Last Updated on 1 week by admin
සෑම් සෙනෙවිරත්න
ලෝක යුද්ධය කාලයේ හාල් සලාක පොතක් Pic. credit: notes.lakdiva.org.lk
‘මහින්ද හොරා’, ‘225ම හොරු’ සටන් පාඨ යට ගොසිනි. අලුතින් එළියට පැමිණ ඇත්තේ නිදහසින් පසු 76 වසරක් පුරාවට සිටි දේශපාලකයින් රට කෑමේ කතාවයි. මෙසේ සටන් පාඨ අලුත් කිරීම ‘මැණික්ගල් යට යයි ගොමරිටි මතු වෙයි’ උපහැරණයට සම්බන්ධ කළ නොහැක. රන්ජන්ගේ භාෂාවට දැම්මොත් ’ඒකත් බොරු මේකත් බොරු ඔක්කොම බොරු මල්ලි’ය.
උසාවි නීතියට අනුව, චෝදනාව ඔප්පු කෙරෙන තෙක් විත්තිකරුවාට වාසිය ඇත. උගන්ඩාවට ගෙන ගිය ඩොලර් කඳු, මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම මිලදී ගැනීම ආදි කතා තරුණ පරපුර ඇන්දවීමට ගෙතූ පට්ට බොරු බව බොහෝ වැඩිහිටියන්ට වැටහේ. අටළොස් අක්ෂෝහිණියක් පච බේගල් හා මුසාබස් කියා බලයට ආවද රට කරන්නට දැනුමක් හෝ සැලසුමක් මාලිමාවට නැත. මහින්ද රාජපක්ෂගේ ගිලන් රථය ආපසු ගැනීම, ආරක්ෂාව අඩුකිරීම ආදියෙන් පොඩි චූන් එකක් දෙන අතර 76 අවුරුද්දක් කෑ රටක් ගොඩනැගීම පහසු නැති බව කියමින් මෝඩයින් තවදුරටත් ඇන්දවීමට පුළුවන් බව මාලිමාව දනී.
නිදහසින් පසු රට කළ හැම දෙනාම කළේ රටට හතුරුකම් යැයි කියන්නා රට වෙනුවෙන් සිය කාලය ධනය ශ්‍රමය වැය කළ හිටපු දේශපාලකයින් සැමටම නින්දා කරන්නෙකි. ඒ කතාව කියන අසන හා අදහන බාලයින්ගේ ඉතිහාසය සෙවුවහොත්, ඔවුන්ගේ අම්මලා පුංචි අම්මලා, තාත්තලා බාප්පලා, කන්නන්ගර, බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, යූ.බී. වන්නිනායක වැන්නවුන් බලයට පත්කිරීමට වෙහෙසුන අවංක මනුෂ්‍යයෝ වෙති. ජවිපෙ දේශපාලනය නිසා භීෂණයට ගොදුරු වූ දරුවන් නිසා වැඩිපුරම දුක්වින්දේ ඔවුන්ගේ දෙමව්පියන්ය. මේ මෝඩයින් දේශපාලනයේ නාමයෙන් කරන්නේ තමන්ගේ මව් පියන්ට අපහාස කිරීමයි.
හොරුන් වංචාකාරයින් පාදඩයින් දේශපාලනයට ආවේ 77 මනාප ක්‍රමය හා 87-89 ජවිපෙ භීෂණයට පසුවයි. යමෙකුට 76 වසරේ සාපය ගැන කතා කරන්නට හැක්කේ ඉතිහාසයේ තවත් වසර ගණනාවක් ආපසු ගොස් 1817 වසරෙන් ඒ කතාව ඇරඹීමෙනි. 1817 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව දේශප්‍රේමීන් ඇරඹූ සටන පරාජය කරන ලද්දේ රට අමුසොහොනක් කිරීමෙනි. ‘උඩරට මහ කැරැල්ල’ පොත ලියූ මහාචාර්ය තෙන්නකොන් විමලානන්ද, බ්‍රිතාන්‍ය පාලන වාර්තා උපුටා දක්වමින් ඒ මහා සංහාරය පිළිබඳ තොරතුරු සපයයි.
රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ හමුදාව කැරැල්ල මඩින මුවාවෙන් සිංහලයින්ගේ ගබඩාගම වශයෙන් ප්‍රසිද්ධව තිබූ වෙල්ලස්සේ සියලු වාරි කර්මාන්ත විනාශ කළේය. එහි බිත්තර වී ඇටයක් ඉතුරු නොකළේය. වයස අවු. 14ට වැඩි සියලු පිරිමින් ඝාතනය කෙරිණි. සාගතය හා වසංගත පතුරුවා හැරිණි. වාරි කර්මාන්ත විනාශ කිරීම බ්‍රිතාන්‍ය හමුදවේ ප්‍රධාන යුද උපක්‍රමය විය. ඒ මගින් මිනිසුන් දුබල කර සටන් හැකියාව දුර්වල කළ හැකි බැවිනි. මේ ආකාරයෙන් රට පුරා හැකි හැම තැනකම වාරි කර්මාන්ත විනාශ කිරීම බ්‍රිතාන්‍යයෝ දිගටම කරගෙන ගියහ. රටේ බොහෝ තැන්වල වැව් දෙකඩ කරමින් පාරවල් සාදා ඇත්තේ බ්‍රිතාන්‍ය කාලයේය. කුරුණෑගල සිටි හලාවත දිවෙන මාර්ගය සරල උදාහරණයකි. එය දමා ඇත්තේ කුරුණෑගල තිත්තවැල්ල වැවේ සිට හලාවත මුන්නෙශ්වරම වැව තෙක් වැව් දුසිම් ගණනක් දෙකඩ කරමිනි.
මෙයින් ජනතාවට කෑමට සහල් හිඟ විය. එකල තිබුණේ අද මෙන් රොඩු හාල් නොවේ. යහගුණ සපිරි පෝෂ්‍යදායී සහල්ය. බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ඉලක්කය වූයේ ඔවුන්ට මුදල් ඉපැයිය හැකි වානිජ බෝග වගාව ව්‍යාප්ත කිරීමයි.
දෙවැනි ලෝක යුද්ධය අවස්ථාවේ රටේ උග්‍ර සහල් හිඟයක් ඇති වූයේය. ගම්වල බඩගින්න පැතිරුණි. වන්නියේ ජනයා දරුවන් රැක්කේ කරකොළ කැවීමෙනි. ඔවුහු ඉඳි, කෙහෙල් බොඩ කෑහ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව රටවැසියන්ට සලාක සහනාධාර දීම පටන් ගත්තේ මේ අහේනියට පිළියමක් වශයෙනි.
මුලින් ලංකාවේ ව්‍යාපාරවලින් බ්‍රිතාන්‍යයින්ට දිගින් දිගටම ලාබ ලැබුණද අවසාන අවුරුදු 20න් 10ක්ම පාඩු විඳින්නට සිදු වූ බව පැරණි මූල්‍ය වාර්තාවලින් පෙනෙයි. ලෝක යුද්ධ දෙක ඊට හේතුවයි. අවසානයේ ලංකාව රටේ මිනිස්සුන්ට භාරදී ඇඟ බේරා ගැනීම නුවණට හුරු බව සුද්දන්ට වැටහී තිබුණා විය යුතුය.
සුද්දන්ගෙන් රට භාරගත් ඩී.එස්. සේනානායක ඇතුළු පිරිස මුහුණ දුන් ලොකුම අභියෝගයක් වූයේ ජනතාවට ආහාර සැපයීමයි. ඔවුන් ගල්ඔය ව්‍යාපාරය අරඹන්නට ප්‍රධාන හේතුව එයයි. සුද්දා විනාශ කළ වෙල්ලස්ස ප්‍රදේශය නැවත අස්වැද්දීම ඔවුන්ගේ අරමුණ විය. එහිදී ඇති වූ fදා්ෂය නම්, විජාතික උපදේශකයන්ගේ කුමන්ත්‍රණකාරී උපදෙස් පිළිගෙන අලුතින් වැව් නිර්මාණය කිරීමයි. මේ නිසා බ්‍රවුන්රිග් විනාශ කළ පැරණි වාරි කර්මාන්තයන්හි නටබුන්ද ඩෝසර් වී අතුරුදහන් විණි.
ගල්ඔය ව්‍යාපාරයෙන් පසුව, මහවැලි ව්‍යාපාරය ඇරඹුණි. 1977 දී එය කඩිනම් මහවැලි ව්‍යාපාරය බවට පෙරළිණි. මේ සියල්ලේ එක් මූලික අරමුණක් වූයේ රටට අවශ්‍ය සහල් රටේ නිපදවා ගැනීමයි. විදුලි බලය ලබාගැනීම, ගංවතුර පාලනය, නව ජනාවාස පිහිටුවීම වැනි අරමුණුද ඊට අයත් විය.
රට වැඩිවැඩියෙන් ණය ගන්නට පෙළඹුණේ මේ දැවැන්ත ව්‍යාපෘති සහ සහනාධාර ආර්ථිකය නිසාය. මේ ව්‍යාපෘති වෙනුවෙන් විදේශ රටවලින් යම් ආධාර ලැබුණද රටේ මුදලින් වැය කෙරුණු ධනස්කන්ධය සුළුපටු නොවේ. ඒ මුදල් බොහෝ විටම සපයාගත්තේ ණය ගැනීමෙනි.
ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය ඇරඹුණු දා පටන්ම වමේ නායකයිගෙන් එල්ල වූයේ බාධාවන්ය. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ‘ගතයුතු මග’ පොත මගින් ගල්ඔය ව්‍යාපාරයේ වැරදි කීවේය. සිංහලයන්ට ලෝකය ගැන ඉතා අඩු දැනුමක් පැවති ඒ කාලයේ ගතයුතු මග පොතේ ගල්ඔය ව්‍යාපාරය ගැන පරිච්ඡෙදයෙන් කියා ඇත්තේ සුළුපටු බොරු නොවේ. ඇමරිකාවේ ‘ටෙනසි’, අසාර්ථක ජල ව්‍යාපාරයක් බවත් ඇමරිකාවේ උපදෙස් පරිදි එවැනි ජල යෝජනා ක්‍රමවලින් වත දැමූ යන්ත්‍ර සූත්‍ර පවා ගල්ඔයට ගෙනා බව එහි සඳහන් වේ.
වමේ නායකයින් මෙහෙයවූ කෙළවරක් නැති වැඩවර්ජන හා කඩාකප්පල්කාරී වැඩ නිසා රට සංවර්ධනය කිරීම පහසු නොවිණි. ඒ කාලයේ ලංකාවේ ලොකුම කර්මාන්ත ශාලාව වූ වැල්ලවත්ත රෙදි මෝල වමේ සමිතියේ නායකයා කොස්තාය. ඔහු අවුරුද්දක් තිස්සේ වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය මෙහෙයවූයේය. බණ්ඩාරනායක සමයේ කොළඹ වරායේ අවුරුද්දකට වැඩි කාලයක් නොකඩවා වර්ජන තිබුණි. රජ කාලයේ පටන් කොළඹ වරායට තිබුණු කීර්තිය අහිමි වූයේ එයිනි.
1977 විවෘත ආර්ථිකය හඳුන්වාදී දේශීය නිෂ්පාදනය වැට්ටවීම ආර්ථිකය කඩාවැටීමේ තීරණාත්මක මංසන්ධියකි. එනිසා පිටරටින් බඩු ගෙන ඒමට විශාල වශයෙන් මුදල් යෙදවීමට සිදු විය. වසර 30ක් තුළ අවසන් කරන්නට සැලසුම් කර තිබුණු මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වසර 6කින් අවසන් කරන්නට ගත් තීරණය නිසාද අධික ලෙස ධනය වැය කරන්නට සිදු විය.
1983න් පසු කොටි ත්‍රස්තවාදය මැඬලීම පිණිස කෝටි ප්‍රකෝටි ගණන් ධනය වැය කරන්නට සිදු විය.
නිදහසින් පසු පැවති සියලු ආණ්ඩු රට කරගෙන ගියේ ණය ගැනීමෙනි. නිෂ්පාදනය අඩු නිසා, රටේ වියදම ආදායමට වඩා වැඩි වීම හේතුවයි. නිෂ්පාදනය අඩාල කරන්නට රතු සහෝදරයන්ගෙන් වූ සේවය කියා නිම කළ නොහැකිය. මුල් කාලයේ විශාල ණය බරක් නොතිබුණු නිසා එය එතරම් තදින් රටට පෙනුණු ප්‍රශ්නයක් වූයේ නැත. සිරිමා බණ්ඩාරනායක පාලන සමයේ නිෂ්පාදනය වැඩි වීම නිසා ආර්ථිකයට යම් පණක් ලැබුණි. ඔවුන් පාලනය අරඹන විට ද.දේ.නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 62.5%ක් වූ රටේ ණය ප්‍රමාණය ඔවුන්ගේ පාලනය අවසන් වන විට 58.5%් දක්වා අඩු වී තිබුණි.
ගොඩගන්නට බැරි තරම් විශාල ණය කන්දකට රට යට වූයේ ජේආර්ගේ පාලන කාලයේදීය. ඒ කාලයේ රටේ ණය බර 13 ගුණයකින් ඉහළ ගියේය. ඊට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ 87-89 ජවිපෙ විසින් රටේ ආර්ථිකය අකර්මණ්‍ය කිරීමයි. 1989 අවසන් වන විට ලංකාවේ ණය ප්‍රමාණය මුළු නිෂ්පාදිතයට වඩා 8.7%කින් ඉහළ ගොස් තිබුණි. 1976 දී රු. මිලියන 17659 ක් වූ රටේ සමස්ත ණය ප්‍රමාණය, 1988 වන විට 224,253 දක්වා ඉහළ ගියේය. ද.දේ.නි. අනුපාතයක් ලෙස එය 100% ඉක්මවා ගියේය. රට කඩාවැටීමට මෙය ප්‍රබල හේතුවක් විය. නිදහසින් පසු රට පාලනය කළවුන් රට කෑවේ යැයි විලාප දෙන්නේ, එහෙව් ජවිපෙයි.
නිදහස ලැබුණු දා පටන් බලය ලැබූ කිසිදු ආණ්ඩුවකට යහතින් රට පාලනය කරන්නට පැරණි වමත් ජවිපෙත් ඉඩ දුන්නේ නැත. ඔවුන්ගේ වර්ජන හා උද්ඝෝෂණ ආදිය නිසා රටේ ආර්ථිකයට දැවැන්ත පහරක් වැදුණි. මිනිස් ශ්‍රම පැය කෝටි දහස් ගණනක් රටට අහිමි විය. 76 අවුරුදු සාපය ගැන සාකච්ඡා කළ යුත්තේ මේ සියල්ල සංකලනයෙනි. මේ ගැන මීට පෙර බෝධි සභාවේ පළ කළ ලිපිවලින්ද පැහැදිලි කර තිබේ.
ඒ අනුව බලන කල 76 අවුරුදු සාපයේ ප්‍රධාන විත්තිකාර පාර්ශ්වයක් වන්නේ ජවිපෙයි. සර්ව ජන බලය වැනි දේශපාලන පක්ෂයක කාර්යය නිදහසින් පසු 76 වසරක සාපයක් ගැන ජවිපෙ පතුරුවන කතා දිගහැර ඒවා ප්‍රෝඩා බව හෙළි කිරීමයි. ඒ කටයුත්ත නොකර විපක්ෂ බලය තමන්ට ලබා දෙන්නැයි කීම නාහෙන් ඇඬීමක් බඳුය. අද සෙනසුරාදා (2දා) ප්‍රවෘත්තිවලින් ප්‍රචාරය වූ අගමැති හරිනි අමරසූරියගේ කතාවෙන් කියවෙන්නේ ආණ්ඩු බලය ඉල්ලන දේශපාලන පක්ෂයක් නැති බවයි.
නිර්භීත පක්ෂයක ප්‍රධාන යුතුකම අතීතයේ මාක්ස්වාදීන් ප්‍රධාන සියලු දේශපාලනඥයින් සහ ජවිපෙ කළ වැරදි ජනතාවට පැහැදිලි කිරීමයි. මාලිමාවේත් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමේත් ඇස් බැන්දුම් වැඩ ජනතාවට වැටහෙන්නේ එවිටයි. මුදල් අච්චු ගැසීම යනු කුමක්ද යන්න වත් නොදන්නා මාලිමාවේ පිරිසට ආණ්ඩුවක් ගෙනයෑමට ඇති නොහැකියාව පෙන්නා, ආණ්ඩු බලය තමන්ට දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමට සර්ව ජන බලය ඉදිරිපත් විය යුතුය.