Last Updated on 1 month by admin
කවුඩංගොල්ලේ මහවිදානෙ

Pic. credit: lankatruth.com
අතීසාරය පැතිරුණු කාලයක් ගැන සත්කෝරළයේ වෙසෙන සමහර වැඩිහිටියෝ කියති. බ්‍රිතාන්‍ය ආණ්ඩුව අතීසාරය මැඩීමට නොයෙක් උපක්‍රම භාවිතා කර තිබේ. ’අතීසාරයට අමුඩේ ගහනවා වගෙයි’ උපහැරණය ඒ කාලයේ උපන්නකි. අමුඩය සිංහලයන්ගේ පෞරුෂත්වය ප්‍රකාශ කළ ඇඳුමකි. හිරවෙන්ඩ අමුඩය ගසා අධෝමුඛය තද කිරීම අතීසාරයට විසඳුමක් නොවීය. මාලිමාව අතීසාරය හදාගත් ආණ්ඩුවකි. එය බලයට පත් කිරීමට වෙහෙසුන උගතුන්ගේ උපදෙස් අතීසාරයට අමුඩය ගහගන්න කියනවාට සමානය. බඩඑළිය අමුඩය දෙපැත්තෙන් බේරේ. ලෙඩාගේ රෝග තත්වය උත්සන්න වේ.
‘160ට පැට්‍රල් ගහගෙන, ලයිට් බිල් අඩුකරගෙන, අඩුවට හාල් පොල් කාලා, ලාබෙට ගත්ත කාරෙකක් තියාගෙන ෆන් එකේ ඉන්ඩයි මුන්ට ඡන්දය දුන්නෙ. දැන් සම්බෝලයි බතුයි තියා ලුණුයි බතුයි කන්ඩවත් විදිහක් නෑ.’ ඔල්මොරොන්දන් වූ සමහර ජනයා කියති.
‘මදැයි වී ටික 150 ගාණෙ ආණ්ඩුව විකුණන්ඩ බලං හිටියා’ ගොවියෝ හූල්ලති.
ඒ එක පැත්තකි. තව පැත්තක් තිබේ.
රට වෙනුවෙන් නිකං සේවය කරන එන බව කී උදවිය සභාපති පදවිවලට පත්ව හිටපු සභාපතිලාටත් වැඩියෙන් ලොකු පඩි, දීමනා ගනිති. නීතිපතිට බලපෑම් කිරීම, ඇමතිලාගේ සැප වාහන පාවිච්චිය, හොර පාරෙන් වාහන පෝළිම් මැද වීථි සංචාරය කිරීමද වැනි දේ සිදු වේ. ජනාධිපතිවරයා මුඛයෙන් රටට වැඩදායී කතාවක් පිටවෙන්නේ කවදා දැයි ඡන්දය දුන් සමහරු බලාගෙන සිටිති. මේ නිසා මාලිමා බලකොටු වී පැවති බොහෝ ගම්වල දැන් මාලිමාවට ඡන්දය දුන් අයකු සොයාගන්නට අමාරුය.
මෙවැනි සමයක මාලිමාවේ න්‍යායාචාර්ය වශයෙන් ප්‍රසිද්ධව සිටි මහාචාර්ය ලියනගේ අමරකීර්ති මැටාහි මෙසේ සටහනක් තබයි.
“වෙනස පෙන්නමු
දයාසිරි ජයසේකර පරණ දූෂිත දේශපාලන පද්ධතියේම නියෝජිතයෙක් වෙන්න ඇති. පසුගිය දශක කීපෙදි ඔහු කිසිම හරයක් ඇති හෝ සංකල්පමය ගැඹුරක් ඇති දෙයක් කියලා නැතුව ඇති. අපේ රට අද වැටී ඇති තැනට ඇද දාපු දේශපාලනයෙම කොටස්කාරයෙක් මිස ඊට පිටින් හිටපු කෙනෙක් නොවනවත් ඇති.
නමුත් ඔහු පාර්ලිමේන්තුවෙ යමක් කියන විට මාලිමා මැති ඇමතිවරු කෑකෝ ගසමින් බාධා කිරීමෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් මතුවී පෙනෙන්නෙ නෑ.
පාර්ලිමේන්තුවෙ ඉන්න විපක්ෂ චණ්ඩි මෙල්ල කරන වැඩේ බිමල් හොඳට කරනවා.
අනික් අය කළ යුත්තේ කරුණු සහිතව, ව්‍යක්තව, සංයමයෙන්, ආකර්ෂණීය වාගාලංකාරයෙන්, පුනරුද කතිකාව ඉදිරියට ගෙන යන ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීමයි. එහිදී කෝපයට වඩා බුද්ධිමය හාස්‍යය තමයි වැදගත්. ඉංග්‍රීසියෙන් විටි (witty) කියන්නෙ ඒකට.
ලාල්කාන්ත නම් තමන්ගෙ කතාවලට තරමක හාස්‍යයක් එකතු කරනවා. මේ වැඩේ හරියට කරන්න මන්ත්‍රීවරු හොඳට පොතපත කියවලා තියෙන්නත් ඕනෙ වෙයි.
නියෝජ්‍ය කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා සභාගර්භයේ ඩෙකෝරම් (Decorum) ආරක්ෂා කරන්න කියලා. ශෝභනත්වය, විනීතාචාරය, යෝග්‍යතාව කියා ඒක සිංහලෙන් හඳුන්වන්න පුළුවන්.
ආකෘතික ශෝභනත්වය කෙසේ වෙතත් අලුත් ලංකාවක් පිළිබඳ අදහසේ සංකල්පමය ශෝභනත්වය සහ ගම්භිරතාව (ගැඹුර) රැකෙන්න ඕනෙ.
ඕවා තිස්ස කුට්ටිලාට, ප්‍රසන්න රණවීරලාට හෝ රෝහිත අබේගුණවර්ධනලාට කළ හැකි දේවල් නෙමේ. වෙනස කියල කිව්වට මදි වෙනස පේන්න ඕනෙ.
ඉස්සර එන්එම්, කොල්වින්, අනුර බණ්ඩාරනායක, සහ බොහෝ දෙමළ මන්ත්‍රීවරුන් කළ කතා අලූත් මන්ත්‍රීවරු කියවලා බලන්න ඕනෙ. සී. සුන්දරලිංගම්ගෙ කතා සහ ලිපි මට නම් එහිදී හරි විශේෂයි.”
න්‍යායාචාර්ය මහාචාර්ය අමරකීර්ති ලියනගේ කවියෙකි, ලේඛකයෙකි, විචාරකයෙකි, ආචාර්ය උපාධිධරයෙකි. මෙවැන්නෙකුට හිස පිරුණු උගත්කම නිසාම ඉතිහාසයේ සිදු වුන යම් යම් දේ අමතක වෙන්නට පුළුවනි. ‘අපේ රට අද වැටී ඇති තැනට ඇද දාපු දේශපාලනයේ’ ජවිපෙ සම්මාදම’ ඔහුට මගඇරුන සිදුවීමකි. මෙය ජවිපෙ මැතිවරණයකින් රටේ පාලන බලය ලබාගත් පළමු අවස්ථාව වුවද, ඔවුන්ගේ ඉතිහාසය දෝරේ ගලන්නේ තුවක්කුවෙන්, තුණ්ඩුවෙන්, වැඩවැරුමෙන්, විරෝධතාවෙන්, කඩාකප්පල් වැඩවලින් රට පාලනය කළ අවස්ථාවලිනි. ගොඩගත නොහැකි තරම් ආර්ථික අගාධයකට රට ඇද වැටුණේ 87-89 ජවිපෙ භීෂණය නිසා රට අකර්මණ්‍ය වීමෙනි.
න්‍යායාචාර්යතුමා, ‘විපක්ෂයේ චණ්ඩි’ යනුවෙන් විශේෂණයක් ඇතිව ලිවීම අපට උගන්වන්නේ ආණ්ඩු පක්ෂයේත් චණ්ඩින් ඉන්නා බවයි. ඔහු, එක් උදාහරණයක් වශයෙන් බිමල් දක්වයි. අපට තවත් උදාහරණ සිහිපත් කිරීමට පුළුවන. අරගලය අවස්ථාවේ ‘තමන්ගේ ක්‍රමයට පට් පට් ගා රට පුරා පණිවිඩ යවා ගෙවල් ගිනිතැබ්බවූ හැටි’ ලාල්කාන්ත කියා තිබේ. ඒ අවස්ථාවේ ඝාතනයට ලක්වූ පර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ආරක්ෂකයා ගැන දැන් කාටවත් මතක නැත. ඒ දිනවල පාර්ලිමේන්තුවට ‘ගේම දෙන්න’ එන්නැයි ජනතාව උසිගන්වන්නට හැදුවේ සුනිල් හඳුන්නෙත්තිය. 87-89 කාලයෙන් ඉතිරි වූ ගල්කටස්කාරයන් කීප දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටිය හැකි බවටද අමරකීර්තිතුමාගේ කතාවෙන් සැක හිතේ.
එතුමාගේ ලියවිල්ලෙන් උත්ප්‍රාස රසය නැගෙන්නේ රට මෙතෙක් කරපු සියලු දේශපාලකයන්ට බැණ අඬගසා, පැරණි මන්ත්‍රීවරුන්ගේ කතා කියවන්නට ගෝලබාලයින්ට උපදෙස් දුන් තැනයි. පන්ති සහෝදරත්වය ගැන කතා කරන මාක්ස්වාදියෙකු වූ අමරකීර්ති, මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට සහෝදරයින් යැයි නොකියා, ‘මාලිමා මැති ඇමතිවරු’ යනුවෙන් සඳහන් කරයි. ඔහු කියන ලෙසට එන්එම්, කොල්වින්, අනුර, සුන්දරලිංගම් වැන්නන් මෙන් කතා කරන්නට මාලිමාවේ නවක මන්ත්‍රීවරුන්ට පුරුදු පුහුණු කිරීම මොන ජගතෙකුටවත් කළ නොහැක.
අමරකීර්ති, ‘බොහෝ දෙමළ මන්ත්‍රීවරුන්’ යනුවෙන් සඳහන් කර, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතික මන්ත්‍රීවරුන්ගේ හැකියාවන් සිහිපත් නොකිරීමත් වරදකි. එය ඔවුන්ට කළ නින්දාවක් මෙන්ම ජාතිවාදය ඇවිස්සීමක් වශයෙන් කෙනෙකු තර්ක කිරීමට පුළුවන.
මේ කරුණු නොසැලකුවත් ඔවැනි වැඩමුළු පවත්වන්නට තිබුණේ කාලයකට පෙරදී බව එතුමාගේ පඬි මොළයට වැටහිය යුතුය. මාලිමාව සීනුව හඬවපු ආකාරයට නම් ජනතාව සිතා සිටියේ රට ගොඩ ගන්නට හැකි මහා ප්‍රාඥයින් පිරිසක් පාර්ලිමේන්තුවට පත් වනු ඇති බවයි. දැන් බැලූ විට යුද්දෙට එවා ඇත්තේ තුවක්කුවට පතුරම දාගන්නට බැරි ජාතියේ භටයන් පිරිසකි.
අමරකීර්ති ඇදුරුතුමාට අමතක වූ තවත් දෙයක් තිබේ. රට වේගයෙන් ඩිජිටල්කරණය කරන්නට යන යුගයක, මන්ත්‍රීවරුන්ට පොතපත පමණක් සිහිපත් කිරීම ප්‍රමාණවත් නොවේ. දැන් අන්තර්ජාලය, ඒඅයි, වැනි නවීන ක්‍රම භාවිත කර දැනුම ලබාගැනීමේ පහසුකම් තිබේ.
ජවිපෙත්, මාලිමාවත් කාලයක් මුළුල්ලේ කරගෙන ආවේ අනුන්ට දෙස්දෙවොල් තැබීමයි. වෛරය ක්‍රෝධය පැතිරෙන අදහස් පළ කිරීමයි. එය දන්නා රටවැසියාට පාර්ලිමේන්තුවේ ‘මැති ඇමතිවරුන්’ දයාසිරි කතාකරද්දී කෑකෝගැහීම සාමාන්‍ය සිදුවීමකි. එවැනි ඝෝෂකයින් පිරිසකට බුද්ධිමය හාස්‍යය මතු කෙරෙන කතා පැවැත්වීම පුරුදු පුහුණු කරවීම වැලි මිරිකා තෙල් ගැනීම වැනි ක්‍රියාවකි.
කොහොම වුනත් න්‍යායාචාර්යතුමාත් දයාසිරිට බය බවක් පෙනේ. ‘වෙන්න ඇති, නැතුව ඇති, නොවනවත් ඇති” ආදි වශයෙන් ඇඟ බේරාගෙන කතා කරන්නේ ඒ නිසාය. විප්ලවකාරයින්ට ඔයිට වඩා කෙලින් කතා කරන්ඩ වලංගු තිබිය යුතුය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ සැබෑ කාර්යභාරය පිළිබඳව සටහනේ මොකවත්ම සඳහන්ව නැතිවීම මහාචාර්යවරයාට හොඳටෝම වැරදී ඇති තැනකි. පුනරුදය, අලුත් දේශපාලන සංස්කෘතිය වැනි හරබර වචනවලින් පැවසෙන දේ යථාර්ථයක් කළ හැක්කේ, පාර්ලිමේන්තු නියෝජිතයන් සිය සැබෑ රාජකාරිය නිසියාකාරව කිරීමෙනි. ඔවුන්ගේ කාරිය විපක්ෂයේ චණ්ඩින් මෙල්ල කිරීම හෝ ඔවුන්ට බුද්ධිමය හාස්‍යය මතු කෙරෙන ආකාරයේ උත්තර දීම නොවේ. දැන් අවශ්‍ය රට ගොඩගත හැකි වැඩ පිළිවෙළක් ගැන කතා කරමින් ඒ සඳහා අවශ්‍ය අනපනත් සම්පාදනයට යොමු වීමයි. පාර්ලිමේන්තුව යනු රටට අවශ්‍ය නීති හදන තැන විනා කටින් වැඩ පෙන්වන තැනක් නොවේ. න්‍යායාචාර්යතුමා වැන්නකුගේ කාරිය විය යුත්තේ, ඒ ගැන ඔවුන්ට අවබෝධයක් ලබාදීමයි.
හොර සහතික හෝ ඇත්ත සහතික හෝ එල්ලාගෙන ටයි කෝට් දාගත් පමණින් අලුත් දේශපාලන සංස්කෘතියක්, පුනරුදයක් ඇති කළ නොහැකිය. ඊට අවශ්‍ය වන්නේ දැනුමෙන් බුද්ධියෙන් ප්‍රඥාවෙන් රටේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට පිළියම් ඉදිරිපත් කළ හැකි පිරිසකි. පොල් හිඟයට විසඳුම සම්බෝල හා කිරිහොදි නොකෑමයි, වඳුරු ප්‍රශ්නය නිම කළ හැක්කේ බ්‍රොයිලර් මස් විකිණීම නතර කිරීමෙනි වැනි වාචාල කතා දොඩවන්නන්ට රටක් ගොඩ ගන්ඩ නුපුළුවන.
අමරකීර්ති පුවත්පත් ලිපි ලියූ අතීතයේ, විශ්වවිද්‍යාල කැන්ටිමේ අත්දැකීමක් ලියා තිබුණි. ‘තමා පානුයි පරිප්පුයි කමින් සිටිනු දුටු සිසුවියක, අමරකීර්තිත් පාන් කනවාදැයි යෙහෙළියකගෙන් විමසූ බව’ ඔහු ලියා තිබුණි. තරුණ වියේදී සෙය්‍යමාන, හීනමාන කතා කීම සාමාන්‍ය දෙයකි. එහෙත් හැට පනින කාලයේත් ඒ මානසිකත්වයේම පසුවෙන, මහාචාර්යවරයෙකුට එවැනි කතා තරම් නොවේ. එතුමාගේ උපදෙස් සංග්‍රහයේ ඉංග්‍රීසි වචන යෙදීමේ පොඩි අවුලකි.
බුද්ධිමය හාස්‍යය ගැන කියන ඔහු, ‘ඉංග්‍රීසියෙන් විටි (witty) කියන්නෙ ඒකට’ යැයි කියයි. ටයිකෝට් ඇඳගත් මාලිමා මන්ත්‍රීවරුන් කොලේ බලාගෙන ඉංග්‍රීසි කියවන්ඩ ගොහිනුත් පච වෙන පචවිල්ල සලකන විට පොඩියට ඉංග්‍රීසි ටිකක් කියා දෙන්නට එවැනි වගන්තියක් දැම්මා නම් එය එතරම් ප්‍රශ්නයක් නොවේ. නමුත් මහාචාර්යවරයා අනවශ්‍ය තැනක අනවශ්‍ය ආකාරයෙන් ඉංග්‍රීසි වචනයක් උළුප්පා දැක්වීම සැලිකිලිමත් විය යුතු දෙයකි. ඒ වාක්‍යය මෙසේය:
‘නියෝජ්‍ය කතානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා සභාගර්භයේ ඩෙකෝරම් (Decorum) ආරක්ෂා කරන්න කියලා. ශෝභනත්වය, විනීතාචාරය, යෝග්‍යතාව කියා ඒක සිංහලෙන් හඳුන්වන්න පුළුවන්.’
සාමාන්‍යයෙන් නියෝජ්‍ය කතානායකවරයකු ‘සභාගර්භයේ ඩෙකෝරම් ආරක්ෂා කරන්න’ කියා කලවම් බසින් කියන්නේ නැත. එක්කෝ එය ඉංග්‍රීසියෙන් කියයි. නැතිනම් සිංහලෙන් කියයි. සම්ප්‍රදාය එයයි. ඉංග්‍රීසි සිංහල කලවම දාන්නේ අමරකීර්ති ඇදුරුතුමාය. සිංහල අංශයක මහාචාර්යවරයකුට යමක් සිංහලෙන් පැහැදිලි කරන්නට පුළුවන්කම තිබියදී වාක්‍ය මැද්දට කඩු කෑලි බැස්සවීම අසුබ නිමිත්තකි. එය ඔහුගේ ශාස්ත්‍රවන්තභාවයට නොගැලපේ. න්‍යායාචාර්ය දැනුමට කැළලකි. ජනතාවට, න්‍යායාචාර්ය, නයාචාර්ය වී පෙනෙන්නට පුළුවන.
නියෝජ්‍ය කතානායකවරයා එය කීවේ ඉංග්‍රීසියෙන් නම්, ඉංග්‍රීසි වගන්තිය යොදා ඒ කීවේ මේක යැයි විස්තර කිරීම උචිතය. නියෝජ්‍ය කතානායකවරයා එය කීවේ සිංහලෙන් නම්, මැද්දට ඉංග්‍රීසි ඩෙකෝරම් වචනය දැමීම විහිළුවකට එහා ගිය දෙයකි. ඩෙකෝරම් යනු ‘ශෝභනත්වය, විනීතාචාරය, යෝග්‍යතාව යනුවෙන් න්‍යායාචාර්යතුමා කරන විග්‍රහයද, පාර්ලිමේන්තු සම්ප්‍රදාය සලකා බලද්දී, අසම්පූර්ණ එකකි. කොයි ආකාරයෙන් ගත්තත් මෙය එතුමාගේ මානසික මට්ටමත් ශාස්ත්‍රවන්ත භාවයත් අභියෝගයට ලක්කරන්නකි.
සුචරිත ගම්ලත් පෙර අපර දෙදිග භාෂා කිහිපයකින් ඉතා ව්‍යක්ත ලෙසින් පොත පත ලියූ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි. අමරකීර්තිට, සුචරිතගේ විචාර කලාවට ළං විය නොහැක. සුචරිත මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙකි. ඔහු විශ්වවිද්‍යාලයේ සිංහල අංශවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ දැනුම ගැනත් කී අයෙකි. (සරච්චන්ද්‍රගේ නාට්‍යයේ ‘වෙමි මම සුවචා දූකුමරී’ යනුවෙන් ඇති නිසා) මනමේ කුමරියගේ සැබෑ නම සුවචා බව කිසියම් ආචාර්යවරයෙකු විශ්වවිද්‍යාල දේශනයකදී කී බවක් වරෙක ඔහු කීවේ සුපුරුදු උපහාස රසය මතුකරමිනි. එය මත් රස ගලමින් පැවති අවස්ථාවකි
‘ඇයි මහාචාර්යතුමා එයාට වැරැද්ද කියා දුන්නේ නැත්තේ?’ එතැන සිටි අයෙක් ප්‍රශ්න කළහ. මහාචාර්යතුමා ඔහු දෙස බැලුවේය.
‘තමුසෙ මාර කතාවක්නෙ කියන්නෙ. එහෙම කිව්ව නම් ඌ මට කලිසම ගලෝල පුක පෙන්නනව. ඌ ජේවීපීකාරයෙක්.’
Why don’t you print these articles and publish them pls?
අපොයි මහාචාර්ය පට්ටම ඉවරයි නේද! 😂 තිස්ස ජයසේකරගෙ යෝජනාව මමත් අනුමත කරනවා. මේ ලිපි පොතක් විදියට පළ කරන්න.