Last Updated on 2 weeks by admin
කොලට් සේනානායක
නාරද කරුණාතිලක

කොල්ලුපිටියේ වෛශාඛ ප්‍රීති ගීතිකා සමිතියේ වෙසක් කැරොල් ගී ඇතුළත් කොලොම්බියා තැටියක් (1929) Pic. credit: @thamalkanilakshana (YouTube)
භාරතය කැරොල් ගායනයේ උපත සිදුවූ භූමිය යැයි සැලකීමට හේතු තිබේ. කූෂානයන්ගේ රාජ්‍යය (ගාන්ධාරය) බබළවන මහා ගාන්ධර්වයා වශයෙන් ප්‍රකටව සිටි අශ්වඝෝෂ හිමියන්ගේ අනුශාසනා ලැබූ සංගීත කණ්ඩායම් අගනුවර පුරුෂපුරයේ මහාස්තූපය සමීපයේ නටනටා බුදුගුණ ගී ගැයීමේ පුවත් නිදසුනකි. රවුමට කණ්ඩායම් හැදී ගී කියමින් නැටීම පංජාබයේ සමහර ප්‍රදේශවල අදටත් දැකිය හැකිය. මෙවැනි ජන නැටුම් භූතානයේ යක්ෂ ජනයා අතරේත් පවතී. මේ හැර ගාන්ධාර නුවර වෙළෙඳුන් රැස්වන තැන්වලට ගිය පිරිස්, අශ්වඝෝෂ හිමියන් රචනා කළ බුදුගුණ ගී ගායනා කරමින් නටමින් මහජනයා පිනවූ බව කියැවේ.
ක්‍රිස්තියානි ඇදහීම අධිරාජ්‍යයේ ආගම බවට පත්වූ පසු පැරණි ආගම් තහනම් කෙරිණි. එයින් පසුව, මිත්‍ර දෙවියන් වෙනුවෙන් උත්සව පවත්වමින් සිටි රෝම වැසියෝ නත්තල් කාලය එළඹෙද්දී පෙර සිරිතක් වෙනස් කරමින් කණ්ඩායම් සැදී යේසුස් වහන්සේගේ මහිමය කියමින් නටමින් ගී ගායනා කරන්ට වූහ. ‘කැරොල්’ ගායනා මෙන්ම නත්තල් උත්සවයද ‘පැගන්’ (ක්‍රිස්තියානි නොවන) ආගමික සිරිත් දෙකකි. කැරොල් ජන ගායනා වර්ගයක්ය යන්නෙහි තේරුම, ඒ රාජසභා සංගීතයට අයත් නොවන බවයි.
කැරොල් ගායනා පැතිරීම වැළැක්වීමට බ්‍රිතාන්‍යයේ ‘පියුරිටන්වරුන්’ වෙහෙස දැරූ නමුත් ඊට මහජනතාව දක්වන කැමැත්ත දුටු ඔවුන්ට කැරොල් බාරගන්නට සිදු විය. මෙවැනි ගායනා යටත් විජිතයන්හි ක්‍රිස්තියානි ආගම පැතිරවීම සඳහා යොදාගත හැකි බව බ්‍රිතාන් ජාතික ක්‍රිස්තියානි බයිබල් ආචාර්යවරුන්ට වැටහුනි. එබැවින් යටත් විජිත සමයේ ලංකාවට කැරොල් ගායනා පැමිණීම පූජකයන්ගේ වුවමනාවට සිදු වූවකි.
කර්නල් ඕල්කොට් කෙරෙහි ආදරයක් බෞද්ධයන්ට ඇති වූයේ, ඔවුන් ක්‍රිස්තියානි නිලධාරීන්ගෙන් තැලෙමින් සිටි හේතුවෙනි. ලංකාවට ගොඩබට ඕල්කොට් පන්සිල් සමාදන් වී තමා බෞද්ධයෙකු බව පෙන්වීම සිංහලයන්ගේ ප්‍රීතියට හේතුවක් විය. ඒ යට බ්‍රිතාන්‍යයන්ගේ වුවමනා හැංගී ඇති හැටි ඔවුන්ට නොපෙනුණි. ඊට හේතුව මේවා රහස් මෙහෙයුම් වීමයි. ඕල්කොට් කොළඹට පැමිණි පසුව සිංහල වෙළෙඳුන් කැඳවා කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි.
‘කැරොල්’ මේ කාලයේ ලංකාවේ ඉංග්‍රීසි කතාකරන ඉහළ පංතියේ සිංහලයන් අතර ජනප්‍රිය වෙමින් තිබූ සංගීත මෝස්තරයකි. කැරොල් ඉංග්‍රීසි සම්භාව්‍ය සංගීිතයක් යයි ඔවුන්ට සිතුණි. ඒ කාලයේ සිංහලයන්ට කැරොල් ගායනා උගන්වන ලන්සි ගුරුවරුන් සිටි බවට තොරතුරු ඇත.
සිංහල බෞද්ධයන්ට සම්ප්‍රදායික ගායනා වර්ග තිබුණි. ඔවුන් ගොයම් කැපුවේද, කණ්ඩායම් වශයෙන් කවි ගායනා කරමින් නැටුම් තාලයකටය. අනුරාධපුර රාජධානි සමයේ වෙළෙඳුන් රැස් වන ස්ථානවල සංගීතකරුවන් හා ගායන කණ්ඩායම් සිටියහ. අවමඟුලක් සිදුවූ නිවසට ගිය ගාඩි කාන්තාවෝ ‘දුක්මුලා’ කීහ. බෞද්ධයන් මල් පහන් පූජා කිරීමේදී කියන ගාථා තනිවම හා සාමූහිකව ලයකට අනුව ගායනා කිරීමට පුළුවන. ඉංග්‍රීසිය පිදූවන්ට ඒ කිසිවක් කැරොල් තරම් ලස්සන නොවීය.
චාල්ස් වෙබ්ස්ටර් ලීඩ්බීටර් ඉංග්‍රීසි බිෂොප්වරයෙකි. ඔහු මදුරාසියේ අද්යර්හි පරමවිඥානාර්ථ සමාගමේ මූලස්ථානයට පැමිණියේ බිෂොප්වරයෙකු ලෙසිනි. මදුරාසියේ සිට ලංකාවට ආවේ පූජක ලෝගුව නැතිව ප්‍රභූවරයෙකු ලෙසිනි. මෙම ලිපියේ අන් තැනෙක සඳහන් වන ගොන්සාල්වේස් පියතුමා පැමිණ ඇත්තේ පූජක ලෝගුව නැතිව ඉණ වටේ රෙදි කැබැල්ලක් දවටාගෙන දෙමළ කුලීකරුවෙකු වේශයෙනි. ලීඩ්බීටර් කොළඹ ආනන්ද විදුහල පිහිටුවීමට මූලික වී එහි විදුහල්පති වූයේය. ආනන්දයෙන් සමුගෙන එංගලන්තයට ගිය පසු නැවත ලෝගුව දමාගෙන බිෂොප් වූයේය. ඔහු ප්‍රසිද්ධියේ පන්සිල් සමාදන් වී බෞද්ධ නායකයෙකු ලෙසින් කටයුතු කරමින් සිට රටින් පිටවූ වහාම නැවතත් ක්‍රිස්තියානි ලෝගුව දමා ගැනීමෙන් පැහැදිලි වන්නේ, ඔහු සිංහල බෞද්ධයන් රැවටූ බවයි.
දකුණු ඉන්දියාවේ තෙවසරක් විසූ යුවරාජ මහානාග පෙරළා රටට ආවේ අබෞද්ධයෙකු ලෙසිනි. වංශකතාව ඔහුගේ පුත් චන්ද්‍රමුඛශිවගේ බිරිඳ හඳුන්වන්නේ ‘දෙමළ බිසව’ යනුවෙනි. මහාකපි ජාතකය ඇසුරෙන් ධර්ම දේශනාවක් කළ මහාපදුම ථෙරනුවෝ මොවුන්ගේ මිසදිටු භාවය දුරු කළහයි කිරින්ද හා අකුරුගොඩ සෙල්ලිපිවල සඳහන් වේ. ’කපටිකම් වලට නොරැවටෙන්න’ යන පණිවිඩය උගන්වන කපි ජාතක කතාව සැකෙවින් මෙසේය:
එක් වැසි සහිත ශීතල දිනයක වඳුරෙක් තාපසයෙකුගේ වෙස් ගෙන තාපසයෙකු වෙසෙන ගල්ගුහාවක් අසලට පැමිණියේය. ගුහාවේ ගිනි තපිමින් සිටි තාපසයා වෙත පැමිණි ඔහුගේ පුත්‍රයා වැස්සෙන් බේරීමට ගුහාව අසලට තාපසයෙක් පැමිණ ඇතැයි කීවේය. තාපසයා අමුත්තාව පරීක්ෂා කර, ‘මොහු මිනිසෙක් නොවෙයි. මිනිස් වෙස් ගත් වඳුරෙක්. ඇතුළට ගත්තොත් පිටවෙන්නේ මේ ගුහාවත් ගිනි තියල’ යි කියා ගිනි පෙනෙල්ලක් විසිකර වඳුරාව එලවා දැම්මේය.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ලීඩ්බීටර්ව කපි ජාතකයේ වඳුරාට සමාන කර සිංහලයන්ට බණක් කී බවක් දැනගන්නට නැත. එහෙත් ඕල්කොට් සහ ලීඩිබීටර් උන්වහන්සේ සමග අමනාප වූ බවට තොරතුරු තිබේ. ගුණානන්ද හිමියෝ අඩු වයසින් අපවත් වූහ.
සමහර සතුන්ටත් විමර්ශන ඥානය තිබේ. ජාතක කතාවලින් උගන්වන්නේම විමර්ශන ඥානයේ වටිනාකමයි. ඒ ශක්තිය නැතිකර ගැනීම ජානවල වරදක් බව කියමින් දෙමව්පියන්ට බණින උගතුන් පසුගිය කාලයේ ජනමාධ්‍යවලින් දක්න ලැබුණි.
මාක්ස්වාදීන්ගේ චිහ්නය වශයෙන් සැලකෙන් දැකැත්ත හා මිටිය නිදසුනකට ගතහොත් එයින් ගොවියන් සහ කම්කරුවන් සංකේතවත් කෙරෙතැ යන්න මාක්ස්වාදීන්ගේ මිස සිංහල මුතුන් මිත්තන්ගේ ඉගැන්වීමක් නොවේ. දෑකැත්ත හා මිටිය ක්‍රිස්තියානි සංකේත බව පෙන්වන තැන් ගණනාවක් බයිබලයේ තිබේ. බයිබලය ඔසවාගෙන සිටියත් එය දැක නැත්නම් විමර්ශන ඥානයේ අඩුවකි.
‘බයිබලයේ පළමුවන හා දෙවන පොත් කියා මකබිවරුන්ගේ පොත් දෙකකි. මකබි යන්නේ තේරුම වඩු ශිල්පියාගේ ආයුධයක් වන මිටිය යන්නයි. යුදෙව්වරුන්ට හිංසා පීඩා කළ ග්‍රීක ආධිපත්‍යයට විරුද්ධව පෙරමුණ බැඳ මහා ජාතික සටනක් මෙහෙයවූ යුදා ජාතික නායක ජුදස් නැමැත්තාට මෙකී නම විශේෂණයක් වශයෙන් යොදා ඇත. එහෙත් ඊට අමතරව පාරම්පරික ලෙස ජුදස්ගේ සහෝදරයන්ටද ඔහුගේ ආධාකරුවන්ට තත්කාලීන යුදෙව් ජාතික වීර පුරුෂයන්ටද මේ විශේෂණ පදය පවරා තිබේ’ (බයිබලයේ පරණ ගිවිසුම).
බයිබලයේ දැකැත්ත සඳහන් වන්නේ, ‘ඉදිරියේදී සිදුවීමට නියමිත විනිශ්චය සහ දිව්‍ය පළිගැනීම සඳහා ජාතීන් එක්රැස් කිරීමේ සංකේතයක්ය යන අර්ථයෙන් යැ’යි ක්‍රිස්තියානි ආචාර්යවරුන් පවසා තිබේ. (බලන්න එළිදරව්ව, ජොවෙල් 3:13)
විමර්ශන ඥානය සහජ ශක්තියේ කොටසකි. රැලේ යන්නට පුරුදුවීමෙන් එය නැතිකර ගන්නා සමහරු, බෞද්ධයෙකු වීම උපතින් සිදුවූ අඩුවක් යයි සිතා තමන් නිරාගමිකයින් බව කියති. නිරාගමික යනු අර්ථශුන්‍ය වචනයකි. වර්තමාන ලෝකයේ කිසිවෙකුට නිරාගමියෙකු විය නොහැකිය. අන්‍යාගමික බලපෑමට ලක් වන සිංහල බෞද්ධයින් තමන්ගේ අඩුව වසාගන්නේම තමන් නිරාගමිකයෙකු බව කීමෙනි.
මාටින් ලූතර්, කැල්වින් ආදීන් මෙහෙයවූ රෙපරමාදු ප්‍රතිසංස්කරණය හේතුවෙන් යුරෝපය බෙදුණි. ඕලන්දය රෙපරමාදු රටක් විය. පෘතුගාලය කතෝලික රටක් ලෙස පාප්ට ඉතිරි වූයේය. මේ රටවල් දෙක අතර ඇතිවූ යුද සම්මුතියක් නිසා ලංකාවේ පෘතුගීසි ප්‍රදේශ ඕලන්දයන්ට ලැබුණි. ‘ඉඟුරු දී මිරිස් ගත්තා වගේ’ උපහැරණයේ තේරුම දෙපාර්ශ්වයම කොල්ලකරුවන් බවයි. ඉඟුරු දෙන්නේත් මිරිස් ගන්නේත් රටේ සාමාන්‍ය ජනතාව නොවේ.
සිංහලයින් පෘතුගීසීන් සමග කළ යුද්ධවලදී අල්ලාගත් කතෝලික පූජකවරුන්ට දඬුවම් නොකර ඔවුන් නිදහස් කළ බව පෝල් ඊ. පීරිස්ගේ සටහනක් උපුටා දක්වමින් ජෝන් සිරිමන් ද සොයිසා සඳහන් කරයි. පෝල් ඊ. පීරිස් එම තොරතුරු දැනගන්නේ පෘතුගීසි ලේඛන කියවීමෙනි. එම ක්‍රියාවත් පොදු ජනයාගේ වුවමනාවක් නොවේ. ඕලන්දයන් මුහුදුබඩ පළාත් අල්ලා ගෙන සිටි නිසා, කතෝලිකයින්ට උපකාර කිරීම පිණිස දෙමළ දේවගැතිවරුන්ට වෙස් මාරු කරගෙන ලංකාවට එන්නට සිදුවූවේය යන කතාවත් බොරුවකි. එසේ පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා සිංහල රජතුමාව ඇන්දවූ බව ඇත්තකි.
ඉංග්‍රීසිකාරයෙකු වූයෙන් ලීඩ්බීටර් කොළඹ පර්මවිඥානාර්ථ බෞද්ධ සමාගමේ තනතුරු ගණනාවක් හිමිකර ගත්තේය. ඔහු සමාගමේ ලේකම්වරයා විය. ඕල්කොට් සභාපති වූයේය. ධර්මපාලතුමා ’ගොන් සිංහලයන්’ යයි කීවේ මොවුන් පස්සේ ගිය සිංහලයන්ටයි. එහෙත් බොහෝමයක් සිංහලයන්ට ගොනුන් වීම හැර වෙන විකල්පයක් නොතිබුණි. ඔවුන් අදීනයන් වීම වැළැක්වීම බි්‍රතාන්‍ය පාලකයන්ගේ උපාය විය.
ලීඩ්බීටර් පිටකොටුව බෞද්ධ ඉංග්‍රීසි පාසලේ විදුහල්පතිකම ලබාගත්තේය. (පසුව ආනන්ද විදුහල වූයේ මෙයයි) ඔහු පිටකොටුව බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූයේය. මෙසේ බෞද්ධ සමාජයේ උසස් තානාත්තර ලබන ඔහු බෞද්ධයින්ව මුළා කිරීමේ උපායයන් කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. එකක් ඉරිදා පාසල් (සන්ඩේ ස්කුල්ස්) ඇරඹීමයි. පළමුව කොළඹ බාබර් වීදියේ ඉරිදා පාසලක් පටන් ගන්නා ලදි. ලීඩ්බීටර් වෙසක් පොහොය දිනයක කැරොල් ගායනා සංදර්ශනයක් පවත්වමින් ‘වෙසක් කැරොල්’ ඇරඹුවේය.
ආණ්ඩුවේ නිවාඩු දිනය විය යුත්තේ සිංහල අවුරුද්ද දිනයද නැත්නම් වෙසක් දිනයද යන ප්‍රශ්නය ව්‍යවස්ථාදායක සභාවේ මතුවී තිබුණි. සිංහලයන් නියෝජනය කළ මන්ත්‍රීවරයාගේ අදහස වූයේ සිංහල අවුරුදු දිනය නිවාඩු දිනය විය යුතු බවයි. (ඒ කාලයේ සිංහල අවුරුද්දක් මිස සිංහල හා දෙමළ අවුරුද්දක් තිබී නැත) දෙමළ ජනයා නියෝජනය කළ පොන්නම්බලම් රාමනාදන් වෙසක් දිනය නිවාඩු දිනය කළ යුතු බව කීවේය. ගෝඩන් ආණ්ඩුකාරයාත් රාමනාදන්ගේ අදහස අනුමත කළේය.
වෙසක් පෝය දවස ආණ්ඩුවේ නිවාඩු දිනයක් වූ පසු පිටකොටුව බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් සහභාගි කරගෙන වෙසක් කැරොල් ගී ගායනා කරවීමට ලීඩ්බීටර් සමත් විය. (‘ද බුඩිස්ට් සඟරාව’) ස්කොට්ලන්ත ක්‍රමයට ඇඳුම් ඇඳගත් සිංහල බෞද්ධ ළමයි 20කට වැඩි සංඛ්‍යාවක් අපරදිග සංගීත භාණ්ඩ භාවිත කරමින් වෙසක් කැරොල් ගී ගායනාවලට සම්බන්ධ වූහ. ඔවුන් ගැයු ගීවල බුදුහාමුදුරුවන් හැඳින්වී ඇත්තේ ‘ලෝඩ් බුද්ධ කිං’ ලෙසටයි. (‘ද බුඩිස්ට්’)
“Oh come let us sing to the praise of our lord”
ඇතැම් ගීවලින් ඕල්කොට්ගේ පිටකැසීමක්ද කර ඇත.
‘නැනින් පසිඳු ඕල්කොට් මැති කර්නල්
දුනින් ලබා මෙ නිවාඩු දින සුවිසල්’
ඕල්කොට් හා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ගැන තොරතුරු රැස් කළ විශේෂ ස්ථානයක් නැත. ඕල්කොට්ගේ ජීවිතයට අදාළ සමහර තොරතුරු නිව්යෝර්ක් පුස්තකාලයේ ලේඛන අංශයේ තිබේ. නිව්යෝර්ක්හි ඕල්කොට් සහ බ්ලැවට්ස්කි කලක් විසූ මහල් නිවාසය දැන් නැත. ලිීඩ්බීටර්, මරී මියුසියස් වැනි ලංකාවේ පරම විඥානාර්ථ සමාගමේ පතාකයින් ගැන තොරතුරු දැනගැනීමට කාලය හා ධනය වැය කරමින් බොහෝ වෙහෙසිය යුතුය.
ඕල්කොට්, ලීඩ්බීටර් වැනි සුදු ජාතිකයින්ව විශ්වාස කිරීමෙන් රැවටුන නමුදු ක්‍රිස්තියානි බුද්ධාගමක් (හෝ බුද්ධාගම ක්‍රිස්තියානි වීම) ඇතිවීම වැළැක්වීමට වෙහෙසගත් නායකයින් රටේ බිහි විය. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි එවැනි නායකයින් තිදෙනෙකි. ඔවුන් පෙන්වූ මඟ ගිය නිවහල් ජනයා වෙසක් බැතී ගී, පොසොන් බැති ගී කියන්නට වුහ. ඉරුදින දහම් පාසල් ඇති කළහ. මෙපරිද්දෙන් මිෂනාරි සිරිත් තලමින් ඒවායින් බෞද්ධ සිරිත් හැදුන හැටි වෙනත් ලිපියකින් විස්තර කළ යුත්තකි.