අපි පුස්කොළවල විතරක් නෙවෙයි වල්ලපට්ටාවලත් ඉතිහාසය ලිව්වා

Last Updated on 3 months by admin

අපේ ඇතැම් රාජ්‍ය පාලකයෝ, ජාතික උරුමයන් විදේශයන්ට අලෙවි කර මුදල් ඉපයීම රට සංවර්ධනය කිරීමක් සේ සලකති. මේ චින්තනය ඔවුන් ලැබූ අධ්‍යාපනයෙන් උරුම වූවකි. ජාතික උරුමය ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට පාවා දුන් උගතුන්, උපදේශකයින් සේ පත් වූ විට පාලකයින් නොමගයාම වඩාත් වේගවත් වේ.

ජාතික උරුමය ඇමරිකාව බඳු බටහිර රටකට පාවා දී උගත්කම ලැබූවන් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික දූ පුතුන් වශයෙන් අගයන්නෝද සිටිති. ඇමරිකාව, එංගලන්තය වැනි රටක ජීවත් වන උගතුන් කැඳවා ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ උපදෙස් ලබාදීම මහා හපන්කමක් සේ සලකන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෝ සිටිති. මෙවැනි උගතුන් ඇතැම් විට කරන්නේ, සියඹලා, ගොරකා, කහ, ඉඟුරු, කරපිංචා වැනි ඖෂධයක ගුණය, තමා කළ පර් යේෂණයකින් පැහැදිලි කරගත් බව කියමින් ජාතියේ උරුමය දන්නවුන් වශයෙන් රඟපෑමයි.

මීට සමාන ක්‍රියාවක් බොහෝ කාලයක සිට මුද්‍රිත මාධ්‍යවලින් ද කෙරේ. නිවාඩුවකට ලංකාවට පැමිණි, පිටරට ජීවත් වන උගතුන් සමග කරන ලද සංවාද පාඨකයන්ට ඉදිරිපත් කිරීම නිදසුනකි. මෙවැනි බොහෝ උගත්තු, ‘විදේශයන්හි සිටින නමුදු තමන් දේශීය දැනුම සොයන බව’ කියමින් රංගනයන්හි යෙදෙති.

මෙය මේ ආකාරයටම ඉන්දියාවෙහිද සිදුවෙයි. ඇමරිකාවට හෝ වෙනත් බටහිර රටකට ජාතික උරුමයන් පාවා දුන් උගත්තු මාධ්‍ය හමුවේ වීරයින් වශයෙන් පෙනී සිටිති. ‘අවේද’ Aveda නමැති ඇමෙරිකානු සමාගමේ කතාව නිදසුනකි.

ඉන්දියාවේ සංචාරයකට පැමිණි ඇමරිකානුවෙක්, ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් හිස සම්බාහනය කරවා ගත්තේය. එයින් තෘප්තියට පත් ඔහු, වෛද්‍යවරයා සම්බාහනය සඳහා භාවිත කළ තෙල් කුප්පියක් මිලදී ගත්තේය. පෙරළා ඇමරිකාවට ගිය හෙතෙම ඒ තෙලෙන් හිතවතුන් කිහිප දෙනෙකු සතුටු කළේය. ‘අවේද’ නමින් සමාගමක් ලියාපදිංචි කළ ඔහු යළි ඉන්දියාවට ගොස් වෛද්‍යවරයා හමු වී බෙහෙත් තෙල ඇමරිකාවට එවීමට කටයුතු පිළියෙල කර ගත්තේය. ඔහුගේ ව්‍යාපාරය වූයේ ඉන්දියාවෙන් ආනයනය කරන බෙහෙත් තෙල්, අලංකාර කුප්පියක් සහ දැවටුමක් ඇතිව ‘අවේද’ නමින් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමයි.

‘අවේද’ නම දකින බොහෝ දෙනෙකුට නිතැතින්ම ‘ආයුර්වේදය’ සිහියට නැගේ. ස්වාභාවික ශාක වර්ග ආයුර්වේදයේ පදනම බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නිරෝගී සුව පතා ස්වාභාවික ඖෂධ භාවිතා කිරීමේ විශාල උනන්දුවක් ඇමෙරිකාව ප්‍රධාන බටහිර රටවල පවතී. මේ පසුබිම තුළ ‘අවේද’ නිෂ්පාදන ජනප්‍රිය වූයේය. පසුව ‘අවේද’ ව්‍යාපාරික ඇමරිකානුවා, ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරයා ඇමරිකාවට කැඳවා ඔහුගේ ආධාරයෙන් තවත් ‘අවේද’ නිෂ්පාදන ගණනාවක් වෙළෙඳපොළට ඉදිරිපත් කළේය.

‘අවේද’ යනු ඇමරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් ගණනාවක මහත් ජනප්‍රියත්වයක් ඉසිලූ ඖෂධ සමාගමකි. විවිධ රටවල මෙහි ශාඛා 9000 කට වඩා තිබුණි. පසුව අයිතිකරු විසින්, ‘අවේද’ සමාගම ලෝකයේ ප්‍රසිද්ධම සුවඳ විලවුන් නිෂ්පාදන ආයතනයක් වන ‘එස්ටී ලවුඩර්’ සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 300 කට අලෙවි කළ බව සඳහන් වේ. මෙයින් කියවෙන්නේ ඉන්දියානු පාරම්පරික ආයුර්වේද ඖෂධ ඉන්දියාවට තුට්ටුවක් නොලැබී ඇමරිකාවට හිමි වූ බවයි.

වෘක්ෂලතාදියේ ඖෂධීය ගුණ පැහැදිලි කළ ඍෂිවරුන් ගණනාවකගේ නම්, ආයුර්වේද ඉතිහාසයේ සඳහන් වේ. මෙවැනි ඍෂිවරු ලංකාවේ සිටි බවට තොරතුරු නැතත්, පුරාණයේ වෛද්‍ය පොත පත ලිවීම බහුලව සිදු විණි. මේ පොත්පත් පරීක්ෂා කර, සිංහල වෛද්‍යවරුන් ගහේ වැලේ පැළෑටියේ ඖෂධීය ගුණ දැන ගත්තේ කෙසේදැයි පැහැදිලි කරගැනීම අසීරු කාර්යයකි. එය නොකළ හැකි දෙයක් වූ යැයි මෙයින් නොකියවේ.

පුරාණ භාරතයේ ගහ වැල පිළිබඳ තොරතුරු දැනගැනීම සිදුවූයේ ආයුර්වේදය නමැති අතිශයින් ගැඹුරු විෂයේ කොටසක් ලෙසිනි. අන්ධකාර අවදියේ පසුවූ යුරෝපයේ විද්‍යා පුනර්ජීවනය ඇතිවන විට, ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වී සිටියාය. මේ කාලය තුළ දී වෘක්ෂලතා පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ‘උද්භිද විද්‍යාඥයින්’ නමැති අලුත් පර් යේෂකයින් කණ්ඩායමක් බිහිකර ගැනීමට යුරෝපය සමත් විය. ජීවක, චරක වැනි ඍෂිවරුන් වෙනුවට වැඩ භාරගත් ඔවුහු, වෘක්ෂලතා පිළිබඳ අලුත් අදහස් හා සිද්ධාන්ත ප්‍රකාශ කරන්නට වූහ. මොවුන් ඉදිරිපත් කළ ඇක්විලේරියා (Aquilaria) ශාඛ පවුල මේ ගැන පැහැදිලි කරගැනීමට හොඳ නිදර්ශනයකි.

ඉන්දියාව, ඇසෑමය, ටිබෙටය, චීනය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, නේපාලය, පැපුවා නිව්ගිනියා, ශ්‍රී ලංකාව ආදි රටවල වැවුන ගස් වර්ග ගණනාවක් ඇක්විලේරියා පවුලට අයත් කර තිබේ. උද්භිද විද්‍යාඥයින් කියන ලෙසට ඊට හේතුව මේ ගස් වර්ග සියල්ලම අගාවුඩ් (Agarwood) නමැති රෙසිනය (resin – දුම්මල, ලාටු, මැලියම්) ඉපදවීමේ පොදු ගුණයෙන් යුක්ත වීමයි. මේ නිසාම මෙම ශාක පොදුවේ අගාවුඩ් නමින් හැඳින්වේ. අගාවුඩ් ගසේ කඳට කිසියම් තුවාලයක් සිදුවූ විට ගස රෙසිනයක් නිපදවා ගනී. මේ රෙසිනය ගණවෙමින් ගසේ කඳ පුරා පැතිර යයි. ලෝකයේ ඉස්තරම්ම වර්ගයේ ස්වාභාවික සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්නේ අගාවුඩ් රෙසිනයෙනි.

මෙය අලුත් සොයා ගැනීමක් නොවේ. ආයුර්වේදය සතුව තිබූ දැනුමකි. ‘ගහරු’, ‘අවුද්’ යන නම්වලින් හැඳින්වෙන ශාකයන්හි උපදින ලාටු (අගරමතී) වලින් ලෙඩ සුව කළ හැකි බවත් සුවඳ නිපදවිය හැකි බවත් භාරතීයන් මොනතරම් කාලයක සිට දැනසිටියා දැයි නිශ්චිතව කිව නොහැක. භාරතය පමණක් නොව චීනය, කාම්බෝජය වැනි රටවල වැසියෝ ද යම් යම් ගස්වල සිදුරු ඇතිකර ඒවාට ශාක යුෂ දමා සුවඳ නිපදවීමේ තාක්ෂණය දැන සිටියහ.

යටත් විජිත පාලන සමයෙන් පසුව විජිත සමයේ පෘතුගීසින්ගේ ඖෂධ ජාවාරම් මූලස්ථානය වී පැවැති පොන්ඩිචෙරියෝහි, ප්‍රංශ සමාගමක් විසින් පැළෑටි පර් යේෂණාගාරයක් පිහිටුවන ලදී. අප දන්නා ලෙසට ඇක්විලේරියා පවුල බිහිවීම මෙහි සිදුවූ පර් යේෂණයක ප්‍රතිඵලයකි. ඊට ලංකාවේ වල්ලපට්ටා ගස ද ඇතුළත් විය. උද්භිද විද්‍යාඥයන් වල්ලාපට්ටා ගස ගයිරිනොප්ස් වල්ලා (Gyrinops Walla) යනුවෙන් නම්කර ඇත.

ලංකාවේ ඇතැම් උද්භිද විද්‍යාඥයින් සහ පරිසරවේදීන් වල්ලපට්ට ගැන කියන කතා ‘යූ ටියුබ්’හි නැරඹිය හැකිය. වල්ලපට්ටා ගසේ පට්ටය වැල් හා රැහැන් සඳහා භාවිතා කළ බව ඔව්හු පෙන්වා දෙති. මීට වඩා වැදගත් කාරණය වල්ලපට්ටා සිංහල වෙදකමේ ඖෂධයක් වීමයි.

සිංහලයේ බෙහෙත් ශාකයකට නම් ගණනාවක් භාවිත වන අවස්ථා බොහෝය. නිදසුනක් දක්වතොත් සරස්වතී නිඝණ්ඩුවේ එක තැනක ‘අගිල්’ සඳහා නම් කිහිපයක් දැක්වෙන අතර නැවත ස්ථානයක සමන් පුප් සේ සුවඳැති අගිල් යනුවෙන් ලියා නම් කිහිපයක් සඳහන් කරයි. බොහෝ පොත්වල බෙහෙත් පැළෑටි සඳහන් වන්නේ ජනප්‍රිය නමින් නොවේ. තේරවිලි භාෂාවෙන් සඳහන් වන බෙහෙත් පැළෑටි නම් ද ඇත. වල්ලපට්ට සඳහා ද නම් කිහිපයකි. වල්පට්ටඅගිරු යයි යෙදුන තැන් තිබේ. අගරු, අගිල් නම් සඳුන් වර්ගයයි අර්ථ දක්වා තිබේ. කුංකුම අගිරු අගරු ආදී වශයෙන් ඖෂධ වර්ග කිහිපයක් නම් කර ‘ඇඟ පැහැකරන විලේපනය සෑදීමට භාවිතා කරන ආලේපනයක්’ යනුවෙන් සඳහන් කර තිබේ.

අගාවුඩ් පිළිබඳව ලියවුණු ලිපි බොහෝමයකින් පැහැදිලි කෙරෙන පරිදි, මේ නමින් හැඳින්වෙන්නේ, සංස්කෘත ලේඛනවල අවුද් ගහරු අගිරු යන නම්වලින් හඳුන්වනු ලබන ආයුර්වේද ඖෂධයයි. සිංහල වෛද්‍ය ග්‍රන්ථවල වල්ලපට්ට සඳහා අගිරු නම යෙදී තිබේ. අගිරු (වල්ලපට්ටා) දත් රෝග, උණ රෝග, ඇදුම ඇතුළු ප්‍රතිකාර ගණනාවක් සඳහා භාවිත කරන ලද ඖෂධයකි. සර්ප විෂට ප්‍රතිකාර කිරීමේදී රෝගියාට අල්ලන දුම පිළියෙල කිරීම සඳහා වල්ලපට්ට භාවිත කර තිබේ. තොවිල්වලදී කබලේ දුම් ඇල්ලීමට, වල්ලපට්ටා යොදාගෙන ඇත.

අගිරු (වල්ලපට්ටා) විෂබිජ නාශකයක් වශයෙන්ද භාවිත කර ඇති අතර හඳුන් කුංකුම අගිල් අගිරු එකතු කර සුවඳ දියරක් නිපදවා තිබේ. රාජකීයයන්ගේ මළ සිරුරු දැවීම සඳහා ද අගිල්, අගිරු හා සඳුන් දර භාවිත කර ඇත. පෘතුගීසි ලේඛනයක සඳහන් වන ලෙසට, සිංහලයෝ තල්කොළයේ සහ අගිරු පොත්තේ ඔවුන්ගේ ඉතිහාස කතා ලියූහ. මේ නම් ස්ථිරවම පදම් කරගත් වල්ලපට්ටා පොත්තයි.

අගිරු, හඳුන් සහ අගිල් ලීයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා කැපීම පුරාණ කාලයේ සිට සිංහලයන් අතර පැවති සිරිතකි. අගිරු (වල්ලපට්ටා) ලීයෙන් කළ උළුවස්සක් විළඳගොඩ විහාරයේ තිබුණි. පුත්තලම අනුරාධපුර පාරේ දහහතේ කණුවෙන් හැරී ඉහළ පුලියන්කුලම හරහා කි. මී. දොළහක් පමණ දුරින් කැලෑව මැද මෙම විහාරය පිහිටා ඇත. පුරාවස්තු කොල්ලකරුවන්ගෙන් බේරී තිබුණු මෙම උළුවස්ස මෑත කාලයක දී අතුරුදහන් වී තිබේ. දැන් එහි පැරණි උළුවස්ස වෙනුවට ඇත්තේ අලුත් උළුවස්සක් සහිත දොරකි. එම ස්ථානයට අප කැඳවාගෙන ගිය ඉහළ පුලියන්කුලමේ ඩී. ඇම්. සේනාරත්න සහ එච්. එම්. ජයවර්ධන යන මහත්වරු මෑතකදී උළුවස්ස ගලවාගෙන ගොස් ඇති බව පවසමින් ප්‍රදේශයේ පුරාවස්තු කොල්ලය පිළිබඳව දිගු විස්තරයක් කළහ.

අගිරු ලීයෙන් කළ පැරණි ලී භාණ්ඩ කිහිපයක් තායිවාන කෞතුකාගාරයේ තිබේ. මේවායේ මූල්‍ය වටිනාකම ගැන සඳහන් විස්තර දකින විට විළඳගොඩ අගිරු උළුවස්සේ මිල නියම කළ නොහැකි බව අවබෝධ වේ.

ගමන් මලුවල අසුරා, වල්ලපට්ටා රටින් පිට කිරීමට උත්සාහ දැරූ පුද්ගලයින් රේගුවට හසුවූ සිද්ධි සහ වල්ලපට්ටා ගස් කපන පුද්ගලයින් ආරක්ෂක අංශ විසින් කොටුකර ගැනීම් පිළිබඳ පුවත් අවස්ථා ගණනාවකදී මාධ්‍ය මගින් හෙළි කෙරුණි. වල්ලපට්ටා කැපීම නිසා රටේ ජෛව විවිධත්වයට සිදු වන තර්ජනය උද්භිද විද්‍යාඥයෝ සහ පරිසරවේදීහු ප්‍රකාශ කරති. ආණ්ඩුව, වල්ලපට්ටා කැපීම, ප්‍රවාහනය සහ රටපැටවීම පිළිබඳ අලුත් නීති ඉදිරිපත් කළේය. මේ හැම දෙයින්ම පැහැදිලි වන්නේ රට තුළ වල්ලපට්ටා සංහාරයක් සිදුවූ බවයි.

මේ සිදුවීම්වලින් පසු මහජනයාට ධනය සහ රටට විදේශ විනිමය උපයා දෙන නීත්‍යනුකූල වගාවක් වශයෙන් විදේශයකින් ගෙන්වන ලද ‘අගාවුඩ්’ (වල්ලපට්ටා) වගාව ඇරඹී තිබේ. ඒ කටයුත්තේ යෙදෙන ඇතැම් ආයතන ප්‍රසිද්ධ කර ඇති පත්‍රිකාවලින් කියවෙන ලෙසට, අගාවුඩ් වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, ඉන්දුනීසියාව ආදී රටවල් ගණනාවක ඉතා සාර්ථක වෙළෙඳ භෝගයකි. ඒ රටවල් විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් අගාවුඩ් ශාකවලට ‘ආමුකුලක’ ඇතුළු කර කෙටි කාලයකදි රෙසිනය නිපදවති. (මෙහිදී සිදු කෙරෙන්නේ ගසේ කඳ විද ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු කිරීමයි. සාමාන්‍යයෙන් ආමුකුලකයක් යනු ශාකයට රෝගයක් ඇති කිරීමට සමත් ජීවියෙකු හෝ ජීවී කොටසක්ය). ඔවුන් අගාවුඩ් රටට හා මහජනතාවට වාසනාව ගෙන දෙන ගසක් බවට පත්කර ගෙන තිබේ.

(නීත්‍යනුකුල) වල්ලපට්ටා වගාව දිරිගන්වන සමාගමක් නිකුත් කර ඇති ප්‍රචාරක පත්‍රිකාවක සඳහන් පරිදි අගාවුඩ් සහ වල්ලපට්ටා තයිමලාසියේ කුලයට අයත් ශාක දෙවර්ගයකි. මෙම ශාක දෙවර්ගයම අගාවුඩ් රෙසිනය නිපදවයි. එහි රසායනික වශයෙන් කිසිම වෙනසක් නොමැත.

ලංකාවේ වැවුන වල්ලපට්ටා (අගිරු) ගස ඖෂධ නිපදවීමට දායක වූවකි. උඩරට නිදහස් සටනින් පසු බ්‍රිතාන්‍ය පාලකයින්ගේ උදහසට ලක්වූ සිංහල වෙදකම යළි පිහිටුවීමට ලංකාව නිදහස ලැබූ පසුවවත් කිසිම ආණ්ඩුවකට අවශ්‍ය නොවීය. ජාවාරම්කරුවන්ට හසුවූ වල්ලපට්ටා ලංකාවෙන් වඳ වී යන ශාකයකි. රෙසින නිපදවීම ගැන පමණක් සලකතොත් රටින් ආනයනය කරන බීජවලින් බෝකරන අගාවුඩ් සහ සම්ප්‍රදායික වල්ලපට්ටා ශාක සමානය. එහෙත් අපේ වල්පට්ටා ගසට තිබුණ ලෙඩ සුවකිරීමේ හැකියාව රටින් ගෙනත් බෝකරන අගාවුඩ් ශාකයට නැත. එය මුදල් හා විදේශ විනිමය ලැබෙන ගසක් පමණි.

වඳවී යන තහනම් වල්ලපට්ටා වෙනුවට රටේ තහවුරු වන (නීත්‍යානුකුල) වල්ලපට්ටා පිළිබඳව වටහා ගැනීම සියලු රටවැසියන්ට වටිනා පාඩමකි. මේ දැනුම සිංහල ජනතාවට විශේෂයෙන් වැදගත් වන්නේ එය ඔවුන්ට ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ කදිම පාඩමක් කියාදෙන ගසක් බැවිනි. සරලව පැහැදිලි කරන්නේ නම්, අද සිංහලයන්ට වී ඇත්තේත් වල්ලපට්ටා ශාකයට සිදුවූ දේමය. වල්ලපට්ටා නමින් අද වැවෙන්නේ විදේශයෙන් ගෙන්වන ලද අගාවුඩ්ය. අපේ සැබෑ වල්ලපට්ටාවල ගුණය එහි නැත. සිංහලයන් නමින් රටේ සිටින පිරිසෙන් සැලකිය යුතු පිරිසකගේ තත්ත්වය ඊට සමානය. අවාසනාව නම්, ඒ පිරිස ක්‍රමයෙන් වැඩිවන බවක් පෙනෙන්නට තිබීමයි.

ලංකාවේ වැවුන වල්ලපට්ටා (අගිරු) ගස ඖෂධ නිපදවීමට දායක වූවකි. උඩරට නිදහස් සටනින් පසු බ්‍රිතාන්‍ය පාලකයින්ගේ උදහසට ලක් වූ සිංහල වෙදකම යළි පිහිටුවීමට ලංකාව නිදහස ලැබූ පසුවවත් කිසිම ආණ්ඩුව ට අවශ්‍ය නොවීය. ජාවාරම්කරුවන්ට හසුවූ වල්ලපට්ටා ලංකාවෙන් වඳ වී යන ශාකයකි.

(2019 ජනවාරි 6 ඉරිදා අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link