Last Updated on 1 week by admin
දහසක් සිතුවිලි පහල කරන බාලසූරියගේ ආචාර්ය උපාධි සමරු ඡායාරූපය
මහාචාර්ය සරත් විජේසූරියගේ ’විනයක් නැති රටක්’ පොතේ අවසාන පරිච්ඡේදවලින් හොර ආචාර්ය උපාධිකාරයින්ව විවේචනය වේ. හොර ආචාර්ය උපාධිකාරයින් නිසා හැබෑ ආචාර්ය උපාධිකාරයාටත් පාඩුවක් වන බව ඔහුගේ අදහසයි. ’ආචාර්ය පට්ටම සමග මෙරට තුළ ඒ ඒ පුද්ගලයන්ට හොඳ සිවිල් බලයක් හිමි වේ. එය ව්‍යවහාරයට ගැනෙන්නේ ඩොක්ටර් යනුවෙනි.’ (පිටුව 306)
රටකට උගතුන් වුවමනා කෙරේ. සහතික පදනම් කරගෙන උගතුන් හැදීම බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය විසින් හඳුන්වා දෙන ලද්දකි. එදා අධිරාජ්‍ය විරෝධීන් වශයෙන් කටයුතු කළ ඇතැම් සිංහලයෝ මේ ක්‍රමයට විරුද්ධ වූහ. ’පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්ඩ බෑ’ කීව්වේ ඔවුන්ය. නමුත් ඔවුන්ගේ හඬ මැරී ඉංග්‍රීසිකාරයාගේ උවමනාව රටේ පැතිරුණි. ලංකාවට මාක්ස්වාදය හඳුන්වා දුන්නේත් එංගලන්තයට ගොස් ‘ඩොක්ටර්’ සහතික ලබා පැමිණි තරුණයින් කිහිප දෙනෙකි.
ඩොක්ටර්ලාට පිටරටවලදීත් හපන්කම් කිරීමට පුළුවන. අප්‍රිකාවේ රටක උසස් රැකියාවක් කරමින් සිටි මා දන්නා ශ්‍රී ලංකා ආචාර්යවරයෙක් දිනක් වේගයෙන් රථය පදවා පොලිසියට අසු විය. ඔහු වෛද්‍යවරයෙකු නොවේ. නමුත් විදේශ ගමන් බලපත්‍රයේ නමට මුලින් ඩොක්ටර් යයි සඳහන්ව තිබුණි. හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා ආරෝග්‍ය ශාලාවෙන් කැඳවූ නිසා වේගයෙන් පැමිණි බව ආචාර්යවරයා නිලධාරීන්ට කීවේය. වාහනේ නතර කිරීම ගැන කණගාටුව ප්‍රකාශ කළ පොලිස් භටයෝ ‘ඩොක්ටර් ඉක්මනට යන්න’ කියා ඔහුව පිටත් කළහ.
ඉංග්‍රීසි පාලකයින්, උගත් සිංහල ගැමියා සහ සිංහල සමාජයට අනුශාසනා කළ භික්ෂුව බිමට දැමීමට ආයුධය කරගත්තේ අධ්‍යාපන සහතිකයයි. කැලේ ගසක් නැසීමට කැලේ ගසක් යොදවනවා යැයි ප්‍රස්ථාව පිරුළක් තිබේ. අදටත් ගැමියා සහ භික්ෂූන් වහන්සේ ගොඩනැගූ සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්නේම උගතුන්ව යොදා ගෙනයි. ඉස්සර හැම පන්සලකම කැලෑවක් තිබුණි. හතර පේරුවේ දායකයෝ පන්සලට දානේ ගෙන ගියහ. පන්සලේ කුඹුරු තිබුණි. මේ හැම ක්‍රමයකින්ම ලැබුණු ආහාරවලින් පන්සල් කැලයේ සිටි සත්තු ජීවත් වූහ. සහතිකය බලවත් වූ පසුව හාමුදුරුවරුන්ටත් කෑලෑව රුස්සන්නේ නැතිව ගියේය.
දැන් රටේ ශාසනය බාර බුද්ධ ශාසන ඇමති කෙනෙක් හා උප ඇමති කෙනෙක් සිටිති. බුද්ධ ශාසන ඇමති හිනිදුම කල්වාරිය බෞද්ධ ක්‍රිස්තියානි සහජීවනය බව කියමින් බේගල් වපුරයි. ඊයේ පුවත්පත් බොහෝමයක මුල් පිටුවේ සඳහන් වූයේ ‘රටපුරා රිලවුන්ට වඳ සැත්කම් අද අරඹන බව’ කියන බුද්ධ ශාසන උප ඇමතිගේ ප්‍රකාශයයි. මෙය පව්කාර වැඩකි. බුද්ධ ශාසන ඇමති එහි පෙරමුණේරාළ වීම බුදුසසුනට පහර ගැහීමේ ක්‍රියාවකි. ප්‍රසිද්ධියට කෑදර සමහර හාමුදුරුවරු රිළවුන් වඳුරන්ට විරුද්ධව ඝෝෂා නගති. භික්ෂූන් ලෙබ්බේවරුන්ගේ තත්වයට පත්වීම සැදැහැවත් බෞද්ධයා අසරණ කරන්නකි.
ජයසිංහ බාලසූරිය වයඹ ගොවි පදනම නමින් එන්ජිඕ කාර්යාලයක් පඬුවස්නුවර නගරයේ පවත්වා ගෙන ගියේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නොතිබුණ ඔහු බොහෝ දක්ෂකම් තිබුණු පුද්ගලයෙකි. ජයසිංහ පසු කලෙක සිය කාර්යාල කාමරයේ විශාල ඡායාරුපයක් එල්ලා ගත්තේය. එහි වූයේ උපාධි ඇඳුම් කට්ටලයෙන් සැරසී රවුම් කළ සහතිකය අත් දෙකෙන් අල්ලාගත් ඔහුගේ රුවයි. දිනක් ඒ දෙස මා බලා සිටිනු දුටු ජයසිංහ, ‘උවමනා කෙනෙක් ඉන්නව නම් ආචාර්ය උපාධියක් අරගෙන දෙන්ඩ පුළුවන්. ලක්ෂ දෙකක් යනව’ කියමින් හයියෙන් සිනාවෙන්නට ගත්තේය.
ජයසිංහ කී ආචාර්ය උපාධි ආයතනය පවත්වා ගෙන ගියේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කුලපතිවරයෙකුගේ සොහොයුරෙකු බව ඔහුගෙන් දැනගන්නට ලැබුණි. එතැනින් ආචාර්ය උපාධි ගත් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් වැලක්ම ඔහු කීවේය. ඉන් බොහෝ දෙනෙකු ඒ කාලයේ රජයේ ආයතනයන්හි උසස් තනතුරු දැරූ අයයි. පළාත් ආණ්ඩුකාරවරයෙක්ද ඒ අතර විය.
සුනිල් රණසිංහ, බාලසූරිය නිසා මා හඳුනාගත් අයෙකි. ඔහු පුද්ගලික හේතුවක් නිසා කලක් මගේ නිවසේ නැවතී සිටියේය. ඔහු මාධ්‍යවේදී ප්‍රේමසිරි වැවේගෙදර සමග උස්තාද් ඩේවිඩ් පොඩිඅප්පුහාමි හමුවීමට ඉන්දියාවට ගියේය. උස්තාද්ට පෙරළා ලංකාවට ඒමට නොහැකි වූයේ සුනිල් නිසාය. පසු කලෙක ආචාර්ය සුනිල් රණසිංහ නමින් ඔහුගේ ඡායාරූපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබුණි. ඒ යටින් ඔහු, ලහෝර් විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යා ආචාර්ය උපාධිය ලබා ඇති බව සඳහන් විය. ඔහු ආචාර්ය උපාධිය ලැබූ බව කියන වර්ෂය වන විට එම විශ්වවිද්‍යාලය ආරම්භ කර වත් තිබුණේ නැත. සිංහලයින්ට පහර දෙන ලිපි සුනිල්ගේ නමින් ටැමිල් ගාඩියන් වැනි මාධ්‍යවල පළ වී තිබේ. ලංකා පුරාවිද්‍යාවේ පියා වශයෙන් ප්‍රසිද්ධ එච්. සී. පී. බෙල් තොප්පියක් පැළැන්දේය. එය පුරාවිද්‍යාඥයින්ට මෝස්තරයක් වුයේ මහාචාර්ය සෙනරත් පරණවිතානත් ඊට සමාන තොප්පියක් පැළැන්ද නිසාය. මහාචාර්ය රාජ් සෝමදේවත් ඊට සමාන තොප්පියක් පළඳියි. සුනිල්, චීන ක්‍රමයේ තොප්පියකින් සැරසී සිටියේය. පසු කලෙක ආචාර්ය සුනිල් චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් සම්මාන ලබන හැටි රූපවාහිනියෙන් දකින්නට ලැබුණි.
ආචාර්ය උපාධිය හොඳටම හෑල්ලුවෙන්ඩ පටන් ගැනෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ආචාර්යවරයෙකු වීමෙනි. ඊට පසුව දේශපාලනඥයින් භාවිත කරන ආචාර්ය උපාධි ගැන සැකෙන් බැලීමට මිනිසුන් පුරුදු වූහ. මාලිමා ආණ්ඩුවේ කතානායකවරයාගේ උපාධිය ගැන රටම උනන්දුවක් දක්වන්ට විය. අද ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඒ සහතිකය හොයාගන්නට බැරි වුනා කියා බොරුවක් කියාගෙනයි. කතානායකගේ උපාධි ප්‍රෝඩාව කොයිතරම් වියරුවීද යත් මාලිමා ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙක්ම මැතිවරණයට පෙර පෙන්වු ආචාර්ය උපාධිය කකුල් අස්සේ ගසාගෙන සඟවති. මේ අතර අගමැති ආචාර්ය හරිනි අමරසූරියව විවේචනය කිරිමට ඇතැමුන් පෙළඹී සිටිති. ඊටත් හේතු තිබේ.
චීනය 2025 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කළාය. මාධ්‍ය වාර්තා අනුව ඒවා බාරගැනිමේ උත්සවයට හරිනි අගමැතිවරිය වෙලාවට ගොස් නැත. උත්සවයකට වෙලාවට නොයාම චන්දිකා කුමාරතුංග ජනපතිනියට තිබුණ අසනිපයකි. ඇය මේ ලෙඩේ නිසා වැටුණු අමාරුව සමහර රටවැසියන්ට තවම මතකය. කල් මරා උත්සවයට පැමිණි අගමැතිවරිය චීනයෙන් සමාව නොලැබෙන වරදක් කළාය. ඇය චීනයට ප්‍රශංසා නොකර තායිවානයට ප්‍රශංසා කළාය.
ලෝකයේ ඇත්තේ එක චීනයක් බව ලංකාව පිළිගනියි. තායිවානය චීනයක් වශයෙන් චීනය පිළිනොගනී. නමුත් තායිවානයත් තම රට චීනය (Republic of China) බව කියාගනියි. මෙය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයකි. ලංකාවට බරපතල හානියකි. ආචාරිනියක් වුවත් ඇයට වරදින්නට ඇතැයි මාලිමාකාරයෙකුට කීමට පුළුවන. නමුත් චීනය එය කෙසේ බාරගනීද යන්න ගැටලුවකි. වඩාත් ලොකුම ප්‍රහේලිකාව අනුර දිසානායක ජනපති සහෝදරයා හෙට ඉන්දියාවේ සංචාරයක යෙදෙන හේතුවෙනි. ඇය, ජනාධිපති වෙනුවෙන් මෙම ක්‍රියාව හිතාමතාම කළ දෙයක් යයි සමහරු හිතන්නට පුළුවන. මෙය වැරදීමක් හෝ නොදැනුවත්කමින් සිදුවූවක් නම් ඇයගේ ආචාර්ය පට්ටම ගැනත් සැක මතු වේ. ආචාර්ය උපාධි සඳහා අනුන් ලවා නිබන්ධන ලියවා ගැනීම ඉතා ප්‍රකට සිදුවීමකි.
ආචාර්ය උපාධි සහතිකය පෙන්නීමට අසමත්වුවොත් කතානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු සැරසුණි. එවිට මාලිමාවේ ඇතැම් ඇමතිවරු මැතිසබයේ තමන්ට හිමි වැඩි ආසන සංඛ්‍යාව ගැන කියමින් ඔවුන්ට සරදම් කළහ. එය දුටු සමහරු අශ්වයාට අං ලැබීමේ උපමාව සිහි කළහ.
විරුද්ධ පක්ෂය කතානායකට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ එය ජයග්‍රහණය කළ නොහැකි බව දැන දැන බව කවුරුත් දනියි. ඔවුන් එමගින් උත්සාහ කරන්නේ ජනතාව දැනුවත් කිරීමටයි. මාලිමාව හොරමැරකම් තක්කඩිකම් වංචා දූෂණ පිටුදැකීමේ චින්තනයක් ඉදිරිපත් කළ දේශපාලන සංවිධානයකි. උගත් යහපත් ගුණවත් පුද්ගලයින්ට රටේ පාලනය භාර දීමෙන් යුක්තිගරුක රටක් හා සමාජයක් ඇති වේය යන විශ්වාසය මහජනයා තුළ ඇති කිරීමට ඔවුන්ට හැකි විය. විශ්වාස භංගයේ පරමාර්ථය වුයේ මාලිමාව ජනතාවට බොරු කී දේශපාලන සංවිධානයක් බව පැහැදිලි කිරීමයි. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නේය.