරීරික රෝග සැදීමයි.
