අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්.

Last Updated on 3 months by admin

ඒ. ටී. ආරියරත්න නම් චරිතය කරළියට එන්නේ 1962 පමණ කාලයේ. ඒ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු හැටියට කනතොලුව නම් ග්‍රාමයේ රොඩී මිනිසුන් වෙනුවෙන් ශ්‍රමදානයක් පැවැත්වීම නිසයි.

එවකට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබමින් සිටි මා හට ඒ.ටී. ආරියරත්නව පෙනුනේ ඒ වන විටත් සකෘදාගාමී, අනාගාමී වැනි ඵලයකට පැමිණ සිටි උදාර යුග පුරුෂයෙක් ලෙසයි.

ඊට පසුව මට ආරියරත්නව මුණගැසෙන්නේ මා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටි අවධියේයි.

ගුරුවරුන්ට ලැබෙන වරප්‍රසාදයක් ලෙස වයෝවෘද්ධ ඒ.ටී. ආරියරත්නටත් භද්‍ර යෞවනයේ සිටි අප වැන්නන් සමග සමකාලීනව ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණා.

විශ්වවිද්‍යාල අරගල කොපමණ තිබුණත් ඔහු කටයුතු කළේ “අන්න බල්ලා. මෙන්න පොල්ල. මම සිල්” ප්‍රතිපත්තියේ පිහිටා සිටයි.

1973 වසරේ මා කොළඹ පිහිටි ‘මාර්ග’ ආයතනයේ සේවය කරන කාලයේ එම ආයතනය නඩත්තු කළ ජර්මනියේ Fredric Neuman Foundation ආයතනයේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන දැනගැනීමට ඉඩක් ලැබුණා.

ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන FDP සංවිධානයේ කටයුතුවල ජාත්‍යන්තර භූමිකාව ඉටු කළේ Fredrick Neuman පදනමයි. 1975 දී පමණ එහි ලංකා නියෝජිතයා වූයේ Bishop නැමැති ජර්මන් ජාතිකයායි.

ඒ.ටී. ආරිරත්නගේ ජීවිතයේ මල් ඵලගන්නේ Bishop සමග ඇති කරගත් දැඩි මිත්‍රත්වය තුළින්. මේ මිත්‍රත්වය හරහා ඔහු ජර්මනියේ Konstanz විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය Detlef Kantowski හඳුනා ගත්තා.

මේ සියලු දෙනාම ජර්මනියේ අන්ත දක්ෂිණාංශික FDP පක්ෂයේ සාමාජිකයින්. ඒ අන්තවාදී දේශපාලනය ලංකාවේ පැළකිරීමේ වගකීම ඒ.ටී. ආරියරත්නට පැවරෙන්නේ දෛවෝපගතව නොව දේශපාලන බඩගෝස්තරවාදී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසින්.

ආරම්භයේදී වැලේ වැල් නැතුව සිටි ආරියරත්න නම් වූ “අහිංසක උපාසක” බෞද්ධ සැදැහැවතා ජර්මනියේ දේශපාලන අන්තවාදීන්ගේ උදව් උපකාරයෙන් කෝටිපතියෙක් වීම පසුපස දීර්ඝ කතාවක් ඇත.

පශ්චාත් උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කර 1981 දී මා ජර්මනියේ සිට ලංකාවට පැමිණි පසු, ටික කලක් ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) Fredrick Ebert Federation සංවිධානයේ ලංකා නියෝජිත Dr. Peter Bernd සමග කටයුතු කළා. ඒ.ටී. ආරියරත්නගේ සර්වෝදය ව්‍යාපාරය හා Fredrick Neuman Foundation අතර ඇති අශුද්ධ සන්ධානය ගැන බොහෝ තොරතුරු Dr. Bernd ගෙන් දැන ගැනීමට ලැබුණා.

මේ අතරතුර කාලයේ ජර්මනියේ බටහිර බර්ලිනයේ වාසය කළ ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වූ Peter Mayer ආරියරත්නට සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස සර්වෝදය හා සම්බන්ධ වී ගොවි ජනතාවට ජීව වායුව නිපදවා ගැනීම සඳහා ආධාර කිරීමට ඉදිරිපත් වීම නිසයි. ඊට අමතරව එම ජර්මන් ඉංජිනේරුවා සූර්ය තාප ශක්තිය මගින් වතුර උණු කර ගැනීමේ තාක්ෂණයටත් සම්බන්ධ වී සිටියා.

ශ්‍රී ලංකාවේ කාන්තාවක් සමග විවාහ වී සිටි Peter Mayer කලක් සර්වෝදයේ පූර්ණ කාලීනයෙකු ලෙසත් සේවය කළා.

ශ්‍රී ලංකාව තුළ බුදු දහමට සහ ගැමි ජීවිතයට අත්වැලක් සේ පෙනී සිටි ආරියරත්න ඕලන්දයේ වෙළෙන්දෙක් වන Thondavil සමග එකතු වී මහා පරිමාණයේ ශ්‍රී ලංකා අත්කම් භාණ්ඩ සහ බතික් වෙළඳාමක් ජයටම කරගෙන ගියා.

ආරියරත්න හා ෆ්‍රෙඩ්රික් නොයිමන් පදනමේ Bishop මේ වන විටත් ශ්‍රී ලංකාවේ අහිංසක ගැමි තරුණ තරුණියන් දහඩිය මහන්සියෙන් නිපදවන අත්කම් භාණ්ඩ සහ බතික් කුණු කොල්ලයට මිලදී ගෙන යුරෝපයේදී ඉතා ඉහළ මිළකට විකිණීම කරගෙන ගියා.

ලංකාවේ ගැමි බෞද්ධ කාන්තාවක් සමග විවාහ වී සිටි හදවතින්ම බෞද්ධයකු වූ Peter Mayer මේ තත්ත්වය ඉවසුවේ නැහැ.

ලංකාව තුළ එක මුහුණුවරකින් හා යුරෝපයේදී තවත් මුහුණුවරකින් පෙනී සිටින්නට ආර්යරත්නට කියා දුන්නේ කෛරාටික බිෂොප්. ඔහුත් ඒවන විට ශ්‍රී ලාංකික කතක් සමග විවාහ වී සිටියා.

ආරියරත්න ඕලන්දයේ Thondavil සමග කළ අශුද්ධ වෙළඳාම ගැන තම අප්‍රසාදය පළ කරමින් Peter Mayer ආරියරත්නට ලිපියක් ලියා ඔහු සර්වෝදයෙන් ඉල්ලා අස්වන බව දැන්වූවා.

ඊට ආරියරත්න එවූ පිළිතුර Peter Mayer මා හට පෙන්වූයේ ආරියරත්න මොන තරම් කපටියෙක්ද, අවස්ථාවාදියෙක්ද කියා දැන්වීමටයි.

ආරියරත්න ඒ ලිපියෙන් Peter ගෙන් ඉල්වා තිබුණේ සර්වෝදයේ අභ්‍යන්තර තොරතුරු පිටට නොදෙන ලෙසත්, තවදුරටත් ආරියරත්නට සහයෝගය දෙන ලෙසත්. නමුත් Peter ගේ හෘදය සාක්ෂියට අනුව තවදුරටත් ආරියරත්නට සම්බන්ධ වී කටයුතු කරන්නට කැමැත්තක් තිබුණේ නැහැ.

Konstanz විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා මහාචාර්ය Kantowski ත් ජාඩියට මූඩියමෙන් හොඳින් පෑහුණා. කතෝලිකයකු වූ Kantowski යුරෝපයේ පෙනී සිටියේ බෞද්ධ කටයුතු පිළිබඳ පර්යේෂකයකු ලෙස පමණක් නොව බුදුදහම යුරෝපීය ජාතිකයින්ට පහදා දෙන අග්‍රගණයේ බෞද්ධ දේශකයෙක් ලෙසින්.

මා විසින් හඳුනාගෙන සිටි ස්විට්සර්ලන්තයේ Kreuzlingen නගරයේ ජීවත් වූ කෝටිපති ස්විස් ජාතිකයෙක් දිනක් මා හට ආරාධනා කළා ස්විට්සර්ලන්තයේ පන්සලක තිබුණු ආගමික වැඩසටහනකට සහභාගී වන්න කියා. එය මෙහෙයවීමට ආරාධනා ලැබ සිටියේ ජර්මනියේ මහාචාර්ය Kantowski.

පැමිණ සිටි පිරිසට (මාහැර සියලු දෙනාම යුරෝපීයයන්) Kantowski අලුත් බෞද්ධ භාවනා ක්‍රමයක් කියාදීමට උත්සාහ කළා. 25 ක පමණ බාල මහලු සැදැහැවතුන් පිරිසට මහාචාර්යතුමා උපදෙස් දුන්නේ එම ශාලාව තුළ සියලු දෙනාම එකිනෙකා පිටුපස පේළියක් මෙන් සිටගෙන ඉදිරියේ සිටින පුද්ගලයාගේ උරහිස් මත දෙඅත් තබා වට රවුමේ යන ලෙසයි. ඒ අය අතර සිටි වයසම පුද්ගලයාට වයස අනූවක් පමණ වෙනවා. මේ සියලු දෙනාම එකිනෙකාගේ කරමත අත් තබාගෙන වට රවුමේ යන විට මට නිතැතින්ම මතක් වූයේ අපි කුඩා කාලයේදී ළමුන් ලෙස ක්‍රීඩා කළ කෝච්චි යාමේ සෙළ්ලමයි.

Kantowski ලා යුරෝපයේ සිට බුදුදහමේ නාමයෙන් මිනිසුන් මුළා කරන විට, මෙම මහාචාර්යවරයාගේ ලංකා ගෝලයා වන ඒ.ටී.ආරියරත්නත් බුදුදහම විකෘති වන අන්දමේ නොයෙකුත් වැඩසටහන් මෙහෙය වූ බව මා හට සැළ වුණා. (මෙහි දෙවන කොටස ලඟදීම බලාපොරොත්තු වන්න).

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link