හරිනි ද රනිල් ද

Last Updated on 7 hours by admin

කුරු සහ පාණ්ඩව නමැති ප්‍රබල රාජධානි දෙක අතර සිදු වූ යුද්ධය, මහාභාරත කතාවෙන් විස්තර කෙරේ. ඉන්දියාවේ උපන් හින්දු ආගමිකයකු, ‘එය ප්‍රබන්ධ කතාවක් යැ’යි පවසා ඇත්තේ, රට බ්‍රිතාන්‍යයින්ට යටත් වීමෙන් පසුවයි. ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා උගතුන් යැයි සම්මත වූ ඔවුන් අති විශේෂ ස්වදේශිකයන් පිරිසකි. මහාවංශයේ සඳහන් ඉතිහාසය බොරුවක් බව කියමින් පාලි වංශකතාවට ගරහන්නේද එවැනි පිරිසකි. උගතුන් යැයි සහතිකය ඇති ඔවුන් ජාතියේ ඉතිහාසය පාවා දෙන මොන තක්කඩි වැඩක් කළත් ඉවසා සිටීම හැර මහජනයාට කරන්නට පුළුවන් දෙයක් නැත. ඊට හේතුව යටත් විජිත ක්‍රමය විසින් මහජනයා නූගතුන් යැයි තහවුරු කර තිබීමයි. ලංකාවේ සංඝ ශාසනය දුර්වල වූයේත් මේ උපායෙනි.

මහාභාරතය යුද කතාවකි. අතීතයේ සිදු වූ මෙවැනි යුද්ධ අධ්‍යයනයේදී පැහැදිලි වන්නේ බුද්ධිමත් වීරයින් ජයග්‍රහණය ලැබූ බවයි. ගැමුණු කුමාරයා එවැන්නෙකි. එතුමා එළාර පැරදුවේ ද්වන්ද සටනකිනි. බටහිරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයට හා මාක්ස්වාදයට අනුව, නායකයින් අතර ද්වන්ද සටන් සිදු විය නොහැකිය. යටත් විජිතයක්ව පැවති ඕනෑම රටක, මහජනයා මුළා කිරීමට වඩාත් බොරු කියන වඩාත් අධිරාජ්‍ය ගැති කපටි දේශපාලනඥයින්ට, රාජ්‍ය බලය ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. යම් නායකයෙකු හෝ නායිකාවක රට දැය සමයට ඇලුම් කරයි නම්, එවැන්නා විනාශ කිරීමට කුමන්ත්‍රණ, මහජනයා උසිගැන්වීම් සිදු වේ.

මහාභාරත කතාව, යුධීශ්ථිර, භීම, අර්ජුන, නකුල සහ සහදේව යන පාණ්ඩව කුමරුන් පස් දෙනා මුල්කර ගොඩනැගෙන්නකි. රාජ්‍ය වියවුලක් නිසා වනගතව වෙසෙන ඔවුහු, පංචාලයේ රජ දුවගේ ස්වයංවර උත්සවය ගැන සැලව එහි යති. රජ කුමාරවරුන් විශාල පිරිසක් සහභාගි වූ දුන්නෙන් විදීමේ තරගයෙන් අර්ජුන ජයග්‍රහණය කළේය. එනිසා රජ්ජුරුවන්ගේ දුව දෞපදී ඔහුට හිමි විය. ඇය කැඳවාගෙන වනාන්තරයේ පිහිටි නිවහනට ගිය ඔවුහු, ‘මහාර්ඝ වස්තුවක් ගෙනා බව’, මව – කුන්තිට කීහ. ‘පස් දෙනාම එය බෙදාගන්නැ’යි ඇය කීවාය.

දෙමව්පියන්ට කීකරු වීම පෙරදිග දරුවන්ගේ සිරිතකි. පාණ්ඩව සොහොයුරෝ මවගේ කීම අසා දෞපදී අඹුව වශයෙන් පිළිගත්හ. මෙවැනි ක්‍රියාවක් කාන්තා ‘ලිබරේෂන්’ දර්ශනයට අනුව බරපතල අපරාධයකි. කසාදය පිළිගත් ක්‍රිස්තියානි සංස්කෘතියට අමු අසභ්‍ය ක්‍රියාවකි. එහෙත් ආදරය පිළිබඳ පෙරදිග දෘෂ්ටිය ඊට වෙනස් එකක් වූයේය. හින්දු සංස්කෘතියට දෞපදී අභිමානවත් කාන්තාවකි. ඇය පාණ්ඩව සොහොයුරන් පස්දෙනාටම එක සේ ආදරය කළාය.

උඩරට රාජධානියේ සොහොයුරන් කිහිප දෙනෙකු එක අඹුවක සමග ජීවත් වීමේ සිරිත පැවතිණි. එය ‘එකගෙයි කෑම’ වූයේය. මෙය තනිකරම යුද චාරිත්‍රයකි. හැම පවුලකින්ම පිරිමියෙක් දෙන්නෙක් යුද්ධයට ගියහ. දරු පවුල රැකීම පවුලේ බාලයට පැවරුණි. නිවෙසක උරුමය පවුලේ බාලයාට ලැබිය යුතු යැයි මෑතක් වන තුරුම සිංහලයෝ පිළිගත්හ.

අරාබි සංස්කෘතිය ඊට වෙනස්ය. මොහොමඩ්තුමා භාර්යාවන් නව දෙනකු පාවා ගත්තේය. තරුණ වියේ පසු වූ එතුමාගේ පළමු විවාහය මැදි වයසේ වැන්දඹු කාන්තාවකි. මැදි වයසට පත් එතුමා බාල දැරියක විවාහ කරගත්තේය. යුද සංස්කෘතියක් පැතුරුන අරාබියේ පිරිමින්ට ගැහැණුන් හතර දෙනකු විවාහ කරගැනීමට කුරාන නීතියෙන් අවසර ලැබුණි. අනාගත යුද සෙබළුන් කිරීමට වැඩියෙන් දරුවන් හැදීම එහි අර්ථය බව ඇතැමුන් පැහැදිලි කර තිබේ.

ලංකාවේ දරු උපත් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව පසුගිය සිකුරාදා (10) රූපවාහිනී නාළිකාවලින් ප්‍රකාශයට පත් විය. එහෙත් එහිදී වැදගත්ම කාරණය කියැවුනේ නැත. ඒ, ‘ලොකුම හානිය සිදු වී ඇත්තේ සිංහල ජාතියටය’ යන ඇත්තයි. ‘පුංචි පවුල රත්තරන්’ කියමින් ගෙන යන ලද සිංහල ජාතිය දුර්වල කිරීමේ කුමන්ත්‍රණය සාර්ථක වී තිබේ. පළමුව උගත් සිංහලයෝ ඊට හසු වූහ. ඔවුන්ගෙන් පසුව, ගැමියන්ගේ හා දිළිඳු සිංහලයන්ගේ දරු උපත් සීමා කරන ලදි. රුපියල් 500ක් ලබාගන්නට වඳ සැත්කමට ඉඩ දුන් පිරිමි බොහෝය. පවුල් සෞඛ්‍ය සේවිකා වෘත්තිය පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථය සිංහල කාන්තාවන් උත්පත්ති පාලනයට පෙළඹවීමයි. ‘රට විරුවන්’ යැයි මුරුංගා අත්තේ තියා මැද පෙරදිග රැකියාවලට යාමට පොළඹන ලද කාන්තාවන්ට ගැබ්ගැනීම කරදරයක් විය.

යටත් විජිතයේ වැසියාට උරුමය ගැන ලැජ්ජාවක් ඇති කිරීම, යටත් රටවලට බටහිර අධ්‍යාපනය හඳුන්වා දුන් විජිතවාදීන්ගේ පරමාර්ථයකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඇරඹි පේරාදෙණි විශ්වවිද්‍යාලය නිදසුනකට ගතහොත්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කලක් එහි සිංහල අංශයේ අධිපතියා වූයේය. ඔහු රටේ ජනප්‍රිය වූයේ ‘මනමේ’ නාට්‍යය නිපදවීමෙනි. සරච්චන්ද්‍ර මනමේ නාට්‍යය නිර්මාණය කළේ චුල්ල ධනුද්ධර ජාතක කතාව කණපිට හැරවීමෙනි. ජාතක කතාවේ හැටියට තරුණ කුමරිය සමග කැළෑ මාර්ගයේ එන කුමාරයාට වනවාසී නායකයාගේ නරක හැසිරීම නිසා ඔහු පරාජය කිරීමට සිදු විය. කුමාරයා සතුරාව බිම හෙළා, ‘ඔය කඩුව දෙන්න මූව ඉවරයක් කරන්නැ’යි කුමාරියට කීවාය. වනවාසියාගේ ශරීරය දැක රාගයෙන් මත්ව සිටි ඇය, කඩු මිට ඔහුට දික් කර කඩු තලය පැත්ත කුමාරයට පෑවාය. වනවාසියා කඩුව ඇදගෙන කුමාරයාව කොටා මැරුවේය. එය චපල ක්‍රියාවක් බව තේරුම් ගත් වනවාසියා, කුමරිය පලවා හැරියේය.

සරච්චන්ද්‍රගේ නාට්‍යයෙන් පෙන්වන්නේ, ජාතක කතාවේ චපල ක්‍රියාවක යෙදෙන තරුණිය යුක්ති ගරුක කාන්තාවක ලෙසට හා මනමේ කුමාරයා අශීලාචාර මිනිසකු ලෙසටයි.

සරච්චන්ද්‍ර වැනි උගතුන් බිහි කිරීම යටත් විජිත අධ්‍යාපනය මඟින් කාලයක පටන් සිදු කෙරෙන්නකි. ඒ හැම දෙනාම කරන්නේ සිංහලයන්ගේ මොළ කෙළසීමයි. ඒ ආකාරයට පොදුජන මොළ කෙළෙසෙන කටයුතුවල යෙදෙන උගතුන්ට, මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට නොයෙක් වාසි ලැබේ.

ජවිපෙට රිංගවා සිටි ඔත්තුකරුවන් පිරිස රෝහණ විජේවීරට විරුද්ධව කැරැල්ලක් ඇති කළහ. විජේවීර අත්අඩංගුවේ සිටියදී විද්‍යෝදයට රැස්වී ඊට දිනය හා වේලාව නියම කළ ඔවුහු සැඟවුනහ. සමහරු පන්සල්වලට පැන සිවුරු පොරවා ගත්හ. සටන් බිමේ මියගිය හා වනාන්තර ගත වූ පිරිස් ගැන සැබෑ තොරතුරු ප්‍රසිද්ධ වී ඇත්තේ අල්පයක් පමණි. යළි ගොඩනැගුණු ජවිපෙ නායකයින් සියලු දෙනාම ප්‍රේමදාසගේ පාලන සමයේ ඝාතනයට ලක් විය.

ජවිපෙට වෙස් මුහුණක් දමා හැදූ මාලිමාව විජේවීරගේ සතුරන් රාශිගත වූ තැනකි. ජවිපෙ නමින් දේශපාලන සංවිධානයක් ගොඩනැගෙන්ඩ හේතුව එහි වර්තමාන සාමාජිකයන් බොහෝ දෙනෙකුට නොවැටහේ. රට දැය සමයට ද්‍රෝහිවීම යුගයේ කාර්යභාරය යැයි එහි සමහරු සිතති. 1971 කැරැල්ල සමයේ, ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක වයස අවුරුදු දෙකක දරුවෙකි.

ඉන්දියානු සංචාරයේ දී අනුර ජනාධිපති ප්‍රදර්ශනය වූයේ මෝදිගේ ගෝලයෙකු සේය. උපනායකයෙකු වශයෙන් ඔහු සමග එහි ගිය විජිත හේරත් යුරෝපීය ඇඳුමට හා ඉංග්‍රීසි කතාවට දක්වන ඇල්මෙන් පෙන්වන්නේ ඔහු හීනමානයෙන් පෙළෙන්නෙකු බවයි.

ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු වැනි පිරිමි කටහඬින් ගී ගැයූ ගායකයෝ ලංකාවේ විසූහ. ඇතැම් විචාරකයෝ හැකි වැර යොදා ඔවුන්ට පහර ගැසූහ. ඒ සමග ගැහැණු කටහඬින් ගී කියන පිරිමි ගායකයින්ගේ පරපුරක් ඇති විය. පුරුෂයාගෙන් ස්ත්‍රිය සැදීම සහ ස්ත්‍රියගෙන් පුරුෂයා සැදීම බටහිරුන්ගේ ක්‍රියාවකි. ඊට හසුවන රටවලට හිස එසවීමක් නැත. හරිනි බැරි නම් රනිල් රටේ නායකත්වයට බවට පත් කරන්නට වෙහෙසෙන බටහිරුන්ගේ යටි අරමුණ සමනළයෙකුට බලය ලබාදීමයි.

චීනය පාසැල් ළමුන්ට තෑගි දුන් රෙදි භාරගැනීමට ගිය අගමැති හරිනි අමරසූරිය, මහජන චීනයේ කොටසක් වූ පෝර්මෝසා, චීනයක් ලෙස හැඳින්වූවාය. එය අත්වැරදීමක් විය නොහැකිය. චීනය දුර්වල කිරීම ඉන්දියාවට වඩා අවශ්‍යව ඇත්තේ බටහිරුන්ටය. එනිසා අනුර දිසානායක වෙනුවට හරිනි අමරසූරිය රාජ්‍ය නායකත්වයට සුදුසු යැයි සිතීම විකාර අදහසක් නොවේ. රනිල් වික්‍රමසිංහ මුදුනේ තබා එජාපය හා සමගි ජන බලවේගය පූට්ටු කිරීමත් ඔවුන්ගේම සැලැස්මකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link