Last Updated on 2 weeks by admin

හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ

‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය. ඒ, හඳුන්නෙත්ති හිල් ලන්කට් අඳිද්දී අනුර සහෝදරයාගේ ගමනට බිමනට වී 8 වාහන දීම නිසාය. මේ ගැන සාකච්ඡා කිරීමට අපේ චූටි එකා ගෙදර නැති සුබ මොහොතින් දේශපාලන මණ්ඩලය රැස් විය.

‘මේ ඊයේ පෙරේදාත් යාළුවකු කමිස 7ක් අරන් දුන්නා කියලා හඳුන්නෙත්ති කියන වීඩියෝවක් මං දැක්කා. මේ යාළුවො දන්නෙ නැද්ද හඳුන්නෙත්තිලා ලන්කට්, බැනියම් අඳින බව?’ අපේ මායියා ඇසුවාය. එතුමිය හරිනි ණෝනාගේ කතා අසා කාන්තා විමුක්තිධාරිනියක වෙන්නට ගොස් යාන්තම් දිවි ගලවා ගත් තැනැත්තියකි.

‘හුඟක් දේශපාලකයො වගේ ජෙප්පොත් කට අරින කොට කතාකරන්නත් කලින්ම බොරු වැලක් බිමට වැටිල රෝල්වෙලා යනව. සමහර වෙලාවට දේශපාලකයො තමන් කියන දේ ඇත්ත බව ඔප්පු කරන්න එක එක බඩුභාණ්ඩ උස්සගෙන ඇවිත් පෙන්නන්නේත් ඒකනෙ.’  ඉස්සර ජවිපෙට බැඳී නොමැරී බේරුණ අපේ ලොකු මාමා කතාව පටන් ගත්තේය.

‘පාරක් ආර්. ප්‍රේමදාස පොල් බෑ දෙකක් වේදිකාවට උස්සාගෙන ඇවිල්ල මේ බෑව සත 35යි. මේ බෑව සත 35යි කියා ගණන් පාඩමක් ඉගැන්නුවා.

1977 යූඇන්පී වේදිකාවට නැග්ග දෙනවක හාමිනේ ‘හයියෝ නාපු කාලයක් මතක නෑ. ඇඟ සේරම කහනවා. සන්ලයිට් සත 72යි කිය කිය රෙද්ද උස්ස උස්සා කැහැටු කකුල් කහ කහ නියම නාඩගමක් පෙන්නුවා. ඒවා එක්ක බලද්දි මේකෙ එච්චර සුදියක් නෑ වගේ.’

‘ඒ වුනාට අත්තෙ ඒක නියම ඩ්‍රාමා එක. මට හඳුන්නෙත්තියාව පෙනුනෙම හෙලුවෙන් ඉන්නවා වගේ.’ ලොකු එකා ලොකු මාමාගේ කතාවට බාධා කළේය.

‘ඕකුන් ගහන බේගල් මිනිස්සු විශ්වාස කරන්නෙ නැති බව ඕකුන්ම දන්නවා. ඒ හින්දා හඳුන්නෙත්තියාට කරන්න තිබුණ හොඳම දේ වේදිකාවෙදි කමිස කලිසම් ගලවලා පෙන්නන්ඩනෙ. එහෙම කළා නම් අර භාෂා පරිවර්තකයකු අල්ලාගෙන තටමන්නේ නැතිව හිල් වෙච්ච ලන්කටුයි හිල් වෙච්ච බැනියමුයි මිනිස්සුන්ට පෙන්නන්ඩ තිබුණානෙ.’ ලොකු මාමා බාධාව මැඩගෙන කීවේය.

‘හොඳට හිටී. ලන්කට් එකේ නරක තැනක හිලක් එහෙම තිබුණා නම් මොකද වෙන්නෙ?’ අපේ පුංචි අම්මා හිකි හිකියක් අස්සෙන් හරස් කැපුවාය.

‘නංගියේ කට කට…’ ඒ අපේ අම්මාගේ හඬය.

‘හරි ඉතිං අඩුම තරමින් කමිසය ගලවල හිල් වෙච්චි බැනියම වත් පෙනෙන්නන්ඩ තිබුණනෙ.’ ලොකු මාමාත් සටන අතඇරියේ නැත.

ඒ කතාවලත් ඇත්තක් තිබේ. ලන්කට්වල හිල් කෙසේ වෙතත් බැනියම්වල හිල් තියෙන විට කමිසය ඇන්දත් හිල් ඇති තැන් පෙනේ. අඩුම තරමින් හඳුන්නෙත්තිට ඒ හිල් අර භාෂා පරිවර්තකයාට පෙන්නා තමන් කියන්නේ ඇත්තක් යැයි ඔප්පු කරන්නට පුළුවන්කම තිබුණි. ඒත් හඳුන්නෙත්ති එසේ නොකළේ, මේ කතා ජවිපෙ නායකයින්ගේ අනික් බොරු මෙන් පට්ටපල් බොරු නිසා යැයි තියන්නට හිතුණත් මම නිස්සද්දව උන්නෙමි. මාතෘකාවක් එළියට දමා ඒ ගැන අනුන් කියන ඒවා අසා සිටීම වැඩදායකය. පසුව ඒවා මගේම අදහස් මෙන් ලියන්නට පුළුවන.

‘ඉතිං යකෝ අනුරට වී 8 එකේ යන්ඩ වියදම් කරන මහ ලොකු පක්ෂෙ, තමන්ගෙ නායකයින්ට ලන්කට් ටිකක් අරන් දෙන්නෙ නැත්තෙ ඇයි? ඇයි මේ යාළුවො අරන් දෙනකල්ම බලන් ඉන්නෙ? ඒක ජනතාවට බර පැටවිල්ලක් නෙවෙයිද?’ එකපාරටම ලොකු මාමාට පන්ති පහ මතක් වුණා වගේය.

‘වී එයිට් එකේ ගියාට අනුර අඳින්නෙත් හිල්වෙච්චි ලන්කට්ද දන්නෙ නෑන.’ ලොකු එකා හිනාවෙමින් කීවේය.

‘ඕක තමා හීනමානෙ. උඩට බ්‍රෑන්ඩඩ් අඳිනව. යටට හිල් වෙච්ච අඳිනව.’ ලොකු එකා කීවේය. ‘හීනමානෙ නිසානෙ වී 8 වල යන්නෙත්.’ ලොකු එකා පාඩමක් ආරම්භ කරන්නට වගේය.

‘ඔය වී 8 වාහන අපේ රටට ගැලපෙන ඒවා නෙවෙයි. හරිනි කේම්බ්‍රිජ්වල ඉගෙනගෙන ඇවිල්ලත් ඕවා දන්නෙ නැති එකනෙ පුදුමෙ. ඕවා පාවිච්චි කරන්නෙ දුර ගමන්, එහෙම නැතිනම් කඳු වගේ තැන්වල යන්න. නැත්තං තමන්ගෙ ට්රේලර්, බෝට්ටු වගේ දේවල් අදින්න. පවුලේ කට්ටියට බඩුබාණ්ඩ ටිකක් දාගෙන සවාරියක් යන්න. එහෙම නැතිව හරිනි කියවා වගේ ඕවා ආරක්ෂාව වැඩි වාහන නෙවෙයි. වංගු ගනිද්දි ලිස්සන්නෙ නැතිව අල්ලා හිටින ගතිය නම් වැඩියි.

දේශපාලකයින්ට ආරක්ෂාව සලසනවා කියන්නෙ වංගු ගනිද්දි පෙරළෙන්නෙ නැතිව යන එක නෙමෙයිනෙ. වෙඩි පාරවල්, බෝම්බ පාරවල්වලින් බේරගන්න එකනෙ. එහෙම ආරක්ෂාව ගැන බයක් තියෙනවා නම් පොලිස් ආරක්ෂාව ඉල්ලන්න තිබුණානෙ.

අනික් මිනිස්සු වී 8 වල යද්දි බලු කතා කියපු ජෙප්පො දැන් මොකද දන්නෙ නෑ කියන්නෙ?’ ලොකු එකා දේශනය අවසන් කළේය.

‘උන් පොලිස් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ බං. උන්ට ඉන්නවා රතු හමුදා බටයො. අනික මහපාරෙ මන්ත්‍රී කෙනෙක්වයි ආරක්ෂකයවයි මරාදාපු උන්ට ආරක්ෂාව කියන එක මොකක්ද බං?’ ලොකු මාමා පක්ෂයේ හිටි කාලයේ ලබාගත් දැනුම ප්‍රදර්ශනය කරන්නට ගත්තේය.

‘ඔහොම තමයි බං. ඕකුන් ඉස්සෙස්සරෝම පාර්ලිමේන්තු ආවෙ හයිඑස්ද කොහෙද වෑන් එහෙක. ඊට පස්සේ ඩබොල්කැප් ගත්තා. ඉස්සර ටයි කෝට් ඇන්දෙ නැති පුතයලා ඉන්දියා ගියේ ටයිකෝට් දාලා. වැඩේ කියන්නෙ ඉන්දියන්කාරයෝ ජාතික ඇඳුම ඇඳන් පොටෝ එකේ ඉන්නවා. අපේ පුතයලා ටයිකෝට් ගහන් ඉන්නවා. ඉස්සර ලපයි සිපයි කමිස කලිසම් ඇන්ද අප්පලා දැන් ලොකු ලොකු ජාතිවල කමිස කලිසම් සපත්තු නැතුව එළියට බහින්නෙ නෑ. දැක්කෙ නැද්ද හඳුන්නෙත්ති ලන්කට්වල හිල් කියද්දිත් ඇඳන් හිටිය කමිසෙ ඔපේ?

‘අනික් උන් වී 8 එකේ යනව වගේ ඇයි අපිටත් බැයිද කියලානෙ ඔය පෙන්නන්නෙ?’

‘ඉතිං ඒකත් හීන මානෙ තමයි.’ ලොකු මාමා කතාව නවත්තත්නේ නැතිවේ යැයි බය වූවාක් සේ ලොකු එකා මැද්දට පැන්නේය.

‘ඔහොම තමයි. එනකොට එන්නෙ තුත්තිරිගස් අල්ලගෙන, යනකොට යන්නෙ ගස්ගල් පෙරළගෙන කිව්වලු. තව බලයත් දීලා බලපල්ලා. එතකොට පෙනෙයි කණකොකාගෙ සුද.’

ලොකු මාමා පුටුවෙන් නැගිටින ගමන් කීවේය. එතකොටම චූටි එකා දොරට පයින් පාරක් දීගෙන මාරාවේසයෙන් ගෙට ඇතුළු විය. නැගිට්ට ලොකු මාමාට පුටුවේ ඉන්දවිණි.

‘මට ඇහුන යන්තමට සමහර දේවල්. දන්න මගුලක් නැතිව එනව මෙතන දේශපාලනේ කතාකරන්න. අනුර සහෝදරය වී එයිට් එකේ යන එකට උඹලට ඊරිසියයි නේද? අනික් උන්ට යන්ඩ හොඳ නම් එයා ගියාම මොකද? ංආ?’

‘නෑ බං ඒකෙ කිසි ගැලපිල්ලක් නෑනෙ. ඒකයි.’ ලොකු එකා උත්තර බැන්දේය.

‘ මොකක්ද කියාපං බලන්ඩ නොගැලපිල්ල?’

‘උන් කතාකරන්නෙ නිර්ධන පන්තිය, නාස්තිය, දූෂණය, වංචාව,  අරපිරිමැස්ම, පරිසරය වගේ දේවල් ගැන.’

‘ඉතිං?’

‘උන් ධනපතියව විවේචනය කරලා ධනපතියො මහන්තත්තකම පෙන්නන්න පාවිච්චි කරන වාහනේ ගමන් බිමන් යනව. අරපිරිමැස්ස ගැන කියන මිනිස්සු වී එයිට්වල යන එක එක ගැලපෙනවද? කොච්චර තෙල් පිච්චෙනවද? කොච්චර තෙල් අපතෙ යනවද? කොච්චර වැඩිපුර දුම් පිටවෙනවද? තේ පැට්ටේරියෙ මහත්තයත් දැන් වී එයිට් එක පැත්තකට දාල ඩිමෝ බට්ටගෙ යන්නෙ.’

‘මෝඩය, අනුර සහෝදරයා වී එයිට්ටෙකේ යන්නෙ ආරක්සාවට කියල හරිනි සහෝදරී අර මාධ්‍ය පොරට කොරවෙන්ඩ උත්තර දීලා තිබුණ දැක්කෙ නැද්ද?’

‘ගොනෝ වී එයිට්වල ගියා කියල ලැබෙන ආරස්සාවක් නෑ. ආරස්සාවට පාවිච්චි කරන්නෙ බුලට් පෲප් කාර්. ගෝටාබය මහත්තයට බෝම්බ ගහපු වෙලේ බේරුණේ බුලට් පෲප් කාරෙහෙක හිටි හින්ද.’

එවිට චූටි එකා හක හක ගා ඔලොක්කුවට හිනාවෙන්නට ගත්තේය.

‘ඔන්න පණ්ඩිතයා දන්න තරම. යකෝ පොරට ගහපු බෝම්බයක් නෑ. අපි සීන් එකට එන්ටර් වෙන්ඩ කලින් පොර පැනල ගියා.’ කියමින් චූටි එකා, ලොකු එකා දෙසට ඇඟිල්ගක් දික්කර නොනවත්වා හිනාවුණේය.

ඒ ඇසූ අපටත් හිනාව නවත්තෙගන්නට බැරි විය. ඒ නිසා දේශපෙලන මණ්ඩල සභා තොමෝ සතුටින් විසිර ගියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link