ජේ. ආර්. ගැන අප ඇසූ කතා

Last Updated on 4 months by admin

ඡන්ද දායකයින් නූගතුන් සේ හැසිරෙන රටක හැම යහපත් දෙයක්ම පෙරළෙන්නේ කණපිටටයි. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව පෙරළා, ජේ. ආර්. ජයවර්ධන බලයට පත් කිරීම හොඳම නිදසුනක්. ඉස්සර ලංකාවෙ පුරවැසියන්ට රටේ මොනම තැනකට යන්ඩවත් හැඳුනුම්පතක් වුවමනා වුනේ නෑ. 71 ජවිපෙ කැරැල්ලෙන් පසු ඒ නිදහස නැතිවෙලා රටේ හැමෝටම ජාතික හැඳුනුම්පතක් පාවිච්චි කරන්න සිද්ධ වුනා. මෙම ක‍්‍රියාව තදින්ම විවේච්නය කරපු එජාප නායකයින්, ජේ. ආර්. යටතේ හැඳුනුම්පත් නැති ‘ධර්මිෂ්ට සමාජයක්’ හදන්න පොරොන්දු දුන්න. ඊට රැවටුන සිංහල බෞද්ධයා සියතින් බෙල්ල මිරිකා ගත්ත.

ජේ. ආර්. යටතේ රටේ ඇති වුනේ අධර්මිෂ්ට පාලනයක්. මැරයින් රටේ නායකයින් විදිහට හැසිරෙන්න ගත්ත. නිදසුනක් කීවොත්, හාමුදුරුවරු කිහිප නමක් තුම්මුල්ලෙ හන්දියෙ උපවාසයක් ආරම්භ කළා. පහුවදාම හාමුදුරුවරුන්ට වලඳන්න කියල තණකොළ මිටි ගිහින් දාල තිබුණ. ගැටඹෙ පන්සලේ පූජ්‍ය ලබුදූවේ සිරිධම්ම හාමුදුරුවො ජේආර්ගෙ පාලනට විරුද්ධව කතා කතා කියල ගැටඹෙ පන්සල වටේ කටුකම්බි ගැහුව. උන්වහන්සේ තමයි ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලෙන් උපාධියක් ගත්ත පළවෙනි භික්ෂුව.

රටක අධර්මිෂ්ට පාලනයක් ඇතිවෙන කොට මහජනයාට කතා කිරීමේ හා ලිවීමේ නිදහස නැතිවෙලා යනව. ඒ යුගයේ ප‍්‍රවෘත්ති බලධාරියෙක් පත් කරල තිබුණ. බලධාරියා අනුමත කරන ප‍්‍රවෘත්ති විතරයි පත්තරවල පළ කරන්න පුළුවන්. මේ නිසා නිතරම පත්තර පිටුවල – විශේෂයෙන්ම මුල් පිටුවේ – ලිපිවල කොටස් ඉවත් කර ‘බලධාරියා විසින් කපන ලදී’ කියල වාක්‍යයක් පළ කරල තිබුණ. වරක් ඇත්ත පත්තරේ මුල් පිටුවේ, ‘උතුමාණෝ උලාකෑහ’ කියල විශාල හිස්තැනක පොල්ගෙඩි අකුරින් මුද්‍රණය කරල තිබුණ.
මේ වගේ තත්වයක් ආවාම පාලකයින්ට විරුද්ධව කතාන්දර හැදෙන්න ගන්නව. මෙවැනි කතාවලින් ප‍ළ වෙන්නේ රටවැසියා පාලකයින්ට දක්වන අප‍්‍රසාදයයි. අප විසින් ‘ජේ.ආර්. ගැන අප ඇසූ කථා’ නමින් ප‍ළ පත් කළ කතා සංග‍්‍රහයේ තියෙන්නෙ, ජේආර් ගැන ලංකාවෙ ගෙතුන කතා. මෙයත් බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් ප‍්‍රකාශනයක් ලෙසටයි නිකුත් කෙරුවෙ. පේ‍්‍රමදාස බලයට ආවට පසුව එහෙම කතාවක් හදන්ඩ තිබුණ නිදහසත් සිංහලයාට නැතිවෙලා ගිය බව මෙහිදී සඳහන් කළ යුතුයි.

මුද්දරේ කතාව
දවසක් ජනාධිපති ජයවර්ධන හදිසියේම ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ජනාධිපති මන්දිරය ඉදිරිපිට තියෙන මහ තැපැල් කන්තෝරුවට කඩා වැදුන. ඊළඟට කවුන්ටර්ටයක් ළඟට ගිහින් ශත හැටේ මුද්දරයක් දෙන්ඩ කියල ශත හැටක් දැම්ම. තැපැල් මහත්තයා ආසනයෙන් නැගිටල ශත හැටේ මුද්දරයක් දුන්න. ඒක ජයවර්ධන ජනපතිගේ රූපෙ දමල නිකුත් කරපු අලුත් මුද්දරයයි. ජනාධිපතිතුමා හොඳට කෙල ගාල මුද්දරේ කවරෙක ඇලෙව්ව.

‘‘මේක ඇලවෙනවනේ’’ ජනාධිපතිතුමා තැපැල් මහත්තයට කිව්ව.

‘‘ඔව් සර්…’’ තැපැල් මහත්තය පිළිතුරු දුන්න.

‘‘එහෙනම් මිනිස්සු මොකද මට පැමිණිලි කරන්නෙ අලූත් මුද්දරේ ඇලවෙන්නෙ නෑ කියල’’ එතුමා ඇහුව.

‘‘ආ සර්… මිනිස්සු ඔය මුද්දරේ අලවන්නෙ සර්ගෙ මුණ තියන පැත්තට කෙල ගහලනේ. ඉතින් කොහොමද ඇලවෙන්නෙ. ඒකනේ ඔය කතාව.’’ කවුන්ටර්ය අසල සිටි සුළු නිලධාරියා පැහැදිලි කළා.
(උපුටාගැනීම 26 -27 පිටු)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link