සෞම්‍ය මහාචාර්යතුමාගේ අවමංගල දේශනයට මායියාගෙන් ගොරහැඩි ටීකාවක්

Last Updated on 4 days by admin

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි

‘මේ…. තේ එකක් බොනවද? දැන් ඔතන ඉඳගෙන ඉඳලාම පස්ස පැත්තෙ මුල් ඇදලාද දන්නෙත් නෑ.’

මායියා කුස්සියේ සිට සද්දයක් දැම්මාය. මම කුස්සිය පැත්තට රීටුවෙමි.

‘කොහොමද මහාචාර්යතුමාගෙ කතාව. අන්න එහෙම තමයි වැඩක් කරනවා නම් කරනවා නම් කරන්ඩ ඕන.’

මට කියවුනේ ඉබේටම වගේය.

‘කොයි මහාචාර්යතුමාගෙ කොයි කතාවද?’

‘අපේ නිළි රැජිනගෙ අවමංගල උත්සවේ වෙලාවෙ සෞම්‍ය මහාචාර්යතුමා කරපු කතාව.’

‘ආ… ඒක ලෙක්චර් එකක්නෙ. හුඟ දෙනෙකුට තේරිලා නෑ කියල කෑගහන්නෙ ඒකනෙ ඔය.’

‘ආ….න්න.. ඊරිසියාව. එතුමා මහාචාර්ය කෙනෙක්. අවමංගල සභාවට උගත්තු තානාපති නිලධාරි එහෙමත් ඇවිත් හිටිය. ඒ සම්භාවනීය මිනිස්සුන්ට ගැලපෙන කතාවක් එතෙන්ට එපැයි… ඒ හින්දා එයා තැනට සුදුසු විදියට වැඩේ කළා… නැද්ද?’

මම පොඩ්ඩක් ලිස්සා යන්ඩ බැලුවෙමි. මෑතක සිට මට මායියා සමග වාදයට යෑමේ භයානකකම අවබෝධ වෙමින් තිබේ.

‘තැනට සුදුසු විදියට ගැලපෙන්න වෙන්න ඇති කෝට් බෑයක් ඇඳගෙන බොත්තම් නොදමා ආවෙ. ඒක අවමංගල උත්සවයක්. එතන පිරිල හිටියෙ සිංහල චිත්‍රපටි නරඹන මාලනීට ආදරය කරන රසික රසිකාවියො.’

‘ඔයා දන්නෙ නැතුවට. ස්ටීව් ජොබ්ගෙ, ඩයනා කුමාරිගෙ අවමංගල සභාවලත් ඒ වගේ බරසාර කතා පවත්වලා තියෙනවා.’

‘ඒ කතා ප්‍රසිද්ධ වුනේ ඔහොම දාර පිඹුරො වාගෙ වචන පාවිච්චි කරපු නිසා නෙවෙයි. ජොබ්ස්ගෙ නංගි මෝනා සිම්ප්සන් හරීම හැඟීම්බර කතාවක් කළා. ඩයනාගෙ උත්සවේදි හාවඩ් විශ්වවිද්‍යාලෙ හැරල්ඩ් බූම් මාර කතාවක් කළා, එයා ඩයනාව සමාන කළේ, ට්‍රෝයි පුරේ හෙලේනට, ශේක්ශ්පියර්ගෙ හැම්ලට් නාට්‍යයේ ඔපෙලියාට. ඒක පුදුම ලස්සන සාහිත්‍යමය කතාවක්. ඩයනාගෙ මල්ලි චාල්ස් එයාගෙ කතාවෙදි එළිසබෙත් රැජිනට එළිපිට fදාස් කිව්ව නිසා ඒ කතාව ප්‍රසිද්ධ වුනා.

‘එහෙමද?’

‘ඔව්… අනික අනේ…. එයා ඕවා ලෙක්චර්ස්වලදි පාවිච්චි කරන වචන නම් මොකද සමහර වචන කොලේ බලාගෙන වත් කියවන්ඩ බැරි වුනේ? පොඩි පොඩි වචනත් පටලවා ගත්තනෙ. ගුරුන්නාන්සෙගෙ ලෙඩේ බෝවෙලාද මන්දා?’

‘කවුද ගුරුන්නාන්සෙ?’

‘අර ඉන්දියානු මහාද්වීපයක් ගැනයි ආලෝක වර්ෂ ගැනයි කිව්වෙ…”

මායියා කැත හිනාවක් දැම්මාය.

‘අනේ මන්දා එයා නළුවෙකුත්නෙ. නළුවො වුනාම ඉතිං වචන උච්ඡාරණය හොඳට තියෙන්න එපායැ. ඔය හොලිවුඩ් නළුවන්ට භාෂා කීපයක් කතාකරන්ඩ පුළුවන්ලු. සමහර වෙලාවට එයාලාට ඉංග්‍රීසි වුනත් එක එක විදියට උච්ඡාරණය කරන්ඩ වෙනවලු. නිව්යෝර්ක්, බොස්ටන් උච්චාරණ, දකුණු පැත්තේ උච්ඡාරණ, එතකොට එංගලන්තෙ, අයර්ලන්තෙ ඔය වගේ එක එක විදියේ ඉංග්‍රීසි උච්ඡාරණ පුරුදු වෙන්ඩ ඕනැලු හොලිවුඩ් නළුවෙක් වෙන්ඩ. අපේ අයට සිංහලයි තත්සම වචනයි දෙකවත් බෑනෙ අනේ…’

‘ඒවා එච්චර දේවල් නෙමෙයිනේ. එයා මාලිනී ෆොන්සේකා ගැන කිව්ව ටික මදැයි.’

‘මාලිනී ගැන මොනවද එයා කිව්වෙ?’

මායියා ඇහුවේ ඇදේට මෙනි.

‘ඇයි අහන් හිටියෙ නැද්ද?’

‘අහං හිටිය… එයා මාලිනී ගැන කිව්වෙ මොනවද කියල මට එකක් දෙකක් කියන්ඩකො බලන්ඩ.’

‘එහෙම කියන්ඩ දෙයක් මතක නෑ ඉතිං. ඒ වුනාට එයා ගොඩක් දේවල් කිව්වා.’

‘එච්චරට වටිනා දේවල කිව්වා නම් හොඳට මතක හිටින්ට එපැයි. නිකමට පොඩි අදහසක් කියන්ඩ බලන්ඩ. ඔච්චර අගේ ඇති කතාවෙන් ඔයාට මොනවද තේරිලා තියෙන්නෙ කියල බලන්ඩවත්. ඔය සමහරු කියන කතා අවුරුදු ගාණක් ගිහිල්ලත් මතකෙ තියෙන්නෙ.’

‘එහෙම කියන්ඩ තරම් දෙයක් ඔළුවට වැදිල නෑ….’

‘ඒ කියන්නෙ මාලිනී ගැන මොකවත් කියලා නෑ?’

‘ඔයාට පිස්සුද මන්ද….’

‘එයාට මොකක් කරන්නද ආරාධනා කරලා තිබුණෙ?’

‘කතාවක් කරන්ඩනෙ.’

‘කතාව මොකක් ගැනද?’

‘මාලිනී ගැනනෙ.’

‘මාලිනීගෙ මොකක් ගැනද?

‘විකාර අහනවද මන්ද… මේකෙ කෙළවරක් නෑනෙ.’

‘එයාගෙම වචනවලින් කියනවා නම්, එයාට ආරාධනා කරලා තියෙන්නෙ මාලිනීගෙ සිනමා රූපණ කාර්ය සාධනය ගැන කියන්න.’

‘අන්න හරි…’

‘ඒකම තමයි එයා නොකළෙත්.’

‘ඒ මොන කුණුහරුපයක්ද? අර අගේ ඇතිව කිව්වෙ.’

‘එන්ඩ පෙන්නන්ඩ. මං කතාව රෙකෝඩ් කරගත්තා.’

ඇයි අප්පා මටම මෙහෙම වෙන්නේ යැයි සිතා මගේ පපුව හෝස්ගා ගියේය.

‘ඔන්න අහගන්ඩ.’

‘මාලනිය විසින් සිනමා තිරය මත චිත්‍රණය කළ චරිත සහ ඇයගේ රූපාකාරය විසින් දශක ගණනාවක් තිස්සේ ලාංකේය ප්‍රේක්ෂකයා මත මුදාහල චිත්තවේගී සහ සෞන්දර්යාත්මක ආචරණය සුළුපටු නොවේ. එය තෙරක් නැතිව තවමත් ගලන මේ මහා ජන ගඟ සාක්ෂි දරයි. ඒ භාවමය ආචරණය සහ ඇගේ රංගකාර්යයේ ප්‍රමුදිත වූ රූපණ දේහබන්ධුතාව හේතුවෙන් ඇය සිංහල සිනමාවේ නිළි රැජින ලෙස හුදීජනයා අතර චිර ප්‍රසාදය දිනා ගත්තාය. එහෙත් ඇයට පැළඳූ මේ කිරීටය විසින් ශ්‍රී ලාංකේය සිනමාවේ ඇයගේ රංගකාර්ය සාධනයේ අද්විතීයත්වය ප්‍රමාණවත් ලෙස විචාරයට බඳුන් වූයේද යන්න අප විමසිය යුතු කරුණක් වන්නේය.

‘ඉතිං ඔය කිව්වෙ අපූරුවට.’

‘හරි….. මෙහෙමනෙ මුලින් කියනවා මාලිනී දශක ගණනාවක් තිස්සෙ කරපු නිර්මාණ කාර්යයන් සුළුපටු නොවේ කියල.’

‘ඔව්… ඇත්තනෙ.’

‘ඒක කියන්ඩ විශ්වවිද්‍යාල මහාචාර්ය කෙනෙක් ඕනැද? ඒක ඔයත් දන්නවා මාත් දන්නවා. මාලනීගෙ අවමගුල් උත්සවයට සෙනග පිරුනෙ ඒකනෙ. දැක්කෙ නැද්ද ෆේස්බුක් එක?’

‘ඔව් ඉතිං.’

‘එතකොට මේ ඊට පස්සෙ මොකක්ද කියන්නෙ?’

‘මොකද්ද?’

‘එහෙත් ඇයට පැළඳූ මේ කිරීටය විසින් ශ්‍රී ලාංකේය සිනමාවේ ඇයගේ රංගකාර්ය සාධනයේ අද්විතීයත්වය ප්‍රමාණවත් ලෙස විචාරයට බඳුන් වූයේද යන්න අප විමසිය යුතු කරුණක් වන්නේය.

‘ඉතිං එහෙම තමයි මහාචාර්යවරු වුනාම. ඕකට තමා ගවේෂණය කරනව කියන්නෙ ‘

‘ඔව් නේන්නං… දැන් මේ කියන එකත් අහන්ඩකො.’

මේ නයින්, මාලිනී විසින් අප වෙත දායාද කොට ඇති ඒ සා විශාල වූ නිර්මාණ සමුච්ඡය හා ඇගේ සිනමා රංග කාර්ය සාධනය ප්‍රමාණවත් ලෙස නැවත අධ්‍යයනට බඳුන් කිරීම අද දවසේ අපට ඇය වෙනුවෙන් කළ හැකි මහඟු උපහාරයක් වන්නේය. ඇය විසින් අපට ප්‍රධානය කර ඇත්තේ මහා අස්පෘශ්‍ය සංස්කෘතික දායාදයකි. ඒ අස්පෘශ්‍ය සංස්කෘතික දායාදය අප විසින් නැවත කැණීම් කොට පාදා ගත යුතු කාලයේ වැලිතලාවෙන් වැසී ගිය මානව වංශ විද්‍යා අවකාශයකි. එය පාදාගැනීම සමකාලීන සිනමා විද්‍යාර්ථියාට මගහැරිය නොහැකි වගකීමක් වනු ඇත.

අප දන්නා විදග්ධ යැයි සම්මත සිනමාවේ මෙන්ම මෙලෝ ඩ්‍රාමා නැතිනම් මෙලෝ නාටක සිනමාවේ ද මාලිනියගේ ප්‍රතිභාව මොනවට චිත්‍රණය වී තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය, ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, පරාක්‍රම නිරිඇල්ලගේ මධුසමය හෝ ප්‍රසන්න විතානගේගේ ආකාශ කුසුම් පමණක් නොව ඇය විසින් චරිත නිරූපණය කළ සිය ගණනක් වන වණික් සිනමාවේ භූමිකාද නැවත විශ්ලේෂණය කිරීම මාලිනියගේ සිනමා රංගනයේ අද්විතීය ගුණය ගවේෂණය කිරීමට හැකි අප සතු අතිශය වැදගත් මූලාශ්‍ර වෙයි.

‘හරිනෙ. ඒකනෙ මහාචාර්යතුමා කළේ..’

‘ඒක කොළානං ප්‍රශ්නයක් නෑ. නොකළ එකනෙ ප්‍රශ්නෙ. මේ මේ ටික අහන්නකො.’

‘ඒ අර්ථයෙන් බලන විට අප මෙතෙක් අර්ථකථනය කර ඇත්තේ විචාරය කර ඇත්තේ, මාලිනීගේ රංග කාර්යයට වඩා ඇය විසින් නිරූපිත චරිත චරිත රැගත් සිනමා පට සහ එකී සිනමාවේ සමාජ දේශපාලන ආචරණයයි. මේ සිනමා අධ්‍යයනයේ ඓතිහාසික ගැටලුවකි. මවිසින් වසර කිහිපයකට උඩදී මාලිනීගේ සිනමා රංගකාර්යය විමසමින් රචනා කළ, ද ෆිනමිනලොජි ඔෆ් ෆිල්මික් පර්ෆෝමන්සන්: අ කේස් ඔෆ් මාලිනී’, නම් වූ පර්යේෂණ පත්‍රිකාවෙන් තර්ක කොට කියා සිටියේ මේ ගැටලුවයි. එනම් සිනමා රංගනයේදී එහි රංගධරයින්ගේ රූපණ ශක්‍යතාව විමර්ශණය කිරීමේදී සමකාලීන විචාරකයා බොහෝ විට පදනම් කරගන්නේ එකී නළුවා හෝ නිළිය විසින් නිරූපණය කරන චරිතයේ නියෝජනාත්මක ආචරණය එසේත් නැතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා රිප්‍රසන්ටේෂනල් ඉෆෙක්ට් කියල. නමුත් සිනමා නළුවාගේ රූපණයේ දේහබන්ධු අත්දැකීම, ඕ එම්බොඩීඩ් එක්ස්පීරියන්ස් ඔෆ් ඇක්ටින් අපගේ විචාරක අවධානයෙන් ගිළිහී යයි.

‘දැන් මොකද ඕකෙන් කියවෙන්නෙ?’

‘ම්… ම්….’

‘ඔය කියන්නෙ එයත් ඇතුළුව මේ රටේ විචාරකයො මාලිනීගෙ රඟපෑම් ගැන නෙමෙයි මෙච්චර කල් කතා කරලා තියෙන්නෙ. එයා රඟපාපු චිත්‍රපටි ගැනයි චරිත ගැනයි. තේරුණාද දැන්.’

‘ඒ වගේ තමයි….’

‘මෙතන ලොකුම ප්‍රශ්නෙ එයා අවුරුදු කීපයකට කලින් ඒ ගැන පර්යේෂණයක් කරනවා මාලිනීගේ රඟපෑම් පදනම් කරගෙන. අවුරුදු ගාණක් ගතවුණාට පස්සෙත් එයාට බෑ මාලිනීගෙ මළකඳ ඉස්සහා වත් මාලිනීගේ රඟපෑම් ගැන ප්‍රමාණවත් විචාරයක් කරන්න. මෙයා සෞන්දර්ය විශ්වවිද්‍යාලෙ ලොක්කෙක්. රඟපෑම, නාට්‍ය කලාව වගේ දේවල් ගැන ලිපි ලේඛන ලියාපු උගතෙක්. නමුත් තමන්ගෙ රටේ ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පිනියකගේ රංගනය ගැන හැදෑරීමක් නැති බවද මේකෙන් පෙනෙන්නෙ? ඒ වෙනුවට එයා එතන රැස්වෙලා හිටිය මිනිස්සුන්ට සත පහක වැඩක් නැති කාරණ ටිකක් තටම තටම කියෝගෙන යනව.’

‘ඒ වුනාට හරි වටින කරුණු ටිකක් කිව්වා නේද? කවුද අර මේ බෙන්ජමින්ද කවුද කිව්ව දේවල් එහෙම දැනගන්න එක වටිනවා නේද?’

‘ඒක තවත් විහිළුවක්නෙ. මේ බලන්නකො මහාචාර්යතුමා කිව්වෙ මොකක්ද කියල.’

‘නමුදු වෝල්ටර් බෙන්ජමින් වරෙක පැවසූ ලෙස සිනමාවේ තාක්ෂණය සහ කැමරා කාචය විසින් නළුවාගේ ප්‍රභාව පරයා තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය ප්‍රමුඛව නැගී සිටියද මෙකී තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය පරයා, තම රූපාකාරය කැමරා කාචය මත ප්‍රබලව චිත්‍රණය කළ ලාංකේය සිනමාවේ රූපණවේදිනිය වන්නේ මාලිනියයි.’

‘ඇත්තටම ඒ මොකක්ද?’

මෙළෝ දෙයක් නොතේරුණ මට ඇසුණේ ඉබේටමය.

‘මහාචාර්යතුමා මොනවා කියනවාද මට තේරෙන්නෙත් නෑ අනේ. වෝල්ටර් බෙන්ජමින්ගෙ ඔය කතාව බොහෝම සංවාදවලට ලක් වුන එකක්. එයාගෙ සුප්‍රකට ‘The Work of Art in the Age of Mechanical Reproduction’ නිබන්ධනයෙ තමයි ඔය න්‍යාය තියෙන්නෙ. ඒක සරලව පැහැදිලි කරනවා නම් මෙහෙමයි. වේදිකා නාට්‍ය නළුවෙක් කෙලින්ම ප්‍රේක්ෂකයා ඉදිරියේ රඟපානවා. ඒ නිසා නළුවා සහ ප්‍රේක්ෂකයා ඍජු සම්බන්ධයක් ඇතිවෙනවා වගේම දෙදෙනා අතර ඇති වන චෛතසික බැඳීමත් වැඩියි. නමුත් චිත්‍රපටියෙදි මේ ඍජු බැඳීම නැතිව යනව. ඒ වගේම චිත්‍රපටියේ පිටපත් විශාල වශයෙන් නිපදවීමටත් ඕනෑම තැනකට බෙදාහැරීමටත් ඇති හැකියාව නිසා නළුවාගේ ප්‍රභාව නැතිනම් ප්‍රතිරූපය නැතිවෙලා නළුවා හුදු වෙළඳ භාණ්ඩයක්, නැතිනම් චිත්‍රපට කර්මාන්තයේ පාවිච්චි වෙන තවත් මෙවළමක් බවට පත්වෙනව.’

‘ආ… එහෙමද? ඇත්තටම එතකොට මොකක්ද ඒ මහාචාර්යතුමා කියල තියෙන්නෙ?’

‘ඒක ඉතිං එයාගෙන්ම තමයි අහන්ඩ වෙන්නෙ.’

‘හැබැයි ඉතිං මහාචාර්යතුමාගෙ කතාව සාම්ප්‍රදායික කතාවකට වඩා වෙනස් එකක්. අලුත් දෙයක් කරපුවාම මොකක්ද තියෙන වැරැද්ද?

‘අලුත් දෙයක් කිරීමයි නොගැලපෙන දෙයක් කිරීමයි කියන්නෙ දෙකක්නෙ.’

‘ඒ වුනාට හරි වැදගත් දේවල් ටිකක් කිව්වානෙ.’

‘ඔව් චිත්‍රපටි අරයා මෙහම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියල එහෙන් මෙහෙන් එකතු කරගත්ත විස්තර ටිකක් කියෙව්ව. අන්තිමේ බැලුවාම මාලිනී ගැන කියපු දේකුත් නෑ. සංවිධායකයො වුනත් බලාපොරොත්තු වෙන්න ඇත්තෙ එයා මාලිනීගෙ රඟපෑම ගැන තමන්ගෙ විචාරයක් කරයි කියල. මෙයා ඇවිල්ලා කියනවා, මාලිනීගෙ රඟපෑම් ගැන විචාරය කරන්න ක්‍රමයක් නෑ ඒ හින්දා අපි ඉස්සරහට මාලිනීගෙ රඟපෑම් ගැන නිසි ඇගයීමක් කරන්ඩ ඕනැ කියල. ඉතිං එයා මෙතෙන්ට ඇවිල්ලා ඕක කියන එකද හපන්කම? එච්චර දෙයක් තේරුම් අරං ඉන්නවා නම් එයාට තිබුණනෙ වැරැද්ද නිවැරදි කරන්ඩ. ඇයි මනුස්සයෝ සුද්දා විචාර ක්‍රම හදලා දෙනකල්ද බලාගෙන ඉන්න මාලිනි ෆොන්සේකාගෙ රඟපෑම ගැන හරිහමන් විග්‍රහයක් කරන්ඩ.’

‘ඒත් මහාචාර්යතුමා කියනවා නේද පෙරදිග බටහිර විචාරකයො සේරම එහෙමයි කියල. මේක මේ ලෝකෙම තියෙන අවුලක් කියල? ඔය කතාවෙ මුල හරියට යන්ඩකො. මට දෙයක් මතක් වුනා. ඉන්ඩකො මං හොයල දෙන්ඩ. මේ තියෙන්නෙ.’

‘සිනමා අධ්‍යයනයේදී රූපණ ශිල්පියාගේ කාර්ය සාධනය අව ප්‍රමාණය වී එහි අධ්‍යක්ෂක, පිටපත් රචක සහ තාක්ෂණයේ අධිකාරීත්වය සිනමා අර්ථ නිෂ්පත්තියේ මූලිකාංග ලෙස අධිපතිත්වයට පත්වීම ඉතිහාසයේ සිට මේ දක්වා සිනමා කලාවේ දක්නට ලැබෙන උභතෝකෝටිකයකි.’

‘මේකෙන් කියන්නෙ අනේ මේක එදා පටන් තියෙන ප්‍රශ්නයක් කියලා නේද?’

‘ඔන්න ඕක ගැන තමයි අර වෝල්ටර් බෙන්ජමින් ඒ කාලෙ අනතුරු ඇඟෙව්වෙ. රංගන ශිල්පියාගෙ ප්‍රතිරූපය නැතිවෙලා සිනමා කර්මාන්තයෙ වෙළඳ භාණ්ඩයක් වෙනවා කියල. මනුස්සයා ඒක කිව්වෙ 1935දි. මහාචාර්යතුමා ඒක උභතෝකෝටිකයක් කියලා හිතනවා නම් ඉගෙන ගත්ත දේවල් විශ්ලේෂණය කරගන්න බැරිකම පිළිබඳ ප්‍රශ්නයක්. අනික් පැත්තෙන් මහාචාර්යතුමාට දැනුමක් නෑ වගේ වෝල්ටර් බෙන්ජමින් ඇත්තටම මොකක්ද කිව්වෙ කියන එක. නැත්තං අර වගේ විකාර කතාවක් කියාවියැ.’

‘අනේ මන්දා….. මටත් නිකං කැරකිල්ල වගේ දැන්නම්.’

ගේ ඉස්සරහා පැත්තෙන් ලොකු ගෝරියක් වැනි හඬක් ඇසුණෙන් මම ඒ පැත්ත විපරම් කර බැලුවෙමි. මහ සෙනගක් ගේ දෙසට ඇදෙමින් සිටිති. මායියාත් මා පසුපස ආවාය.

‘මේ ඔයා මටත් නොකියා පුංචි ඡන්දෙදි ස්වාධීන කණ්ඩායමක ලැයිස්තුවට නම වත් දැම්මාද?’

‘පිස්සුද?’

‘එහෙම නැත්තං ඔයාට ආණ්ඩුවෙන් මොනවා හරි දුන්නද බෙදන්ඩ කියල? ලුණු පැකට් ටිකක් වත්? නැත්තං අර රස්සාවක් නැති අයට මාසෙට දහදාහට වැඩිය දෙනවා කියපු එකට ගමේ ලැයිස්තුවක් වත් හදන්ඩ කියලා කිව්වද?’

‘නෑ නෑ…. ඇයි?

‘මේ ඔයා ආණ්ඩුවට හරි ආණ්ඩුවෙ ලොක්කෙකුට හරි මොනා හරි කිව්වද? බැන්නද මං අහන්නෙ?”

“පිස්සුද අනේ? …මේ ගිහින් අහංඩකො මොකද කියල.”

“ඔයාට ඉතිං හැම දේටම මං තමා ඉස්සරහට යන්ඩ ඕන.”

නෝක්කාඩුවට මෙන් කියමින් මායියා ඉස්සරහා පැත්තට ගියාය. ටික වේලාවක් කසුකුසු ගාමින් සිටි ඇය ආපසු ආවාය.

‘මේ අනේ මේ…. මිනිස්සු මහාචාර්යතුමාගෙ කතාවෙ නොතේරෙන වචන ලියාගෙන ඇවිල්ලා ඔයාගෙන් තේරුම අහගන්ඩ.’

‘මළ කෙලියයි. මාත් නොදැන කොහොමද අනේ උන්ට කියාදෙන්නෙ? දොරට පොල්ල දාලා සද්ද නොකර ඉම්මු අනේ.’

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top