මේ පූජකයින්ට සාතන් වැහිලද?

Last Updated on 4 days by admin

මුල් බයිබලයේ, ‘යක්ෂයා’ නැත. මැවුම්කාරයාට විරුද්ධව එන්නේ එතුමා මැවූ සර්පයා (‘සර්පන්ට්’) ය. ඌ මොන වර්ගයේ ‘සර්පන්ට්’ කෙනෙකු දැයි පැහැදිලි නැති හෙයින්, ලංකාවේ ඇතැම් ‘තියොලොජි ආචාර්යවරු, ‘නාගයා‘ යයි කියති. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නාගයා අපරාධ නොකරයි.

යක්ෂයා බයිබලයට ඇතුළු වන්නේ ග්‍රීක ආගමික සාහිත්‍යයෙනි. පසුව යක්ෂයා හා ‘සාතන්’ පටලවනු ලැබ ඇත. කෝෂකරුවන් කියන්නේ ‘සාතන් උන්වහන්සේගේ සතුරාගේ ‘බ්‍රැන්ඩ්’ එක බව’යි. වර්තමානයේ බොහෝ මාධ්‍යකරුවන් සහ දේශපාලනඥයෝ, ‘ෆාදර්’ සහ හිමිනම පටලවාගෙන සිටිති. මල්වතු මහා නාහිමියෝය. මැල්කම් රංජිත් අතිඋතුම් හිමිපාණෝය. සාතන් ශක්තිවන්තයෙකි. එය පැහැදිලි වන්නේ, ඔහු මැවුම්කරුගේ අදහස්වලට විරුද්ධව කටයුතු කරමින් මනුෂ්‍යයා පාපයට පොළඹවන බැවිණි.

මැවුම්කාරයා වැරදිකරුවන්ට අනුකම්පාවක් නැත්තෙකි. එතුමා පළිගනී. ‘මම මාමා කෙනෙක් කියල හිතන්ඩ එපා’ යයි මනුෂ්‍යයින්ට කියයි. සිත දරුණු කර ගැනීම මැවුම්කරුට සේවය කරන පූජකයින් වැඩි පිරිසකගේ ස්වභාවයයි. යේසුස් වහන්සේට ඇණ ගැසීම නිදසුනකි.

කාදිනල් මැල්කම් රංජිත් කාලයක පටන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ‘මහමොළකාරයා’ ඇතුළු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති පිරිස සොයා දඬුවම් දිය යුතු බව නොනවත්වා කියයි. ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනයේ විමර්ෂණවලට අනුව මහමොළකාරයා සහරාන්ය. මේවා ගැන සිහිබුද්ධියෙන් ලබන බෞද්ධයෙකුට පෙනෙන හැටියට, කාදිනල් මැල්කම් රංජිත්ගේ හැසිරීමට හේතුව වෛරයයි. සිය වුවමනාව සඳහා ආණ්ඩු පෙරළීම සඳහා මහජනයා කුපිත කිරීමටද එතුමා කටයුතු කළේය. රාජ්‍ය ආරක්ෂක අංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉහළම තනතුරුවලට ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න පත් කළේ මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ඉල්ලීමට බව සභානායක ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී කීවේය. (ජුලි 11, ‘ද මෝනින් ටෙලිග්‍රාෆ්’) පත්වීම් සඳහා කාදිනල්තුමා කිසිම නමක් යෝජනා නොකළ බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පසුව රටට කීවේය. ඇත්ත කියන්නේ කවුරුන් දැයි මහජනයාට ප්‍රශ්නයකි.

‘පඩගැට ඇදීම’ ඉස්සර ගම්බද පාසල්වල කුඩා ළමුන් අතර සුලභ ක්‍රියාවකි. කිසියම් ළමයෙකු දුර්ගන්ධය හමන වාතයක් පිට කළ පසුව ළමුන් එක්වී කොහු කෙඳි ටිකක් සොයාගෙන එකක ගැටයක් ගසති. ළමයෙක් ගැටය ගැසූ කොහු කෙන්ද සමග ගැට නැති කොහු කෙඳි අතේ මිට මොළවාගෙන සිටියි. එක් එක් ළමයා කොහු කෙන්දක් බැගින් ගනියි. ගැටය ඇති ලණුව ගත් ළමයා වාතය පිට කළ අය ලෙස සිනාවට ලක් වේ. සමහර විට, ‘පඩයා’ කොහු කෙඳි අත තියාගෙන සිටි ළමයා වෙන්ටත් පුළුවන.

පාස්කු ප්‍රහාරය වැළැක්වූයේ නැතැයි චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කරන ලදි. එය ප්‍රමාණවත් නැතැයි කී කතෝලික සභාවේ ජන සංනිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා, ‘ඔහු මරා දැමිය යුතු යැයි’ යෝජනා කළේය. ^“Judicial action must be taken against this man. Life imprisonment is not enough. He deserves the death penalty,” said Father Jude”, The morning Telegraph, July 20) මිනිසුන්ට මරණ දඬුවම දිය යුතු යැයි කිසියම් කතෝලික පූජකයෙකු කියන්නේ, සාතන් ඔළුවට රිංගීම නිසා යැයි කතෝලික සංවිධානයක නායකයෙක් ප්‍රකාශ කළේය. (ජුලි 21 සවස දෙරණ ප්‍රවෘත්ති) සිරිල් ගාමිණී පියතුමා, මෙතෙන්ටත් පැන්නේය. ‘ජූඩ් පියතුමා කීවේ පෞද්ගලික අදහස මිස කතෝලික සභාවේ අදහස නොවේ යැ’යි එතුමා කීවේය.

පසුගිය කාලයේ ලංකාවේ ඇතැම් රූපවාහීනි නාළිකා සහ පත්තර සම්බන්ධ වී ‘යකුන්’ පිළිබඳව ලොකු සංවාදයක් සිදු කරන ලදි. එතනත් කළේ පටලැවීමකි. එය නොදැනී තමන්ගේ උරුමය හෙවත් යක්ෂ ඉතිහාසය ඉදිරිපත් කිරීමට සමහර භික්ෂුන් වහන්සේ සහ දේශප්‍රේමීහු ඉදිරිපත් වූහ. ඒ සංවාදය ඉතා සංවිධානාත්මක ක්‍රියාවකි. සිංහලයින් යකුන්ගෙන් පැවතෙන බව ක්‍රිස්තියානි ලෝකයට දැන්වීම සංවිධාකයින්ගේ පරමාර්ථය වී දැයි සමහරුන්ට සැකයක් තිබේ. පටලැවිල්ල නිසා සිදු වූයේ ඩයස්පෝරාව ලෝකයට කියන දේ සැබෑ වීමයි.

සිංහලයින්ගේ මුතුන් මිත්තන් වූ යක්ෂයින් හා ඉහත කී පිරිස යක්ෂයින් ගැන කියන කතා වටහා ගැනීමට සිංහල සංස්කෘතිය පිළිබඳ ගැඹුරු දැනුමක් වුවමනා කෙරේ. ඊට එක් හේතුවක් නම්, සිංහල ජනකතා සම්ප්‍රදායට අනුව බොහෝමක් දේ උපහාසයෙන් ඉදිරිපත් කිරීමයි. එක් කතාවකට අනුව, ගමරාලගේ බෑණා වන්නට එන්නේ නරියෙකි. මේ කතාව අසා, ‘නරි මනුස්ස ගෑණු ගන්නවා දැ’යි කිසියම් උගතෙකුට ප්‍රශ්නයක් ඇති වන්නට පුළුවන. එය නවීන උගත්කමේ ලකුණකි. මෙය කාන්තාවන්ට කරන අපහාස කරන ප්‍රබන්ධයක් යයි කියමින් ‘ලිබරේෂන් කාන්තාවන්’ සිංහල ජනශ්‍රැතිය විවේචනය කරන්නට පුළුවන.

මේ සිංහල ජනකතාවකි. දිනක් මද්දහනක එක්තරා ගම ගෙදරකට යකෙක් ගොඩ වූයේය. ‘අද ආවට කමක් නෑ. ආයෙ නම් එන්න එපා. අපේ ගමරාල හරි නපුරු මිනිහා.’ ගමමහගේ යකාට කීවේය. යකා ගමමහගේ දිහා බැලුවේය. ‘ උඹ හිතුවද මං කියන්නෙ බොරු කියල?’ කී ගමමහගේ ඇඳිවත මෑත්කර තමාගේ ස්ත්‍රී නිමිත්ත යකාට පෑවාය. යකා පණ එපා කියා කැලේට දිව්වේය. මෙය මීට වඩා හාස්‍ය රසයෙන් පිරි කතාවකි. ලිපියට ගැලපෙන ලෙස සකස් කරන්නට සිදු විය.

සිංහලයන්ගේ ඇතැම් කතාවලින් ඔවුන්ගේ ඉතිහාසයේ කියවෙන ශ්‍රේෂ්ඨ යකුන් මරි මෝඩයින් බවට පත් වේ. එහි ව්‍යංගාර්ථය යක් මුතුන් මිත්තන් මෙන්ම සිංහලයන් ද මෝඩකම් කරන බවයි. ඊට බෞද්ධ, කතෝලික, හින්දු කියා ආගමික වෙනසක් නැත. නිදසුනක් දක්වතොත් සිංහල කතෝලිකයන්ගේ පවුල්වල මුල සෙවූ විට වැඩිම සංඛ්‍යාවක් පැවතෙන්නේ ඉතිහාසයේ කතෝලික බිෂොප්වරුන්ගේ අප්‍රමාණ හිංසාවට ලක් වූ බෞද්ධ පවුල්වලින් බව පෙනේ. බොබ් මාලේ, වියට්නාම් යුද්ධ කාලයේ කළු ඇමරිකානුවන්ට ‘බෆලෝ සෝල්ජර්ස්’ යැයි කීවේ විනෝදයට යයි ඇතැම් සංගීත කණ්ඩායම් සිතති.

මැල්කම් රංජිත් කාදිනල්වරයාට පාප් තනතුර ලැබේ යයි බොහෝ සිංහලයින්ට සිතුනේ ඥානවන්තකමකට නොවේ. ඉතාලියේ වෙසෙන සිංහලයන්ගේ කතා අසා සමහරු උත්සව පැවැත්වීමට සූදානමින් සිටියහ. ටිකෙන් ටික ආර්ථික අවපාතයට ලක් වන යුරෝපය ඊට විසඳුම් සොයමින් සිටියි. කාදිනල් මැල්කම් රංජිත් පාප් ධුරයට පත් කිරීම බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවට මිස යුරෝපයට ප්‍රයෝජන වත් දෙයක් නොවන බව මොවුන්ට නොවැටහුණි. පාප් තනතුරට පත් වූයේ ඇමරිකානු බිෂොප්වරයෙකි.

මෙවැනි නිදසුන් ගොන්නකි. ටෂ්කන්ඩ්හි පැවති ‘බ්රික්ස්’ සමුළුවට සහභාගි නොවී යයි සමහරු අනුර කුමාර ජනාධිපතිවරයාව විවේචනය කළහ. පිටට වුවමනා ලෙසට මිස රටට වුවමනා තීන්දු තීරණ ගැනීමට ඔහුට බැරි බව ඔවුන්ට නොවැටහුණි. ‘බ්රික්ස්’ සමුළුවට සම්බන්ධ වන රටවලට තීරු බදු වැඩි කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා පසුව ප්‍රකාශ කළේය.

‘සිංහලයන්ට කිසිම දෙයක් දවස් 14කට වඩා මතක තියාගන්ඩ බෑ’ කියා ප්‍රභාකරන් කී බව සමහරු කියති. මාලිමාවට ඡන්දය දුන් අතිමහත් ජනතාව සැලකිල්ලට ගනිද්දී ඒ කතාව සැබෑවකි. බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේ අනුර දිසානායක ජනාධිපතිව හිටියා නම් ලංකාවට වෙන දේ බොහෝ දෙනෙකුට නොවැටහුණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවකි. ඒ සඳහා ජාතියේ ඉතිහාසය මකද්දී නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් හේන් කුඹුරුවලින් ඈත් වූ ඇතැම් අධ්‍යාපන නිලධාරීන් හා නිලධාරිනියන් හරිනි පිරිවරාගෙන වන්දි ගී ගයති.

වමට ගිය අනුර දිසානායක දකුණට හැරුණේය. ඔහු බලයට ගෙන ඒමට මහන්සි වූ බලශක්ති සේවකයන්ගෙන් වැඩි පිරිස දැන් කුලප්පු වී සිටිති. ලාල්කාන්ත දකුණට නොහැරෙන බව බොහෝ දෙනාගේ අදහස වූයේය. මහමෙර වාගේ නොසෙල්වෙන සමාජවාදියෙකු විදිහට පෙනී සිටි ලාල්කාන්ත එක වරම දකුණට හැරුණේය. ඒ, ‘වගා කර කෑමේ ප්‍රතිපත්තියක් තමන්ට නැති බවත් රටින් හාල් ගෙන්වීම තම ප්‍රතිපත්තිය බවත්’ කියමිනි.

ලංකාවේ වර්තමාන තත්වය ගැන අදහස් දක්වන ඩයස්පෝරාවේ නායකයෙක්, ‘මේ යක්කු මෝඩයෝ’ යයි කීවේය. ඔහු සඳහන් කරන යක්කු අනුරලා කෙරෙහි විශ්වාසය තැබූ සිංහලයින් මිස පුරාණ සිංහලේ විසූ යක්කු නොවෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top