බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු

Last Updated on 3 hours by admin

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

ඡායාරූපය: අන්තර්ජාලයෙනි

1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව පිහිටුවන ලද රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයක ප්‍රධාන කටයුත්ත වූයේ කුමන ක්‍රමයකින් හෝ ජවිපෙට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සෙවීමයි. මෙම ඒකකයේ ඇතැම් නිලධරයන්ගේම වචනයෙන්, ඔවුන්ගේ රැකියාව ‘අමුද්‍රව්‍ය සෙවීමකි’. පේරාදෙණියේ සිටි නිසා මෙම දඩයම පිළිබඳව අත්දැකීම් ලද මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර, ‘ශිෂ්‍යයෙකුට බත් කටක් කන්ඩ දීමත් හිරබාරයට ගැනීමට හේතුවක් වන බව’ සඳහන් කළේය. (හෙට එච්චර කළුවර නෑ) අප්‍රේල් කැරැල්ලෙන් පසුව සිංහලයන්ට සම්ප්‍රදායික අවුරුද්ද නැති විය. ඔවුන් සතු වූ පාරම්පරික මනුස්සකම නැති විය. එතැන් සිට සිංහල ගම සහ නිර්භීත ගැමියන් වඳ වී ගියේය. විජේවීර ප්‍රධාන කාඩර්වරුන් පන්සල්වල විප්ලවවාදීන්ගේ ආහාර සහ ආයුධ ගබඩා කරන්නට යාම හේතුවෙන් මෙය භික්ෂුව සහ පන්සල දුර්වල කිරීමේ කඩයිමක් විණි.

ගල්ගමුව, විල්පත්තුව අවට වනාන්තර කලාපය අවට පදිංචිකරුවන් සෑහෙන පිරිසක් දඬුවම් ලැබුවේ කැරැල්ලට සම්බන්ධ වීම හෝ දේශපාලනය කිරීම හෝ නිසා නොවේ. කැලේට වැදුන තරුණ තරුණියන්ට කුමන හෝ පිහිටක් වීමෙනි. මේ ආසන්නයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු සිරගත කරනු ලබන්නේ වනයේ කඳවුරක ඔහුගේ නම සඳහන් පොතක් දැකීමෙනි. දඩයම සිදු වන කාලයේ ශ්‍රී ලංකා හමුදාව හා පොලිසිය මානුෂික ආධාර නමින් දෙයක් හෝ ලේඛකයෙකුගේ කාර්යය හෝ දැන සිටියේ නැත. රෑ හේනට යමින් සිටි ගොවියෙක්, කෙඳිරිලි හඬක් ඇසී විපරම් කර බලන විට පඳුරක් අස්සට රිංගා ගෙන සිටි තරුණියක දුටුවේය. ඔහු බත්ගෙඩිය ලිහා ඇගේ වෙඩි වැදුන කකුලට තියා බැඳ ඉහළ පුලියන්කුලම පන්සලට දුව විත් ඒ ගැන කීය. ඇයව ඔසවා ගෙන පන්සලට ගෙනා විමලරතන පොඩි හාමුදුරුවෝ, ආරක්ෂක අංශවල දැක්මට අනුව ත්‍රස්තවාදියෙකු වූහ.

ජේ. ආර්. සහ ප්‍රේමදාස ජනාධිපතිවරුන්ගේ කාලවල රටේ තත්වය තවත් බිහිසුණු වූයේය. ජවිපෙ යළි පණ ගැන්වී තිබුණ නිසා ඊට සම්බන්ධ බවට පොලිසියට ඔත්තුවක් ලැබුණු ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලදි. සිරකඳවුරුවලට ගෙනෙන ලද ඔවුන් හඳුන්වන ලද්දේ ‘බ්‍රොයිලර්ස්’ නමිනි. පොලිස් ඔත්තුකරුවෙකු වී ගැලවීමේ හැකියාව ඇතැමුන්ට ලැබුණි. ‘ගෝනිබිල්ලා’ එවැනි පොලිස් ඔත්තුකරුවන් හැඳිනුම් ලද නමයි. වර්තමාන කැබිනට් මණ්ඩලයත් ගෝනිබිල්ලන් ඇතැයි පරසිදු තැනකි.

ජවිපෙ, මාලිමාව නමින් ආණ්ඩුවක් පිහිටුවූ නමුදු එදා ආරක්ෂ අංශ සහ නිල නොලත් කණ්ඩායම් විසින් ජවිපෙට සම්බන්ධ යයි සැකකර මරාදැමන ලද රට වැසියන් පිළිබඳ නාම ලේඛනයක් සැකසීමට ඔවුන් අදහස් කරන බවක් නොපෙනේ. පෞද්ගලිකව ඒ කටයුත්තට අතගසා සිටින හැමදෙනාම ජවිපෙට සම්බන්ධව නොසිටි, කැරැල්ල සමයේ කුඩා දරුවන්ව සිටි අයයි. කැරලිකරුවන් යයි සැක කෙරෙන පුද්ගලයින්ගේ සිංහල බෞද්ධකම වෙනස් කිරීමට මූලිකව ක්‍රියා කළ ‘දේවසරණයේ’ අනුග්‍රහයෙන් පිළියෙල කරන ලද කැරල්ල පිළිබඳ තොරතුරු සංග්‍රහයක්ද තිබේ.

වසරක් පාසා අප්‍රේල් 05 වැනිදා විරුවන් සැමරීමේ උත්සවයක් පවත්වන ජවි පෙරමුණේ අප්‍රේල් විරුවන් නැතිවීමද සැලකිය යුතු කරුණකි. අනුර කුමාර දිසානායක 71 කැරැල්ල සිදුවන කාලයේ අවුරුදු දෙකක හෝ තුනක බාලයෙකු වූ බව බොහෝ දෙනා දන්නා ප්‍රවෘත්තියයි. 71 කැරැල්ලට සම්බන්ධ හා කැරැල්ල ගැන දන්නා පුද්ගලයින් සුළු පිරිසක් ජීවතුන් අතර සිටිති. ඔවුන් අතරින් වැඩි දෙනා අයත් වන්නේ මොනම ජාතිකත්වයක් වත් නැති පුහු මාක්ස්වාදීන් ගොඩටයි. එය ‘දේවසරණයේ’ හපන්කමක් බව ඉතිහාසය දන්නෝ දනිති. ‘අප්‍රේල් සංසදය’ හොඳම නිදසුනයි.

සිංහලයන් කැප්පෙටිපොල වැනි නායකයින්ට අදටත් ගරු බුහුමන් දක්වන්නේ 1817 කැරැල්ල අසාර්ථක වූ නමුත් ඔවුන් වීරයන් සේ මරණය භාරගැනීම හේතුවෙනි. ජවිපෙ ’දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් සිට මියයාම උතුම්ය’ යන වැකිය සඳහන් පෝස්ටර් දැන්වීම හැදුවේ ඉතිහාසය පිළිබඳ ඒ වැටහීමෙනි. වර්තමාන ජවිපෙ ප්‍රතිපත්තිය වී ඇත්තේ බඩගාගෙන හෝ බලය රැකගැනීමය.

යාපහුව යනු සොළීන්ට විරුද්ධව සංවිධාන වූ සිංහල කැරලිකරුවන් විසින් ගොඩනඟන ලද බලකොටුවකි. එහි ආරක්ෂා වූ රාජ්‍යයේ උරුමක්කාරයා සිංහලයන්ගේ නැදෑයන් වූ රාජ්පුත් සේනාවක් විසින් ආරක්ෂා කරද ලදි. රාජ්පුත් ඉතිහාසයේ චිර ප්‍රසිද්ධ පද්මිණි කුමරිය දඹදෙණි කාලයේ ලංකාවේ විසූ චෞහාන් රාජ්පුත් කුමරියකි. (සිංහල රාජ්පුත් නැදෑකමේ සිහිවටනය: සොකරි බලන්න)

පංජාබයේ ජලෛන්වලා බග් Jallianwala Bagh හි 1919 අප්‍රේල් 13 පැවැත්වු සත්‍යග්‍රහයට ඉන්දියාවේ නිදහස්කාමීන් දහස් ගණනක් රැස්වී සිටියහ. තුන් පැත්තකින් පවුරුවලින් වටවුන එම ස්ථානයට ඇතුළු විය හැකි කපොල්ල හමුදාව යොදවා හරස් කළ ජෙනරාල් ඩයර්, නිදහස්කාමීන්ට වෙඩි තබන ලෙස හමුදාවට නියෝග කළේය. (අම්රිත්සාර් සංහාරය) එදා මියගිය ඉන්දියානුවන් මෙන්ම අතීතයේ බ්‍රිතානය පාලනයට විරුද්ධව කැරලිගැසූවන්ද සැලකෙන්නේ එකම පරමාර්ථයකින් කටයුතු කළ පිරිසක් වශයෙනි. සුභද්‍රා කුමාරි චෞහාන්ගේ මේ කවිය නිදසුනකි.

“ජාන්සි රැජන”

සිහසුන් සෙලවිණි රජුන් ඇදවැටිණි
අලුත් පරපුරේ සවියෙන් වියපත් දඹදිව ලැබුවා නව පණ
අහිමිවු නිදහසේ මහිමය ජන හදවත් තුළ කිමිදුණි
පරයන් එලවන අදිටන හැම සිත් ගැඹුරේ රැව් දුණි
1857 වසරෙදි පුරාණ අසිපත් යළිත් දිදුල දුණි
බුන්ඩල් කවියන් අප හා කී ලෙස
පිරිමින් මෙන් සටන් වැදුණු
ජාන්සි රාජනී ඇයයි.”

  • ‘ජාන්සි රුජන’ Queen of Jhansi නමින් ප්‍රසිද්ධ ලක්ෂ්මී බායි (මණිකර්ණිකා 1828-1858) සිය සැමියා වූ ජාන්සිහි මහාරාජා වූ ගංගාධර් රාඕ සටනින් මියගිය පසු 1857දී රාජ්‍යය රැකගැනීමට බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව සටන් මෙහෙයවූ වීර කාන්තාවකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top