ISIS ඇමරිකාවේ නිර්මාණයක්ද?

Last Updated on 2 weeks by admin

කීර්ති රත්නායක පළ කර ඇති මුහණුපොත් රචනාවකට අනුව, අයිසිස් සංවිධානය ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ නිෂ්පාදනයකි. ඊට හේතුව රුසියාව, ඉරානයේ හා කටාරයේ තෙල්, ඉරාකය හා සිරියාව හරහා වැටෙන නළ මාර්ගයක් මගින් යුරෝපයට විකිණීමට ගත් උත්සාහය වැළැක්වීමයි. අයිසිස් සංවිධානය, සිරියාවේ තෙල් නළය එලන ප්‍රදේශයේ ඉස්ලාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කර එය යුද පිටියක් බවට පත් කිරීම නිසා රුසියාවේ තෙල් නළ ව්‍යාපෘතිය වැළකී තිබේ. අයිසිස් සංවිධානය ඔබාමාගේ නිර්මාණයක් බව අනාවරණය කර ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් බවත් රත්නායක කියයි. එය ඔප්පු කරන්නට වසර 8කට පෙර දේශපාලන රැස්වීමක් අමතමින් ට්‍රම්ප් කළ කතාවක් ඇතුළත් විනාඩියක වීඩියෝ පටියක්ද සාක්කියට පෙන්වයි. ඔහුගේ සටහනේ අවසානය මෙසේය:

‘අද සිරියාවේ පාලන බලය හොබවන්නේ එදා ISIS ලේබලයෙන් බෂාර් අල් අසාත් එළවීමට සටන් කළ ඇමරිකන් ප්‍රොක්සියකි.

ISIS යනු ලොව පුරා ඇමරිකානු භූ දේශපාලනික අපරාධ වසා දමන ලේබලකි.

සහරාන් ඇතුළු පිරිසක් පාස්කු දින එල්ල කළ ප්‍රහාරය බැර කලේ ISIS කණ්ඩායමටය.

ගෝඨාභයට සළු වඩන ඊනියා මහාචාර්ය රොහාන් ගුණරත්න ISIS ගැන, පාස්කු ප්‍රහාරය ගැන කියන කතා සාහසික ප්‍රබන්ධ වන්නේ ඇයිද යන්න මින් පැහැදිලි වෙයි.’

කීර්ති රත්නායක වටරවුමෙන් එන්නේ, පාස්කු බෝම්බ ප්‍රහාරය ගෝඨාභය බලයට ගෙන ඒමට සැලසුම් කළ එකක් බව කීමටයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව බෝධි සභාවේ ලිපි 5ක් මගින් කරුණු පැහැදිලි කර ඇති නිසා ඒ ගැන මෙහි කිසිවක් සඳහන් නොකෙරේ.

USAID පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් මෑතකදී කළ ප්‍රකාශය නිසා ඔහු පවසන දේ පිළිගන්නට කෙනෙකු පෙළඹීම නිරායාසයෙන් සිදු වෙයි. එම නිසා, කීර්ති රත්නායක ඉදිරිපත් කරන විස්තරය දැක, අයිසිස් සංවිධානය ඔබාමාගේ නිර්මාණයක් යැයි පිළිගන්නටද කෙනෙකු පෙළඹීය හැකි බැවින් මේ පිළිබඳව යමක් හැකි තාක් කෙටියෙන් ඉදිරිපත් කරමු.

ඇමරිකාව සහ සිරියාව අතර විරසකයට හේතුව තෙල් නළයක්ය යන්න සාවද්‍ය ප්‍රකාශයකි. සිරියාව කටාරයේ යෝජනාව ඉවත දමා ඉරානය සමග නළ ගිවිසුමට ගිය නිසා, ඔබාමා පරිපාලනය සිරියාවට එරෙහිව කටයුතු කළ බවට මතයක් ප්‍රසිද්ධ වූයේ, ජෝන් එෆ්. කෙනඩි (කනිෂ්ට), ‘පොලිටිකෝ’ සඟරාවේ පළ කළ Why the Arabs Don’t Want Us in Syria ලිපිය හේතුවෙනි.

ඒ පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් හා විමර්ශකයින් ලියූ ලිපි ලේඛන ගණනාවක් තිබේ. මේ ‘නළමාර්ග යුද්ධය’ යනු මුසාවක් බව, ගැරත් පෝටර් සවිස්තරාත්මක ලිපියක් මගින් විස්තර කර තිබේ. රුසියාවේ සිරියානු මැදිහත්වීම ඉන්ධන පිළිබඳ කරුණක් නොව නීරස උපායමාර්ගික අවශ්‍යතා සම්බන්ධ කරුණක් බව පැහැදිලි කරමින් ඩේවිඩ් බටර් ලියූ ලිපිය තවත් වැදගත් මූලාශ්‍රයකි.

කටාරය, තුර්කියට දිවෙන නළ මාර්ගයක් පිළිබඳ ව්‍යාපෘති යෝජනාවක් සම්පාදනය කළ බවට සාක්කි තිබේ. එහෙත් එයින් එහා සිදුවීම් පිළිබඳව ඇති ප්‍රචාර පිළිබඳ කිසිදු සාක්කියක් නැත. එහෙයින් ‘නළ යුද්ධය’ කතාව සැලකෙන්නේ ඉවත දැමිය යුතු කල් ඉකුත් වූ ප්‍රලාපයක් වශයෙනි.

මැදපෙරදිග කලාපයේ ‘සිරියානු සාධකය’ දිගු ඉතිහාසයක් ඇති ඉතා සංකීර්ණ විෂයයකි. ඊට ෂියා-සුන්නි, යුදෙව්-ඉස්ලාම්, ඉස්ලාම්-ක්‍රිස්තියානි ආදී ආගමික ගැටුම්, සිරියාවේ ඉන්ධන නිධි, ගුවන්තොටුපොල හා වරායේ ඇති උපක්‍රමික වටිනාකම් ආදි කරුණු රාශියක් සම්බන්ධය. ඇමරිකාව හා සිරියාව අතර හටගත් ගැටුමට මුල් වූ සත්‍ය හේතුව වශයෙන් පිළිගැනෙන සිදුවීම් කෙටියෙන් විස්තර කළොත් මෙසේය:

අසාඩ් ඇමරිකාවේ සතුරකු වූයේ ඉරාක යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි. 2003 වසරේ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර, මැදපෙරදිග කලාපය තුළ ඉරානයේ මැදිහත්වීම්වලට එරෙහිව ප්‍රබල අයුරින් කටයුතු කළේ සදාම්ගේ ඉරාක ආණ්ඩුවයි. සදාම් බලයෙන් පහ කෙරුණු විගස, ඉරානයේ සහාය ලැබූ ඉරාකයේ ෂියා මුස්ලිම් කණ්ඩායම් බලය අත්පත් කරගත්හ.

ඉරාකය තුල ඉරානයේ බලය පැතිරීම, සවුදි අරාබියේ සහ ඊශ්‍රායලයේ නොසතුටට හේතු විය. (සවුදිය සුන්නි මුස්ලිම් රාජ්‍යයක් වන අතර ඉරානය සියා මුස්ලිම් රාජ්‍යයකි) මේ දෙරටම කලාපයේ පොදු සතුරා ලෙස සැලකුවේ ඉරානයයි. මේ අතර 2006 දී ඉරානයේ සහාය ලැබූ හිස්බොල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටනක් 2006 Lebanon War හටගති. මේ සටනේදී හිස්බොල්ලා සංවිධානයට සිරියාවෙන් විශාල සහයෝගයක් ලැබුණි. ඉරානයේ යුද සැපයුම් සිරියාව හරහා දකුණු ලෙබනනයේ ඊශ්‍රායල් දේශ සීමාව ආසන්නයටම ප්‍රවාහනය කෙරිණි. හිස්බොල්ලා ත්‍රස්තයන් දකුණු ලෙබනනයේ සිට එල්ල කළ රොකට් ප්‍රහාර නවතන්නට ඊශ්‍රායලයට නොහැකි විය.

අසාඩ් ‘අලවයිට් මුස්ලිම්’ හෙවත් ෂියා මුස්ලිම්වරුන්ට සම්බන්ධයක් ඇති මුස්ලිම්වරයෙකි. මේ නිසා ඔහු ඉරානය සමගද සම්බන්ධකම් පැවැත්වූවේය. අසාඩ් පාලන බලයෙන් ඉවත් කළහොත්, හිස්බොල්ලා සංවිධානයට ඉරාන යුද සැපයුම්ලැබීම නැවතිය හැකි වනු ඇතැයි ඇමරිකාව සහ ඊශ්‍රායලය තීරණය කළහ.

ජනාධිපති ට්‍රම්ප්, අයිසිස් සංවිධානය ඔබාමාගේ නිර්මාණයක් යැයි පැවසීම දේශපාලන වාසි පිණිස ඉදිරිපත් කරන තර්කයකි. කීර්ති රත්නායක පෙන්වන විනාඩියේ වීඩියෝවෙන් එය අවබෝධ කරගත නොහැකිය. ට්‍රම්ප් මේ කතාව කීප වරක්ම කියා ඇති නමුත් එය වඩාත් ප්‍රසිද්ධ වූයේ, 2016 අගෝස්තු 10 වැනිදා ෆ්ලොරිඩාහි පැවති මැතිවරණ රැලියකදී ඒ බව ප්‍රකාශ කිරීමෙන් පසුවය. 2011 වසරේ ඔබාමා පරිපාලනය ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත් කිරීම නිසා ඇති වූ ආරක්ෂක හිඩැස, අයිසිස් සංවිධානය බිහිවීමට හේතු වූයේ යැයි ඔහු පැවසීය. ඔහුගේ කතාවෙන් කොටසක් මෙසේය.

“In fact, in many respects you know they honor President Obama. ISIS is honoring President Obama. He is the founder of ISIS. He’s the founder of ISIS. He’s the founder. He founded ISIS. And I would say the co-founder would be crooked Hillary Clinton, co-founder.

ඔබාමා අයිසිස් සංවිධානයේ නිර්මාතෘ යැයි ට්‍රම්ප් කියයි. එයින් පසුව ඒ අගෝස්තුවේම හියු හෙවිට් සමග පැවති ගුවන්විදුලි සාකච්ඡාවේදී ඔහු තමා එසේ කියන්නේ ඇයි දැයි නිසියාකාරයෙන් පැහැදිලි කරයි.

“He was the most valuable player. I give him the most valuable player award. I give her, too, by the way, Hillary Clinton. The way he got out of Iraq … was the founding of ISIS, O.K.?”

ඔබාමා ඉරාකයෙන් හමුදා ඉවත් කළ ආකාරය නිසා තමන් ඔහු අයිසිස් සංවිධානයේ නිර්මාතෘ යැයි පවසන බව ට්‍රම්ප් මෙහිදී පැහැදිලිව තේරැම් කරයි.

නමුත් ඇමරිකානු හමුදා එසේ ඉවත් කරන ලද්දේ, ජනාධිපති ජෝර්ජ් බුෂ් (කනිෂ්ඨ) ඊට පෙර අත්සන් කර තිබුණු ගිවිසුමකට අනුවය. එසේ නොමැතිව, ඔබාමා විසින් කුමන්ත්‍රණකාරී අයුරින් අයිසිස් සංවිධානය බිහි කරන ලද බවක් ට්‍රම්ප් කිසි කලෙක කියා නැත.

දේශපාලන වේදිකාවල කියන කතා තාරබර ඇර හොඳින් සොයාබලා පිළිගත යුතුය. ඇස් කන් ඇති අයට මේ දිනවල ඒ බව හොඳින් පසක් වෙමින් පවතී. අයිසිස් සංවිධානය හා පාස්කු ප්‍රහාරය පිළිබඳව තීන්දු තීරණවලට එළඹිය යුත්තේද එසේය. කීර්ති රත්නායක කරන පරිදි පපඩම් බදින්නා සේ අතිශය සංකීර්ණ ආරක්ෂක හා දේශපාලන සිදුවීම් පිළිබඳව විග්‍රහ කිරීමෙන් සිදු වන්නේ කියවන්නා මංමුළා වීමයි. ගෝඨාභය පාස්කු ප්‍රහාරයට පටළැවීම මගින් මොවුන්ට අවශ්‍යව ඇත්තේ සිංහල බෞද්ධයන්ට පහරදීම විය යුතුය. එසේ නැතිනම් වෙනත් රහසක් තිබිය යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top