සාර්ගේ බිසෝවරු සහ ලෙනින්ගේ ගෑණු එක මිටට

Last Updated on 2 hours by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

අපි ලෙනින් කියවමු – 4

Pic. credit: Karnaham / Cascadous Women’s Group FB page.

කාන්තාව ගළවාගැනීමේ (Women’s Liberation Movement) හමුදාවේ ලේඛිකාවන් පවසන පරිදි ’පුරුෂයා විසින් භාර්යාව පාලනය කිරීම ’ පුරුෂාධිපත්‍යයේ ප්‍රධාන ලක්ෂණයයි. මෙය කාල් මාක්ස්ට හසු නොවූවකි. එබැවින් කොමියුනිස්ට් ප්‍රඥප්තියේ කොතැනක වත් ’ලෝකයේ ස්ත්‍රියනි, එක මිටකට එක්වෙව්. පුරුෂයින්ගේ ආධිපත්‍යයට එරෙහිව නැගී සිටිව්!’ යනුවෙන් සඳහන් නොවේ. ’සියලු ලෝකවාසී දූදරුවනි, තාත්තලාගේ පාලනයට විරුද්ධව කැරලි ගසව්!’ යනුවෙන් වැකියකුත් නැත. මාක්ස්ගේ න්‍යාය පරිදි එකම පන්තියකට අයිති වන ස්ත්‍රිය සහ පුරුෂයා භේද කිරීම අන්තිම ජඩ ප්‍රතිගාමී ක්‍රියාවකි. ලංකාව නිදසුනකට ගතහොත් එය, ධනපති පංතියට අයත් හරිනිට මිස පීඩිත පංතියට අයත් අනුර දිසානායකට කිසිසේත් නොගැලපෙන්නකි. එහෙත් බලය යොදවා කාන්තාවන් පිරිසක් කොළඹට ගෙන්වීමෙන් ඔවුන් කරන්නේ ඒ ප්‍රතිගාමී ක්‍රියාවයි.

ලෙනින්ගෙන් පසු රුසියාවේ බලය ලබාගත් ජෝසප් ස්ටාලින් නව සෝවියට් කාන්තාව (New Soviet Women) නමින් සෝවියට් කාන්තාව වෙනස් කරන්නට වෙහෙසුණි. එහෙත් ඔහු රටේ ස්ත්‍රිය හා පුරුෂයා කෙටවීම නමැති අපරාධයට කරගැසුවේ නැත. ස්ටාලින්ට දරු පවුලක් තිබුණි. ඔහු කාන්තාව මුදවා ගැනීම මැයෙන් රුසියානුවාගේ පවුල කැඩීමට ඉදිරිපත් නොවූයේය. ස්ටාලින්ගේ පෞද්ගලික ජීවිත තොරතුරු දැනගැනීමට හොඳම මඟ, ඔහුගේ දියණිය ස්වෙට්ලානා ලියූ ලිපි ලේඛන කියවීමයි.

රාජ්‍ය නායකයින්ට ලේඛක ලේඛිකාවන් යොදවා ජීවිත කතා ලියවා ප්‍රසිද්ධ කරන්නට පුළුවන. ස්වෙට්ලානා, පගාවට තාත්තා ගැන ලියා නැත. ඇය සඳහන් කරන, ස්ටාලින් තාත්තා යහපත් පවුල් ජීවිතයක් ගෙවූවෙක් නොවේ. ඔහුට භාර්යාව වුවමනා වන්නේ ලිංගික වුවමනාව පිරිමසා ගැනීමට පමණි. රුසියානු බසින් ස්ටාලින් යන නමෙහි තේරුම යකඩය යනුයි ස්ටාලින් ඔහුගේ බිරියට දැක්වූයේත් යකඩ ආදරයකි. ඔහු ඉතා සුළු කරුණකදී පවා භාර්යාවට කඩා පැන්නේය. මේ නිසා හමුදා නිවසක ඉතා බියෙන් ජීවත් වීමට ඇයට සිදු විය.

මාක්ස්වාදීන් පෙන්වූ ආකාරයට බ්‍රිතාන්‍යයන් අල්ලාගත් ලංකාව වැඩවසම් රටක් වූයේය. එම නිසා පංති න්‍යාය පරිදි වැඩසම් ක්‍රමය පුපුරුවා ධනේශ්වර ක්‍රමය ඇති කිරීම නමැති මහා විප්ලවය සිදු කිරීම බ්‍රිතාන්‍ය පාලකයින් රටට කළ ඵෙතිහාසික සේවයකි. අනුරාධපුර රාජධානි සමය ඒ වැඩවසම් යුගයේ නරකම කාලයකි. දුටුගැමුණු රජතුමා මාක්ස්වාදීන්ගේ දැඩි උදහසට ලක්වන්නේ වැඩවසම් චරිතයක් ලෙසිනි.

දුටුගැමුණු රජතුමාගේ පුතා සාලිය කුමරයා රජ පවුලට අයත් නොවන තරුණියක සිය අභිමතය පරිදි පාවා ගැනීමේ කතාව සිංහලවත්ථුවේ ඇතුළත්ය. ඊට අනුව රජතුමා පුතා සහ ලේලිය දැකීමට ඔවුන්ගේ නිවසට ගියේය. ලේලිය (අශෝකමාලා) පෙරමඟට ගොස් පිය රජතුමාට වැන්දාය. ඇයව නැගිටුවාලූ රජතුමා ලේලියගේ රුපශ්‍රීය දැක ’නුඹ කිසිම වරදක් කර නැහැ’ යැයි සාලිය කුමරයාට කීවේය.

ස්වෙට්ලානා රුසියාව හැරදමා ඇමරිකාවට පැමිණ පුරවැසිකම ලබාගත්තාය. ඈ විවාහ වූ පුරුෂයන් සිව්දෙනාගෙන් එක් අයෙකුට වත් ස්ටාලින්ගේ ආදරය නොලැබූණි.

කාල් මාක්ස් එංගලන්තයේ විසූවෙකි. ඒ සමාජයේ කර්මාන්ත හිමියන් කම්කරුවන් සැලකුවේ මනුෂ්‍යයින් හැටියට නොවේ. කම්හලේ හැම කම්කරුවෙකුට නම වෙනුවට අංකයක් ලැබුණි. වැටුප් ගෙවීම් සිදු වූයේ ඒ අංකයටය. යමෙකු මියගිය විට වෙනත් පුද්ගයෙකු යොදවා ඒ අංකය පුරවනු ලැබුවේය. අදටත් බටහිර ක්‍රමයට අනුව හදන යුද හමුදාවක පුද්ගලයින් නොමැත. අංක තිබේ.

අනුරාධපුර සමයේ සිංහල දර්ශනය ඊට වෙනස් එකකි. බුදුන් පෙරුම් පුරා බුදු වූ බව බෞද්ධයෝ පිළිගත්හ. පන්සිය පනස් ජාතක කතාවල අඩංගු වන්නේ ඒ ඉතිහාසයයි. දුටුගැමූණු රජතුමාට චරිත කතාවක් තිබුණි. එතුමාගේ සේනාවේ සිටි සෙනවිවරුන් ගැන තොරතුරු ඵෙතිහාසික පොතපතේ අඩංගුවේ. ඒවා විභාග කරන විට ථෙරපුත්තාභය, නන්දමිත්‍ර, සුරනිමල ආදි ගැමුණු රජුගේ සෙනවියන් ගැන බොහෝ තොරතුරු දැනගත හැක. ඔවුන් අංක නොවේ. පුත්තලම පල්ලම ප්‍රදේශයේ නන්දමිත්‍ර නමින් රජමහා විහාරයක් තිබේ. එය නන්දමිත්‍ර සිහි කිරීමට ඔහු විසූ පළාතේ පිහිටුවන ලද්දකි.

ස්ටාලින් නිසැකවම කෲර පාලකයෙකි. ඔහුට යමෙකු විනාශ කිරීමට සැකය ප්‍රමාණවත් වූයේය. ඔහු රුසියාවේ සාමූහික ගොවිපල ඇරඹුවේය. ඒවායේ හැම සාමාජිකයෙක්ම නිෂ්පාදනයට හවුල් වූහ. ඒ කිසිවෙකුට පෞද්ගලික ජීවිතයක් නොතිබුණි. එම ක්‍රමය වෙනස් කරන්නට සිතු කිසිවෙකුට රතු හමුදාවෙන් සමාවක් නොලැබුණි. එවැනි ක්‍රියාවකට අනුබල දෙන අදහසක් දරන්නා ප්‍රතිගාමියෙකු වශයෙන් සැලකුණි. එවැන්නන් ද්‍රෝහීන් ලෙස සලකා මරා දමනු ලැබුවේය. ජවිපෙ ගොඩනැඟීමට හවුල් වූ, ඒ වෙනුවෙන් අප්‍රමාණ හිංසා විඳි පුද්ගලයකු පක්ෂයෙන් පිට පැන්න මොහොතේම ද්‍රෝහියකු බවට පත් වන්නේ මන්දැයි බොහෝ දෙනෙකුට නොවැටහේ. එය ස්ටාලින් ඇරඹූ සම්ප්‍රදායකි

පසුගිය දා ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මිය ගියේය. කලක් ඔහුට ජවිපෙ ත්‍රස්තවාදී සංවිධානයක් විය. එහෙත් විතාරණගේ මෘතදේහයට ගෞරව දැක්වීමට ජවිපෙ නායකයෝ ගියහ. භීෂණ සමයේ පක්ෂය රැකගැනීමට වෙහෙසුන නන්දන මාරසිංහගේ මිනිය බැලීමට ජවිපෙ නායකයින් ගියේ නැත. ඔවුහු නන්දන ගුණතිලකගේ අවමගුලට සහභාගි නොවූහ. පක්ෂයේ වැරදි විවේචනය කරන පාක්ෂිකයන් ද්‍රේහීන් කිරීම ස්ටාලින්ගේ සිරිතකි. විප්ලවයට සහභාගි වෙමින් සෝවියට් දේශය බිහි කිරීමට වෙහෙසුන මිලියන ගණනක් ස්ත්‍රී පුරුෂයන් ඔහුගේ අණින් මිය ගියේ ද්‍රෝහීන් ලෙසින් හංවඩු ගැසෙමිනි.

අප්‍රේල් කැරැල්ල නඩු විභාගයේදී විජේවීරට විරුද්ධව පැමිණිල්ලට සහාය දුන් පුද්ගලයින් හා ඔහුගේ ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන සමහරු පවා වර්තමාන ජවිපෙ හිතවතුන් වී සිටිති. අවංකව පක්ෂයට සේවය කළ බොහෝ දෙනකු සැලකෙන්නේ ද්‍රෝහීන් හැටියටයි. අද, විජේවීරගේ පවුල සහ දරුවන් ජවිපෙ ගොඩේ නැත. එහෙත් ජවිපෙ නායකයෝ, අප්‍රේල් සමරු සහ වෙනත් උත්සවවලදී විජේවීරගේ පින්තුරයක් හිස් මුදුනින් ඔසවා දේශපාලනය නොදත් ජනයා රවටති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top