System change කරන්න වළිකන අය change කියන්නෙ මොකක්දැයි ඉගෙනගෙන ඉන්න

Last Updated on 2 months by admin

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD

Pic. Credit: SCRUMstudy

රටක නීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදායක්. එයට ගරු කරන්න ඉගෙන ගැනීමත් සම්ප්‍රදායේම කොටසක්.

අවාසනාවකට ශ්‍රී ලංකාවේ තරුණ පෙළ 60 දශකයේ සිටම ගමන් කළේ මකර කටටයි.

මකරාක්ෂයා අපේ නොවෙයි. පිටින් ගෙනල්ලා අතෑරපු එකෙක්.

සංස්කෘතිය විනාශ කිරීම තුළින් තරුණ පරපුර විනාශ කළා.

එම විනාශකාරී චින්තනමය විෂබීජය දේශපාලන බලවේගයකට හරවනු ලැබුවා.

ජවිපෙ/ජාජබ යනු මුහුදු ජලයෙහි පාවෙන අයිස් කන්දක්. 1/6ක් පමණක් ජලයෙන් මතුවී පෙනෙන මෙම අයිස් කන්දේ හැපී මුහුදුබත් වූයේ Titanic පමණක් නොවේ.

‘සම්මා සති’ නැති කපිතාන්වරයෙක් නැවේ සුක්කානම අතට ගන්නා හැමවිටම එම නැවේ ගමන් කරනා හැම මගියෙකුගේම ජීවිත දෙවියන්ටම බාරයි.

අපට අපේම කියා සංස්කෘතියක් තිබෙනවා. ඒ තුළ නීතිගරුක බව, විනය ගරුක බව හා සංයමය අභ්‍යන්තරීකරණය වී තිබෙනවා.

පවතින ක්‍රමය ධනේශ්වර බවත්, එය දූෂිත බවත් කියන ජවිපෙත් ජාජබත් අනුගමනය කරන්නේ නීති විරෝධී, සදාචාර විරෝධී රට පාලනය කළ සහ කරමින් සිටින පිරිසගේම සමාජ විරෝධී ක්‍රියාපිළිවෙතයි.

System Change ගැන කතා කරන මිනිසුන් සියල්ලටම කලින් System යනු කුමක්ද කියා විෂය බද්ධව (objectively) තේරුම් ගත යුතුයි. එය කළ හැක්කේ සමාජ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයන් හරහා පමණයි. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කීවා මෙන් කිසිම උගත්කමක් චාරයක් නැති දේශපාලුවන් සමාජ විද්‍යාඥයින් ලෙස දේශන පවත්වනවා.

Change යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ජනතාවට පහදා දෙන්න කලින් එය කුමක්දැයි රට වෙනස් කරන්න වළිකන මිනිසුන්ම පැහැදිලි කරගත යුතුයි.

සමාජ විපර්යාසය (social change) සිදුවන්නේ සෑම විටම මිනිසුන්ගේ මැදිහත්වීම තුළින් පමණක් නොවෙයි.

භූගෝලීය, දේශගුණික, කාලගුණික වැනි පාරිසරික හේතුන් මතත් මානව වර්ගයා තමන්ගේ වාසභූමි, ජීවන රටාවන් හා සමාජ ක්‍රියාකාරකම් වෙනස් කරගෙන තිබෙනවා.

අනාදිමත් කාලයක මිනිසා සටන් කළේ මිනිසාට විරුද්ධ නොව පාරිසරික බාධාවන් ජය ගැනීම සඳහායි.

මානව විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි ශිෂ්ටාචාරය ඇරඹෙන්නේ මිනිස් චිත්ත සන්තානයේ සාමුහික බව හා සහයෝගය බීජයක් මෙන් රෝපණය කර ගැනීමෙන් පසුවයි.

ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය තුළ මිනිසුන් එකිනෙකා කුලල්කාගන්නේ “බලය” කියන විෂබීජය ඔවුන්ගේ මොළ ගෙඩි තුළ අරක් ගැනීම නිසයි.

ඒඩ්ස් රෝගියාට තවත් ඒඩ්ස් රෝගියෙකු ආසාදනය කළ නොහැකියි. ඒ සඳහා ඔහු හෝ ඇය විසින් තෝරාගනු ලබන්නේ නීරෝගී පුද්ගලයෙකුයි.

ලිංගික ආශ්වාදය විසින් පොළඹවනු ලැබුව “සම්මා සතියෙන්” තොර වූ මිනිසා ඒඩ්ස් රෝගයට ගොදුරු වන්නාසේම බලකාමයෙන් මෙහෙයවනු ලබන මිනිසාට අරගලේදී විප්ලවයේදී හෝ යුද්ධයේදී මියයන සංඛ්‍යාව අදාළ නැත.

2 දෙවන ලෝක යුද්ධයේදී පමණක් වතිකානුවේ හා හිට්ලර්ගේ බලකාමය නිසා ජර්මනියේ, නැගෙනහිර යුරෝපයේ මෙන්ම සෝවියට් දේශයේද, යුදෙව්වන් ඇතුළු සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයින් මිලියන 40කට ජීවිත අහිමි වුණා.

එක් පැත්තකින් අතිධාවනකාරී වාමාංශික දේශපාලනය නිසා ශ්‍රී ලංකාව තුළ ලක්ෂයකට ආසන්න සිංහල බෞද්ධ තරුණ තරුණියන් ඝාතනයට ලක් වුණා.

බෞද්ධ විරෝධී විදේශීය බලවේගවල මෙහෙයුමෙන් දියත් වුනු උතුරේ දෙමළ ත්‍රස්තවාදය විසින් තිස් වසරක කාලයක් තුළ දෙපාර්ශ්වයේම ජීවිත ලක්ෂ ගණනින් බිලිගත්තා.

ආගමික උන්මාදය වාර්ගීය උන්මාදයකට පෙරළා ගත් කණ්ඩායම් දිගින් දිගටම සිවිල් ජීවිත උඩුයටිකුරු කළා. දේශපාලන බලය ඇත්තෝ යුද්ධය දඩමීමා කරගෙන කෝටිපතියන් බවට පත්වුණා.

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් යනු යුද්ධයක් අරගලයක් හෝ විප්ලවයක් නොවෙයි.

සාමය වෙනුවට වෛරය, සහයෝගය වෙනුවට ඇනකොටා ගැනීම, දියුණුව වෙනුවට පරිහානිය පෙරදැරි කර කරගත් විනාශකාරී දේශපාලනයක් තුළ ආරක්ෂිත බවක් සෙවීම මිරිඟුවක් පසුපස ලුහුබැඳීමක්.

මානව ඉතිහාසය පුරාම මිනිස්සුන්ට වධ දුන් ප්‍රධානම සාධකය පුද්ගල මෙන්ම සමාජ අනාරක්ෂිතභාවයයි. ඉදිරියේදී මා ඔබට “අනාරක්ෂිතභාවය” පිළිබඳ සමාජ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link