බටහිර පිල්ලිවල මෝඩ කතා අසන සිංහලයින්ගේ දැනගැනීම පිණිස

Last Updated on 1 month by admin

හිසකෙස් පාට කිරීම වර්තමාන ලංකාවේ බොහෝ තරුණියන් අතර ජනප්රිය මෝස්තරයකි. මෙම මෝස්තරයට හේතු වූ ඉතිහාස කතාවක් තිබේ. අතීත යුරෝපයේ රතුපැහැති කෙස් ඇති කාන්තාවන් කතෝලික දේවස්ථානයේ උදහසට ලක්විය. යුරෝපයේ ඉගෙනුම ලබා ලංකාවට පැමිණ බුදුන්ටත් අපහාස කරමින් අඥාන කතා දොඩවන කාන්තාවන්ගේ කතා අසන සිංහල කාන්තාවන්ගේ දැනගැනීම උදෙසා 1990 දී ජර්මනියේ මුද්‍රණය වූ ’අපරාජිතා’ සිංහල පොතෙන් පහත දැක්වෙන පරිච්ඡේදය උපුටා දක්වමු.

පිරිමි දෙවියෝ

ක‍්‍රි. පූ. යුගයේ ජර්මන් කාන්තාවෝ පිරිමින් හා සමාන හිමිකම් භුක්ති වින්දහ. රෝම නීතිය රටේ නීතිය වෙනතුරු ගැහැණුන් පාලනය කිරීමට පුරුෂයෝ නොසිතූහ. එකල පුද පූජා ලැබූ දේව මණ්ඩලයක් වූයේය. එය හිරු, සඳ, විදුලිය, හෙණ, සර්පයින්, වෘක්ෂලතා ආදී දෙවි දේවතාවියන් රැසකින් සමන්විත වූවකි.

සමාජය යක්දෙස්සියන් පිළිබඳ අචල විශ්වාසයකින් කටයුතු කළේය. යක්දෙස්සියන් හෙවත් මායාකාර කාන්තාවන් ඉළපත් මත හිඳගෙන අහසේත් පොළාවේත් සැරිසරතැයි සිතූ ඔවුන් දැනසිටියේ හැම යක්දෙස්සියකගේම උරහිස මත කළු බළලෙකු නිදා සිටින බවයි.

මායාකාර යක්දෙස්සියෝ මිනිස් වර්ගයාට බොහෝ සේ ඇලූම් කළහ. ඔවුන්ගෙන් අසරණයන්ට, දිළින්දන්ට, ගොවීන්ට, ගෙවිලියන්ට නොයෙක් උපකාර ලැබුණි. යමෙකුට වරදක් වූයේ ඉතා කලාතුරකිනි. ජනයා දැන සිටියේ මායාකාරියන් විකාරකාරියන් විදිහටයි.
සෑම අවුරුදු වාරයක්ම කෙළවර වූයේ ‘වල්පුර්ගිස්’ රාත‍්‍රියෙනි. ඒ දිනය හෙවත් බක් මහේ අවසාන දින රාත‍්‍රියේ බ්ලොක්ස්බර්ග් ගිරි මුදුනට සියලූම යක්දෙස්සියෝ රැස්වූහ. ඒ ඔවුන්ගේ වාර්ෂික සම්මේලනයයි. වල්පුර්ගිස් රාත‍්‍රිය කෙළවර වූයේ ප‍්‍රීති සම්භාෂණයකිනි. කා බී නටා වයා ප‍්‍රීතිවූ යක්දෙස්සියෝ තම තමන්ගේ ඉළපත් යානා මත නැගී රුක් මුදුන්හි, ගිරි මුදුන්හි සැඟවී ඇති විමාන කරා ගියහ. තවත් කොටසක් පොළවට පැමිණියහ. ගෙපැල් ඇතුළට රිංගූහ.

මධ්‍යතන සමයේ ජර්මනියේ බලවත් වූ රෝමානු දේවස්ථානය ජන ඇදහිලිවලට විරුද්ධව යුද්ධ ප‍්‍රකාශ කළේය. ඔවුන්ගේ අන්ධ අනුගාමිකයින් රැල, ‘දුෂ්ඨ විශ්වාසයන් අතුගා දමන්නෙමු’යි උමතුවෙන් මායාකාරියක් වැනසීම කළහ.
මායාකාරියන් සෙවීමේ හා නැසීමේ බලය ආගමික අධිකරණයට තිබුණි. ඔවුන්ගේ චරපුරුෂයෝ සහ සොල්දාදුවෝ දඩයම් සොයමින් ගම් දනව්හි සැරි සැරූහ.

කිසියම් නිවෙසක රතු පැහැති හිසකේ ඇති තරුණියක වේ නම් ඈ සැකයට භාජනය විය. රතු කෙස්, තරුණියක යකුන් හා සම්බන්ධකම් පවත්වන බව පෙන්වන සාක්කියක් හැටියට සැලකුණි. තරුණ විය ඉක්මවන තෙක් විවාහ නොවී සිටීමද, විශේෂ චරිත ස්වභාවයන් ඇතිකමද තරුණියක මායාකාරියන් සමග සබඳකම් පවත්වන සාක්ෂ්‍ය වශයෙන් සැලකුණි.

චෝදනා ලබන තරුණිය අධිකරණ ශාලාවට ගෙනෙනු ලැබේ. විනිශ්චයකාර පාදිලිවරු, ‘උඹ යකුන් හා රමණය කරන්නේදැ’යි ඇගෙන් අසති. ඔවුන් තරුණිය වධක යන්ත‍්‍රවලට දමමින් සත්‍ය හෙළිකර ගැනීමට වෙහෙසේ. වධ ඉවසිය නොහැකි නිසා, ‘තමා මායාකාරියක බව’ ඈ කියයි. තමා යකුන් සමග නිදි වදින බව පවසයි.

නායක පාදිලිවරයා දඩුවම නියම කරන්නේ ඉන් පසුවයි. යකුන් සමග හාදකම් පැවැත්වීමට දඩුවම, පණ පිටින් පුළුස්සා දැමීමයි. ඊට ලිහිල් ද`ඩුවමක් නියම වන අවස්ථාද තිබුණි. ඒ ගෙලේ ගලක් බැඳ දියේ ගිල්වීමයි. යකුන් සමග හාදකම් පැවැත්වීමේ චෝදනාව මත මරා දැමූ කාන්තාවන් දස දහසක ඉක්මවයි.

එකල කාන්තාව වෛද්‍ය ශාස්ත‍්‍රයක් උරුමකරගෙන සිටියාය. ඒ බෙහෙත් පැළෑටි කෙම් මන්ත‍්‍ර විජ්ජාවලින් සම්පූර්ණ වූ සම්ප‍්‍රදායික වෛද්‍ය ශාස්ත‍්‍රයකි. පූජකයෝ ගැහැණිය වෛද්‍ය ශාස්ත‍්‍රයක් දැන සිටීම නොරිස්සූහ. ඔවුහු මායාකාර ස්ත‍්‍රීන් සමග වෛද්‍ය ශාස්ත‍්‍රයද පිළිස්සූහ.
(‘අපරාජිතා,’ හෙචින්ගන්, ජර්මනිය, 1990, පිටු 8-11.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link