රතු තොප්පි දමාගත් වඳුරන්ට ගිය රට

Last Updated on 2 months by admin

පුරුෂයා ස්ත්‍රියට වඩා උසස්ය යන්න යුරෝපා සමාජයේ දැඩිව මුල්බැස තිබුණු ආගමික සංකල්පයකි. මෙය පැහැදිලි කරන කතාන්දර ආගමික මූල ග්‍රන්ථයන්හි ලියා තිබේ. ඇතැම් උගතුන් කරන්නේ ඒ බව නොවැටහෙන සේ හැසිරීමයි. හැම ආගමකම මුල එක සමාන යැයි කියමින් ප්‍රයෝගයකින් ඇත්ත යටපත් කිරීමට වෙහෙසීම තවත් සමහරුන්ගේ ස්වභාවයයි. මේ කුමන ක්‍රමයකට රඟපෑවද ආගමික ග්‍රන්ථයන්හි අඩංගු මූලධර්මයන් වෙනස් කිරීමට කිසිවකුට නොපුළුවන. සංකල්පයේ ආරම්භය කොතන දැයි පැහැදිලි කිරීම පහසු කාරණයක් නොවේ. ග්‍රීක දර්ශනයේ ප්‍රධාන ආචාර්යවරයකු වූ ඇරිස්ටෝටල්, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගේ කටේ දත් පිහිටුවා ඇත්තේ පුරුෂයකුගේ කටේ දත් සංඛ්‍යාවට වඩා එකක් අඩුවෙන් යැයි සඳහන් කිරීමෙන් මේ අදහසට මොන තරම් දිගු ඉතිහාසයක් ඇත්දැයි පැහැදිලි වේ.

කාල් මාක්ස් නමැති යුදෙව් දාර්ශනිකයාට කාන්තාව පිළිබඳ සම්ප්‍රදායික ආගමික දර්ශනය වැරදි බව අවබෝධකර ගැනීමට හැකිවිය. ඔහු මනුෂ්‍ය වර්ගයා ධනපති සහ නිර්ධන යනුවෙන් පංති දෙකකට වර්ග කිරීමෙන් පැහැදිලි වන්නේ, කාන්තාව පංති දෙකම නියෝජනය කරන්නේ යැයි මාක්ස් පිළිගත් බවයි. පාලකයන් වී සූරාකෑමේදී මෙන්ම ඔවුන්ගේ පීඩනයට ලක්වීමේදී ස්ත්‍රිය පුරුෂයාට සමාන වෙමින් පංතියක් නියෝජනය කරන බව ඔහුගේ ඉදිරිපත් කිරීම මගින් පැහැදිලි වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව රුසියාව ප්‍රධාන නැගෙනහිර යුරෝපා රටවල් ගණනාවක් කොමියුනිස්ට් රටවල් බවට පත් විය. සෝවියට් දේශය ලොව පුරා කොමියුනිස්ට්වාදය පතුරුවා හරින්ට වූවාය. ඔවුන්ට එරෙහි වූ බටහිර පාර්ශ්වයේ නායකත්වය ගත් ඇමෙරිකාවෙන්, කොමියුනිස්ට්වාදීන්ගේ පංති කතාව ලොප් වී කාන්තාව පුරුෂයාට සමානය යන අදහස වෙනස් ආකාරයකට ඉදිරිපත් වුණි. මේ නිසා ඇමෙරිකාවෙන් ද කාන්තාව පුරුෂයාට සමානය යන අදහස ඉදිරිපත් වී තිබේ.

රුසියාවේ උපත ලබා ඇමෙරිකාවේ පදිංචියට පැමිණ නිව් යෝක් නගරයේ ඇඟලුම් කම්හලක රස්සාවක් කළ තෙරේසා මල්කි මෙම අදහස ඉදිරිපත් කළ කාන්තාව වශයෙන් සැලකේ. සමහරුන් පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකාවේ සමාජවාදී පක්ෂයේ සාමාජිකාවකව සිටි ඈ කාන්තා සම්මේලනයක් පැවැත්විය යුතුය යන අදහස ඉදිරිපත් කළාය. එය නිවැරදි නම් හැම වසරකම මාර්තු මස අටවෙනිදා පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින සංකල්පයේ නිර්මාතෘවරිය ඇයයි. මාක්ස්වාදියෝ ඊට එකඟ නොවෙමින් කාන්තා දිනය ඇරඹීමේ ගෞරවය රුසියානු විප්ලවයට සහ කොමියුනිස්ට් ව්‍යාපාරයට පවරති.

ඇමෙරිකාව ව්‍යාපාරිකයින් විසින් ගොඩනැංවූ ව්‍යාපාරිකයන්ගේ බලය පවතින ව්‍යාපාරික සංස්කෘතියක් ඇති රටකි. ලෝකයට ඇමෙරිකාවෙන් පැතිරෙන්නේ ව්‍යාපාරික සංස්කෘතියකි. ‘දින උත්සව’, ඒ ව්‍යාපාරික සංස්කෘතියට අයිති අංගයකි. හැම දින උත්සවයකින්ම ව්‍යාපාරිකයන්ට සිදුවන්නේ යහපතකි. එමනිසා කාන්තා දිනයක් පැවැත්වීමේ සිතුවිල්ල ඇමෙරිකාවේ යුදෙව් වෙළෙඳ සංගමයේ උද්‍යෝගිමත් සාමාජිකාවක වශයෙන් කටයුතු කළ තෙරේසා මල්කි විසින් ඉදිරිපත් කරන ලද්දක් යයි සිතීමට පුළුවන.

කොමියුනිස්ට් රුසියාව සිය ජාතික උත්සවය වශයෙන් භාවිත කළ මැයි දිනය ඇරඹෙන්නේ, ඇමෙරිකාවේ සිද්ධියකිනි. එක් අතකින් මැයි දිනය ඇමෙරිකානු ව්‍යාපාරික සංකල්පයකි. පසුකලෙක බටහිර ආර්ථික විද්‍යාඥයෝ කම්කරුවන් නමින් පිරිසක් ඇමෙරිකාවේ නැති බව කොමියුනිස්ට්කාරයින්ට පිළිගැන්වූහ. එවිට සෝවියට් මාක්ස්වාදියෝ ඇමෙරිකාව ධනපතියන්ගේ රටක් ලෙස හඳුන්වන්නට ගත්හ. ගෙයක් දොරක් නැති (හෝම්ලස්) රට වැසියන් ලක්ෂ සංඛ්‍යාවක් ඇමෙරිකාවේ වෙසෙති. එහි වෙසෙන කළු ජාතිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් හිමිවී වැඩි කාලයක් නැත. ආදිවාසීන් බොහෝමයක් දෙනා තවමත් ‘රිෂවේෂන්’ ගම්මානයන්හි වෙසෙති. එබැවින් ලංකාව වැනි රටවල මාක්ස්වාදින්, ඇමෙරිකාව ධනපතින්ගේ රටක් යැයි කීවේ, රුසියානුවන් එවැනි කතාවක් කී නිසාය.

තොප්පි වෙළෙන්දාගේ කතාව ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශයේ ජනප්‍රියව පැවති ජනකතාවකි. මෙය ‘රතු තොප්පි වෙළෙන්දාගේ කතාව’ යනුවෙන් අලුත් නමකින් ඉන්දියාවේ පාසල් පොත්වලට ඇතුළු කිරීමට ඉංග්‍රීසි අධ්‍යාපනඥයෝ තීරණය කළහ. ඔවුන් ඊට හේතුව සඳහන් කර නැතත්, ඒ මාක්ස්වාදින්ගේ හැසිරීම පැහැදිලි කිරීමේ පරමාර්ථයෙන් විය යුතුය. ලංකාවේ සිටි ඉංග්‍රීසි අධ්‍යාපනඥයන් රතු තොප්පි වෙළෙන්දාගේ කතාව සිංහල පාසල් පොත්වලට ඇතුළු කර තිබේ.

රතු තොප්පි වෙළෙන්දා ඇවිදිමින් රතු තොප්පි වෙළෙඳාමේ යෙදුණේය. ඔහු විශාල ගසක් යට නැවතී තොප්පි කද බිම තියා ගිමන් හැරියේය. සුළු මොහොතකින් ඔහුට නින්ද ගියේය. අවදි වූ වෙළෙන්දාට සිය හිසේ තිබුණ තොප්පිය මිස, කදේ එකදු තොප්පියක්වත් නැති බව පෙනුණි. ඔහු වට පිට බලා උඩ බැලුවේය. ගහේ අතුවල වාඩිවී තමා දෙස බලා සිටින වඳුරු රංචුවක් ඔහුට දකින්නට ලැබුණි. උන් වෙළෙන්දාගේ කදෙන් ගත් තොප්පි හිස්වල පැලඳගෙන සිටියහ. සුළු වේලාවක් කල්පනා කරමින් සිටි වෙළෙන්දා හිසේ පැලඳගෙන සිටින තොප්පිය ගලවා ‘මේකත් තොපිම ගනිව්’ කියා වඳුරන් දෙසට දමා ගැසුවේය. වඳුරෝ කෑ ගසමින් තොප්පි ගලව ගලවා වෙළෙන්දාට දමා ගසන්ට වූහ. වෙළෙන්දා තොප්පි ටික එකතු කරගෙන යන්නට ගියේය.

ලංකාව, ස්වදේශික සුළු ව්‍යාපාරිකයන් ස්වල්ප පිරිසක් විසූ, ලොකු ව්‍යාපාරිකයන් නොසිටි බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විණි. පිටරටින් රටට වුවමනා භාණ්ඩ ආනයනය කෙරුණි. සහල් පවා ගෙන්වූයේ පිටරටිනි. තේ, රබර්, පොල් ලංකාවෙන් පිට රටට අපනයනය කළ ප්‍රධාන නිෂ්පාදන තුනයි. යුරෝපීය සමාගම් මේ අපනයන වෙළෙදාමේ හිමිකරුවෝ වූහ. ලංකාවේ මාක්ස්වාදි ව්‍යාපාරය ඇරඹුණේ අධිරාජ්‍ය විරෝධි ක්‍රියාවක් වශයෙනි. වමේ නායකයෝ ගොවි කම්කරුවන් පසුපසට දමාගෙන ධනපතින් භංගවේවා කියමින් කොළඹ නගරයේ දැවැන්ත පෙළපාළි පැවැත්වූහ. නිදහස ලැබීමෙන් පසු සභාග ආණ්ඩු තැනීමට සමත් වූ මෙම වමේ නායකයෝ, සිංහල බෞද්ධ සුළු ව්‍යාපාරිකයන් ස්වල්ප දෙනා විනාශකර දැමීමට මූලික වූහ.

‘වුමන් ලිබරේෂන්’ හෙවත් කාන්තාව ගැලවීමේ ව්‍යාපාරය ලංකාවේ වාමාංශික ව්‍යාපාරයෙන් බිහිවූවකි. වාමාංශිකයන් පරිදිම කම්කරු සංගම් තැනීමට පෙලඹුණ එක්සත් ජාතික පක්ෂය කාන්තාව මුදවා ගැනීමේ ව්‍යාපාරය ද උදුරා ගත්තාය. පසුගිය මාර්තු අටවෙනි සිකුරාදා ලංකාවේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැත්වුණි. දේශපාලන පක්ෂ කාන්තා දිනය වෙනුවෙන් උත්සව සහ සැමරුම් පැවැත්වූහ. පුවත්පත්වල අතිරේක පළවිය. ආණ්ඩුව කාන්තාවන්ට පමණයි දුම්රිය මැදිරි හඳුන්වා දුන්නාය.

ස්ත්‍රිය පුරුෂයාට සමානය යන අදහස භාරතයේ පැතිර ගොස් ඇත්තේ නිදහස් චින්තන සම්ප්‍රදායක් ලෙසිනි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි සාංචි විහාරයේ දක්නා ලැබෙන යක්ෂ දේවතාවියන් සහිත ගල් කැටයම් නිදහස් චින්තනයේ ආරම්භය පැහැදිලි කරදෙන ස්ථානයකි. දේවතාවියන් වන්දනාව යක්ෂ වන්දනාවෙහි අංගයක්ව පැවති බව එයින් ඔප්පු වේ.

අතීත ලංකාවේ යක්ෂ රාජධානි පැවති බව මහංවංශය ඉතා නිරවුල්ව සඳහන් කරයි. මහාවංශයේ සඳහන් ඉතිහාස තොරතුරු සනාථ කරන ජනශ්‍රැති අප්‍රමාණ සංඛ්‍යාවක් තිබේ. රත්නවල්ලි කාව්‍ය සංග්‍රහය එවැනි ජනශ්‍රැතියක් නොවේ. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් සිය අනන්‍යතාව රැකගෙන සිංහල සමාජයේ ජීවත්වූ සිංහල උප ගෝත්‍රයක වංශ කාව්‍යයකි. රත්නමාලි දේවතාවියගේ විමානය වශයෙන් පැවති පූජනීය තෙළඹු ගස පිහිටි ස්ථානයෙහි එම දේවතාවියගේ නමින් මහා ථූපය ගොඩනැංවූ බව වංශ කාව්‍යයෙන් කියවේ. පණ්ඩුකාභය රජතුමාගේ රට එක්සත් කිරීමේ හා අනුරාධපුර නගරය ගොඩනැංවීමේ කටයුත්තට ආධාර කළ ලෙසින්ම මහා ථූපය ඉදිකිරීම සඳහා යක්ෂ ජන කණඩායම මූලික වූ ආකාරය එයින් පැහැදිලි වේ.

දේවතාවියන් වන්දනාව බුදුසසුන යටතේ වැඩි දියුණු වී, මතු බුදු වන්නේ දේවතාවියකය යන අදහස සිංහල සමාජයේ ඇතිවූ බව, රට පුරාම පාහේ තාරා බෝසත්වරිය වන්දනා කිරීමේ චාරිත්‍රය පැතිරයාමෙන් පැහැදිලි වේ. පෘතුගීසි ආක්‍රමණයෙන් පසු තාරා බෝසත් වන්දනාව නැති විය. එකම ධර්ම සභාවක වාඩි වී මෛත්‍රී බුදුන්ගෙන් බණ අසා නිවන් සුවය ලබාගැනීමට ප්‍රාර්ථනා කරන බෞද්ධයෝ තාමත් ලංකාවේ සිටිති.

මුලින් කී කාරණාව යළි සඳහන් කරන්නේ නම්, පුරුෂයා ස්ත්‍රියට වඩා උසස්ය යන්න යුරෝපා සමාජයේ දැඩිව මුල්බැස තිබුණ ආගමික සංකල්පයකි. ආගමික මූල ග්‍රන්ථයන්හි අඩංගු බැවින් එය වෙනස් නොවන නියමයකි. මේ ආගමික තීන්දුව මුළුමනින්ම වැරදි දෙයක් බව නවින විද්‍යාවෙන් තහවුරු වී තිබේ. ඇමරිකාව වැනි රටක පිරිමියෙකුට සුළු ශල්‍යකර්මයක් මගින් ස්ත්‍රියක වීමට බාධාවක් නැත. කාන්තාවකට පුරුෂයෙකු වීමට ද පුළුවන. එසේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගත් පුද්ගලයෝ මෙම රටවල සිටිති. ශ්‍රී ලංකාවේද සුළු වශයෙන් සිටිති.

ස්ත්‍රීය සහ පුරුෂයා සමානය යන්න සිංහලයින් බෞද්ධ චින්තනයෙන් ලැබූ දැනුමකි. එම නිසා ඔවුන් ස්ත්‍රිය හා පුරුෂයා බෙදා වෙන්කිරීමට කටයුතු කළේ නැත. නිවෙසේ, පන්සලේ, නානතොටේ මේ ආදී වශයෙන් ජනයා එකතු වන හැම ස්ථානයකම ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සාමූහිකව කටයුතු කිරීමට අවස්ථාව සලසා තිබුණි. දැන් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් රතු තොප්පි දමා ගැනීමකි. ස්ත්‍රිය සහ පුරුෂයා බෙදා වෙන් කිරීම සිංහල සමාජයට මෙන්ම රටටද කරන විපතකි.

(2019 මාර්තු 24 සතිඅග අරුණ පුවත්පත)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link